ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් ඔබ ආරක්ෂිතයි ද ?

ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් ඔබ ආරක්ෂිතයි ද ?

*********************************************

ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් ඔබ ආරක්ෂිතයි ද ?

(01.07.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් සැපයෙන ආරක්ෂාව කෙබඳු ද ? යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සම්පූර්ණ නිවේදනය පහතින් :

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණයෙන් සැපයෙන ආරක්ෂාව කෙබඳු ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා යෑමේදී අපි මුලින්ම දැන ගත යුතු කරුණු දෙකක් තියෙනවා.

  1. මෙම ඩෙල්ටා ප්‍රභේදය ලෝකය පුරා විද්වතුන් තුළ කැළඹීමක් ඇති කරන්නට හේතු වෙන්නේ ඇයි? මින් පෙර වාර්තා වූ ප්‍රභේදවලට වඩා මෙය වෙනස් වන්නේ කොහොමද ?
  2. එන්නත්කරණය මගින් කොවිඩ් වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ලබාදෙන්නේ කෙලෙසද? එන්නත්කරණය සම්පූර්ණ කළ කෙනෙක් කෝවිඩ් වෛරසයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතද ? ඩෙල්ටා ප්‍රභේදයට කොව්ඩ් එන්නත් වලින් ලබාදෙන ආරක්ෂාව කෙබඳු ද?

ප්‍රථම කාරණය ගත්තොත් මේ ප්‍රභේදය මෙයට පෙර සොයාගත් කොවිඩ් වෛරස ප්‍රභේදවලට වඩා සුවිශේෂ වීමට කාරණා දෙකක් බලපානවා. මේ දක්වා කරන ලද පරීක්ෂණ වලින් පැහැදිලිව පෙනෙන කරුණක් තමයි මේ ප්‍රභේදය මෙයට පෙර සොයාගන්නා ලද ප්‍රභේදවලට වඩා ඉතා වේගයෙන් පැතිර යන බව. පසුගිය අලුත් අවුරුදු සමයෙන් පසුව රට පුරා වේගයෙන් පැතිර ගිය ඇල්ෆා ප්‍රභේදය ටත් වඩා මේ කියන ඩෙල්ටා ප්‍රභේදය අතිශයින්ම වේගවත්.

මේ නිසා ඩෙල්ටා ප්‍රභේදය යම් රටකින් වාර්තා වී සාපේක්ෂව කෙටි කාලයක් තුළ එම රට තුළ දක්නට ලැබෙන ප්‍රධානම ප්‍රභේදය බවට පත්වන වෙන අවස්ථා අප බොහොමයක් දැක තිබෙනවා. එමෙන් ම මෙය නුදුරේ ම ලොව ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන කොවිඩ් වෛරස ප්‍රභේදය වනු ඇති බවට විද්වතුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර ඇත.
අනෙක් කාරණය තමයි මෙම ඩෙල්ටා ප්‍රභේදය නිසා රෝග ලක්ෂණ උත්සන්න වීමට ඇති හැකියාව වැඩි බවට සාක්ෂි මතු වෙමින් පැවතීම. මේ නිසා ඩෙල්ටා ප්‍රභේදය බහුල රටවල් වල කෝවිඩ් රෝගීන්ට රෝහල් ප්‍රතිකාර, ඔක්සිජන් සහ දැඩි සත්කාර අවශ්‍ය වීම අනෙක් රටවලට වඩා බහුල වනු ඇතැයි සිතිය හැකියි.

එන්නතක් මගින් සිදු වන්නේ කුමක්ද?

එන්නතක් මගින් ප්‍රධාන වශයෙන් කරන්නේ යම් රෝගකාරකයකට එරෙහිව අපගේ ශරීරයෙහි ප්‍රතිශක්තිය තීව්‍ර කිරීමක් කියලා කියන්න පුළුවන්.

කෝවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණය තුළින් අප විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ බරපතළ රෝග තත්ත්වයක් ඇති නොවී කොවිඩ් රෝගය මැඩ පවත්වා ගැනීමට ශරීරය සූදානම් කිරීමයි. වාසනාවකට වගේ, එන්නත්කරණය සම්පූර්ණ කරන ලද අය ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිවද ඉහල ආරක්ෂාවක් ලබාගන්නා බවට දැනට ලැබෙමින් තියන පර්යේෂණ සාක්ෂි මගින් පෙනී යනවා.

කෙසේ වුවත් තවමත් සාපේක්ෂව මුල් අවස්ථාවල පවතින මේ බොහෝ සාක්ෂි පදනම් වෙන්නේ, දැනට ඩෙල්ටා රෝගය සැලකිය යුතු ලෙසට පැතිර ගිය රටවල නිරීක්ෂණ මත හා ඒ රටවල දැනට ලබාදී ඇති එන්නත් වර්ග වලට සාපේක්ෂව යි. ඉදිරියේදී අපට මේ පිළිබඳ වඩ වඩාත් පැහැදිලි සාක්ෂි දක්නට ලැබේවි.

එන්නත්කරණය මගින් Delta ප්‍රභේදයට එරෙහිවද ඉතා ඉහල ආරක්ෂාවක් සැපයීම අප බොහෝ දෙනාගේ අස්වැසිල්ලට කාරණාවක් වුවද, මෙහිදී අප සිහි තබා ගත යුතු ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් තිබෙනවා.

වැදගත්ම කාරණය වන්නේ එන්නත්කරනය සම්පූර්ණ කළ අයෙකුට වුව ද කොරෝනා රෝගය ආසාදනය වීමට සැලකිය යුතු ඉඩකඩක් තිබීමයි. එවැනි අය හරහා තවත් බොහෝ දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමට අවස්ථාවක් තිබෙනවා. ජනගහනයෙන් ඉතා ඉහල ප්‍රතිශතයක් එන්නත් ලබා ඇති රටවල පවා ඩෙල්ටා ප්‍රභේද හඳුනා ගැනීමත් සමගම රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවය වැඩි වීමක් නිරීක්ෂණය වී ඇත. මෙහි සුබදායි තත්ත්වය වනුයේ මෙම රටවල රෝගීන් වාර්තා වීම වැඩි වුවද දරුණු කෝවිඩ් තත්ත්ව සහ මරණ ඇති වීම ඉතා විශාල ලෙස එන්නත්කරණය සමගම අඩු වී ගොස් තිබීමයි.
එන්නත්කරණය නිසා රෝගය උත්සන්න වීමට ඇති ඉඩ ප්‍රස්ථාව බොහෝදුරට අවම වුනත් එය 100% කින් සිදු වන්නෙ නෑ.

ඒ නිසා ඇතැම් අයට එන්නතක් සම්පූර්ණයෙන් ලබා තිබියදීත් රෝගය වැළඳෙන්න වගේම අසාධ්‍ය වෙන්නත් ඉඩ තියෙනවා. එන්නත යනු කොවිඩ් පැරදවීමට කරන සටනේ දී අප සතුව ඇති බලවත් ම අවියක් වුවත් එය ලබාගනීමෙන් පසුවත් දිගින් දිගටම නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් වන්නේ මේ නිසා යි. එන්නත්කරනය වගේම සෞඛ්‍ය පුරුදු නිසි ලෙස අනුගමනය කිරීම නිසා පවතින තත්ත්වය පාලනයකට ලක් කර ගැනීමට හැකි වුවහොත්, ඒ කාලයට උචිත ලෙස වසංගත පාලන විධිවිධාන ලිහිල් කිරීමක් දකින්නට පුළුවන් වේවි.

මෙය රඳා පවතින්නේ අපගේ වගකීම්සගත හැසිරීම මතයි. ඉදිරියේදී තව දුරටත් පුළුල් වීමට නියමිත එන්නත්කරණ ක්‍රියාවලියට, සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කරන පුරවැසි අපගේ සහයෝගයත් එක්වුවහොත් නව සාමාන්‍ය ජීවන රටාවට අනුගතව රටක් ලෙස ඉදිරියට යන්න අපට හැකිවනු නොඅනුමානයි!

+++++++++++++++++++++++

(01.07.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් අධ්‍යාපනය සෑම සිසුවෙකුටම සාධාරණව නොලැබීම හේතුවෙන් සමාන අධ්‍යාපනයක් ලැබීමට ඇති මූලික අයිතිවාසිකම ඇතැම් සිසුන්ට අහිමිවී ඇති බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අවස්ථා ගණනාවකදීම අප වාර්තා කළා.

තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වෙර දරණ තවත් සිසුන් පිරිසක් පිළිබඳවයි මේ විමසා බැලීම.

මහනුවර – හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් මහතැන්න, බුලත්ගොල්ල, ඉසිවලි කන්ද, ඇතුළු ගම්මාන රැසක සිසුන් ‘ඔන්ලයින්’ අධ්‍යාපනයට අවශ්‍ය දුරකථන සංඥා නොලැබීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

තම පන්තිවලම ඉගෙනුම ලබන වෙනත් ප්‍රදේශවල පදිංචි සිසුන් අධ්‍යයන කටයුතුවලට සහභාගි වුවත් එම අවස්ථාව තමන්ට අහිමිවීමෙන් ඉදිරියේදී පැවැත්වෙන විභාගවලදී තමන්ට දැඩි අපහසුතාවයට පත්වීමට සිදුවනු ඇති බව සිසුන් මෙලෙස පැහැදිලි කළා.

දරුවන් පවසන්නේ ඇතැම් සිම්පත් සඳහා සුළු වශයෙන් සංඥා ලැබෙන නමුත් අධ්‍යාපනය ලබන අතරතුරදී එය විසන්ධි වන බවයි.

මේ සම්බන්ධයෙන් හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා ද අදහස් පළ කළා.

මේ අතර, පැල්මඩුල්ල – කුට්ටාපිටිය ඇතුළු ගම්මාන රැසක දරුවන් පන්දම් දල්වමින් සර්පයින් මෙන්ම කූඩැල්ලන් සිටින කඳු තරණය කරමින් කිලෝමීටර් 2 ක් පමණ දුර ගෙවා ‘වත්තේපංගුව’ කඳුයායට මේ දිව යන්නේ සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය දුරකථන සංඥා පහසුකම් සොයා ගෙනයි.

දිවා කාලයේදීත් මේ දරුවන් සිය ජීවිතය පරදුවට තබන්නේ අනාගතය ජයගත හැකි එකම මෙවලම අධ්‍යාපනය පමණක් වන නිසා.

++++++++++++++++++++++

(01.07.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ලොව රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් අමෙරිකාවේ සියලු‍ ප්‍රාන්තවලින් හඳුනාගෙන තිබෙනවා.

අමෙරිකානු වසංගත රෝග ප්‍රධානී ඇන්තනි ෆෝචී ප්‍රකාශ කරන්නේ එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් සියයට 26 ක ප්‍රතිශතයක් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වී ඇති බවට අනාවරණ වූ බවයි.

එසේම, වයස අවුරුදු 18 ත් 24 ත් අතර වයස් කාණ්ඩවල පසුවන තරුණයින්ට කොරෝනා ආසාදනය වී රෝහල් ගත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද අමෙරිකානු වසංගත රෝග ප්‍රධානීයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴

+++++++++++++++++++

(01.07.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නව නේවාසික නියෝජිතවරිය වන ආචාර්ය අලංකා සිං අතර විශේෂ හමුවක් අද (01) සිදුව තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේදීයී.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොරෝනා මර්ධන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීම අගය කර තිබෙනවා.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව නේවාසික නියෝජිත ආචාර්ය අලංකා සිං ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා මර්ධනය සඳහා අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවයි ෴

+++++++++++++++++++++++

(01.07.2021 – 16:40 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති සහ පළාත් සංචරණ නීති උල්ලංඝනය කරමින් අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක පවත්වාගෙන ගිය බූරු පිටියක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

එහිදී සැකකරුවන් 26 දෙනකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල සංචාරක හෝටලයේ සුපිරි පන්නයේ කාමර කිහිපයක මෙම බූරුපිටිය පවත්වාගෙන ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඊයේ (30) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, කැකනදුර, දෙවිනුවර, ඇඹිලිපිටි, කොස්ගොඩ, කළුතර, අඟුරුවාතොට, පානදුර, කළුතර, බේරුවල, අලුත්ගම සහ දර්ගා නගරය යන යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

එහිදී හෝටලයේ හිමිකරුගේ සහෝදරයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර සූදු පිටියේ තිබූ රුපියල් 35,000 ක මුදලක් සහ කාඩ් කුට්ටම් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

+++++++++++++++++++++

ඩෙල්ටා වගේ දරුණු ප්‍රභේදයකින් බේරෙන්න පුළුවන් පානයක් දේශීය වෛද්‍ය සම්පත් කලුතරගේ මහතාගෙන් (01.07.2021)

https://www.youtube.com/watch?v=L0buxvDwLyM

++++++++++++++++++++++++

(01.07.2021 – 18:20 +0530 – hirunews.lk/sinhala)

අද (01) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1173 වාර්තාවී තිබෙනවා.

මේ අතර අද (01) දිනයේ තවත් ආසාදිතයන් 1888ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව227,840 ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

++++++++++++++++++++++++

(01.07.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

පසුගිය (30) වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 43ක් අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සමඟ මෙරට සමස්ත කොරොනා මරණ සංඛ්‍යාව 3120 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයින් ඉහළ යා හැකි බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැනුම් දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම හේතුවෙන් ඉදිරි කාල සීමාව ඉතා අවදානම් විය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයද අනතුරු ඇඟවූවා.

මේ අතර, අද (01) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් ඩෙල්ටා වෛරස ප්‍රභේදය පිළිබඳව ප්‍රශ්න කළා.

කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තොරව අත්‍යවශ්‍ය කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වීමට අද (01) පැවති ඇසළ උත්සව කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

මේ අතර, හුදෙකලා කර ඇති කෑගල්ල දිස්ත්‍රික්කයේ මහවත්ත, හිඟුල්ඔය සහ මුරුතවෙල ජනතාව තමන්ට ආහාරපාන සපයා ගැනීමට නොහැකි බව පවසමින් අද (01) විරෝධතාවක නිරත වුණා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 642 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව අද (01) දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1815 ක් දක්වා ඉහළයනු ඇති ෴

@@@@@@@@@@@@@@@

(01.07.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් ප්‍රදේශ රැසක ගොවීන් තවදුරටත් පත්ව ඇත්තේ දැඩි අසිරුතාවකටයි.

ඔවුන් දිනෙන් දින විරෝධතා සහ උද්ඝෝෂණ පවත්වමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වගාවන්ට අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදෙන ලෙසයි.

වගාවන් සඳහා අවශ්‍ය පොහොර ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම උද්ඝෝෂනය සංවිධාන කර තිබුණේ රාජාංගනය යාය 9 ප්‍රදේශයේදීයි.

රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලා අඔගස්දෝව – බලගල ප්‍රදේශයේ ගොවීන් පෙළපාලියකින් පැමිණ බලගල වෙල්යායේ දී විරෝධතාවක නිරත වුණා.

ගොවිජන එකමුතුව මගින් එම විරෝධතාව සංවිධාන කර තිබුණා.

ගාල්ල මහදූව දික්කුඹුර ප්‍රදේශයේ පදිංචි එරංග කොඩිතුවක්කු මහතා වෘත්තියෙන් රක්ෂණ නියෝජිතයෙක් වන අතර අමතර වශයෙන් වගා කටයුතුවලද නිරත වනවා.

ඔහු වසර නවයක (9) පමණ කාලයක සිට වී වගාව සිදු කරන්නේ කාබනික පොහොර භාවිත කරමින්.

ඔහු පවසන්නේ කාබනික පොහොර භාවතය තුළින් හොඳ අස්වැන්නක් ලැබෙන බවයි.

මේ අතර රජයේ කාබනික පොහොර වැඩසටහනට දායකත්වය ලබා දීම සඳහා මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවට අයත් යුදගනාව ප්‍රදේශයේ පිහිටි කසළ එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයේදී කාබනික පොහොර නිෂ්පාදනය කරනවා.

මැදිරිගිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ දෛනිකව කසළ ටොන් 2 ක ප්‍රමාණයක් එක්රැස් වන අතර එමගින් දිනකට කාබනික පොහොර කිලෝග්‍රෑම් 300 ක පමාණයක් නිෂ්පාදනය කෙරෙනවා.

මේ සඳහා ප්‍රදේශයේ එකතුවන කැළිකසළ සහ වැව්වල ඇති ආක්‍රමණශීලී ශාක යොදා ගන්නා බවයි මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසුවේ.

******************************************

(01.07.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමෙරිකානු නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේ සහ නැගෙනහිර මුහුදේ පැවැත්වූ නාවික අභ්‍යාසය ඊයේ (30) නිමාවට පත්වුණා.

නාවික හමුදාව ප්‍රකාශ කළේ මෙහිදී නෞකා පෙල හැඩ අභ්‍යාස, භාණ්ඩ හුවමාරු, නෞකා මතට ගුවනින් භාණ්ඩ සහ හෙලිකොප්ටර් ගොඩබැස්සවීම, සතුරු යාත්‍රා ලුහුබැඳීම, පරීක්ෂා කිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව පුහුණුවීම් සහ අභ්‍යාස සිදුකෙරුණු බවයි.

ඒවා ඉන්දියානු සාගර කලාපයේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ද තවදුරටත් ඉවහල්වනු ඇතැයි නාවික හමුදාව ප්‍රකාශ කළා ෴

******************************************

(01.07.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

දුරකථන ඇමතුමක් ලබාදී අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් සිදුකළ සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකළ චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයා ඇප ම නිදහස් කර තිබෙනවා.

ඔහු අද (01) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

එහිදී සැකකරු රුපියල් ලක්ෂ පහ (5,00,000) බැගින්වු ශරිර ඇප දෙකක් (2) මත මුදාහැරීමට නියෝග කළ අතර සෑම මසකම පළමුවන ඉරිදා සහ අවසන් ඉරිදා වරාය පොලිසියට වාර්තා කරන ලෙසටද අධිකරණය වැඩිදුරටත් නියෝග කළා.

බෙන්තොට ගෝනගලපුර පදිංචි 46 හැවිරිදි වියේ පසුවන සැකකාර සහය අධ්‍යක්ෂවරයා විසින් ප්‍රවින චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනි සිට ප්‍රසිද්ධ නිලියකට ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

එහිදී චිත්‍රපටියක රඟපෑමට ඇය තෝරාගත් බව පවසා ලිංගික ක්‍රියා පිළිබඳ ප්‍රශ්ණ කරමින් අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විමයි ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ.

පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධියට සම්බන්ධ පළමුවන සැකකරු (?) අඩංගුවට ගෙන නොමැති අතර විමර්ශන කටයුතු වැඩිදුරටත් ක්‍රියාත්මක බවයි.

අදාළ නිළිය විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉකුත් 15 වන දින දුරකතනයෙන් කතාකල අයෙකු තමා මහාචාර්ය සුනිල් ආරියරත්න බවත් චිත්‍රපටියක රඟපෑමට තෝරාගෙන ඇති බවත් ඒ සඳහා මිලියන දෙකක් (2) ගෙවන බවත් පැවසූ බවයි.

අනතුරුව දුරකථනය ඔස්සේ අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ බවත් ඒ පිළිබඳව සැකසිතීමෙන් අනතුරුව තමන් පොලිසියට පැමිණිලි කළ බවයි ඇය පවසා ඇත්තේ.

ඒ අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය චිත්‍රපටි නිළියක්වු කාන්තාවකට චවනයෙන් ලිංගික හිරිහැර සහ ලිංගික ක්‍රියාවලිය පිළබද ප්‍රශ්ණ කර අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අන් අයෙකු ලෙස පෙනි සිට කුමන්ත්‍රණය කිරිම එයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ගාල්ල වරාය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ෴

******************************************

මිතුරන්ට ඇණ ගැසූ බලගොල්ලේ කට්ටඩියා පොලීසියට භාර වෙයි

(01.07.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල අපහාස කළා යැයි උරණ වී මහනුවර – බලගොල්ල ප්‍රදේශයේදී සිය මිතුරන් දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් ඔවුන්ට පහරදී ඇණ ගැසීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන 32 හැවිරිදි කට්ටඩියා අද (01) පස්වරුවේ පොලීසියට භාර වී තිබෙනවා.

කුරුස ඇණ කට්ටඩියා

බලගොල්ල පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු (2) පල්ලෙකැලේ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධියට අදාළව කැබ් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි.

එහි තිබී අදාළ පුද්ගලයින්ට පහරදීමට යොදා ගත් කටු ඉඹුල් මුගුරක් ද හමුවූ බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

******************************************

(01.07.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට පත් කිරීම හෙට (02) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටිබිම් මඟ ජනතා අයිතියට පත් කිරීම හා සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම ද හෙට (02) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අරලියගහ මන්දිරයේ සිට අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාවලට සම්බන්ධ වනුයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි ෴

******************************************

(01.07.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala)

මේ මස 10 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිත ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය බැතිමතුන්ගෙන් තොරව චාරිත්‍රවලට පමණක් සීමා කර සිදුකිරීමට කතරගම ඇසළ උත්සව කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙවර ඇසළ උත්සවය සඳහා නැටුම් කණ්ඩායම් 5 ක් පමණක් සහභාගි කරවා ගැනෙනු ඇති.

ඔවුන් ද පෙරහරට පෙර කොරෝනා පරීක්ෂණයකට ලක් කර නිරෝධායනය කිරීමට ද නියමිතයි ෴

******************************************

(01.07.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

දින 3 ක් තුලදී නාවික හමුදාව වියළි කහ කිලෝ ග්‍රෑම් 2000 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ පසුගිය මස 29, 30 සහ අද (01) දිනය තුලදී මන්නාරම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මෙම කහ අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු, ඩිංගි යාත්‍රා දෙකක් (2), වෑන් රථයක් (1) සහ ත්‍රිරෝද රථයක් (1) ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

(01.07.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala)

පාන් රාත්තලක මිල වැඩි කිරීමට දැනට කටයුතු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග අද (01) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කළා.

තිරිඟු පිටි මිළ පහළ දැමීම සඳහා රජය මැදිහත් වී කටයුතු නොකරන්නේ නම් එළැඹෙන සඳුදා දිනයේ සිට පාන් මිල රුපියල් 10 කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 5 ත් 10 ත් අතර මිලකින් ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා මීට පෙර ප්‍රකාශ කළේ ෴

******************************************

01-07-2021

******************************************

(01.07.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

යාපනය – කෝපායි ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී කඩු පොලු වලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (30) රාත්‍රී 08:30 ට පමණ වූ මෙම සිද්ධියෙන් පුද්ගලයන් 7 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

කෝපායි රෝහලට ඇතුළත් කළ ඔවුන් අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඉන් එක් (1) අයෙකුගේ එක් අතක් ශරීරයෙන් වෙන් වී ඇති අතර, පසුව පැය 5 ක ශල්‍යකර්මයකින් පසු එම අත යළි බද්ධ කළ බවයි.

එම ශල්‍යකර්මය සිදුකර ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඉලන්චේලියන් පල්ලවන් මහතා විසින්.

ඔහු මීට පෙර ද එවැනි සැත්කම් කිහිපයක් සිදුකර තිබුණා.

යාපනය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 5 ක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයන් දෙදෙනෙකු (2) නිෂ්චිතව හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) රාත්‍රී 08:30 ට පමණ යතුරුපැදි 5 කින් පැමිණි පුද්ගලයින් 14 දෙනෙකු පැමිණ මෙලෙස පහරදී තිබුණේ යාපනය – කෝපායි – කෝණ්ඩාවිල් සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසකටයි.

මෙම නිවසේ ‘ටික් ටොක් ස්ටුඩියෝ’ නමින් ගීත පටිගත කිරීමේ ස්ථානයක් ද පැවති අතර, ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් එම ස්ථානයට ද දැඩි අලාභ හානි සිදුකර තිබුණා.

ඔවුන් මාර්ගයේ අයිනේ නවතා තිබූ මෝටර් රථ දෙකකට (2) ද බරපතල හානි සිදුකර ඇති බවටයි වාර්තා වුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *