සාකච්ඡා අසාර්ථකයි – පරිපූරක, අතුරු වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

සාකච්ඡා අසාර්ථකයි – පරිපූරක, අතුරු වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

*********************************************

සාකච්ඡා අසාර්ථකයි – පරිපූරක, අතුරු වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

(05.07.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක හා අතුරු වෛද්‍ය ශ්‍රේණිවල සේවකයින් ආරම්භ කළ වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ අද (05) පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (05) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවති අතර, අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කටයුතු කරන බවට අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇතත් වෘත්තිය සමිති එය පිළිගෙන නැහැ.

ඒ අනුව විසඳුම් ලබාදෙන තුරු තම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඊට එක්ව සිටින වෘත්තිය සමිති ප්‍රකාශ කළේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රසායනාගාර වෘත්තිකයින් ඇතුළු වෘත්තීය සමිති 14 කට අයත් සෞඛ්‍ය සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටින අතර, කොරෝනා මර්දන කටයුතුවලට අදාළ සහ අත්‍යවශ්‍ය සේවා මෙන්ම ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල්වල මෙම වර්ජනය දියත් නොකරන බව ඔවුන් කියා සිටියා.

කෙසේ වෙතත්, අද (05) උදෑසන ආරම්භ වූ මෙම වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුලු රෝහල් රැසක් වෙත ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගීන් පත්වුණේ දැඩි දුෂ්කරතාවකටයි.

හෙද හෙදියන් ද පසුගියදා වර්ජනයක නිරතවූයේ ගැටළු කිහිපයක් මුල් කරගනිමින්.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී එකඟවී තිබුණේ ඔවුන්ගේ ඉල්ලීම් 5 කට විසඳුම් ලබාදී තවත් ඉල්ලීම් දෙකකට (2) එළඹෙන අයවැයෙන් විසඳුම් ලබාදීමටයි.

ඒ අනුව ඔවුන් සිය වර්ජනය අත්හැර දැමූ අතර, හෙද සේවකයින්ට එලෙස විසඳුම් ලබාදුන්නේ නම් තම ඉල්ලීම්වලට ද කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසටයි වර්ජනයේ නිරත පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තිය සමිති ප්‍රකාශ කරන්නේ.

එසේම රෝහල්වල ඇතැම් කාර්ය මණ්ඩලවලට මෙන්ම කණිෂ්ඨ කාර්ය මණ්ඩලයටද කොරෝනා එන්නත්කරණය නිසි පරිදි සිදු නොවූ බවටද ඔවුන් චෝදනා කරනවා.

******************************************

(05.07.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 1226 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මාරක රිය අනතුරු 1,169 කින් මොවුන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා කියාසිටියේ.

අද (05) ආරම්භ වූ රිය අනතුරු වැළැක්වීමේ සතිය වෙනුවෙන් බීමත් රියදුරන් සහ ධාවනයට නුසුදුසු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා ෴

******************************************

(05.07.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේදී ගිනිගත් ‘එම්.වී. එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාවේ වන්දි ලබාගැනීම සහ ඊට අදාළ නෛතික කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා වූ තවත් සාකච්ඡාවක් අද (05) පැවැත්වුනා.

ඒ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ‘එම්.වී. එක්ස්ප්‍රෙස් පර්ල්’ නෞකාවේ ඇතිවූ ගින්නෙන් මෙරටට සිදුවූ හානි සම්බන්ධයෙන් මේවන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදීම ආර්ථිකයට ධීවර ප්‍රජාවට පරිසරයට සිදුවූ හානි තක්සේරු කිරීම සඳහා පත්කළ කමිටු විසින් සිදුකර ඇති කටයුතුවල ප්‍රගතියත් සාකච්ඡා කෙරුණා.

මෙහිදී වන්දි ලබාදීමේදී පීඩාවට පත් ධීවර ජනතාව වෙත ප්‍රමුඛතාව ලබාදිය යුතු බවට අධිකරණ අමාත්‍යවරයා උපදෙස් දී තිබුණා.

මීට අමතරව ගින්න හේතුවෙන් මේවන විට කොළඹ වරාය ආසන්නයේ මුහුදුබත්ව ඇති නෞකාවේ කන්ටේනර් තුල තවදුරටත් විෂ සහිත රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තිබේදැයි සොයා බැලීමටත් එසේ ඇත්නම් ඒවා වහාම ඉවත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නාරා ආයතනය වරාය අධිකාරිය වෙළඳ නාවික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් විශේෂ කමිටුවක් ද පත්කර තිබෙනවා.

අදාළ කමිටුව විසින් මේවන විට මුහුදුබත්ව ඇති නෞකාවේ කන්ටේනර් තුල අඩංගු ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවක් සතියක් තුල ලබාගැනීමට නියමිත අතර එය ලැබුණු පසු ඉදිරි කටයුතු සැලසුම් කිරීමටයි තීරණය කෙරුනේ.

******************************************

(05.07.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා අදත් (05) දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සංවිධාන කර තිබුණා.

ගොවි සංවිධාන කිහිපයක් එක්ව පූගොඩ – මණ්ඩාවල බෝධිය ඉදිරිපිට දී දේව කන්නලව්වක් හා විරෝධතාවක් පවත්වනු ලැබුවේ පොහොර හිඟයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

දියතලාව – ගල්ඒදණ්ඩ වෙල් යායේදී ද ගොවීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

එමෙන්ම, අනුරාධපුර නගරයේ ද අද (05) විරෝධතාවක් පැවැත්වුණේ තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින්.

මේ අතර, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නාවලපිටිය – ගලබඩ වතුයායේ වගා නොකළ ඉඩම් අක්කර 100 ක කාබනික මිරිස් වගා ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එක් අයෙකුට අක්කර භාගය බැගින් තරුණ තරුණියන් 200 කට අදාළ අක්කර 100 ලබාදී තිබෙනවා. බිම් සැකසීම, ජලනල එළීම, පැල තවාන් කිරීම, මේ වනවිටත් සිදුකරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙරටට අවශ්‍ය වියලි මිරිස් මේ වනවිට ආනයනය කෙරෙන අතර, එය නතර කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

******************************************

(05.07.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

සුඛෝපභෝගි භාණ්ඩ ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් මහබැංකුව කතිකාවතක් ආරම්භ කර ඇතත් ඒ පිළිබද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ආනයන සීමා කිරිමේ රජයේ සුදානමක් පිළිබදව සමාජ මාධ්‍යයේ වාර්තා වීමත් සමඟ ඒ පිළිබද සමාජයේ දැඩි කථාබහක් නිර්මාණය වුණා.

ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, සුවඳ විලවුන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට නොවැටෙන උපකරණ ගණනාවක් සඳහා ආනයන සීමා පැනවෙනු ඇති බවටයි වාර්තා වූයේ.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ගෙන් ද අප මේ පිළිබදව ඊයේ (04) විමසා සිටි අතර ඔහු එහිදී කියා සිටියේ එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි ෴

******************************************

අපයෝජකයා කොටු කළ ‘හිරු සී.අයි.ඒ.’

(05.07.2021 – 20:14 +0530 – hirunews.lk/sinhala)

ෆේස් බුක් හරහා කාන්තාවන් සමඟ මිතුරු වී ඔවුන්ගේ දර්ශන ලබාගෙන බලපෑම් සිදුකරන පුද්ගලයෙකු නීතියේ රැහැනට කොටු කර දීමට ‘හිරු සී.අයි.ඒ.’ සමත් වුණා.

අද (05) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

වයස අවුරුදු 40 ක් වන මෙම කාන්තාව සිය සැමියාගෙන් වෙන්ව දරුවා සමග ජීවත්වන්නේ ගල්ගමුව ප්‍රදේශයේයි.

පසුගිය කාලයේ ෆේස්බුක් හරහා 31 හැවිරිදි එක්දරු පියෙකු මෙම කාන්තාව සමග මිතුරු වී තිබෙනවා.

එලෙස විවාහය සදහා කැමත්ත පළ කළ පසු මෙම පුද්ගලයා නිරන්තරයෙන් අදාළ කාන්තාව සමග බහින් බස්වීම් ඇති කරගෙන තිබුනා.

ඒ සම්බන්ධයෙන් හමු වී සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි ඔහු පවසා ඇත්තේ.

ඒ අනුව පසුගිය දිනක මෙම කාන්තාව ලැගුම් හලක් වෙත රැගෙනයාමට කටයුතු කළා.

එහිදී කාන්තාවට විවිධ වධහිංසා පමුනුවා ජංගම දුරකථනයෙන් එම සිද්ධිය පටිගත කිරීමට තරම් මෙම පුද්ගලයා සාහසික වී තිබෙනවා.

******************************************

(05.07.2021 – 22:31 +0530 – hirunews.lk/sinhala)

‘පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්’ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා ෴

******************************************

(05.07.2021 – 22:27 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවන් අපයෝජකයින්ගෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීම සමස්ථ සමාජයටම පැවරී ඇති අත්නොහැරිය යුතු කටයුත්තක් බැවින් කොන්දේසි විරහිතව ළමා අපයෝජකයින්ට එරෙහිවීම සහ ඔවුන්ට එරෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සදහා බලකිරීමත් එක්ව කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මේ බව සදහන් කලේ වයස අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය මගින් අලෙවි කොට අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව සහ කණස්සල්ල පලකරමින්.

වයස අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කොට අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම අවශ්‍ය බවයි අමාත්‍යවරිය කියාසිටියේ.

ළමා අපයෝජනය සම්බන්ධයෙන් වාර්තාවූ පළමු සිදුවීම මෙය නොවන බැවින් තවදුරටත් එවැනි සිදුවීම් සිදුනොවන පරිසරයක් නිර්මාණය කිරීම සැමගේ වගකීම බව ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තියට අනුව දරුවන් අපයෝජනය සදහා පොළඹවා ගන්නා ඕනෑම අයෙකුට එරෙහිව අවුරුදු 10 කට වඩා වැඩිකාලයක් බන්ධනාගාරගත කිරීම හෝ දඩයක් නියම කිරීම හෝ දඩුවම් දෙකම (2) ලබාදිය හැකි වුව ද ළමා අපයෝජනයන්ට එරෙහි නීතිය තවදුරටත් දැඩිකල යුතු බවයි ඇය කියාසිටියේ.

අපයෝජකයින්ට දරුවන් දෙස නොබැලීමට පවා බියවන සුළු නීතියක් මෙන්ම අපයෝජකයින්ට දරුවන් වෙත ප්‍රවේශ විය හැකි සියලු මාර්ග අවහිර කල හැකි සමාජ පරිසරයක් ගොඩනැගීම සැමදෙනාගේම වගකීම බව ද වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා.

මෙහිදී ළමාරක්ෂක අධිකාරියට ප්‍රමුඛ කාර්යයක් පැවරී ඇති අතර විධිමත් ක්‍රමවේද ඔස්සේ දරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබිය යුතු බව ද අමාත්‍යවරිය සිහිපත් කරනවා.

කොවිඩ්-19 හේතුවෙන් දරුවන් අන්තර්ජාලයට යොමුවීමේ ප්‍රවණතාවය වැඩිවී ඇති අතර එහි බරපතලම කාරණය වන්නේ ඇතැම් පිරිස් සූක්ෂ්මව දරුවන් අන්තර්ජාලය හරහා ලිංගික හා මානසික අපයෝජනයට ලක්කිරීමට උත්සාහ ගැනීමයි.

ඒ පිළිබදව දෙමව්පියන්ගේ සහ වැඩිහිටියන්ගේ අවධානය ගිලිහීමත් හේතුවෙන් අනාගත සමාජ පරිහානියකට අතවනන තත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් කියාසිටියේ ෴

******************************************

(05.07.2021 – 23:13 +0530 – hirunews.lk/sinhala)

පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා විදුලිය ලබාගැනීමට මුතුරාජවෙල තෙත් බිමෙන් අක්කර 100 ක් ගොඩකිරීමේ සූදානමක් පවතින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් පවසනවා.

අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ අදහස් පළ කළා.

******************************************

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් 05.07.2021 දින පැවැත්වූ මාධ්‍යය සාකච්ඡාව :

[ https://www.youtube.com/watch?v=gaRfKoZy3Ao ]

@@@@@@@@@@@@@@@

(05.07.2021 – 18:28 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 32 ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3268 ක් ලෙසටයි.

මෙම මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 14 ක් සහ කාන්තාවන් 18 ක් වනවා.

අවුරුදු 30 ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මියගිය පිරිසට අයත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 5 ක් සහ කාන්තාවන් 5 ක් ද මියගොස් තිබෙනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 8 ක් සහ කාන්තාවන් 13 ක් ද ඊයේ (04) තහවුරු කළ මරණ 32 අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 581 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත ආසාදිනයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 266,211 ක් ලෙසටයි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 235 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (05) දිනයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 816 ක්. දින ගණනාවකට පසු දෛනිකව අඩුම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවූයේ ද අද (05) දිනයේයි. ශ්‍රී ලංකාවෙන් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 266,446 ක් ෴

+++++++++++++++++++++

(05.07.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට රට පූර්ණ වශයෙන් විවෘත කිරීමේ හැකියාවක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මේ වනවිට කොරෝනා වෛරසයට එරෙහිව එන්නත්කරණයත් සමඟ එලෙස රට සම්පූර්ණ වශයෙන් විවෘත කිරීමේ හැකියාවක් පවතින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපති කාර්යාලයේ අද (05) පැවති 99 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ගොවියාටත්, පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට සිදුකළ හැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන් සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බව ද පෙන්වා දුන්නා.

+++++++++++++++++++++

(05.07.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (04) දිනයේ දී කොරෝනා මරණ 32 ක් සිදුව ඇති අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 3268 ක් දක්වා ඉහළ ගියා.

මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩි පිරිසක් හමුවී ඇත්තේ කොළඹ මහ නගර සභා සීමාවෙන් බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

මේ අතර, මංගල උත්සව පැවැත්වීම සඳහා ද නිරෝධායන නීතීන්ට සහ 50 දෙනෙකුගේ අවම සීමාවකට යටත්ව අවසර ලබාදෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය අද (05) ජනාධිපතිවරයා වෙත සංදේශයක් භාරදුන්නා.

මේ අතර, මීගහතැන්න – මොරගල – ලියන්ගොඩ ප්‍රදේශයේ දී, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහරදුන් නිරෝධායනයට ලක්කර සිටි තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා මීගහතැන්න පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඥාතියෙකුගේ අවමංගල්‍යයකට, පහරදීම සිදුකළ තරුණයා නිරෝධායන කාලය තුළ සහභාගි වී ඇති අතර, ඊට ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා විරෝධය පළ කර තිබෙනවා.

එහිදී ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, නුවරඑළියේ ළමා නිවාසයක 45 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඉන් 37 දෙනෙකුම ළමයින් වන අතර, අනෙක් පිරිස කාර්ය මණ්ඩල සාමාජිකයින්.

මේ අතර කොරෝනා ආසාදිතව සුවය ලබා සිටි බවට වාර්තා වූ දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ තෝර් නැමති සිංහයා මේ වනවිට නියුමෝනියා රෝග තත්වයෙන් පෙළෙන බව අද (05) වාර්තාවුණා.

කෙසේ වෙතත් වනජීවී රැකවරණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සඳහන් කළේ එම සත්වයාගේ තත්වය අසාධ්‍ය බවට මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බවයි.

+++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *