තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා

තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා

*********************************************

තෙල් බවුසර්යෙන් මතුවූ ගංජා

(04.07.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය කරන බවුසර්යක් උපයෝගී කරගනිමින් ගංජා ප්‍රවාහනයය කළ බවුසර් රථයක රියැදුරු සහ සහායකයන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත් වුනා.

ලද තොරතුරක් මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ඊයේ (03) සවස මෙම බවුසර් රථය සහ එහි ගමන් ගත් පුද්ගලයින් තිදෙනා (3) පොලිස් අත්අඩංගුවට ගැනුණා.

බවුසර් රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී ගංජා කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් දෙසිය පනහක් (2.25) පොලිස් භාරයට ගත් බවයි මීරිගම පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ.

බවුසර් රථයේ රියදුරු සහ සහායකයින් දෙදෙනා (2) අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීම්ට නියමිතයි.

ගම්පහ ජා ඇල ප්‍රදේශයේ පෞද්ගලික ප්‍රවාහන සමාගමකටකට අයත් මෙම බවුසර් රථය උපයෝගී කරගෙන මෙම ගංජා ප්‍රවාහනය කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවයි මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ෴

******************************************

(04.07.2021 – 12:27 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදිවුණු මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය බලධාරීන්ගේ නිසි කලමණාකාරීත්වයක් නොමැතිකම හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති බවට ගෝවීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ ඒ හේතුවෙන් තමන් ආර්ථික අපහසුතා රැසකට මුහුණ පා ඇති බවයි.

2017 වර්ෂයේ ජනතා අයිතියට පත් කළ මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය ඉදිකෙරුණේ රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කරමින්.

එම මධ්‍යස්ථානය කඩ කාමර 28 ක්, පරිපාලන ගොඩනැගිල්ලක් සහ කාර්යාල කාමර 2 කින් සමන්විතයි.

උතුරු මැද පළාත් සභාවට අයත් මෙම මධ්‍යස්ථානය ජල විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව ඉදි වුවත් මේ වනවිට එය උපන්ගෙයිම මියගොස් ඇති තත්ත්වයකට පත්ව තිබෙනවා.

ගොවීන් චෝදනා කරන්නේ එවක බලධාරීන් අවිධිමත් ලෙස සිදුකළ කඩ කාමර බෙදාහැරීම ඊට ප්‍රධානතම හේතුව බවයි.

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමාන තත්ත්වය සොයා බැලීමට මැදවච්චිය විවිධ සේවා සමුපකාර සමිතියේ නිලධාරින් පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.

කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය කරගත් මැදවච්චිය ගොවි ජනතාවට දඹුල්ල වැනි දුර බැහැර ආර්ථික මධ්‍යස්ථාන කරා නොගොස් එම ප්‍රදේශයේම පවතින මෙම මධ්‍යස්ථානයෙන් බෝග අලෙවි කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නම් එය ඉහළ ආදායමක් ඉපැයීමට ඔවුන්ට මහඟු අවස්ථාවක් වනු ඇති.

මැදව්ච්චිය ආර්ථික මධ්‍යස්ථානය මෙලෙස වසාදමා තිබීම පාරිභෝගිකයාට මෙන්ම ගොවියාටද සිදුකරන බරපතළ අසාධාරණයක් බව නිලධාරීන්ටම වැටහී එය කඩිනමින් ප්‍රයෝජනයට ගැනීමට හැකි තත්ත්වයට පත් කරනු ඇතැයි යන්න ප්‍රදේශවාසීන්ගේ අපේක්ෂාවයි.

******************************************

(04.07.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ පිහිටි දූපත් කොටස වසර ගණනාවක සිට මුහුදු ඛාදනයට ලක්වෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් කළුතර උතුර සහ කළුතර දකුණ පාලම් දෙක සම්බන්ධ වී ඇති දූපත වසර ගණනාවක සිට ඛාදනයට ලක්වෙමින් පවතින අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ එම දූපත් කොටස මේ වනවිට දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇති බවයි.

දූපත ආරක්ෂා කර ගැනීමට කිසියම් ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකළහොත් පාලම්වලට පවා දැඩි අවදානම් තත්ත්වයකට ලක්විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ග ගන්නේ නම් තමන් ද ඊට සහය ලබාදෙන බවයි.

කැලිඩෝ වෙරළ තීරය සහ දූපත් කොටස රැක ගැනීමට බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවන තෙක් හිරු කැමරා නෙත අවධියෙන්.

******************************************

(04.07.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(04.07.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

කටුනායක හා මත්තල ගුවන්තොටුපල දෙක (2) ලොව සෞඛ්‍යාරක්ෂිතම ගුවන්තොටුපල 600 අතරට ඇතුළත්ව ඇති බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ලොව ගුවන්තොටුපල 17,000 ක් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකදී මේ බව අනාවරණ වී ඇති බවයි ෴

******************************************

(04.07.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – මාතර දුම්රිය මාර්ගයේ අහංගම, දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරකින් කරාපිටිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන හෙද නිලධාරිනියක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය සැමියා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (04) පෙරවරුවේ ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ හෙද නිලධාරිනියගේ සැමියාට කිසිදු අනතුරක් වී නොමැති අතර ඔහු දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ගමන් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(04.07.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

මිනිස් ජාවාරම් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සැලකිය යුතු උත්සාහයක් දරමින් සිටින බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, ජාවාරම සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා වන ප්‍රමිතීන් ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් සපුරා නොමැති බවයි ඊට අදාළ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

අදාළ ජාවාරම්වලට අනුබල දෙන නිලධාරින් සම්බන්ධයෙන් නව පරීක්ෂණ ආරම්භ කිරීමේ වැදගත්කම ද අවධාරණය කරන රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව සංක්‍රමණ ජාවාරම් සම්බන්ධයෙන් වන වාර්තාවේ දෙවන ස්ථරයට ඇතුළත් කර තිබෙනවා ෴

******************************************

(04.07.2021 – 17:04 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – කොච්චිකඩේ – සොයිසාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා ලබන 09 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කාන්තාවකට සහ ඇගේ පුත්‍රයාට මත්ද්‍රව්‍ය ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ කාන්තාව ඇගේ පුත්‍රයා මෙන්ම ඔහුගේ බිරිඳ ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

******************************************

(04.07.2021 – 17:09 +0530 – hirunews.lk/sinhala)

පරිසරයට හානි කරමින් නීතිවිරෝධීව වැලි කැනීම් සිදුකළ පුද්ගලයින් 18 දෙනෙකු ත්‍රිකුණාමලය – සිත්තාරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 22 වන පාබල සේනාංකය යටතේ 4 වන විශේෂ බලකාය සහ 15 වන ඩ්‍රෝන රෙජිමේන්තු කණ්ඩායම ඊයේ (03) සිදුකළ මෙහෙයුමකදීයි.

මෙම මෙහෙයුමේදී බෝට්ටු 4 ක් සහ ටිපර් රථ 3 ක් ද තම භාරයට ගත් බවයි යුද හමුදාව සඳහන් කළේ ෴

@@@@@@@@@@@@@@@

(04.07.2021 – 11:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන්, පාකිස්ථානයෙන් සහ බංග්ලාදේශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙනයාම ජූලි මස 15 වනදා දක්වා අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවාව තීරණය කර තිබෙනවා.

එමෙන්ම පසුගිය සති දෙකක (2) කාලය තුළ මෙම රටවල සංචාරය කළ කිසිදු පුද්ගලයකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජූලි 15 දක්වා ඇතුළුවීමට ද අවසර නොලැබෙනු ඇති.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ රන් වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවයි එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කරන්නේ.

මේ අතර ඊයේ (03) දිනයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඉන්දියාවෙන් සංචාරකයින් එරටට ගෙන්වා ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කළා ෴

+++++++++++++++++++++

(04.07.2021 – 12:36 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (03) හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 1262 දෙදෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කටුනායක ප්‍රදේශයෙන් ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 224 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඊයේ (03) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 98 දෙනෙකු පමණක් හඳුනාගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 105 ක්.

එසේම, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ මහ වස්කඩුව දකුණ ග්‍රම නිලධාරී වසම සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ බෙරමන දකුණ ග්‍රාම නිලධාරී වසම අද (04) හුදෙකලාභාවයෙන් නිදහස් කෙරුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි පොලිස් බල ප්‍රදේශයේ පෙරියකල්ලාර් දෙක, පෙරියකල්ලාර් තුන සහ පෙරියකල්ලාර් තුන දකුණ ග්‍රාම නිලධාරී වසම්වලද හුදෙකලාභාවය ඉවත් කර තිබෙනවා.

මීට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරදෙනියවත්ත අද (04) පෙරවරු හයේ (06:00) සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, අද (04) අලුයම දිවයිනට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ත් සමග මෙරටට ගෙන්වා ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 51 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (03) දිනයේදී පුද්ගලයින් 63,704 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්ථානයේ සිට මගීන් රැගෙන යාම අත්හිටුවීමට ගත් තීරණය ජුලි 15 දක්වා දීර්ඝ කරන බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා.

++++++++++++++++++++

(04.07.2021 – 12:43 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් පරිපුරක වෛද්‍ය සේවා වෘත්තියවේදින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ (03) ආරම්භ කළ සංකේත වර්ජනය අද (04) දිනයේත් ක්‍රියාත්මකයි.

වැටුප් ගැටළු විසදිම සහ සෞඛ්‍ය සේවාවට අයත් එක් කේෂ්ත්‍රයක් වන හෙද නිළධාරින්ගේ ගැටළු කිහිපයකට රජය විසදුම් ලබා දිමට ගත් තිරණය විරෝධය දක්වමින් ක්‍රියාත්මක මෙම සංකේත වර්ජනය අදත් (04) පෙරවරු 8 සිට දහවල් 12 දක්වා ක්‍රියාත්මකයි.

ඊයේ (03) සිදු කළ සංකේත වර්ජනයේදි රෝහල් වල රසායනාගාර කටයුතු සහ සෞඛය ප්‍රාථමික සේවාවන් වලට බාධා එල්ල වුණා. මේ හේතුවෙන් රෝහල් සායන වලින් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් පත් වුයේ දැඩි අපහසුතාවයකටයි.

ගැටළු වලට විසදුම් ලබා දිමට බලධාරින් කටයුතු නොකළහොත් හෙට (05) සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ.

+++++++++++++++++++

(04.07.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 26,000 ක් හෙට (05) දිනයේ දිවයිනට ළගා වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ දකුණු ආසියානු කලාපයෙන් ෆයිසර් එන්නත හිමිවන පළමු රට වන්නේ ශ්‍රී ලංකාව බවයි.

එලෙස දිවයිනට ලැබෙන ෆයිසර් එන්නත් ලබා දෙන කණ්ඩායම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුවක් විසින් සලකා බලමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *