හෙද සංගම් අද (01) සහ හෙට (02) ලෙඩ වෙයි

හෙද සංගම් අද (01) සහ හෙට (02) ලෙඩ වෙයි

*********************************************

හෙද සංගම් අද (01) සහ හෙට (02) ලෙඩ වෙයි

(01.07.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

උසස්වීම් සහ හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන අද (01) සහ හෙට (02) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව හෙද වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශ කළා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ කොරෝනා රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම විශේෂිත රෝහල්වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවයි.

හදිසි හා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළා.

සමස්ත ලංකා හෙද සංගමයද අද (01) සහ හෙට (02) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

එසේම, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කළේ හෙද සේවාවේ ගැටලු සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් අද (01) සහ හෙට (02) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

කෙසේ වෙතත්, හෙද සංගම්වල වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා ෴

******************************************

(01.07.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින්.

මෙම ගැසට් නිවේදනයට අනුව රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අවුරුදු 61 ක් ලෙස දැනට පවතින විශ්‍රාම ගැනීමේ වයස් සීමාව මෙලෙස වසර දෙකකින් (2) දීර්ඝ වනු ඇති.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට මෙය අදාළ වනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල තීරණය ලබාදුන් අප්‍රේල් මස 20 වැනි දින සිට ක්‍රියාත්මක වන ලෙස බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

******************************************

‘හිරු’ගේ අභිමානවත් 23 වන සංවත්සරය අදයි (01)

(01.07.2021 – 07:09 +0530 – hirunews.lk/sinhala)

1998 වසරේ ජූලි පළමුවනදා (01) ඇරඹුණු ‘හිරු එෆ්.එම්.’ අද සමස්ත ශ්‍රී ලංකාවේම ගුවන්විදුලි දර්ශනයයි.

සැමදා ජනතා ආශිර්වාදයෙන් මෙරට මාධ්‍යකරණය තුළ ඉහළින්ම වැජඹුණු හිරු මෙරට මාධ්‍යකරණයේ සියලු සමීක්ෂණ වාර්තා උඩුයටිකුරු කළ ගුවන් විදුලි නාලිකාවයි.

ජාත්‍යන්තර සහ දේශීය සමික්ෂණ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ශ්‍රවණය කරන අංක එකේ ගුවන් විදුලිය වන්නේ ‘හිරු එෆ්.එම්.’

මේ වනවිට අන්තර්ජාලයේද මාසිකව වැඩිම පරිශීලකයන් සහ අන් කිසිවෙකුටත් සම කළ නොහැකි ෆේස්බුක් පරිශීලකයන් හිරු සමඟ බැඳී සිටිනවා.

ඒ, සැමදා මිනිසුන් වෙනුවෙන් කැපවූ හිරු ගේ බැඳීම තව තවත් අර්ථ ගන්වමින්.

හිරු එදා මෙදා තුර සංවිධාන කළ සියලු දේ සැමදා ජනතා ආශිර්වාදයෙන් නොමඳව පිදුම් ලැබුවා.

දිවයිනේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම්, දරුවන් වෙනුවෙන් වූ වැඩසටහන්, මෙන්ම, ආගමික වැඩසටහන් සඳහා හිරු කළ කැපකිරීම ඇතමුන්ට සිහිනයක් පමණයි.

හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සහ උත්තම ධාතු වන්දනාවට සැමදා එක්වන මහා ජන ගඟ තැබූ වාර්තා කිසි දිනක කිසිවෙකුට සමකළ හැක්කක් නොවේ.

කොරෝනා අභියෝගය හමුවේ දුෂ්කරතාවයට පත් ජනතාව සවිමත් කිරිම තවමත් හිරු එලෙසින්ම ඉටු කරමින් සිටිනවා.

‘හිරු එෆ්.එම්.’ සදාකල් ජනතාවට නිවැරදි සත්‍ය තොරතුරු ප්‍රථමයෙන් සපයන ප්‍රවෘත්ති විකාශනයේ නිර්මාණකරුවායි.

හිරු තැබූ එම විශ්වාසය අද ජනතාවගේ ප්‍රවෘත්ති පරමාදර්ශයයි.

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ශ්‍රවණය කරන වැඩිම පිරිසක් විශ්වාසය තබන, ප්‍රවෘත්ති විකාශය බවට හිරු ප්‍රවෘත්ති පත්ව අවසන්.

මේ වනවිටත් ‘හිරු එෆ්.එම්.’ හි සොහොයුරා ‘හිරු ටී.වී.’, මෙරට දෘෂ්‍ය මාධ්‍යය කලාවේ සළකුණ බවට පත්ව අවසන්.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මේ අසහාය ගමන් මගට නායකත්වය දුන් නියමුවායි.

හිරු අතීතයට එක් කළ මෙන්ම අදටත් අත්විඳින බොහෝ දෑ ඇතමුන්ට නැවුම් අත්දැකීම්.

අභිමානවත් 23 වන සංවත්සරය සමරන මොහොතේ අද (01) දිනය පුරා පැයකට වරක් රුපියල් 23,000 බැගින් දයාබර ශ්‍රාවකයන්ට තිළිණ කිරීමටත් හිරු සූදානම්.

අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර මනුෂ්‍යත්වය සමඟ මුසුවූ අභිමානවත් හිරුගේ මාධ්‍ය වංශ කතාව සැමදා අංක එකෙහි තැබුවේ හිරු සමඟ බැඳුණු දයාබර ශ්‍රාවක ඔබයි.

අප සතු කිසිවෙකුටත් සම කළ නොහැකි සහ වෙනස් කළ නොහැකි එකම වත්කම ද ඔබම පමණයි ෴

[ https://www.hirufm.lk/ ]

[ https://www.hirutv.lk/ ]

******************************************

(01.07.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

පාන් මිල ඉදිරියේදී රුපියල් 10 කින් පමණ ඉහළ නැංවීමට සිදු විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේ සෙරන්ඩිබ් සමාගම විසින් පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ නැංවීම හේතුවෙන් බේකරි හිමියන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවයි ෴

******************************************

(01.07.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට සුළු භූ කම්පන තත්ත්වයන් වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශ ලෙස විශ්ලේෂණ මගින් හඳුනා ගැණුනු මහනුවර – වික්ටෝරියා ප්‍රදේශයේ ස්ථාන 10 ක ඉතා සුළු භූ කම්පනවලට අධි සංවේදී භූ කම්පන මාන 10 ක් ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය, ජර්මානු සමාගමක විශේෂඥයන් පිරිසක් සමග එක්ව සිදුකළ භූගෝලීය විශ්ලේෂණයකින් පසු ගත් තීරණයකට අනුවයි.

පසුගිය වසරේ ජූලි මස සිට දෙසැම්බර් මස දක්වා වන කාලය තුලදී මහනුවර – දිගන ප්‍රදේශයෙන් වරින්වර අවස්ථා කිහිපයකදීම සුළු භූ කම්පන තත්ත්වයන් වාර්තා වුණා.

ඒ පිළිබඳව විශ්ලේෂණය කර අවශ්‍ය පියවර ගැනීම සඳහායි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය, ජර්මානු සමාගමක විශේෂඥයන් සමග එක්ව මෙම විශේෂ විශ්ලේෂණ කටයුතු ආරම්භ කර ඇත්තේ.

එම විශ්ලේෂණයේදී වික්ටෝරියා ප්‍රදේශය මෙරට සුළු භූ කම්පන තත්ත්වයන් බහුල ලෙස කේන්ද්‍රගත වූ ප්‍රදේශයක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ස්ථාපනය කර ඇති මෙම විදේශීය නිෂ්පාදිත නව අධි සංවේදී භූ කම්පන මාන යොදා ගනිමින් මාස 06 ක පර්යේෂණයක් සිදු කිරීමටයි මේ වනවිට කටයුතු යොදා ඇත්තේ.

******************************************

(01.07.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඊට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇති බවයි.

එමෙන්ම ‘ලන්ච් ෂීට්’ ඉදිරියේදී සම්පූර්ණයෙන්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට අදාළ පියවර ගන්නා බවද පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, ප්ලාස්ටික් බෝතල් භාවිතය අවම කිරීම සඳහා ඒවා තහනම් කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණයට අදාළ විකල්ප යෝජනා ඉදිරි සති 02 තුළ ඉදිරිපත් කරන බවට ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම් එකඟතාවය පළ කර තිබෙනවා.

ප්ලාස්ටික් බෝතල්වල නිෂ්පාදන අලෙවි කිරීමේදී පාරිභෝගිකයන්ගෙන් තවත් රුපියල් 10 ක මුදලක් තැන්පතුවක් ලෙස ලබාගෙන වෙළඳසැලට නැවත එම බෝතලය ලබාදීමේදී එම තැන්පතු මුදල යළි පාරිභෝගිකයා වෙත ලබාදීම සඳහායි මේ වනවිට පරිසර අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් වී ඇත්තේ.

එලෙස ප්ලාස්ටික් බෝතල් එකතු කර ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

ප්ලාස්ටික් සහ පොලිතින් මගින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා පොලිතින් නිෂ්පාදන කිහිපයක්ම පසුගියදා තහනම් කෙරුණා ෴

******************************************

(01.07.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ මේජර් ජෙනරාල්වරයා පොලිසියට භාර වෙයි

මින්නේරිය ජාතික උද්‍යානයේ වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර්වරයා අද (01) පෙරවරුවේ හබරණ පොලියට භාර වී තිබෙනවා.

පසුගිය 23 වනදා රාත්‍රියේ වනජිවි නිලධාරින් රාජකාරියේ යෙදී සිටියදී අනවසරයෙන් උද්‍යාන භූමියට ඇතුළු වූ යුද හමුදා වාහන දෙකක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම සිද්ධිය ඇති වූ බවටයි වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා මේජර්වරයා සහ සෙසු සැකකරුවන් ඔවුන් පැමිණි වාහන ද සමග වහාම අත්අඩංගුවට ගන්නැයි ඊයේ(30) අධිකරණය නියෝග කළා.

මින්නේරිය ජාතික උද්‍යානයේ වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වූ මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණය ඊයේ (30) පොලිසියට නියෝග කරනු ලැබුවේ මේජර් ජෙනරාල්වරයා ඇතුළු සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි ෴

(01.07.2021 – 12:43 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය ජාතික උද්‍යානයේදී වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

ඒ අනුව, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත ඔහු මුදා හැරීමටයි කැකිරාව මහේස්ත්‍රාත් සමන් වැරණියගොඩ නියෝග කරනු ලැබූවේ.

මෙම මේජර් ජනරාල්වරයා හබරණ පොලීසියට පැමිණීමෙන් පසු අද (01) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා ෴

******************************************

(01.07.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේදී අනවසරයෙන් පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැණීම් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් මහවිලච්චිය, නොච්චියාගම, අනුරාධපුරය සහ පොල්ගහවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර, මීගමුව – කුරණ – ප්‍රදේශයේ පිහිටි පැරණි නිවසක නිධානයක් ලබා ගැනීම සඳහා කැණීම් සිදුකරමින් සිටි කට්ටඩියන් දෙදෙනකු ඇතුළු 04 දෙනෙකු ඊයේ (30) අත්අඩංගුවට ගනු ලැබුවා ෴

******************************************

(01.07.2021 – 10:50 +0530 – hirunews.lk/sinhala)

පාදුක්ක බෝපේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියකට සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය දර්ශන එවා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ ඇගේ පියා සිර ගත කිරිම සහ දැරියගේ මවට පොලිස් නිලධාරින් විසින් අතවර කිරිමේ සිද්ධියක් අප ඊයේ (30) දින වාර්තා කලා.

විනය විරෝධී ක්‍රියාවල නිරත වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ, නෙලුව පොලිසියේ නිලධාරියෙකු අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ඇතුළු පසුගිය දින දෙක (2) තුළ වාර්තා වූ පොලිස් නිලධාරීන් හා සම්බන්ධ සිද්ධීන් සැලකිල්ලට ගනිමින්.

විෂය භාර අමාත්‍යවරයා ලබාදී ඇති උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති අතර, විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වන නිලධාරීන් භාරව සිටින උසස් නිලධාරීන් සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගැනීමටයි තීරණය කර ඇත්තේ.

@@@@@@@@@@@@@@@@@

(01.07.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායනය නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 403 දෙනෙකු ඊයේ (30) දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව නිරෝධායනය නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 45,935 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතට ඇතුල්වීමට උත්සාහ කළ පුද්ගලයින් 107 දෙනෙකු වාහන 59 ක් සමඟ ඊයේ (30) දිනයේ ආපසු හරවා යවා තිබෙනවා ෴

+++++++++++++++++++++++

(01.07.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක තුනකට (3) අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (01) උදෑසන සිට හුදෙකලා කිරීමට තීරණය කෙරුණා.

ඒ, අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙලමැද පාරගම කොටස හුදෙකලා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටසද හුදෙකලා කර තිබෙනවා.

එසේම, යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බල ප්‍රදේශයේ කරයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු සහ කලවන්තාලව් කොටස්ද හුදෙකලා කෙරෙනු ඇති

එම ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින් :

+++++++++++++++++++++

(01.07.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා අසාදිතයින් 1,864 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 259,089 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් අතරින් 1,786 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 78 දෙනෙකුද ඊයේ (30) ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

එසේම, පසුගිය 29 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 47 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) පස්වරුවේ තහවුරු කළා.

කාන්තාවන් 31 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වයස අවුරුදු 30 ට අඩු පුද්ගල මරණයක් (1) වාර්තා වනවා.

අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 12 ක්.

එසේම, අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 34 ක් ලෙසයි දැක්වෙන්නේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,077 ක්.

ඊයේ (30) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 2,481 ක් සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 225,952 දක්වා ඉහළ යනවා.

මේ අතර, බස්නාහිර පළාතේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම අද (01) දිනයේත් සිදු කෙරෙනවා.

ඒ අනුව, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් සංවිධානය කරන මධ්‍යස්ථාන තුළදී මෙන්ම එම දිස්ත්‍රික්කයන් හි රෝහල්වලද එම එන්නත් ලබාදීමට කටයුතු යොදනු ඇති ෴

+++++++++++++++++++

(01.07.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ (30) දිනයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊයේ (30) දිනයේදී පුද්ගලයින් 173,520 කට එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 91,759 දෙනෙකුට ඊයේ (30) ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 79,236 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (30) පුද්ගලයින් 2,523 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 174,9500 ක් වන අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 6,84,352 ක්.

එසේම, කොවිෂීල්ඩ් පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 378,307 කට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795 ක්.

එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,427 ක් වනවා ෴

++++++++++++++++++++++

(01.07.2021 – 09:48 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර සංචරණ සීමා කඩ කරමින්, මඩකලපුවේ සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී බස් රථයේ සිටි රියදුරු, කොන්දොස්තර ඇතුළු 38 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේදීයි.

මේ අතර බස් රථයේ රැගෙන ආ යතුරුපැදි දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *