ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 18 ක් ශ්‍රී ලංකාවේ

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 18 ක් ශ්‍රී ලංකාවේ

*********************************************

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 18 ක් ශ්‍රී ලංකාවේ

(03.07.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව 18 ක්.

කෙසේවෙතත් කොවිඩ් 19 වසංගත තත්වය සම්බන්ධයෙන් අනුක්‍රමික ජානමය සාම්පල මගින් සිදු කෙරෙන සමීක්ෂණ දත්ත වාර්තා පමණක් පදනම් කරගෙන තොරතුරු පළකරන ‘නෙක්ස්ට් ස්ට්‍රේන්’ ( https://nextstrain.org/ ) වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ ඔවුන් සතුව ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 109 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

කෙසේවෙතත් මෙම අනුක්‍රමික ජානමය සාම්පල මගින් සිදු කෙරෙන දීර්ඝ පරීක්ෂණ වාර්තා පිළිබඳ සියලු තොරතුරු ඔවුන් සතුව නොමැති බවත් කෙසේවෙතත් ලැබී ඇති දත්ත හා තොරතුරු මත පදනම්ව ඔවුන් මෙම වාර්තා සකස් කරන බවත් සඳහන් කරනවා.

මෙම වෙබ් අඩවියට අනුව ආසියානු කලාපයේ බංග්ලාදේශයෙන් ආසාදිතයන් 121 ක් මියන්මාරයෙන් ආසාදිතයින් 12 ක් නේපාලයෙන් ආසාදිතයින් 31 ක් පකිස්ථානයෙන් ආසාදිතයන් 62 ක් වශයෙන් රෝගීන් වාර්තාවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම සංගණනයට ගැනෙන බොහෝ රටවල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් මීට වැඩි සංඛ්‍යාවක් සිටිය හැකි බවත් අනුක්‍රමික ජානමය සාම්පල හරහා සිදුකෙරෙන පරීක්ෂණ වාර්තා පමණක් මෙම තොරතුරුවලට පදනම් කරගන්නා බැවින් ඉහත කී සංඛ්‍යා අඩු අගයක් ගන්නා බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙරට කොරෝනා වෛරස් ප්‍රභේද පැතිරයාම පිළිබඳ පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින්.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ 95% කට වැඩි ව්‍යාප්තියක් ඇති බ්‍රිතාන්‍ය – කෙන්ට් කොරෝනා ප්‍රභේදයද පසුගිය අප්‍රේල් මාසයේදී අනාවරණ කරනු ලැබුවේ එම පර්යේෂණ කණ්ඩායමයි.

ඊට පෙරද ශ්‍රී ලංකාවට ආවේණික කොරෝනා ප්‍රභේදය මෙන්ම දකුණු අප්‍රිකානු, නයිජීරියානු සහ තවත් කොරෝනා වෛරස් ප්‍රභේද කිහිපයක් ශ්‍රී ලංකාවේ පැතිර යන බවට එම පර්යේෂණ කණ්ඩායම තොරතුරු හෙලි කළා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනය සෑම මසකට වරක් ප්‍රභේදයන් පැතිර යාම පිළිබඳ මෙම පර්යේෂණ වාර්තා එළිදක්වනු ලබනවා.

ඔවුන් එම ප්‍රභේදයන් පිළිබඳ සමස්ත විස්තර වාර්තාවක් ජනතාවගේ දැන ගැනීම පිණිස මාධ්‍ය හමු කැඳවමින් මීට පෙර ඉදිරිපත් කරනු දක්නට ලැබුණා.

අද (03) පෙරවරුවේ නවතම ප්‍රභේද වාර්තාව ජයවර්ධනපුර සරසවියේ පර්යේෂණ කණ්ඩායම විසින් සෞඛ්‍ය අමාත්‍ය ලේකම්, මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ වෙත භාරදී තිබුණා.

කෙසේ වෙතත්, එම සරසවියේ තොරතුරු මුලාශ්‍රවලින් අදාළ වාර්තාවේ සංඛ්‍යා දත්ත ලබාගැනීමට අප උත්සාහ කළද එය ව්‍යර්ථ වූයේ සෞඛ්‍ය ලේකම්වරයා අමාත්‍යාංශයේ විශ්ලේෂණයට පෙර එම තොරතුරු මුදානොහරින ලෙසට කළ දැනුම්දීමක් හේතුවෙන්.

පසුව හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට පැය ගණනාවක් පුරා උත්සාහ කළා.

එහෙත් ඔහු සිය ජංගම දුරකතනයට ලැබෙන ඇමතුම් කාර්යාලීය දුරකතනය හා සම්බන්ධවීමට සලස්වා තිබීම හේතුවෙන් අපගේ උත්සාහය සාර්ථක වූයේ නැහැ.

පසුව අප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සම්බන්ධ කර ගැනීමටද උත්සාහ කළේ නෙක්ස්ට් ස්ට්‍රේන් වෙබ් අඩවිය මගින් අනාවරණ කර ඇති නවතම ප්‍රභේද විශ්ලේෂණය පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත්, ඔහුද සිය ජංගම දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි හෝ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණා.

චීනයෙන් ආරම්භ වී ලොව පුරා ප්‍රබල ආර්ථිකයන්ට බලපෑම් එල්ල කරමින් කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් පැතිර යනු ලබන්නේ දරුණු විකෘති ප්‍රභේදයන් කිහිපයක්ම නිර්මාණය කරමින්.

මේ වනවිට ලෝකය පුරා සීග්‍රයෙන්ම පැතිර යන ප්‍රබලම කොරෝනා ප්‍රභේදය ලෙස සැලකෙන්නේ මෙලෙස මෙරට දිස්ත්‍රික්ක 04 කින් රෝගීන් වාර්තා වී ඇති ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයයි.

අසල්වැසි ඉන්දියාව මෙම ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් මුලින්ම වාර්තා කළ රට වන අතර, එම හේතුව නිසා එය ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ලෙසද හඳුන්වනු ලැබුවා.

අසල්වැසි ඉන්දියාව දැඩි අපහසුතාවයකට පත් කළ මෙම ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය නිසා ගංගා නදියේ කොරෝනා මෘතදේහ තවමත් පාවෙමින් පවතිනවා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර තිබුණේ සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් මෙරටින් වාර්තා වීමත් සමඟ කොරෝනා ව්‍යාප්තියේ තර්ජනය තීව්‍ර වී ඇති බවයි.

එන්නත් ලබා නොගත් සහ එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් අයට එහි අවදානම දැඩිව පවතින අතර, සැලකිය යුතු පිරිසකට එන්නත් ලබාදෙන තුරු වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග අඛණ්ඩව අනුගමනය කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබුණා.

ප්‍රතිශක්ති හා ජෛව විද්‍යා විශ්ලේෂකයින්ට අනුව ශ්‍රී ලංකාවද මේ වනවිට පසුවන්නේ දරුණු ඩෙල්ටා ප්‍රභේදයේ අඳුරු ආගාධයේ මුල් අදියරේ ලෙස හැඳින්වීම නිවැරදියි.

කෙසේ වෙතත්, මෙවන් පසුබිමකදී වූවද ජාන විශ්ලේෂණ පර්යේෂණ සිදුකිරීම සඳහා මෙරට ඇත්තේ එක් ආයතනයක් පමණයි. ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයයි.

දැනට ශ්‍රී ලංකාව පුරා පැතිර යන ඇල්ෆා ප්‍රභේදයට සාපේක්ෂව බැලීමේදී මෙම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම 50% ක් වේගවත්.

පසුගිය මස 17 වැනිදා ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් පස් දෙනෙකු මුලින්ම දෙමටගොඩ ආරාමය පෙදෙසින් හමුවුණා.

ඉන් අනතුරුව මාදිවෙල, කහතුඩුව ප්‍රදේශවලින් මෙන්ම කොම්පඤ්ඤවීථියේ වැඩ බිමකින්ද ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් කිහිප දෙනෙකු වාර්තා වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම පිළිබඳව පර්යේෂණ මෙහෙයවන මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් පසුගියදා ඉල්ලා අස්වූයේ එවන් පසුබිමකදීයි.

කොරෝනා පළමු රැල්ලේදී වෛරස ව්‍යාප්තිය පාලනය අතින් ශ්‍රී ලංකාව ලොව දස වැනි ස්ථානයට පත්වීම අභිමානයක් වුණා.

එහිදී සිය වගකීම් නිසිලෙස ඉටුකළ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හිටපු සෞඛ්‍ය සේවා ජනරාල් ජයසුන්දර බණ්ඩාර, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන මහත්ම මහත්මීන්ට සිය ධූර අහිමි වීම අදටත් නිසි පිළිතුරක් නොමැති ගැටළුවක්.

මේ අතර, ඊයේ (02) සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 34 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම මරණ අතරින් අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 06 ක්. එසේම, අවුරුදු 60 ඉක්මවූ පුද්ගල මරණ සංඛ්‍යාව 28ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,191 දක්වා ඉහළ යනවා.

අද (03) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1,853 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,31,394 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම අද (03) දිනයේදී තවත් ආසාදිතයින් 1,010 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,63,805 දක්වා ඉහළ ගියා.

++++++++++++++++++++++++

(03.07.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (02) දිනය තුල කොවිඩ් ආසාදිත මරණ 34 ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද (03) දිනයේ තහවුරු කළා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,191ක් දක්වා ඉහළ ගියා. මෙලෙස වාර්තා වී ඇති මරණ අතර කාන්තා මරණ 13 ක් සහ පිරිමි පුද්ගලයින්ගේ මරණ 21 ක් වනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1010 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 263,805 ක් ලෙසටයි.

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 241 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (03) දිනයේ ශ්‍රී ලංකාවෙන් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 1251 ක්. මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 264,046 ක් හමුවී තිබෙනවා ෴

@@@@@@@@@@@@@

(03.07.2021 – 18:58 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 18 ට අඩු දැරියක් ලිංගික කටයුතු හෝ ගණිකා වෘත්තීය සඳහා අලෙවි කිරීමට වසර 20 ක් දක්වා සිර දඩුවම් ලබාදිය හැකි වරදක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙනවා.

එසේම, ළමා අපයෝජකයන්ගෙන් තම දියණියන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ඉතා වගකීමෙන් හා අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම අධිකාරිය සියළු මව්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ගල්කිස්ස ප්‍රදේශයේ අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මේ බව කියා සිටියා.

එම දැරිය අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු වලට අලෙවි කරමින් මෙම අපයෝජනය සිදු කර තිබු අතර එම සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයින් 26 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අතර, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ, මැණික් ව්‍යාපාරිකයෙකු සහ නෞකා කපිතාන්වරයෙකු පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් 16 ක් අත්අඩංගුවට ගැනිමට ද නියමිත බවයි පොලිසිය පැවසුවේ.

පොලිස් නිලධාරින්, ව්‍යාපාරිකයින් හා වෘත්තීකයන් කිහිපදෙනෙකු ද මෙම සිද්ධියට සම්බන්ධ බවයි පොලිස්, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

++++++++++++

(04.07.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කළ වෙබ් අඩවියේ හිමිකරු සහ එහි මුදල් පාලකවරයායී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මෙම සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් අතර, ඔවුන් 45 සහ 43 හැවිරිදි පානදුර සහ පිලියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (02) දිනයේදී තවත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ඒ අතර නැවක කපිතාන්වරයෙකු සහ බලංගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුද වූ අතර, ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 28 ක්.

******************************************

(03.07.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

පරිපූරක වෛද්‍ය වෘත්තීකයන් අද (03) ක්‍රියාත්මක කළ සංකේත වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක ඖෂධාගාර සේවා, රසායනාගාර කටයුතුවලට බාධා එල්ල වුණා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීකයින් එම සංකේත වර්ජනය ආරම්භ කළේ අද (03) පෙරවරු 8 සිට දහවල් 12 දක්වායි.

මේ තත්ත්වය මත රසායනාගාර සේවා, ඖෂධාගාර සේවා ඇතුළු තවත් සේවා රැසකට බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, දින දෙකක් (2) පුරා පැවති හෙද වර්ජනය අද (03) පෙරවරුවේ අවසන් වූයේ ජනාධිපතිවරයා ඊයේ (02) පස්වරුවේ මෙම ගැටළුවලට විසඳුම් ලබාදීමට මැදිහත් වීමත් සමඟයි.

ඒ අනුව, එකම ක්ෂේත්‍රය නියෝජනය කරන එක් පාර්ශවයක ගැටලු වලට පමණක් රජය විසඳුම් ලබාදීම අසාධාරණ බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පරිපූරක වෛද්‍ය වෘත්තීකයන් ක්‍රියාත්මක කළ වර්ජනයට අද (03) පෙරවරුවේ එක්වුණා.

මේ හේතුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ කටයුතුවලට ද අද (03) බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (03) සිදුකළ සංකේත වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ලබන සඳුදා (05) වනවිට සිය ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් අඛන්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.

******************************************

(03.07.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – සත්‍යවාදී පිටියේ ඖෂධ අලෙවි කරමින් සිටි ආයුර්වේද වෛද්‍යවරයෙකු යැයි කියාගත් පුද්ගලයෙකු ඇතුලු 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම පිරිස කුරුණෑගල නගර සභාවේ සේවකයන්ට තර්ජනය කල බවට කුරුණෑගල පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අදාළවයි.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් සතුව රිපීටර් අවියක් සහ වායු රයිෆලයක් සොයා ගෙන ඇති අතර, ජීප් රථ 2 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා විසින් අලෙවි කරන ඖෂධ වල නාමයක් හෝ කිසිදු ලේබලයක් සඳහන් කර නොමැති බවද පොලීසිය සඳහන් කළා.

නගර සභා සේවකයෙකු විසින් ක්‍රීඩා පිටියේ ඖෂධ අලෙවි නොකරන ලෙස දැනුම් දී ඇති අතර, පසුව පිරිස ඔවුන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවටයි නගර සභා සේවකයන් චෝදනා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය, මතුගම, ඇඹිලිපිටිය, පෑලියගොඩ සහ තලවතුගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් පිරිසක්. ඔවුන් මෙලෙස කුරුණෑගල නගරය දක්වා පැමිණ ඇත්තේ සංචරණ සීමා ක්‍රියාත්මක මොහොතක වීම ද විශේෂත්වයක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (04) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(03.07.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)

මීගමුව කොච්චිකඩේ, සොයිසාවත්ත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නියාමකවරයෙකු ඇතුලු 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද වන බව සඳහන්.

එක් කාන්තාවක් සැකකරුවෙකුගේ බිරිඳ වන අතර අනෙක් කාන්තාව සැකකරුගේ මව බවටයි හෙළිවී ඇත්තේ.

බන්ධනාගාර නියාමකවරයා අනෙක් සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ලබාදීමට පැමිණ ඇති බවට සැක කෙරෙනවා ෴

******************************************

(03.07.2021 – 21:45 +0530 – hirunews.lk/sinhala)

ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භ වන්නට තවත් සති 4 ක් පමණක් ඉතිරිව තිබියදී, මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් HIRU RED CARD තුළින් අනාවරණය කළේ වරක් දෙවරක් නොවෙයි.

ඊට ආසන්නතම සිදුවීම අප ඊයේ (02) වාර්තා කළේ ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් නියෝජනය කිරීම සඳහා පරිසාදන මට්ටම ඉක්මවිමේ බලාපොරොත්තුවෙන්.

ඉන්දියාවට ගිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම යළි මෙරට පැමිණීමෙන් පසු මාතර නිල්වලා විද්‍යාපීඨයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන්නට මෙරට ක්‍රීඩා බලධාරීන් ගත් අඥාණ තීරණය සම්බන්ධයෙන්.

ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවන්නට තිබෙන අවසන් දින කිහිපයම වනතුරුම මර නින්දේ පසුවූ මෙරට ක්‍රීඩා බලධාරීන් ඇපයෙන් ගැලවෙන්නාක් සේ මෙම කණ්ඩායම ඉන්දියාව බලා පිටත් කර හැරියේ ඔවුන් යළි දිවයිනට පැමිණි පසු කොළඹ සුගතදාස හෝටල් සංකීර්ණයේදී ජෛව ආරක්ෂිත බුබුළකට යටත්ව සිය පුහුණුවිම් සිදු කරන්නට අවස්ථාව හිමි කර දෙන බවටත් පොරොන්දු වෙමින්.

නමුත්ලඒ සියළු බලාපොරොත්තු කඩවුණු පොරොන්දු බවට පත් කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මාතරදී නිරෝධායනට සඳහා යොමු කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන කොවිඩ් අවදානම ගැනද ක්‍රීඩා බලධාරීන්ට වගේ වගක් නොමැතිවයි.

අපගේ මෙම අනාවනාවරණයෙන් පසු මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹට ගෙන්වා ගැනීමේ ක්‍රියා දාමයට සෘජුව මැදිහත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළා.

ඒ අනුව අද (03) ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ නිරෝධායන මධ්‍යස්ථානයේදී මුහුණ දුන් කොවිඩ් පරීක්ෂණයෙන් අනතුරුව විශේෂ බස් රථයකින් කොළඹ සුගතදාස හෝටල් සංකීර්ණය වෙත රැගෙන ඒමට පියවර ගැනුණා.

ඔවුන් අද (03) පස්වරුවේ සුගතදාස හෝටල් සංකීර්ණය වෙත ලඟා වුණේ මෙලෙසින්.

තමන්ට සිදුවන අසාධාරණයන් සම්බන්ධයෙන් ගෙවුණු දින කිහිපයේදී මාධ්‍යට කරුණු කියූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මින් ඉදිරියට කිසිවක් නොපවසන ලෙස තරවටු කරන්නට ක්‍රීඩා බලධාරීන් අද (03) කටයුතු කර තිබුණේ ද ‘කුරුල්ලන්ට වැට බැන්දා’ යන පිරුළත් සිහිකරමින්.

******************************************

(03.07.2021 – 21:53 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

උදේ නැගිටලා බලන කොට මගේ ගේ නෑ – කොළඹ යට සැගවුණු කදුළු කථාව (03.07.2021)

සංවේදී හදවත් ඇති ඔබටයි මේ ඇරයුම. මොවුනට සවියක් වන්නට එකතු වෙන්න අපිත් එක්ක.
(Melbourne) Australia = +61 45 210 0860
Sri Lanka = +94 71 705 2521
Sri Lanka = +94 77 569 7070
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *