ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්

ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්

*********************************************

ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්

(06.07.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්සේදී අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලට අනුයුක්ත සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ මස 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.

එදිනට සැකකරු ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම බන්ධානාගාර නිළධාරීන්ට නියම කළේ.

මෙම සැකකරු, මහේෂ් නමැත්තෙකු මාර්ගයෙන් මෙම දැරියගේ සේවය ලබාගෙන ඇති බව සඳහන් කළ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන්, මෙම ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකරු වන රජීව් නමැත්තාගේ වාහනයෙන් මෙම දැරිය කොල්ලුපිටිය ප්‍රදේශයට රැගෙනවිත් මොහුට භාරදී ඇති බවද ප්‍රකාශ කළා.

අතවරයට පත් දැරියගේ ජංගම දුරකතනයේ මෙම සැකකාර වෛද්‍යවරයාගේ දුරකතන අංකය තිබෙන බව සඳහන් කළ පොලිසිය මෙම දැරියට සැකකාර වෛද්‍යවරයා විසින් රුපියල් 20,000 ක මුදලක් ගෙවා ඇති බව විමර්ශණවලදී අනාවරණය වී ඇති බවද කියා සිටියා.

සැකකාර වෛද්‍යවරයා යලි දුටුවහොත් හඳුනාගත හැකි බවට අතවරයට පත් දැරිය විසින් ප්‍රකාශ කර ඇති හෙයින් මොහුව රක්ෂිත බන්ධනාගාර ගත කර හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විශේෂඥ හෘද රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර සහ කොතලාවල ආරක්ෂක රෝහලේ කටයුතු කරන බව ප්‍රකාශ කළා.

තම සේවාදායකයා මෙම දැරියගේ සේවය ලබාගැනීම සඳහා අදාළ හෝටලය වෙත ගිය බව ඔහු විසින් පිළිගන්නා නමුත් අදාළ හෝටලයේදී එම දැරිය බාලවයස්කාර දැරියක් බව වටහා ගත් විගසම ඔහු එම ස්ථානයෙන් ඉවත් වී ගිය බවද නීතිඥවරයා සඳහන් කළා.

අදාළ හෝටලයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කළහොත් ඒ බව තහවුරු කරගත හැකි බව සඳහන් කළ නීතිඥවරයා අදාළ දැරිය අපයෝජනයට ලක් කළ බවට නැගෙන චෝදනාව තම සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බවයි අධිකරණය හමුවේ කියා සිටියේ.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ පොලිසිය මෙම සැකකරු අතවරයට පත් දැරිය බාලවයස්කාරියක් බව හොඳින්ම වටහාගෙන සිටි බව සඳහන් කළා.

මෙහිදී සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ සැකකරු කොරෝනා පරීක්ෂාවට භාජනය කර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ලබන 09 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ.

මේ අතර, අපයෝජනයට ලක් වූ දැරිය විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද ත්‍රීරෝද රථ රියදුරෙකු මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

එමෙන්ම, මෙම දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු ඇතුලු තුන්දෙනෙකු (3) වෙනුවෙන් නියම කර ඇති හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරන ලෙස ඔවුන්ගේ නීතිඥයන් කළ ඉල්ලීම විනිසුරුවරිය ප්‍රතික්ෂේප කළා.

මේ අතර, අතවරයට පත් දැරිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කළ වෙබ් අඩවි කිහිපයකට ශ්‍රී ලංකාව තුළදී පිවිසීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ ඉල්ලීමක් ද විනිසුරුවරිය ප්‍රතික්ෂේප කළා.

ඇය කියා සිටියේ එවැනි තහනම් කිරීමක් සඳහා රජයේ ආයතන වෙත ප්‍රමාණවත් බලතල තිබෙන බැවින් ඒ සඳහා අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවයි.

අදාළ දැරිය අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් ජාතික ළමා හා කාන්තා කාර්යාංශය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව සැකකරු මේ මස 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් විදේශිකයෙකු ඇතුළු පුද්ගලයින් 32 නෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

******************************************

(06.07.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – සහස්පුර ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ බොරැල්ල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

අද (06) උදෑසන හෙරොයින් ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මොහු ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සහස්පුර ප්‍රදේශයට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදීයි මෙම පහරදීම සිදුව ඇත්තේ.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුගේ ඥාතීන් ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණා.

කෙසේ වෙතත් පසුව අදාළ සැකකරු හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 250 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.

මේ අතර, යාපනය – අරියාලේ ප්‍රදේශයේදී වැලි ජාවාරමේ නිරත පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පහරදීමකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (06) අලුයම මෙම පහරදීම සිදුව ඇති අතර, පහරදීමට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

******************************************

(06.07.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මින් ඉදිරියට මෙරට තුළ කිසිදු පොහොර හිඟයක් ඇති නොවන බවත්, ඉදිරි මාස 04 ඇතුළත ගොවියාට පොහොර ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර, අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද පොහොර ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සංඝටක පිළිබඳ අවසන් ලැයිස්තුවක් සකස් කරමින් පවතින බවයි.

******************************************

(06.07.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පැමිණීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

******************************************

(06.07.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ නුදුරු දිනයකදී පෙට්‍රල් හිඟයක් ඇතිවන බවට ඇතැම් වෙබ් අඩවි පළ කර ඇති වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දින 30 කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට සතුව පවතින බවයි. එමෙන්ම තවත් දින 13 කින් මෙට්‍රික් ටොන් 35,000 ක පෙට්‍රල් සහිත නැවක් දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එබැවින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිගයක් ඇතිවීමේ අවදානමක් ඇති බවට පතුරන කට කතා පදනම් විරහිත අතර ඒ සම්බන්ධයෙන් ජනතාව කලබල වීමට අවශ්‍ය නොවන බවයි බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළේ ෴

******************************************

(06.07.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

සාගරයට ප්ලාස්ටික් සහ පොලිතින් මුදාහරින ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වන (5) ස්ථානයට පත්ව ඇති බවට සමීක්ෂණයක් මගින් අනාවරණ වී ඇතැයි ජාත්‍යන්තර සංවිධාන එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවෙන් දිනකට බැහැර කරන ඒකපුද්ගල කසළ ප්‍රමාණය කිලෝග්‍රෑම් 5.1 ක් බවයි. එහෙත් මෙරට ඒකපුද්ගල කසළ බැහැර කිරීම ග්‍රෑම් 500 ක් පමණක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ජාත්‍යන්තර සංවිධානය වෙත පිළිතුරු ලබාදිය යුතු බවටයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර ඇත්තේ ෴

******************************************

(06.07.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

රතු පරිප්පු සහ සුදු සීනි ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දේශීය වෙළඳ පොළේ ඒවා ඉහළ මිල ගණන්වලට අලෙවි වන බවට නිරීක්ෂණය වී ඇති බැවින් ඊට පිළියමක් ලෙස සමූපකාර ව්‍යාපාරය හරහා ඕස්ට්‍රේලියාවෙන් සහ ඉන්දියාවෙන් රතු පරිපපු සහ සුදු සීනි ආනයනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

එලෙස ආනයනය කෙරෙන රතු පරිප්පු සහ සුදු සීනි ලංකා සතොස සහ සමූපකාර වෙළඳ ජාලය හරහා අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා ෴

******************************************

(06.07.2021 – 15:49 +0530 – hirunews.lk/sinhala)

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කිරීමට අදාළ ලේඛන මැතිවරණ කොමිසමට අද (06) පස්වරුවේ භාර දී තිබෙනවා.

ඒ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා හෙට (07) පෙරවරු 9 ට මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂගේ නම ගැසට් කෙරෙනු ඇති.

ඒ අනුව පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අසුනට බැසිල් රාජපක්ෂ පත් කෙරෙනු ඇති.

දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අනිද්දා (08) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉවත්විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වුණා.

ෆලිල් මර්ජානා, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ නම් ඒ සඳහා යෝජනා වී තිබුණා.

ජයන්ත කැටගොඩ මහතා 2000 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, ඔහුට 2011 වසරේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමිවුණා.

පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් පවතින බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දිය යුතු වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා අදාළ පුරප්පාඩුව සම්බන්ධයෙන් අද (06) පෙරවරුවේ මැතිවරණ කොමිසම සභාපතිවරයාට ලිඛිත දැනුම්දීම සිදුකර ඇති බවයි.

******************************************

(06.07.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින් පරිපූරක සහ අතුරු වෛද්‍ය ශ්‍රේණිවලට අයත් වෘත්තිය සමිති 14 ක් එක්ව ආරම්භ කළ වර්ජනය අද (06) පස්වරුවේ අවසන් කෙරුණා.

ඒ, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් අද (06) දහවල් ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මතයි.

ඊයේ (05) ආරම්භ කළ මෙම වැඩ වර්ජනය අදත් (06) ක්‍රියාත්මක වූ අතර කොළඹ ජාතික රෝහල ඇතුළු ඇතැම් රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම සඳහා හමුදා සාමාජිකයින් ද යොදවා තිබුණා.

කෙසේ වෙතත්, රෝහල් වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් මෙම වර්ජනය හේතුවෙන් පත්වුණේ දැඩි අපහසුතාවකටයි.

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය විසින් හෙද සේවාව සඳහා ලබාදුන් සහනවලට සමාන ආකාරයට පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවලට අයත් පිරිස් වලට ද එම සහනයන් ලැබෙන පරිදි ලබන සඳුදා (12) අමාත්‍ය මණ්ඩල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය පොරොන්දු වූ බවයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවේදී හෙද වෘත්තියට අදාළව ලබාදෙන බවට පොරොන්දු වූ ඉල්ලීම් දෙක (2) ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා චෝදනා කළා.

එහෙත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ තම ඉල්ලීම් ඉටු කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.

******************************************

(06.07.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – වීරකැටිය – බෝගමුව වැවේ තිබී අකුණු සැර වැදීමකින් මිය ගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරු දෙකක් (2) සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව අද (06) උදෑසන මෙම මළ සිරුරු දෙක (2) සොයා ගත් බවයි.

ඊයේ (05) පස්වරුවේ මොවුන් දෙදෙනා (2) වැවේ මසුන් ඇල්ලීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස අකුණු අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

@@@@@@@@@@@@@@@@

(06.07.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 තාවකාලික විධි විධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් බෙදුනු තීරණයක් ලබා දී ඇති බව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සිය නිවේදන යටතේ ඉදිරිපත් කරමින් කථානායකවරයා ප්‍රකාශ කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකු (2) කරුණූ 4 ක් යටතේ සහ එක් (1) විනිසුරුවරයෙකු තවත් කරුණු 4 ක් යටතේ සිය තීරණය ලබා දී ඇති බවයි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව සංශෝධන සිදුකරන්නේ නම් සරල බහුතර ජන්දයෙන් ‘කොවිඩ්-19 තාවකාලික විධි විධාන පනත් කෙටුම්පත’ සම්මත කර ගත හැකි බවත්, සංශෝධන සිදුනොකරන්නේ නම් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් හෝ ජනමත චිචාරණයක් අවශ්‍ය බවත් දැනුම් දී ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++

(06.07.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දරුවන්ට අධ්‍යාපන ලැබීමට සිදුව ඇත්තේ මාර්ගගත ක්‍රමයටයි.

නමුත් දරිද්‍රතාව ඇතුළු දහසකුත් ගැටලු මධ්‍යයේ ඉගෙනීමට වෙර දරන දෘෂ්‍යාබාධිත දරුවෙකු පිළිබඳව අපට වාර්තා වුණා.

මේ, කිරිබත්ගොඩ, මාකොල ප්‍රදේශයේ පදිංචි රවිඳු යසස්.

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින රවිඳු දෘෂ්‍යාබාධිත තත්ත්වයකින් පීඩා විඳිනවා.

රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන රවිඳුට මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමට නොහැකි වී ඇත්තේ ජංගම දුරකථනයක් නොමැති වීමෙන්.

රවිඳුගේ මව සහ පියාද පූර්ණ දෘෂ්‍යාබාධිත බැවින් සිය දරුවාගේ අධ්‍යයන කටයුතුවලට උපකාරී වීමට හැකියාවක් නැහැ.

කොවිඩ් වසංගතය හමුවේ රවිඳුගේ පියාගේ රැකියාව වන පිරිත් පොත් විකිණීම අහිමි වීම මෙන්ම, මව පිළිකා රෝගයකින් පීඩා විඳීම මේ පවුලේ අසරණභාවය තවත් තීව්‍ර කර තිබෙනවා.

අභියෝග හමුවේ ජීවිතය ජයගන්න රවිඳුට පුංචි හෝ උපකාරයක් කිරිමට හැකි නම් එය මහඟු පුණ්‍ය කර්මයක් වනු ඇති.

+++++++++++++++++++

(06.07.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1717 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 236,659 ක් ලෙසටයි. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 266,499 ක් හමුවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *