සංක්‍රමණ දීමනා අරමුදල් පිටරට යැවීම සීමා කෙරේ

සංක්‍රමණ දීමනා අරමුදල් පිටරට යැවීම සීමා කෙරේ

*********************************************

සංක්‍රමණ දීමනා අරමුදල් පිටරට යැවීම සීමා කෙරේ

(02.07.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

සංක්‍රමණික දීමනාවට හිමිකම් කියන විගාමිකයන් විසින් සංක්‍රමණ දීමනාව යටතේ අරමුදල් ආපසු සියරට යැවීම, ඇමෙරිකානු ඩොලර් 10,000 දක්වා සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.

ඒ අනුව ඕනෑම විදේශ ව්‍යවහාර මුදලකින් එලෙස යැවිය හැකි උපරිමය ඇමෙරිකානු ඩොලර් 10,000 ක්.

එසේම, පොදු අවසරය යටතේ සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන විගාමිකයන් සඳහා සුදුසුකම්ලත් සංක්‍රමණික දීමනාව ද ඇමෙරිකානු ඩොලර් 30,000 දක්වා මෙම ගැසට් නිවේදනයෙන් සීමා කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් පිටත වීසා ලබාගෙන ඇති ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් කරනු ලබන ප්‍රේෂණ සහ විදේශ විනිමය නිකුත් කිරීම ද ඇමෙරිකානු ඩොලර් 20,000 දක්වා සීමා කෙරෙන බවයි.

වෙනත් රටක තාවකාලික නේවාසික වීසා යටතේ ශ්‍රී ලංකාව හැර යාමට අදහස් කරන ශ්‍රී ලංකාව තුල නේවාසික ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ විනිමය නිකුත් කිරීම සීමා කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 10,000 දක්වායි.

+++++++

Extraordinary Gazette : 2234/49 – 2021-07-02
Ministry of Finance – Foreign Exchange Act, No. 12 of 2017 Order under Section 22

[Sinhala][English][Tamil] (pdf files)

******************************************

(02.07.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ ප්‍රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ලක් රජය යුරෝපා සංගමයට දැනුම් දී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ප්‍රගතිය පිළිබඳවද කරුණු දක්වමින්.

ඒ අනුව ජුනි 25 වැනිදා විදේශ අමාත්‍යාංශය විසින් දැනට පවත්නා නීති සම්පාදන, අතීත භාවිතයන් සහ ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් මෙහිදී සමාලෝචනය කෙරෙනු ඇති.

ඊට අදාළව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය යුරෝපා සංගමය වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කල බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය සමග විධිමත් සහ බහුවිධ සංවාදයකට නිරන්තරයෙන් කැපවී සිටින බවත් එහිදී පැහැදිලි කර තිබෙනවා.

ද්විපාර්ශවික සහයෝගීතාවයේ සියලු අංශ සමාලෝචනයට ලබන වසරේ පළමු කාර්තුවේදී ඒකාබද්ධ කොමිසම රැස්වී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද අදාළ කරුණු දැක්වීම්වල සඳහන්. ජී.එස්.පී අධීක්ෂණ චක්‍රය පිළිබඳ පසු විපරම සඳහා ලක් රජය පුළුල් ප්‍රතිචාරයක් යුරෝපා කොමිසමට ලබා දී ඇති බවද විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා ෴

******************************************

(02.07.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

බිලියන ගණනින් දිනපතා මුදල් අච්චු ගසන බවට සමගි ජන බලවේගය සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ එය සාමාන්‍යයෙන් මාස හයකට (6) වරක් සිදුවන ක්‍රියාවලියක් බවයි.

මේ අතර, කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ මුදල් අච්චු ගැසීම මගින් උද්ධමනය ඉහළ යන බවයි ෴

******************************************

(02.07.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – දළුපොත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිම්න් ක්‍රියාත්මක වු රජයට තීරුබදු වංචා කර මත්පැන් සහ දුමිවැටි මෙරටට ගෙන්විමේ මහා පරිමාණ ජවාරමක තොරතුරු හෙලි වි තිබෙනවා.

ඒ දළුපොත ප්‍රදේශයේ නිවසකින් පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ (01) රුපියල් කෝටියකට අධික වටිනාකමින් විදේශයන්හි නිෂ්පාදිත මත්පැන් සහ දුම්වැටි තොගයක් සොයා ගැනිමේ සිද්ධියක් සමඟයි.

එහිදි එක් සැකකරුවෙකු (1) ද අත්අඩංගුවට ගනු ලැබු අතර, මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු (3) සම්බන්ධ තොරතුරු ලැබි ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙම වැටලිමේදි දුම්වැටි 1,25,000 ක් සහ විදේශීය මත්පැන් බෝතල් 450 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඡාවාරම්කරුවන් දළුපොත මන්ත්‍රිවත්ත ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබා ගෙන ඒවා ගබඩා කර තිබෙනවා.

රජය විසින් ආනයන සිමා කර ඇති අවස්ථාවක තීරුබදු වංචා කරමින් හොර රහසේ රේගුවෙන් මෙම මත්පැන් සහ දුම්වැටි තොගය රට තුළට ගෙන්වා ගත්තේ කෙසේ දැයි විශේෂ විමර්ශණයක් ක්‍රියාත්මකයි.

මීගමුව පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙය වන අතර පොලිස් විශේෂ කාර්යය බලකායේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ පොලිස්පතිවරයාගේ අනුමැතිය මත වැඩිදුර පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවයි ෴

******************************************

(02.07.2021 – 09:59 +0530 – hirunews.lk/sinhala)

අමුතුම ආකාරයකට රන් භාණ්ඩ සොරකම් කිරීමේ කල්ලියක් කොටුකරගැනීමට පොලසිය සමත්ව තිබෙනවා.

මෙම පිරිස විසින් සොරකම් සිදුකර ඇත්තේ කුඩා දැරියක් යොදාගනිමින්.

මෙම සංවිධානාත්මක කල්ලිය දිවයිනේ ප්‍රදේශ රැසක ස්වර්ණාභරණ වෙළෙඳසැල්වලින් රණ් භාණ්ඩ සොරකම් කර ඇති බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

අදාළ කණ්ඩායම පිටකොටුව පොලිසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කණ්ඩායමේ කාන්තාවන් දෙදෙනෙකු (2) සිටින බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

ඉන් එක් කාන්තාවක් 46 හැවිරිදි වියේ සහ අනෙක් කාන්තාව 23 හැවිරිදි වියේ පසුවන අතර පිරිමි පුද්ගලයා 79 හැවිරිදි වියේ පසුවන බවයි සඳහන් වන්නේ.

+++++++++

https://www.youtube.com/watch?v=mSapMHZlSqc

******************************************

(02.07.2021 – 10:39 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාස 04 ක කාලය තුළ පුරාවස්තු සහ නිධන් හැරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය වසර තුළද මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

******************************************

(02.07.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

16 හැවිරිදි දැරියක් තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කළ බවට බව කියන 26 හැවිරිදි තරුණයෙකු සොයා දඹුල්ල පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම දැරිය මීට දින දෙකකට (2) ඉහතදී දඹුල්ල පන්නම්පිටිය මැනික්දෙන ප්‍රදේශයේ ඇයගේ නිවස තුළදීම මෙම දරුණු ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

මව පියා අහිමි මෙම දාසය හැවිරිදි දැරිය සිය මිත්තණිය සමග එම නිවසේ ජීවත්වන බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.

බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කළ දැරිය පැය 10 කට අධික කාලයක් සැත්කමකට ලක්කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

පහරදී පලාගොස් ඇති තරුණයා මාතලේ මහවෙල ප්‍රදේශයේ පදිංචි බදුල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතවන තරුණයකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙම දැරිය පදිංචිව සිටින ප්‍රදේශයේ නිවසක උත්සවයකට සැකකාර තරුණයා පැමිණි අවස්ථාවක එම නිවැසියන් මෙම දැරියට තරුණයා විවාහ කරදීම සඳහා යෝජනාවක් කළ බවත් ඒ අනුව නිතර නිතර සැකකාර තරුණයා මෙම දැරිය හමුවීමට පැමිණ සිටියද එම් යෝජනාව දැරිය විසින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පහර කෑමට ලක් වූ බවයි දැරියගේ මිත්තණිය පැවසුවේ.

දැරියගේ හිස්කෙස්ද කපා දැමූ සැකකරු තියුණු පිහියක් ද අතැතිව පලාගිය බවයි මිත්තණිය වැඩිදුරටත් පැවසුවේ.

ප්‍රහාරයෙන් දැරියගේ අතේ ඇඟිල්ලක් අහිමිවී ඇති අතර ඇයගේ පිටෙහි සහ ගෙළ ප්‍රදේශයේ දරුණු කැපුම් තුවාල ඇතිවී තිබෙනවා.

මෙම පවුලේ අසරණකම උපයෝගී කරගනිමින් වයස අවුරුදු විසිහයක් (26) වූ තරුණයෙකුට මෙම බාලවයස්කාර දැරිය විවාහ කර දීම සඳහා දෑස් නොපෙනෙන මිත්තණියට බලපෑම් කළ තරුණයාගේ ඥාතීන් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව දඹුල්ල මුලස්ථාන පොලිසිය විසින් මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිටත් සැකකාර තරුණයා සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

******************************************

(02.07.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා පදවිය – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් වෙන් කර තිබෙනවා.

ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවති වැඩසටහනකදීයී.

මේ අතර බණ්ඩාරවෙළ – ඇල්ල ප්‍රාදේශීය සභාවද මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් වගාවන්ට අවශ්‍ය පොහොර නොමැතිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් ඊයේ (01) මෙන්ම අදත් (02) විරෝධතා වල නිරත වුණා.

@@@@@@@@@@@@@@@

(02.07.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (01) දිනයේදී පුද්ගලයින් 169,957 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් එක්ලක්ෂ හැට පස් දෙනෙකුට (1,00,065) ඊයේ (01) ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 66,220 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (01) පුද්ගලයින් 3,672 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,849,565 ක් වන අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 750,572 ක්.

එසේම, කොවිෂීල්ඩ් පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 381,979 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795 ක්.

එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,427 ක් වනවා ෴

+++++++++++++++++++

(02.07.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (01) දිනය තුළ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 1,883 දෙනා අතරින් 68 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වනවා.

සෙසු 1,815 දෙනා ‘අලු‍ත් අවුරුදු පොකුරේ’ ආසාදිතයන්.

ඊයේ (01) වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ අතර, එම සංඛ්‍යාව 342 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 220 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ගෙවුණු දිනයේ (01) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 247 ක්.

මීට අමතරව මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින්ද ගෙවුණු දිනයේ (01) ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබුණා.

මේ අතර, ඉන්දීය ඩෙල්ටා වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ජාන පර්යේෂණ සිදුකිරීම සඳහා තවත් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට දිස්ත්‍රික්ක හතරක (4) ප්‍රදේශ කිහිපයක් අද (02) පෙරවරු 06:00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරුණා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ පොලිස් වසමේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර තිබෙනවා.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ හැඳල උතුර ග්‍රාම නිලධාරි වසමේ රබර්වත්ත ගම සහ ඕලන්ද ගම, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් වසමේ මාටුවාගල වත්තේ උඩ කොටස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල වත්ත පහළ කොටස හුදෙකලා කෙරුණා.

මේ අතර පාළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය කළ බස්රථ 03 ක් පුද්ගලයින් 49 දෙනෙකු සමඟ මඩකලපුව – තුන්පලන්චෝලෙයි ප්‍රදේශයේදී හුද හමුදාව භාරයට ගෙන තිබෙනවා.

අද (02) අලු‍යම 03:30 ට පමණ හමුදා මාර්ග බාධකයකදී මෙම වැටලීම සිදු කර තිබූ අතර අනතුරුව අදාළ බස් රථ සහ මගීන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කරදියනාරු පොලිසියට භාර දී තිබුණා.

පසුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී පුද්ගලයින් තුන් දෙනෙකුට (3) කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඊයේ (01) දිනයේදීද පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ද ග්‍රෑන්ඩ්පාස් පොලිසිය භාරයට ගත්තා.

ඒ පුද්ගලයින් 40 දෙනෙකු සමගින්.

මේ අතර, තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද (02) අලු‍යම දිවයිනට රැගෙන ආවා.

අද (02) අලු‍යම පහට (05:00) පමණ මෙම එන්නත් තොගය දිවයිනට රැගෙන ආවේ යූ.එල්. 869 දරන ගුවන් යානයෙන්.

අද (02) ලැබුණු මාත්‍රා මිලියන 10 ත් සමඟ මේ වනවිට සයිනොෆාම් එන්නතේ මාත්‍රා මිලියන 4.1 ක් දිවයිනට ගෙන්වා තිබෙනවා.

මේ අතර මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගතවූ දිනය (01) තුළ එන්නත් මාත්‍රා 1,69,957 ක් ලබා දී ඇති බව සඳහන්.

මේ අතර, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට රජයේ රෝහල් මගින් එන්නත් ලබාදීමේ වැඩසටහන අදත් (02) ක්‍රියාත්මකයි.

එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට ද කොරෝනා එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *