විමල්ට හොඳ වැඩේ …

විමල්ට හොඳ වැඩේ …

*********************************************

විමල්ට හොඳ වැඩේ …

(22.06.2021 – 13:15 +0530 – lankaleadnews.com)

මම නම් කියන්නේ විමල් ගේ අමාත්‍යාංශයෙන් කෑල්ලක් ගලවපු එක සාධාරණයි. මොකද ලංකාවේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන අමාත්‍යාංශයක් දෙපාර්තමේන්තුවක් සංස්ථාවක් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් කියන්නෙම පාඩු ලබන මහ භාණ්ඩාගාරයට බරක් වෙච්ච ජනතා බදු මුදලින් යැපෙන හොරකම දූෂණය වංචාව රජ වෙච්ච තැනක්ම වෙන්න ඕන.

එහෙව් එකේ විමල් කියනවා කර්මාන්ත අමාත්‍යාංශය යටතට ගන්න කොට රුපියල් මිලියන අසූ ගානක පාඩු ලබමින් තිබුණ එප්පාවල පොස්පෙට් සමාගම අවුරුද්දකට රුපියල් මිලියන එකසිය හතරක දැවැන්ත ලාභයක් ලබන තත්ත්වයට පත්කලාලු.

ඉතින් ඒකම මදිද පොස්පේට් සමාගම විමල්ගෙන් අයින් කරන්න ? සම්ප්‍රදාය කඩලා . ඊටත් වැඩිය විමල් කියනවා අළුතින් කිසිම සේවකයෙක් බඳවා ගත්තෙත් නෑලු. ඒ මදිවට අධ්‍යක්ෂක මණ්ඩලයට කිසිම බලපෑමක් කලෙත් නෑලු. පිස්සු නේ ?

එහෙමත් පුළුවන් ද අමාත්‍යාංශ කරන්න. අධ්‍යක්ෂක මණ්ඩලයට තමන්ගේ හෙන්චයියෝ ටිකක් දාගෙන, වේකන්සි තිබුණත් නැතත් චන්දෙට වැඩ කරපු එවුන් ටිකට පත්වීම් දීලා ආයතනය පුරවලා, හීන් සිරුවේ 10% ක විතර කොමිස් පාරකුත් ගහගෙන, බිරිඳටයි ළමයින්ටයි නෑදෑ හැත්ත බුරුත්තටමයි ඔය පුද්ගලික ලේකම් – සම්බන්ධීකරණ ලේකම් – උපදේශක වගේ තනතුරු ටිකක් හදලා දීලා සැපට ඉන්න පුළුවන් නේද ?

විමල්ට අමාත්‍යාංශ කරන්න තේරෙන්නෙ නෑ. අර තමන්ගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් මාලු විකුණනවා. අඩුම තරමින් ඒ මනුස්සයාටවත් ඔය මිලියන ගණන් ලාභ ලබන ආයතනයේ රස්සාවක් දෙන්න බැරි උනාද ? මොකද විමල් අතින් පඩි ගෙවනවද මහා භාණ්ඩාගාරෙට යන සල්ලි තමන්ගේ එකෙක්ගෙ සාක්කුවට ගියහම මොකද වෙන්නේ.

අනික විමල් හරි වැඩක්ද කලේ අර හම්බන්තොට ඛනිජ වැලි නිධිය ප්‍රශ්නයෙදි ? ඒ පලාතේ මිනිස්සු දේශපාලන අධිකාරියත් එක්ක එකතුවෙලා ඉන්දියාවට ඛනිජ වැලි ටික විකුණලා කීයක් හරි හම්බකරන්න නේද උත්සාහ කලේ. විමල් එතෙන්ටත් පැනලා ඒ වැඩේ වනකරලා දැම්මා. ඒක රජයට අරගෙන මහ භාණ්ඩාගාරයට ආදායම් උපයා දෙන ව්‍යාපෘතියක් බවට පත් කරනවලු. පිස්සු නේ ?

ඊලඟට අර බදුර්දීන් මහත්තයා පරණ යකඩ වලට විකුණන්න ලංසු තියලා තිබුණ වාලච්චේන කඩදාසි කම්හල විකුණන්න නොදී මොකද්ද අර කරපු වැඩේ. ඒක විකුණලා පොඩි කමිෂන් එකක් සාක්කුවට දාගන්නෙ නැතුව දැන් ඒකෙ නිෂ්පාදන රට පුරාමත් බෙදා හරිනවලු නේ ? පිස්සු තමයි.

ගිය ආණ්ඩු කාලේ ටිකක් විකුණලා තව ටිකක් බැංකු වලට සින්න කරපු ඇඹිලිපිටිය කඩදාසි කම්හලත් ආපහු රජයට පවර ගන්න විමල් ලොකු ගේමක් ගහනවලූ නේ ? ඕව ඇමතිවරුන්ට අයිති වැඩද අප්පා. ඊට වඩා හොඳ නැද්ද තව ඉතුරුවෙලා තියෙන යකඩ කෑල්ලක් හරි විකුණලා දාලා කීයක් හරි හොයාගන්න එක. පිස්සු නේ ?

අර මහින්ද පතිරණ මහත්තයා කියලා තිබුණා විමල්ට කර්මාන්ත අමාත්‍යාංශය දෙන්න තීරණය කලේ බැසිල් සර්ලු. හැබැයි දැන් එතුමා ඉන්නේ ඒ ගැන කලකිරීමෙන්ලු. මම නම් කියන්නේ එතුමාගේ කලකිරීම සාධාරණයි. ඇයි එතුමා කර්මාන්ත අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වුණේ මේ වගේ තත්ත්වයක් නෙමෙයි නේ. අර බදුර්දීන් මහත්තයා වගේ වැඩ කලානම් බැසිල් සර්ටත් සතුටුයි.

අනික අර නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්න හදද්දී මොකක්ද ඒ විමල් කරපු වැඩේ ? ආණ්ඩුව ඇතුලේ ඉන්න අනෙක් කුඩා පක්ෂත් එකතු කරගෙන විමල්ලා ගහපු ගේමෙන් අන්තිමට ඒ වැඩෙත් හබක් වෙලා කට්ටියගේ සාක්කුවලට වැටෙන්න තිබුණු ඩොලර් මිලියන ගාණක කොමිෂන් එකත් නැතිකලා. මං අහන්නෙ ඒවා හරි වැඩද ?

විමල් දැනගන්න ඕන ආණ්ඩුවේ ඉන්නවනම් ආණ්ඩුව ගන්න සාමුහික තීරණ වලට එකඟ වෙන්න. ආණ්ඩුව තීරණය කරනවනම් විකුණන්න ඒක ප්‍රශ්න නොකර අත උස්සන්න ඕන. මොකද රටට හරි රටේ සම්පත් වලට හරි වඩා වටින්නේ ආණ්ඩුවේ සාමුහික තීරණය ආරක්ෂා කරගන්න එක. නැද්ද මං අහන්නෙ ?

ඉතින් එහෙම බලනකොට තේරෙන්නෙ නැද්ද ලංකාවේ අමාත්‍යාංශයක් කරන්න තරම් විමල්ට දැනුමක් නැතිබව. ඒක නිසා මගේ යෝජනාව නම් බැසිල් සර්ට කියලා විමල් ගේ අමාත්‍යාංශයම ගලවලා දාන්න ඕනෑ. හ්ම් … ආවා මෙතන පාඩු ලබන ඒවා ලාභ ලබන ඒවා කොරන්න. ඒවා කොහෙද ලංකාවේ .. අම්මපා විමල්ට හොඳ වැඩේ.

පතිරණ ජයවර්ධන
ලංඩන් නුවර සිට …

******************************************

‘කොච්චර ජාතිය ඇමතුවත් වැඩක් නෑ’ – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ ‘රතු ඉර’ පනියි

(25.06.2021 – am.lk)

ජනතාව මේවන විට ආණ්ඩුව පිළිබඳ කලකිරී සිටින බව ද, එම කලකිරීම සුබවාදී අතකට නොහරවා කොතරම් ජාතිය ඇමතුවත් පළක් නොවන බව ද අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (25) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) දින රාත්‍රී 08:30 ට ජාතිය අමතන බවට පැය ගණනාවකට පෙර ප්‍රකාශයට පත්ව තිබූ අතර එවන් පසුබිමක දී අද (25) දිනයේම ආනන්ද හිමියන් මෙවැන්නක් ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

හැට නම ලක්ෂයක් ඡන්දය පළ කළේ විශාල බලාපොරෝත්තුවක් ඇතිව බව පෙන්වා දෙන උන්වහන්සේ පැවසුවේ අදවන විට සියළුදෙනාම සිටින්නේ ඉච්ඡාභංගත්වයෙන් බව යි.

එදා ගොවියාට පොහොර නොමිලයේ ලබා දෙන බවට පැවසුව ද අදවන විට මුදලට හෝ මිලට ගැනීමට පොහොර රට තුළ නොමැති බවට යි උන්වහන්සේ චෝදනා නැගුවේ.

තෙල් මිල රංගනය කුමන්ත්‍රණයක්ද?

බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව ද උන්වහන්සේ අදහස් පළ කළ අතර එහි දී උන්වහන්සේ පවසා සිටියේ බැසිල් මහතා පැමිණි පසු තෙල් උල්පතක් මතුවන අයුරින් ඇතැමුන් ප්‍රකාශ නිකුත් කරන බව යි.

බැසිල් රාජපක්ෂ මහතාට තෙල් මිල අඩු කිරීමේ හැකියාව පවතින්නේ නම් එය බොහොම හොඳ නමුත්, එය එසේ සිදුවුවහොත් මේ පිටුපස තිබූයේ කුමන්ත්‍රණයක් බවට පැහැදිළිවන බව යි ආනන්ද හිමියෝ පෙන්වා දුන්නේ.

එසේත් නොමැති නම් බැසිල් රාජපක්ෂ යනු විශ්වකර්මයෙක් විය යුතු බව ද උන්වහන්සේ පවසා සිටියා.

ආයෙ ඉවසන්න බෑ!

මේවන විට තමන්වහන්සේ ඇතුළු පිරිසගේ ඉවසීමේ සීමාව ද ඉක්මවා යමින් තිබෙන බව පවසන ආනන්ද හිමියන් අවධාරණය කළේ තවදුරටත් ඉවසීමට ගියහොත් නිවටයින් බවට පත්වන බව යි.

“දැන් අපි ඉවසුවා ඇති. තවදුරටත් ඉවසන්න ගියොත් අපි මහා නිවටයෝ බවට පත්වෙනවා. භික්ෂූන්වහන්සේ කියන්නේ සිංහයෙක් කියලයි බුදුන්වහන්සේ පැහැදිළි කළේ. අපි නිවටයෝ වෙන්න කැමති නෑ”.

චීන්නු ගෙන්නුවේ කවුද?

මේ අතර මේවන විට මෙරට බොහෝ ස්ථාන විකිණීමට පටන්ගෙන ඇති බව ද උන්වහන්සේ පවසා සිටිනවා.

‘අනාගතයේ දී ඉර හඳ පවා විකුණයි’දැයි තමන්වහන්සේ නොදන්නා බව ද උන්වහන්සේ උපහාසයෙන් යුතුව ප්‍රකාශ කළා.

වරාය නගරය පිළිබඳව ද එහි දී සිහිපත් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් පැවසුවේ මේවන විට චීන පිරිස් තිස්සමහාරාමයේ වැව් ද හාරමින් සිටින බව යි.

මෙම පිරිස් නිල ඇඳුම් ඇඳ පැළඳ සිටින බවත්, ඔවුන් කාගේ අවසරය පිට පැමිණියේදැයි නොදන්නා බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

මෙවන් පසුබිමක දී අමෙරිකානු යුද නෞකා පැමිණ ආයුධ සන්නද්ධව නැංගුරම්ලා සිටින බවට ආරංචි ලැබෙමින් තිබෙන බව ද ආනන්ද හිමියන් අනාවරණය කළා.

ජනතාවටත් ඉල්ලීමක්

පාලකයෝ කෙරෙහි තුට්ටුවක විශ්වාසයක් නැති තැනකට අද රට පත්වී තිබෙන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

මේවන විට ආණ්ඩු පාර්ශවයේ සිටින එකඳු මන්ත්‍රීවරයෙකුට හෝ අමාත්‍යවරයෙකුට මීලඟ මැතිවරණයක දී ගමට යාමට නොහැකි බව ඉතාමත්ම පැහැදිළි කරුණක් බව ද ආනන්ද හිමියන් අවධාරණය කර සිටියා.

එමෙන්ම මෙම පිරිස යළි පාර්ලිමේන්තුවට පත් කිරීමට කටයුතු නොකරන ලෙසට ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටියා ෴

******************************************

නිලධාරින් දෙපලක් සාන්ද්‍ර යූරියා හොර පාරෙන් ආනයනයට බලපත්‍ර ලබා දීමේ ජාවාරමක!

(26.06.2021 – 15:19 +0530 – lankaleadnews.com)

රූපලාවන්‍යය කර්මාන්තය ආදී සමහර කර්මාන්ත වලට පිරිසිදු සාන්ද්‍ර යූරියා අවශ්‍යයතාවයක් පවතින බැවින් එම තත්වය යොදාගෙන රට තුළට සාන්ද්‍ර යූරියා විශාල තොග ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීම සඳහා රාජ්‍යය නිලධාරින් දෙදෙනෙකු (2) විසින් ජාවාරමක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

ඔවුන් කි ග්‍රෑම් 10 ක් අවශ්‍යය ස්ථානයට කි ග්‍රෑම් 1000 ක් හෙවත් මෙට්‍රික් ටොන් 1 ක් සඳහා බලපත්‍ර ලබා දීමට ක්‍රියා කරණ බවද වාර්තා වේ. එසේ ආනයනය කරණ පිරිසිදු සාන්ද්‍ර යූරියා යොදා ගනිමින් එම ප්‍රමාණය මෙන් 100 ගුණයකින් දියර පොහොර වර්ග නිපදවිය හැකි බවද විද්වතුන් අදහස් පළ කොට ඇත.

ඒ අනුව රසායනික පොහොර තහනම් කිරීමෙන් පසුව වෙනත් ආකාරයකට රසායනික පොහොර ආනයනය කර ඒවා දියකර දියර පොහොර හැදීමේ ජාවාරම දැන් ආරම්භ වී ඇති බව වාර්තාවේ. මෙම ජාවාරම පිටුපස කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුද සිටින බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ ෴

******************************************

ඩො. මි. 123 ක පොහොර ව්‍යාපෘතියෙන් කැබිනට් ඇමතිවරයෙකු පගාව ඉල්ලලා

(26.06.2021 – colombotoday.com)

මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති දෙකකට (2) අනුමැතිය ලබා දීමට කැබිනට් අමාත්‍යවරයෙකු යම් කිසි මුදලක් අල්ලස් වශයෙන් ලබා දෙන ලෙස අදාළ ව්‍යාපෘතිය භාර මෙරට නියෝජිතයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

අදාළ ව්‍යාපෘති දෙක (2) සඳහා යුරෝපයේ සිටින ශ්‍රීලාංකික ව්‍යවසායකයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 123 ක ආයෝජනයක් කිරීමට සුදානමක් ඇති පසුබිමක මෙලෙස මුදලක් ඉල්ලා ඇති බව එම ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් මහතා සඳහන් කළේ.

ත්‍රිකුණාමලය හා වව්නියාව ප්‍රදේශවල ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘති සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේද අවශ්‍ය අනුමැතිය ද ලැබී තිබියදී අදාල අමාත්‍යවරයා මෙම අල්ලස ඉල්ලා ඇති බව සඳහන් වෙයි.

මෙහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ‘ඔයාල යුරෝ ඩොලර් අරගෙන එනවා මෙහෙ ප්‍රොජෙට් කරන්න, අපිටත් මොනවහරි කරන්න’ යනුවෙනි.

මෙම කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය භාර යුරෝපයේ ආයෝජකයා ප්‍රකාශ කර ඇත්තේ මේ සඳහා යම් මුදලක් රජයේ අමාත්‍යවරයකු බලාපොරොත්තු වන්නේ නම් ශ්‍රී ලංකාව තුළ අදාළ ව්‍යාපෘති සිදු නොකරන බවයි.

එම ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කරන්නේ මේ වගේ ඇමතිවරු නම් මේ රට දියුණු කරන්න බැහැ.
එම නිසා මෙවැනි අමාත්‍යවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් තවදුරටත් රැඳී සිටිනවා නම් ජනාධිපතිට මෙරටට ආයෝජන ගෙන්වා ගැනීම මහත් ගැටළු සහගත වන බවයි කාබනික පොහොර ව්‍යාපෘතියේ මෙරට නියෝජිත නිමලන් විශ්වනාදන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඉන්දික ශ්‍රී අරවින්ද

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Pathirana Jayawardana.
    Aney Kaunaakara kaellak liyannako maha banku mankollaya ganath. Amarasara daayakathwayath hondatama waediwei.
    අනේ කරුණාකර කෑල්ලක් ලියන්නකෝ ‘මහ බැංකු මංකොල්ලය’ ගැනත්. අමරසර දායකත්වයත් හොඳටම වැඩියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *