වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ

වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ

*********************************************

වගාවන්ට පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක උද්ඝෝෂණ

(03.07.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

තම වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා අදත් (03) ප්‍රදේශ රැසක විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා.

මේ අතර කාබනික පොහොර භාවිතය දිරිගන්වමින් ප්‍රදේශ කිහිපයක කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් ආරම්භ කර ඇති අතර ගොවීන් පවසන්නේ කාබනික පොහොර යොදා මේ වන විට තමන් සාර්ථක අස්වැන්නක් ලබන බවයි.

පොහොර හිගයට විරෝධය පළ කරමින් අදත් (03) විරෝධතා සහ උද්ඝෝෂණ රැසක් පැවැත්වුණා.

දියතලාව කඳුරුගම ප්‍රදේශයේ පාරම්පරික මල්වගාකරුවන් මුහුණදෙන ගැටලු සොයා බැලීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැමිණියා.

අනුරාධපුර, මහවිලච්චිය ගොවි ජනපදයේ වට්ටක්කා වගා කළ ගොවීන්ට රසායනික පොහොර නොමැතිවීමෙන් අපේක්ෂිත අස්වැන්නක් නොලැබීමේ තත්වයක් මතුව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම ගොවීන්ගේ ගැටලු සොයාබැලිමට එහි නිරීක්ෂනයක නිරත වුණා.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ජනපදයේ ගොවීන් ජෛව තාක්ෂණික කාබනික පොහොර භාවිතයෙන් වී වගාව සිදු කර තිබෙනවා.

ගොවීන් පවසන්නේ කාබනික පොහොර යොදා සිදු කළ තම වී වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබුණු බවයි.

මේ අතර රජයේ කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම අරමුණු කරගනිමින් වැලිකන්ද සෙවනපිටිය ශ්‍රී සාමවර්ධනාරාම විහාරස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.

විහාරාධිපති පූජ්‍ය සංගලක්ෂිතාලංකාර හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ සේවයේ නියුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේද සහය හිමිවනවා.

ප්‍රදේශයේ වැව්වල ඇති ආක්‍රමණශීලි ජලජ ශාක සහ ඉවතලන කැලි කසල යොදාගනිමින් මෙම කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. ආනන්ද මහතා සිය අක්කර එකහමාරක (1½) තේ වගාවට කාබනික පොහොර යොදා මේ වන විට සාර්ථක අස්වැන්නක් ලබන බව පවසනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපයේ දිඹුලාගල විජයබාපුර මහවැලි කොට්ඨාස කාර්යාලය විසින් අරලගංවිල ඉබ්බන්වැව අසල ආදාර්ශ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමණාකාර නොයෙල් ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

මහවැලි බී කලාපයේ ගොවී පවුල් 25,000 ක් අතර මෙය ව්‍යාප්ත කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.

මේ අතර හොරොව්පතාන තිරප්පන ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවි බිම් නිරීක්ෂණයට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතා එක්වුණා.

පසුව අමාත්‍යවරයා මැදවච්චිය හොරොව්පතාන ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ඉඩම් වෙන්කිරීමේ උත්සවයකට සහභාගී වුණා.

******************************************

(03.07.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

දෛනික ජීවිතයේදී විදුලිය කොතරම් වැදගත්ද යත් නාගරිකව විදුලි බලය නොමැති ස්ථානයක් නොමැතිතරම්.

පිටිසර ගම් දනව් පවා මේවන විට විදුලියෙන් ආලෝකවත් වෙද්දී වසර කිහිපයක සිට කොළඹ දිස්ත්‍රික්කයේම පිරිසකට විදුලිබලය නොමැති පුවතක් අපට වාර්තා වුණා.

කොළඹ දිස්ත්‍රික්කය අයත් සීතාවක වැලිකන්න ජපමාල මාවතේ ගල්පොත්තේ ලන්ද ඉඩමේ පවුල් 40 කට අධික පිරිසකට ජීවත් වීම සඳහා ඉඩම් වෙන්කර තිබෙනවා.

එහෙත් මේ වන විට එය ඇණහිට තිබෙන්නේ එම ඉඩම් සඳහා විදුලිය නොමැතිවීම හේතුවෙන්.

ට්‍රාන්සෆෝමරයක් සවිකිරීම ඇතුළු විදුලිය ලබා ගැනීමට අවශ්‍ය සම්පූර්ණ මුදල 2019 වර්ෂයේ දෙසැම්බර් මස 30 වනදා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඔවුන් කටයුතු කර තිබුණා.

අපහසුතා මැද වුවද පවුල් කිහිපයක පිරිසක් මෙම ඉඩම්වල නිවෙස් ඉදිකරගෙන ජීවත් වුවත් රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමකින් යුත් විදුලි යන්ත්‍රෝපකරණ මේවන විට භාවිතයට ගත නොහැකි ලෙස විනාශ වී ඇති බවට පදිංචිකරුවන් පෙන්වා දෙනවා.

******************************************

මහ මගට දැමූ මව්පිය සෙනෙහස

(03.07.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මව්පිය සෙනෙහස නොහඳුනන දියණියක විසින් තම මව සහ පියා නිවසින් පළවා හැරීමේ සිද්ධියක් හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

අව් වැසි මධ්‍යයේ ඔවුන් අද දිවි ගෙවන්නේ බස් නැවතුම්පළකයි.

දස මසක් කුස දරා මෙලොවට බිහිකර ලේ කිරිකර පොවා දරුවන් ඇති දැඩි කරනා මාපිය සෙනෙහෙසට සමකල හැකි කිසිවක් ලොව නැහැ.

ඒ සෙනෙහසට නිගා දුන් තම එකම දියණිය විසින් පළවා හැරි මේ මාපිය යුවළ අපට හමුවූයේ මැදිරිගිරිය බස් නැවතුම්පොලේ සිටියදීයි.

අපට හමුවන විටත් ඔවුන් මෙහි පැමිණ දින 5 ක් ගතව තිබුණා.

සීලවති මව සහ ජෝතිපාල පියා පදිංචිව සිට ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේයි.

දරු දුක වෙනුවෙන් කවදත් හිත් උණුවන මොවුන් තමන් දිවි ගෙවූ නිවස දියණියගේ මුදල් අවශ්‍යතාවක් සපුරාදීමට විකුණා ඇත්තේ 2019 වසරේදීයි.

ඒ කෙදිනක හෝ දියණිය තමන් මහ පාරට ඇද දමනු ඇතැයි ඔවුන් විශ්වාස නොකළ නිසාවෙන්.

සැමියාට ලැබුණු වැඩිහිටි දීමනාවෙන් සහ රෝගී දීමනාව වැය කරමින් වසර 2 ක් තිස්සේ කුලී නිවාසවල දිවි ගෙවූ මේ දෙපළට කොවිඩ් වංසගත තත්ත්වයත් සමග එම දීමනාව අහිමි වී තිබෙනවා.

අවසානයේ ඔවුන් නතර වන්නේ මැදිරිගිරියේ බස් නැවතුම්පොළකයි.

දියණිය පැහැර හැරි වගකීම දින 5 ක් තිස්සේ ඉටුකරමින් මිනිසත්කම හඳුනන අවට ප්‍රදේශවාසීන් මාපිය යුවලට සරණක් වී සිටිනවා.

ඔවුන්ගේ නෙතින් තවමත් ගලන්නේ දරු දුක වෙනුවෙන් උණන කඳුළු නොවන බව කාට නම් කිව හැකි ද ?

******************************************

(03.07.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ළමා අපයෝජකයන්ගෙන් තම දියණියන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ඉතා වගකීමෙන් හා අවධානයෙන් කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියළු මව්වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මේ බව කියා සිටියේ අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේනයක් නිකුත් කරමින්.

එම දැරිය අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු වලට අලෙවි කරමින් මෙම අපයෝජනය සිදු කර තිබු අතර එම සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයින් 26 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් 16 ක් අත්අඩංගුවට ගැනිමට ද නියමිත බවයි පොලිසිය පැවසුවේ ෴

******************************************

(03.07.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් පළවන වාර්තාවන් පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(03.07.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම – දර්ගා නගරයේදී අද (03) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියක තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අඹුසැමියන් වන ඔවුන් සිය යතුරුපැදියෙන් රාජකාරියට යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඌරගස්මංහන්දිය පොලීසියට අනුයුක්තව සේවය කරන අතර, ඔහුගේ බිරිඳ වන සිවිල් ආරක්ෂක නිලධාරිනිය බෙන්තොට පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙක් ෴

******************************************

(03.07.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සහ අපරාධ වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු (3) කේරළයේ අංගමාලි ප්‍රදේශයේදී ඉන්දීය ත්‍රස්ත විරෝධී බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරමින් කේරළයේ රැදී සිට ඇති බවයි.

කේරළයේ සිදුවූ අපරාධ රැසකටම මෙම තිදෙනා (3) සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇති අතර ඔවුන් අංගමාලි – කිඩංගූරු ප්‍රදේශයේ නිවසක රැදී සිට තිබෙනවා ෴

******************************************

(03.07.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි නිලූකා ද සිල්වාට එම පක්ෂයේ සමගි ජන බලවේගයට සහය දක්වන මන්ත්‍රීවරයෙකු වන සමීර ප්‍රනාන්දු ඇතුලු පිරිසක් විසින් පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරිය සීදූව පොලීසිය වෙත කල පැමිණිල්ලකට අදාළවයි.

නිලූකා ද සිල්වා මන්ත්‍රීවරිය විසින් සමීර ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පිළිබඳව පළ කල ෆේස් බුක් සටහනක් පදනම් කර ගනිමින් මෙම පහර දීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරිය මේ වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හිරු ප්‍රවෘත්තී අංශය කල විමසීමකදී ඇය කියා සිටියේ සීදුව නගර සභාව සඳහා නව නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට පසුගියදා පැවති ඡන්ද විමසීමේදී තමන් සහ අදාල මන්ත්‍රීවරයා අතර මත ගැටුමක් සිදුවූ බවයි.

එහිදී පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරිය විසින් නගරාධිපතිධූරය සඳහා ඉදිරිපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික ඩිනල් පෙරේරාට සහය පළ කර ඇති අතර පහර දුන් බව කියන මන්ත්‍රීවරයා විසින් සහය ලබා දී ඇත්තේ නව නගරාධිපතිපතිවරයා ලෙස තේරී පත්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය දරන චමිත් නිශාන්තටයි ෴

******************************************

(03.07.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ඉල්ලා වැලිමඩ – බොරලන්ද ප්‍රදේශයේ පසුගියදා පැවති විරෝධතාවට අදාළව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වීම හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෝගහකුඹුර පොලීසිය තවත් පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී වැලිමඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න ජයසේකර නියෝග කර තිබුණේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමටයි.

මේ අතර, ඉහළ ගිය ඉන්ධන මිලට සහ පොහොර හිඟයට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා පැවැත්වුණා.

ඒ අනුව හබරණ ප්‍රදේශයේ අක්කර 500 ක පමණ ලොකු ලූණු වගා කරන ගොවීන් අද වගා කටයුතු ආරම්භ කර ඇත්තේ රසායනික පොහොර නොමැතිවයි.

පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා ගාල්ලේ කුඩා තේ වතු හිමියන් පිරිසක් ද විරෝධතාවක නිරත වුණා.

මේ අතර, කාබනික පොහොර යොදා සිදුකළ වී වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබුණු බව අනුරාධපුර – රඹෑව ජනපදයේ ගොවීන් පිරිසක් සඳහන් කළා.

එසේම, වැව් වල ඇති ආක්‍රමණශීලි ජලජ ශාක සහ ඉවතලන කැලිකසල යොදා ගෙන වැලිකන්ද ශ්‍රී සාමවර්ධනාරාම විහාරස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

******************************************

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද නව නියමය

(02.07.2021 – cbsl.gov.lk)

විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වාගැනීමට සහාය වීම සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ගරු මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නියමයක් නිකුත් කරන ලද අතර එය 2021 ජූලි 02 දිනැති අංක 2234/49 දරන අති විශේෂ ගැසට් නිවේදනවල පළ කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2021 ජූලි 02 වනදා සිට ආරම්භ වන මාස හයක (06) කාල සීමාව සඳහා පහත දැක්වෙන අත්හිටුවීම්/සීමාකිරීම් ක්‍රියාත්මක වේ.

සම්පුර්ණ ලිපිය : [Sinhala][English] (pdf files)

+++++++++++++++

රජය සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ සූදානමක

(03.07.2021 – 16:39 +0530 – hirunews.lk/sinhala)

රට තුල පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ තවත් පියවරක් වශයෙන් සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ එම ආනයනයන්ට දැඩි සීමා පැනවීමට රජය තීරණය කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එම වාර්තා පෙන්වාදෙන ආකාරයට ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, සුවඳ විළවුන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට නොවැටෙන උපකරණ ගණනාවක් සඳහා ආනයන සීමා පැනවෙනු ඇති.

කෙසේවෙතත් මෙම සීමාවන් පැනවෙන දිනය හෝ එම සීමා කොතෙක් කළක් බලපැවැත්වෙන්නේ ද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

මේවන විටත් සීමා පැනවිය යුතු බඩු භාණ්ඩ ලැයිස්තුවක් සකස් කිරීමේ වගකීම මහ බැංකුවට පවරා ඇති අතර මේ පිළිබඳ ලබන සඳුදා (05) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.

රට තුල මේවන විට බරපතල විදේශ විනිම සංචිත හිඟයක් පවතින අතර මෙම තත්වය තවදුරටත් අයහපත් වීම වළක්වා ගැනීම සඳහා ඉහත තීරණවලට එළඹ ඇති බවයි මහ බැංකු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර පසුගිය සතියේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ අවම තරමින් තවත් වසර දෙකක් (2) යන තුරු මෙරටට වාහනය ආනයනය සීමා පැනවීමට සිදුවනු ඇති බවටයි.

එම නිසා දේශීයව වාහන එකලස් කරන සහ නිපදවන ව්‍යාපාරිකයින් සවිමත් කිරීමේ අවශ්‍යතාවද ඔහු මෙහිදී අවධාරණය කළා.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ පිටරටින් ආනයනය කරන රථ වාහනවල මෙරටදී නිෂ්පාදනය කළ හැකි අමතර කොටස් නිෂ්පාදනය සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු කාලය එළඹ ඇති බවයි.

මේ අතර මෙරට වාණිජ බැංකු තුල පවත්වාගෙන යනු ලබන අනේවාසික විදේශ මුදල් ගිණුම්වලින් මුදල් ලබාගැනීමේදී යම් යම් දුෂ්කරතාවන්ට පත්වන බවට ගිණුම් හිමිකරුවන් අවස්ථා ගණනාවකදී චෝදනා කර තිබුණා.

ඇතැම් ගිණුම් හිමියන් ප්‍රකාශකර තිබුණේ එක් අවස්ථාවක ඇමරිකානු ඩොලර් දහසක (1000) මුදලක් ඔවුන්ගේ අනේවාසික ගිණුමෙන් ලබාගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබූ බවයි.

කෙසේවෙතත් රට තුල පවතින මූල්‍ය වාතාවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සඳහන් කළේ රට තුල ඩොලර් බිලියන 4 ක සංචිතයක් පවතින බවයි.

දේශපාලනික උවමනාවන් මත ඇතැම් පුද්ගලයින් රට තුල ඩොලර් හිඟයක් ඇති බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන බව ඔහු සඳහන් කරනවා.

කෙසේවෙතත් වාණිජ බැංකු සමග සමීපව කටයුතු කරමින් රට තුල ඇති ඩොලර් සංචිත කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව දිගින් දිගටම ක්‍රියා කරන බවයි ඔහු සඳහන් කළේ.

මේවන විට මහ බැංකුව සතුව ඇමරිකානු ඩොලර් බිලියන 4 ක සංචිතයක් ඇති අතර එයට චීන මහජන බැංකුවෙන් ලබාගන්නා ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් එක්වීමට නියමිතයි.

ඊට අමතරව බංග්ලාදේශයෙන් ලබාගන්නා ඩොලර් මිලියන 250 ක් ජුලි මැද භාගයේත් ඉන්දියාවෙන් ලබාගන්නා ඩොලර් මිලියන 400 ක් අගෝස්තු මාසයේදීත් ලැබෙනු ඇති බවටයි ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම අගෝස්තු මාසයේදී තවත් ඇමරිකානු ඩොලර් මිලියන දහසක (1000) ණය ආධාරයක් ඉන්දීය සහයෝගීතාව මත මෙරටට ලැබීමට නියමිතයි.

ඊට අමතරව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් ලෝක බැංකු ණය ආධාර යටතේ අගෝස්තු මාසයේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙරට ඩොලර් සංචිත ශක්තිමත් වන බව මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළකරනවා.

දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශය (28.06.2021)

******************************************

(03.07.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

උඩුගම – නාචියාගම ප්‍රදේශයේ 35 හැවිරිදි කාන්තාවක් තණකොල කපන යන්ත්‍රයකට සිය පාදය හසුවීමෙන් අනතුරුව සිදුවූ අධිර රුධිර වහනයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

උඩුගම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද (03) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර, ඇය බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කළ බවයි.

අනතුරුව එම කාන්තාව මියගොස් තිබෙනවා ෴

@@@@@@@@@@@@@@

(03.07.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1853 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 231,394 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *