යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන

යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන

*********************************************

යුධ හමුදා කණ්ඩායමක් නොරොච්චෝලේ දී පුද්ගලයෙක් පැහැරගෙන

(04.07.2021 – 07:03 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහර දිමක් සම්බන්ධයෙන් යුද හමුදාවේ කපිතාන්වරයෙකු, කෝප්‍රල්වරයෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට යුද හමුදා පොලිසිය කටයුතු කලා.

පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දීමක් සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලිසියට පසුගිය තිස් වැනිදා (30) පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම සිද්ධියට යුදහමුදාවෙ කපිතාන්වරයෙකු, කෝප්‍ර්ල්වරයෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙකු (2) සම්බන්ධ බවටයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව යුද හමුදා පොලිසිය මගින් සිදු කළ පරීක්ෂණ වලදී අදාල කපිතාන් කපිතාන්වරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ සේරු නුවර කල්ලාර් යුද හමුදා කදවුරේ සේවය කල හමුදා සාමාජිකයින් පිරිසක්.

අත්අඩංගුවට ගත් හමුදා කපිතාන්වරයා ඇතුළු සිව් දෙනා නොරොච්චෝලේ පොලිසියට භාරදී තිබෙනවා.

මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම සිදුවීම පෞද්ගලික අමනාපයක් මත කරන ලද පෙළඹවීම්ක් හේතුවෙන් සිදු කරන ලද්දක් බවයි.

අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් සිව් දෙනා (4) අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීම්ට නියමිතයි.

මේ අතර පොලිසියෙන් බව පවසා පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දීමක් සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විසින් ද පුද්ගලයින් තිදෙනෙකු (3) ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

******************************************

(04.07.2021 – 07:09 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා දකුණු වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ පරීක්ෂණ වලින් අනතුරුව තහවුරු කරගත් තොරතුරු මත මේ වන විට ඩුබායි රාජ්‍යයේ පදිංචිව සිටින ‘හරක් කටා’ නමැත්තාගෙ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාව පැදවු ස්කීපර්වරයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී තිබෙනවා.

අදාළ පුද්ගලයා භාරේ තිබූ, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ පනස් දෙකකට (52,00,000) අධික මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඊයේ (03) මාතර කෝට්ටේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුට ගත් මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශකවරයා කියා සිටියා.

ජාත්‍යන්තර මුහුදේ දී ලබා ගන්නා මත්ද්‍රව්‍ය තොග මෙම පුද්ගලයා විසින් පදවන ලද ට්‍රෝලර් යාත්‍රාවට පටවා ශ්‍රී ලංකාව ආසන්නයට ගෙන රැගෙන විත් අනතුරුව කුඩා බෝට්ටු මගින් මෙරටට රැගෙන විත් ඇති බවයි මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් අදාල ට්‍රෝලර් යාත්‍රා ස්කීපර්වරයා අද (04) දින මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(04.07.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට මෙරට දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව යළි සමාජය තුළ සංවාදයක් මතුව තිබෙනවා.

එහෙත් යාචක දරුවන් පිළිබඳව බොහෝ දෙනෙකුගෙන් අවධානය යොමු නොවන්නේ ඔවුන් සමාජයේ වෙනම කොටසක් ලෙස ජීවත් වීම නිසාවෙන් ද ?

කොරෝනා ව්‍යාප්තියත් සමඟ සිඟමන් යැදීමේ යෙදුණු බොහෝ දෙනෙකු ගැටලු රැසකට මුහුණදුන් බව රහසක් නොවේ.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආලෝක සංඥා පුවරු අසල රැඳී සිඟමන් යදින බොහෝ දෙනෙකු දරුවෙකුද රැගෙන එම කටයුතුවල නිරත වීම මේ දිනවල සුලභ දසුනක් බවට පත්වෙලා.

සියලුදෙනා දරුවන්ට සිදුවන අපයෝජන පිළිබඳව අවධානය යොමුකරද්දී අපේම දරුවන් පිරිසක් වූ මෙම දරුවන් පිළිබඳව නිසි අවධානයක් යොමු නොවන තරම්.

ඒ අනුව අප මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විමසීමක් කළා.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ ඉදිරියේදී යාචක දරුවන් රෝහල්වල ළමා ඒකක වෙත රැගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේ නියමු ව්‍යාපෘතියක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.

ශ්‍රී ලංකාවේ යාචක කටයුතු පිටුපස ජාවාරම් රැසක් ක්‍රියාත්මක බව සැවොම දන්නා කරුණක්.

එවන් තත්ත්වයක් තුල මෙම දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව අප රටක් ලෙස තවදුරටත් අවධානය යොමුකළ යුතු නොවේ ද ?

******************************************

(04.07.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

දඹදෙණිය රාජධානියේ ඉතිහාසය ගොඩනැගුණු ආකාරය සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ ඵෙතිහාසික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පුරා විද්‍යා කැණීම් ආරම්භ කර තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ ලබන 07 වනදාට යෙදෙන පුරාවිද්‍යා දිනය වෙනුවෙන් ක්‍රියාත්මක ‘පුරා දෙසතියට’ සමගාමීව මෙම කැණීම් ආරම්භ කරන බවයි.

ඒ අනුව භූමියේ ඉහළ සිට පහළට සිදුකරන මෙම සිරස් කැණීම් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මගින් සිදු කරනවා.

එමෙන්ම පුරාවිද්‍යා දිනයට සමගාමීව මෙරට සියලු අම්බලම්වල තොරතුරු ඇතුළත් මධ්‍යස්ථානයක් සංචාරක ආකර්ශනයට ලක්ව ඇති ‘පනාපිටිය අම්බලම’ තුළ (?) ස්ථාපිත කිරීමටද පියවර ගෙන තිබෙනවා.

ලබන 07 වනදාට යෙදෙන පුරාවිද්‍යා දිනය වෙනුවෙන් ක්‍රියාත්මක ‘පුරා දෙසතිය’ ජූලි මස පළමුවනදා (01) සිට ක්‍රියාත්මකයි.

ඊට සමගාමීව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙරට ඔන්ලයින් ක්‍රමයට සිදු කරන විශේෂ පාඨමාලා 05 ක් ආරම්භ කර තිබෙනවා. ඒ, ශිලා ලේඛණ කියවීමට සාමාන්‍ය ජනතාව හුරු කිරීම, පුරාණ කාසි පිළිබඳ දැනුම ලබා දීම ඇතුලු අරමුණු කිහිපයක් මුල් කර ගනිමින්.

පුරාවිද්‍යා විශේෂඥයන් මගින් මුදල් අයකිරීමකින් තොරව පවත්වන මෙම පාඨමාලා සඳහා මෙරට ඕනෑම පුද්ගලයෙකුට සහභාගී විය හැකියී.

ඒ පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හෝ ෆේස්බුක් පිටුව තුලින් ලබා ගත හැකි බවයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. (?)

[ http://www.archaeology.gov.lk/ ]

******************************************

(04.07.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිණිගැනීමෙන් මෙරට සාගර කලාපයට එක් වූ අපද්‍රව්‍ය ටොන් 1,500 ක ප්‍රමාණයක් මේ වනවිට ගබාඩා තුළට රැස් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ රසායනික අපද්‍රව්‍ය හා උපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා බලපත්‍රලත් උස්වැටකෙයියාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගබඩා මධ්‍යස්ථාන කිහිපයක් තුළ ඒවා ගබඩා කර ඇති බවයි.

එලෙස රැස්කර ඇති අපද්‍රව්‍ය වලින් බහුතරයක් පරිසරයට හානි කර ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය බවටද මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ තවදුරටත් මෙරට වෙරළ තීරයට අපද්‍රව්‍ය ගොඩ ගසමින් පවතින බවයි.

ඒවා එක්රැස් කිරීමේ කටයුතු සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක බලකාය, නාරා ආයතනය සහ නාවික හමුදාව එක්ව තවදුරටත් සිදු කරනවා.

******************************************

(04.07.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – කොච්චිකඩේ – සොයිසාවත්ත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග කාන්තාවක, ඇගේ පුතු හා ඔහුගේ බිරිඳ මෙන්ම හෙරොයින් ලබාදීමට පැමිණි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පළමුවෙන් අදාළ 24 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 7 යි මිලි ග්‍රෑම් 200 ක් සමගයි.

පසුව ඔහුගේ 50 හැවිරිදි මව හෙරොයින් ග්‍රෑම් 4 යි මිලි ග්‍රෑම් 230 ක් සමග අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය සමත් වී ඇත්තේ. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද රුපියල් 70,000 ක පමණ මුදලක් සමග ඇගේ 28 හැවිරිදි ලේලිය අත්අඩංගුවට ගැණුනා.

එම අවස්ථාවේ ඔවුන්ට හොරොයින් ලබාදීමට පැමිණි අදාළ බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ අයිස් ග්‍රෑම් 3 ක් සමගින්.

ඔහු අඹේපුස්ස තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කරන 30 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙක් ෴

ගතවූ පැය 24 තුළ මාරක රිය අනතුරු මරණ 09 ක් වාර්තා වනවා. මේ අතර යතුරුපැදි අනතුරුවලින් 05 දෙනෙකු මියගොස් ඇති අතර, පදිකයින් 03 දෙනෙකු මියගොස් තිබෙනවා ෴

******************************************

(04.07.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සබඳතා මගින් අදාළ රටවල සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමේ නව වැඩපිළිවෙලක් විදේශ අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

එහිදී පළමු වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ සිංගප්පූරුව සහ බෲනායි රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින්.

කොරෝනා වසංගතය, ශ්‍රී ලංකාවට සිදුකර ඇති බලපෑම අවම කර ගැනීම සඳහා සහය ලබා ගැනීම මෙහි අරමුණයි ෴

@@@@@@@@@@@@@@@

(03.07.2021 – 06:37 +0530 – hirunews.lk/sinhala)

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද (03) අලුයම 04:50 ට දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ, චීනයේ බීජිං නුවර සිට පැමිණි යූ.එල්. 869 දරන ගුවන් යානයෙන්. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම එන්නත් තොගයද සමඟ මේ වනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 51 ක් දිවයිනට ගෙන්වා ඇති බවයි.

+++++++++++++++++++++

(04.07.2021 – 06:49 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් වසමේ සාගරාදෙණිය ප්‍රදේශය අද (04) උදෑසන සිට හුදකලා කර තිබෙනවා.

එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක් අද (04) උදෑසන සිට හුදකලා බවින් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් :

++++++++++++++++++++++++++

(04.07.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (03) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයන් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතරින් වැඩිම පිරිස් වන 112 ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොල ප්‍රදේශයෙන්.

මීට අමතරව මහනුවර ප්‍රදේශයෙන් පුද්ගලයින් 52 දෙනෙකු සහ මාතලේ ප්‍රදේශයෙන් පුද්ගලයින් 47 දෙනකු මෙලෙස නිරෝධාන නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව නිරෝධායන නීති ක්‍රියාත්මක කෙරුණු පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 47,240 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට යන සහ පළාතට ඇතුලුවන ස්ථාන 14 ක සිදුකළ මෙහෙයුම් වලදී පුද්ගලයින් හත්දාස් හැට දෙකක් (7,062) පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී පළාත් සංචරණ සීමා උල්ලංඝණය කළ පුද්ගලයින් එකසිය හැට පස් දෙනෙකුට (165) අවවාද කර ආපසු හරවා යවා තිබෙනවා.

මෙහිදී මෙලෙස ආපසු හරවා යැවුණු වාහන සංඛ්‍යාව 112 ක්.

අද (04) ඉරිදා දිනයේත් සංචරණ නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා පොලිස් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි ෴

++++++++++++++++++++

(04.07.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් පිළිබඳ තොරතුරු සැඟවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

නව කොරෝනා අසාදිතයින් 1,262 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 2,64,057 ක් ලෙස සටහන් වනවා.

ඊයේ (03) වාර්තා වූ ආසාදිතයින් අතරින් 1,251 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 11 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

පසුගිය අප්‍රේල් මස 27 වැනිදා මෙරටින් ආසාදිතයින් 1,111 දෙනෙකු වාර්තා වූ අතර, ඒ අනුව ඊයේ (03) වාර්තා වූ ආසාදිතයින් එම දිනයෙන් පසු මෙරටින් වාර්තා වූ අවම ආසාදිතයින් ගණන වනවා.

කෙසේ වෙතත්, ඊයේ (03) දිනයේදී පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ඉල්ලීම් 13 ක් මුල්කරගනිමින් සංකේත වර්ජනයක නිරත වුණා. අද (04) දිනයේත් එම වර්ජනය ක්‍රියාත්මකයි.

එසේම, පසුගිය 02 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 34 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) පස්වරුවේ තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,191 ක් දක්වා ඉහළ ගියා.

මේ වනවිට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු නව රෝගීන් 13 දෙනෙකු මෙරට ප්‍රදේශ 05 කින් හමුවී ඇති බව කොරෝනා වෛරසයේ ප්‍රභේද සම්බන්ධයෙන් දත්ත යාවත්කාලීන කරන ‘නෙක්ස්ට් ස්ට්‍රේන්’ වෙබ් අඩවිය ප්‍රකාශ කළා.

එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ කොළඹ, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය සහ දෙමටගොඩ යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් වාර්තා වන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සිදුකළ නවතම ප්‍රභේද පරීක්ෂණ වාර්තාව පදනම් කර ගනිමින් ‘නෙක්ස්ට් ස්ට්‍රේන්’ වෙබ් අඩවිය මෙම සංඛ්‍යා දත්ත ප්‍රකාශයට පත්කර තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ (03) පස්වරුව වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නැහැ.

එවැනි තත්ත්වයක් තුළ කොරෝනා ප්‍රභේද පැතිර යාම පිළිබඳව තොරතුරු සැඟවීමේ කිසියම් අවශ්‍යතාවයක් ඇත්දැයි සැකයක් මතුවුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයින් පිළිබඳ තොරතුරු කිසිවක් සැඟවීමට අවශ්‍යතාවක් නොමැති බවයි ෴

++++++++++++++++++++++

(04.07.2021 – 09:01 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ පූනේ හි පිහිටි සීරම් ආයතනය නිෂ්පාදනය කරනු ලබන කොවිශිල්ඩ් එන්නතට යුරෝපා සංගමයේ කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත් ලැයිස්තු අනුමැතිය හිමිවී නැහැ.

මේ අනුව කොවිශිල්ඩ් එන්නත ලබා ගත් පුද්ගලයින්ට යුරෝපා සංගමයේ රටවල් වලට ඇතුළු වීමේ දී බරපතල ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වනු ඇති බවටයි මේ පිළිබඳ වාර්තාවක් පළ කරන හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ.

මේ වන විට යුරෝපා සංගමය එන්නත්කරණය සම්පූර්ණ කරන ලද එම සංගමයේ රටවල්වල වැසියන් සඳහා ඩිජිටල් එන්නත් කරන කේතයක් ඇතුළත් ගමන් බලපත්‍රයක් ලබා දීමට කටයුතු කර ඇති අතර එම ගමන් බලපත්‍රයට කොවිශිල්ඩ් එන්නත අන්තර්ගත නොවන බවයි වාර්ථා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විටත් ඉන්දීය කොවිශිල්ඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබුණ ද යුරෝපා සංගමය ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැහැ.

මීට පෙර යුරෝපා සංගමය ඩිජිටල් එන්නත්කරණ කේතය සම්බන්දයෙන් එතරම් දැඩි තීන්දුවක නොසිටි අතර මෙම නව තීන්දුවත් සමගම එම සංගමයට අයත් සියලු රටවල් කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඩිජිටල් කේතයට අනුමැතිය ලත් එන්නත් පමණක් ඇතුළත් කළ යුතු වෙනවා.

මෙම නව තීරණයත් සමඟ කොවිශිල්ඩ් එන්නතට යුරෝපා ඖෂධ කොමිසමේ අනුමැතිය ද හිමි නොවුණු ඇති.

මේ සමග කොවිශිල්ඩ් එන්නත යුරෝපා සංගමයේ කිසිදු රටකට අපනයනය කිරීමේ අවස්ථාව ද අහිමි වනවා.

මේ වන විට යුරෝපා සංගමය ෆයිසර්, බයෝන්ටෙක්, මොඩෙනා, ඇස්ට්‍රා සෙනෙකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් එම සංගමයේ රටවලට භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

මීට අමතරව තවත් චීන කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත් පෙළක් වන සිනොවැක්, නොවවැක්, කියෝවැක් එන්නත්ද, රුසියාවේ කොවිඩ්-19 වැළැක්වීමේ ප්‍රමුඛතම එන්නත වන ස්පුට්නික් එන්නත ද යුරෝපා ඖෂධ සංගමයේ වාරණයට ලක් වූ එන්නත් අතර වනවා.

මේ අනුව මෙම එන්නත් ලබා ගත් සංචාරකයින්ටද යුරෝපා සංගමයේ රටවලට ඇතුළුවීමේදී නිරෝධායන වීමකින් තොරව නිදහසේ ගමන් කිරීමේ අවස්ථාව අහිමිවනු ඇති.

මේ අතර කොවිෂීල්ඩ් එන්නත, යුරෝපා සංගම් එන්නත්කරණ කේතයට ඇතුළත් නොකෙරුණු බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන්, යුරෝපා සංගමය එහි ඉන්දිය තානාපතිවරයා දැනුවත් කර පවසා ඇත්තේ, කොවිෂිල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින්ට බාධාවකින් තොරව යුරෝපා සංගමයේ රටවල සංචාරය කළ හැකි බවයි.

මීට පෙර කොවිශීල්ඩ් එන්නත ලබාගත් සංචාරකයින්ට යුරෝපා සංගමයේ රටවල නිදහසේ සංචාරය කළ හැකි ගමන් බලපත්‍ර ලැයිස්තුවට ඇතුළත් කර තිබුණේ නැහැ ෴

+++++++++++++++++++++++

(04.07.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (03) දිනයේදී පුද්ගලයින් 63,704 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 34,915 දෙනෙකුට ඊයේ (03) ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 28,071 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (03) පුද්ගලයින් 718 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 19,11,208 ක් වන අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 8,36,814 ක්.

එසේම, කොවිෂීල්ඩ් පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 9,25,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 3,84,047 දෙනෙකුට ලබාදී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,14,795 ක්. එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,427 ක් වනවා ෴

+++++++++++++++++++

(04.07.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (03) හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 1262 දෙදෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කටුනායක ප්‍රදේශයෙන් ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 224 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඊයේ (03) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 98 දෙනෙකු පමණක් හඳුනාගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 105 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *