ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

*********************************************

ගල්කිස්ස දැරිය අපයෝජන සිද්ධියට නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

(06.07.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට හෘද රෝග විශේෂඥයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ විශේෂඥ වෛද්‍යවරයා වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරයෙකු වන අතර ඔහු ‘ලෙෆ්ටිනන් කමාන්ඩර්’ තනතුරෙහි සේවය කරන්නෙකු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අවස්ථා දෙකකදී (2) මෙම විශේෂඥ වෛද්‍යවරයා අදාල පහළොස් (15) හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර ඒ වෙනුවෙන් වරකට රුපියල් 15,000 බැගින් අවස්ථා දෙකකදී රුපියල් තිස් දහසක් (30,000) වැයකර තිබෙනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව අද (06) අළුයම අදාල විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර බණ්ඩාරගම ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරයා සහ අනෙක් පුද්ගලයා අද (06) අධිකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි මේ අනුව මෙම දැරිය අපයෝජන සිද්ධියට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 34 ක්.

******************************************

(06.07.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

අද (06) සිට දින 4 ක කාලයක් පාර්ලිමේන්තුව රැස්වෙනවා.

පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පෙරවරු 11 සිට පස්වරු 04:30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.

අනිද්දා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් ද විවාදයට ගැනෙනවා. ජුලි 08 වන දා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු කෙටුම්පත් කිහිපයක් විවාදයට ගැනෙනු ඇති.

එමෙන්ම ජුලි මස 09 වන දා ශ්‍රී ලංකා මහබැංකුවේ පසුගිය වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය ද පැවැත්වෙනවා.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් අද (06) කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

හෙට (07) දිනයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ අනිද්දා (08) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ද එම කමිටුව හමුවට කැඳවනු ඇති. එමෙන්ම පාර්ලිමේන්තු කාරක සභා සහ අමාත්‍යාංශයීය උපදේශ කාරක සභා කිහිපයක්ද අදින් (06) ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී රැස්වීමට නියමිතයි ෴

******************************************

(06.07.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය විසින් පසුගියදා ඉවත් කළ පලාත් පාලන මන්ත්‍රීවරුන් 70 දෙනාට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි ප්‍රමුඛතාවය ලබාදීමට සමඟි ජනබලවේගය තිරණය කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ (05) පස්වරුවේ පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදියි.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදි පලාත් පාලන මැතිවරණයට අදාලව අපේක්ෂකයින්ගේ නාමයෝජනා කැඳවීමට ද තීරණය වි තිබෙනවා.

ඒ අනුව ඊට අදාල කටයුතු ඉදිරි සති දෙක තුල සුදානම් කරන ලෙසයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව, සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයින්, නීතිඥ කණ්ඩායම එක්ව අදාල පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙලක් සකස් කිරීමට අවධානය යොමුවු බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ෴

******************************************

(06.07.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තිය සමිති සහ විෂයභාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර ඊයේ (05) පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම වෘත්තිය සමිති පවසනවා.

එමෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද සෞඛ්‍ය වෘත්තිය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුවුවද නිශ්චිත තීරණයකට නොපැමිණි බවයි.

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින් පරිපූරක, අතුරු වෛද්‍ය සේවා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ (05) පෙරවරුවේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළ අතර, මේ සම්බන්ධයෙන් පස්වරුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ වෘත්තිය සමිති සාකච්ඡාවක නිරතවුණා.

එහිදී කිසිදු නිශ්චිත තීරණයක් ගැනීමට සෞඛ්‍ය ඇමතිනිය අපොහොසත් වූ බවයි වර්ජනයේ නිරත වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.

ඊයේ (05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට බඳුන් වූ බවයි.

මේ අතර කැබිනට් මණ්ඩලයට සිය ඉල්ලීම් ඉදිරිපත් වී අනුමැතිය ලැබී නොමැති නම් ඉදිරියේදී යළිත් වර්ජනයකට යාමට සූදානම් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළා ෴

******************************************

(06.07.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමූහයට අයත් මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා දැඩි කොන්දේසිවලට යටත්ව ලබාදුන් අවසරය යළි අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

මේ අතර, ඊයේ (05) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පොහොර ගැටළුව පිළිබදව මෙන්ම පළාත් පාලන ආයතනවල සුළු සේවකයින් ස්ථීර කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ ෴

******************************************

(06.07.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

තමන්ට පහරදෙන බවට පියා සිදුකළ පැමිණිල්ලකට අනුව පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකු බවයි පොලීසිය කියා සිටියේ.

මෙම නාගරික මන්ත්‍රීවරයා අද (06) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර 70 හැවිරිදි පියා පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානය අසළ පදිංචිව සිටිනවා ෴

******************************************

(06.07.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (05) වැල්ලව ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් දෙදෙනෙකු (2) යතුරුපැදි දෙකක් (2) සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ පුද්ගලයින් සතුව ගංජා කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 250 ක්ද තිබූ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැල්ලව පොලිස් ස්ථානයට භාර දී ඇත්තේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා‍යි.

මේ අතර අතුරුගිරිය පොලිසිය විසින් යතුරුපැදි සොරකමකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවක දී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

අදාල පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි ව සොරකම් කිරීමට පෙළඹුණු පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(06.07.2021 – 10:12 +0530 – hirunews.lk/sinhala)

සහතික මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 50 ක් බැගින්ද, සම්බා වී කිලෝවක් රුපියල් 52 ක් බැගින්ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 55 ක් බැගින්ද මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.

මෙවර යළ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15 ක පමණ අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ වී තොගවලින් සැළකිය යුතු ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමටයි සැළසුම් කර ඇත්තේ ෴

******************************************

(06.07.2021 – 11:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත භාරදුන් බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඔහු මෙලෙස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අනිද්දා (08) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඉවත්විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. ෆලිල් මර්ජානා, මහාචාර්ය චරිත හේරත්, ජයන්ත කැටගොඩ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ නම් ඒ සඳහා යෝජනා වී තිබුණා.

ජයන්ත කැටගොඩ 2000 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, ඔහුට 2011 වසරේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමිවුණා.

පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.

කෙසේ වෙතත් ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා අද (06) මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් පවතින බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දිය යුතු වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා අදාළ පුරප්පාඩුව සම්බන්ධයෙන් අද (06) පෙරවරුවේ මැතිවරණ කොමිසම සභාපතිවරයාට ලිඛිත දැනුම්දීම සිදුකර ඇති බවයි.

@@@@@@@@@@@@@@

(06.07.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (05) මෙරටින් කොරෝනා ආසාදිතයින් 869 දෙනෙකු හඳුනාගැනුනා.

එය පසුගිය අප්‍රේල් 25 වනදායින් පසුව මෙරටින් දෛනිකව වාර්තාවූ අඩුම කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි. කෙසේ වෙතත් මෙලෙස ආසාදිතයන් වාර්තාවීම අඩුවීමට සෞඛ්‍ය වෘත්තිය සමිති මේ වනවිට ආරම්භ කර ඇති වර්ජනය හේතුවක් වී ඇති බව වාර්තාවනවා.

නව ආසාදිතයන් 869 දෙනා සමඟින් මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ හැට හයදහස් හාරසිය අනුනවයක් (2,66,499) දක්වා ඉහළ ගියා.

ඊයේ (05) හඳුනාගැනුනු නව ආසාදිතයන්ගෙන් අටසිය දොළස් දෙනෙකු (812) අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 53 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගැනුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 28,321 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ තිස් දහස් නවසිය හතලිස් දෙකක් (2,30,942).

එමෙන්ම පසුගිය 04 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර, ඊයේ (05) වාර්තා කළ මරණ 32 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3,268 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර යාපනය, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාමනිලධාරී වසම් 4 ක් අද (06) උදෑසන සිට හුදෙකලා කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ නාරාන්තනෙයි වයඹ, මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර යන ග්‍රාම නිලධාරී වසම් මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පුහාඹුගොඩ නැගෙනහිර වසමේ මලබඩවත්ත කොටස හුදෙකලා කර තිබෙනවා.

කෙසේ වෙතත් මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පොලිස් බල ප්‍රදේශයේ එරාවුර් ග්‍රාම නිලධාරී වසම හුදෙකලා භාවයෙන් ඉවත්කර තිබෙනවා.

මේ අතර කොරෝනා වසංගතය නිසා ඔන්ලයින් ක්‍රම හරහා පාසල් දූ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී මතුව ඇති ප්‍රයෝගික ගැටළු සඳහා පිළියමක් ලෙස රට පුරා සම්පත් මධ්‍යස්ථාන 2096 ක් විවෘත කර තිබෙනවා.

ඊයේ (05) සිට එම මධ්‍යස්ථාන විවෘතව පවතින අතර එහි සමාරම්භක අවස්ථාව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ මතුගම – දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම ඕමන්ත ජනපද කණිෂ්ඨ විද්‍යාලයේදියි.

එමෙන්ම ඔන්ලයින් පහසුකම නොමැති පාසල් දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට ආරම්භ කෙරුණු මධ්‍යස්ථානවලට ගුරුවරුන් පැමිණීමට මැලිකමක් දක්වන බව ගුරු සංගම් චෝදනා කරනවා.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ගුරුවරුන්ට මෙතෙක් කොරෝනා මර්දන එන්නත් නිසියාකාරව නොලැබීමයි.

++++++++++++++++++++++++

(06.07.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (05) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයන් 343 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අනුව නිරෝධායන නීති ක්‍රියාත්මක කෙරුණු පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 47,922 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ෴

තවත් ප්‍රදේශ කිහිපයක් අද (06) අලුයම සිට හුදකලා කර තිබෙනවා :

එමෙන්ම අද (06) අලුයම සිට හුදකලා බවින් ප්‍රදේශ කිහිපයක් නිදහස් කරනු ලැබුවා :

++++++++

(06.07.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

අද (06) උදෑසන සිට හුදකලා කෙරෙන බවට ප්‍රකාශ කෙරුණු මාතර උයන්වත්ත සහ මාතර උයන්වත්ත උතුර යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දිස්‌ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එය සන්නිවේදන දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව අනාවරණය වූ බවයි.

පසුගිය සෙනසුරාදත් (03) දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමක් පැවතී බවත් එහිදීත් මෙවැනි යමක් සකාච්ඡා නොවූ බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම වරද නිවැරදි කිරීමට හැකි ඉක්මනින් පියවර ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශය සමග පැවසුවේ ෴

+++++++++++++++++++++

(06.07.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබා දීම හෙට (07) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ස්පුට්නික් එන්නත් මාත්‍රා පනස්දහසක් (50,000) අද (06) රාත්‍රියේ දිවයිනට ලැබෙනු ඇති බවයි.

++++++++++++++++++++

(06.07.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් දහස් ගණනක් සමාජය තුළ සිටිය හැකි බැවින් ඉදිරි මාසය තුළදී එය වසංගතයක් බවට පත්වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා තවත් 50,000 ක් අද (06) රාත්‍රියේ දිවයිනට රැගෙන එන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ස්පුට්නික් දෙවන (2) මාත්‍රාව සඳහා ලබාදීමට අවශ්‍ය එන්නත් තොගයක්ද තවත් දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා ‘හිරු ටීවී සලකුණ’ දේශපාලන වැඩසටහනට ඊයේ (05) එක්වෙමින් ප්‍රකාශ කළේ.

මේ අතර පළමු (1) මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයන්ට දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (07) සිට ආරමිභ කිරීමට නියමිතයි.

ඒ අනුව කොළඹ එක (1) සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවල වයස අවුරුදු 55 ඉක්මවූ පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබාදීමටයි නියමිතව ඇත්තේ. ඒවා ලබාදෙන ස්ථානය, දිනය සහ වේලාව කෙටි පණිවුඩයක් මගින් ඔවුන්ට දැනුම් දෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ (05) පුද්ගලයින් 1,51,872 ට එන්නත් ලබාදී තිබෙනවා. ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 180 කට ලබාදී ඇති අතර, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 1,33,215 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 18,477 කට ලබාදී තිබෙනවා.

මේ අතර කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා කියා සිටියේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් විශාල වශයෙන් සමාජය තුළ සිටිය හැකි බවයි.

මාතර – උයන්වත්ත සහ උයන්වත්ත උතුර ප්‍රදේශ අද (06) පෙරවරුවේ සිට හුදෙකලා කරන බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළද මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ ඒ පිළිබඳව ඔවුන් කිසිවක් නොදන්නා බවයි.

එමෙන්ම උයන්වත්ත හුදෙකලා කිරීම සන්නිවේදනයේදී සිදුවූ ගැටළුවක් මිස එය සැබෑ ලෙසම හුදෙකලා කර නොමැති බව මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද එක් කරමින් සඳහන් කළා.

ඊයේ (05) මෙරටින් හඳුනා ගැණුනු නව ආසාදිතයින් 869 දෙනාගෙන් වැඩිම පිරිසක් එනම් 98 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ඊට අමතරව ගම්පහින් 83 දෙනෙකු, බදුල්ලෙන් 80 දෙනකු, මොණරාගලින් 66 දෙනෙකු, මහනුවරින් 50 දෙනෙකු සහ කොළඹින් 44 දෙනෙකු හඳුනා ගනු ලැබුවා.

එමෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයෙකුගෙන් දෙහිවල සත්වෝද්‍යානයේ තෝර් නැමති සිංහයාට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කරන බව රාගම වෛද්‍ය පීඨයේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා ප්‍රකාශ කළා.

ඊයේ (05) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයාට සහ සිංහ ධේනුවටද වැළඳී ඇත්තේ එංගලන්තයේ ඇල්ෆා ප්‍රභේදය බවට සැක කරන බවයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති 14 ක් ඊයේ (05) සිට ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අද (06) දිනයේත් රෝගීන් රැසක් අපහසුතාවට පත් වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *