ජුලි සිට සැප්තැම්බර් දක්වා එන්නත් මිලියන 17 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

ජුලි සිට සැප්තැම්බර් දක්වා එන්නත් මිලියන 17 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

*********************************************

ජුලි සිට සැප්තැම්බර් දක්වා එන්නත් මිලියන 17 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

(25.06.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදයට ලෝක බැංකුවේ ප්‍රසාදය පළවී තිබෙනවා.

එන්නත් මිලදී ගැනීමේ විනිවිදභාවය සහ ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසදීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින ආයතනය ලෙස ලෝක බැංකුව හඳුනාගෙන ඇති බවයි එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.

ඒ සඳහා ලබාදෙන පිළිගැනීමක් ලෙස එන්නත් මිලදී ගැනීමේ දී ලෝක බැංකු වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකිරීමේ අවකාශය ශ්‍රී ලංකාවට හිමි වන බව ඔහු සඳහන් කළා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදීයි මේ බව අනාවරණ කෙරුණේ.

ලබන ජුලි මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්, සයිනෝවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17 කට අධික ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී කියාසිටියේ.

දවසේ වැඩි කාල පරාසයක් තුළදී එම රෝහල්වලින් එන්නත් ලබාගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ඔහු සඳහන් කළා ෴

++++++++++++++++++++++

(25.06.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පස්දෙනෙකු (5) මෙරටින් වාර්තාවී තිබුණද, ඊට වඩා පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය ප්‍රකාශ කළා.

ඒ නිසා සංචරණ සීමා ලිහිල් වුවද ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පස්දෙනෙකු (5) දෙමටගොඩ – ආරාමය පෙදෙසින් මීට පෙර හඳුනාගැනුනා.

කෙසේ වෙතත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාශයේ අද (25) පැවති මාධ්‍ය හමුවකදී එම කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ එම ආසාදිතයන් හැර ඩෙල්ටා ප්‍රභේදය සහිත කිසිදු ආසාදිතයෙකු මේ දක්වා හඳුනාගෙන නොමැති බවයි.

මෙහිදී කොවිඩ් පෙරසූදානම් හා ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා ජනරාල් හේමන්ත හේරත් මහතා ගෙන් ප්‍රශ්න කළා.

එහිදී ඔහු සදහන් කළේ මේ පිළිබදව සොයා බැලීමක් සිදුකරන බවයි.

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත් කිලිනොච්චිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 15 දෙනෙකු හදිසියේ අසනීප වීම හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර තිබෙනවා.

ඊයේ (24) මොවුන් එන්නත් ලබාගෙන ඇති අතර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. සරවනභවන් මහතා සඳහන් කළේ ඇතිවූ මානසික ආතතිය මෙම රෝගී තත්වයට හේතුවී ඇති බවයි.

මේ අතර, මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කර දින 10 කට පසුව ඊශ්‍රායලය අද (25) යළි මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරනු ලැබුවා.

ඒ, මේ මස මුලදී කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ, එරට දෛනික ආසාදිතයන් 100 ඉක්මවා වාර්තාවීමත් සමඟයි.

+++++++++++++++++++++

(25.06.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 48 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2862 ක් ලෙසටයි.

එම මරණ අතර කාන්තාවන් 22 ක් සහ පිරිමි පුද්ගලයන් 26 ක් වනවා. අවුරුදු 30 ත් 59 ත් අතර කාන්තාවන් 4 ක් සහ පිරිමි පුද්ගලයන් 7 ක් ඊට අයත්.

මියගිය කාන්තාවන් 18 ක් අවුරුදු 60 සහ ඊට වැඩි අය වන අතර එම වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු ද මියගිය පිරිස අතර වනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 620 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (25) දිනයේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1859 ක්. මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 249,926 ක් වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++

නිවස වෙත පැමිණෙමින් සිටියදී ඇදවැටී මියගිය පුද්ගලයාට කොවිඩ්

(25.06.2021 – 19:13 +0530 – sinhala.adaderana.lk)

අම්බලන්ගොඩ තිලකපුර ජල ටැංකිය ප්‍රදේශයේ මාර්ගය අසල ඊයේ (24) ඇදවැටී මියගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව පී.සී.ආර්. පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

64 හැවිරිදි එම පුද්ගලයා මාර්ගයේ ඇදවැටීමෙන් පසුව ඔහුට කෘත්‍රීම ශ්වසනය ලබාදීමට පුතුන් දෙදෙනා (2) කටයුතු කර තිබුණි.

තිලකපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ, මියගිය පුද්ගලයා පදිංචිව සිටි නිවස සහ ඔහු ආ ගිය නිවාස 4 ක පුද්ගලයින් නිරෝධායනයට යොමු කළ බවය.

මේ අතර ඇහැලියගොඩ ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් බෝපැත්ත, ඉද්දමල්ගොඩ සහ ගැටහැත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යෑමේ අවස්ථාවට පැමිණි ඇහැලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ගොඩනැගිල්ලක සේවය කරන පුද්ගලයින් පිරිසකට අවවාද කිරීමට ද කටයුතු කර තිබුණි.

එහිදී “50 ක් විතර ඉන්නවා මෙතන. හදාගන්නකො බලන්න කොවිඩ්. එතකොට ගෙවල් ටික විතරක් ඉතුරු වෙයි” යනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසා තිබුණි.

@@@@@@@@@@@@@@@@@

(25.06.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

කිරින්ද – මහාරාවණා ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසින් ගින්නක් හටගෙන ඇති ‘එම්.එස්.සී. මෙසීනා’ නැමති බහාලුම් නෞකාව අසළට ඊට නුදුරින් ගමන් කරමින් තිබූ වෙළඳ නෞකාවක් යොමු කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සඳහන් කළේ නෞකාවේ කපිතාන්වරයා විසින් අද (25) අලුයම එන්ජින් කාමරය තුළ ගින්නක් හටගෙන ඇති බවට දැනුම් දුන් බවයි.

මීට දින 3 කට පෙර කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා ගමන් ආරම්භ කර ඇති මෙම නෞකාව තුළ මෙලෙස ගින්නක් හටගෙන ඇත්තේ ජාත්‍යන්තර මුහුදේ දී බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එහෙත් එය මේ වන විට පවතින මුහුදු කලාපය, ශ්‍රී ලංකාවේ ගලවා ගැනීමේ කලාපයට අදාළ බැවින් සියළු අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවයි ඔහු කියා සිටියේ.

දිගින් මීටර 300 කින් සහ මීටර 37 ක පළලකින් යුත් මෙම නෞකාව 1995 වර්ෂයේදී නිෂ්පාදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 28 දෙනාගෙන් එක් අයෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සඳහන් කළේ.

මේ අතර පසුගියදා ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (25) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණියා.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විවිධ කමිටු නොව තනි කමිටුවක් පත් කළ යුතු බවයි මන්ත්‍රීවරුන් මෙහිදී සඳහන් කළේ.

******************************************

(25.06.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

පොදු සුසාන භූමියක කොටසක් ඩෝසර් කර වෙළඳසැල් කිහිපයක් ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් අඹගමුව ප්‍රාදේශීය සභාව වටලා අද (25) විරෝධතාවක නිරතවුණා.

එම අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය ද පැවති අතර, එහිදී විරෝධතාකරුවන් සහ ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා අතර උණුසුම් සංවාදයක් ද ඇති වුණා ෴

******************************************

(25.06.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර ආනයනය තවදුරටත් ක්‍රියාත්මක වුවත් කිසිසේත් කොම්පොස්ට් පොහොර ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

මේ අතර, රසායනික පොහොර නොමැතිකමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ සිය වගාවන් සිදුකරගෙන යාමට නොහැකිවීම හේතුවෙන්.

කල්පිටිය – නොරෝච්චෝලේ ප්‍රදේශයේ බීට් ගොවීන්ද පොහොර නොලැබීමෙන් දූෂ්කරතාවට පත්ව සිටිනවා. ඇඹිලිපිටිය හිඟුරආර වෙල් යායේදි විරෝධතාවක් පැවති අතර ඊට සමගි ජනබලවේගයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයින් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එමෙන්ම, පැල්මඩුල්ල ප්‍රදේශයේ තේ වගාවේ නිරත පිරිස් පොහොර නොලැබීමට එරෙහිව විරෝධතාවයේ නිරත වුණා.

මහනුවර – හේවාහැට – පස්ගම ප්‍රදේශයේ එළවළු ගොවීන් කියා සිටියේ පසුගිය වසරේ විශාල අස්වැන්නක් ලබාගත් තමන්ට පොහොර නොමැතිකමින් දැඩි අපහසුතාවයනට පත්ව ඇති බවයි.

මේ අතර, රේගු භාරයේ ඇති ඉන්දියාවෙන් ආනයනය කරන ලද කාබනික පොහොර අඩංගු බහලුම් 03 ක් සම්බන්ධයෙන් ආනයනය පාලකවරයා මෙතෙක් අවසන් තීරණයක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

කේත අංකයේ පවතින ගැටළු සහගත තත්ත්වයක් හේතුවෙන් අදාල පොහොර තොගය පසුගියදා රේගු භාරයට ගෙන මේ වන විටත් ඔරුගොඩවත්ත බහලුම් පර්යන්තයේ ගබඩා කර තිබෙනවා.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශවලට අනුකුලව පමණක් කාබනික පොහොර ආනයනය සිදුකරන බවයි.

******************************************

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 25-06-2021 දින රාත්‍රී 08:30 ට ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය :

ජනාධිපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය (2021-06-25) (අකුරෙන්)

******************************************

(25.06.2021 – 21:23 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවේචනය කිරීමට අමෙරිකානු තානාපතිවරියට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මාහානාම හේවා මහතා පවසනවා.

ඔහු මේ බව අවධාරණය කළේ, ජනාධිපතිවරයා විසින් ලබාදුන් ජනාධිපති පොදු සමාව පිළිබඳ අමෙරිකානු තානාපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කර සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 16 දෙනෙකු ඇතුළු රැඳවියන් 93 දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ (24) නිදහස් කෙරුණා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ද ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමි වුණා.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

එමගින් ඇය, ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කිරීම අගය කර ඇති අතර දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා නිදහස් කිරීම නීතිය අවභාවිත කිරීමක් බවයි සඳහන් කර ඇත්තේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව අදහස් පළ කළා.

******************************************

(25.06.2021 – 22:32 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත, නාකුළුගමුව ගලගම ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබූ විදේශයක නිෂ්පාදිත ස්වයංක්‍රීය T56 ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායයි අද (25) දහවල් මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්හැර දමා ඇති ඉඩමක පාලු නිවසක් පිටුපස වළ දමා තිබියදී A2 වර්ගයේ T56 ගිනි අවිය හමුවී ඇති අතර එහි තිබී ජීව උණ්ඩ 13 ක් සහ මැගසිනයක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ගිනි අවිය වැඩිදුර විමර්ශණ සඳහා බෙලිඅත්ත පොලිසියට භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

******************************************

අසේල සම්පත් CID අත්අඩංගුවට.. – පොලීසිය

(25.06.2021 – 22:05 +0530 – newsfirst.lk/sinhala)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ සිටියදී කිසියම් පිරිසක් රැගෙන ගිය බව ඔහුගේ දියණිය සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතර අප කළ විමසීමකදී පිළියන්දල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) අසේල සම්පත් මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට තමා දැනුවත් කර ඇති බවය.

******************************************

මාරාන්තික MIS-C ළමා රෝගය ලංකාවේ පැතිරෙයි… රිජ්වේ රෝහලෙන් උපදෙස් මෙන්න..

(26.06.2021 – 03:26 +0530 – lankacnews.com)

මාරාන්තික MIS-C ළමා රෝගය ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ ගණනක් වැයවන නිසා එම ප්‍රතිකාර ලබාදීම සඳහා රාජ්‍ය අංශය සූදානමින් සිටින බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා අනාවරණය කරයි.

ඔහු පෙන්වාදෙන්නේ මෙම රෝගය වැළඳුණු දරුවන් කිහිප දෙනෙකුම රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පසුගියදා ප්‍රතිකාර ලබාගත් බවත් ඉදිරියේදී මෙම රෝගය වැළඳුණු දරුවන් වැඩි වශයෙන් දිවයින තුළින් හමුවනු ඇතැයි විශ්වාස කරන බවයි.

අප එදිනෙදා දකින රෝග ලක්ෂණම මෙම රෝගයේදී දකින්නට ලැබෙන බවත් බඩේ කැක්කුම, වමනය, පාචනය, සම මතුපිට දදයක් මතුවීම, ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ දරුවෙකු තුළින් මතුවුවහොත් ඒ පිළිබඳව දැඩිව සැකිලිමත් වන ලෙසත් එවැනි අවස්ථාවක දරුවා වහාම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන ලෙසත් විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී.

ඔහු විසින් අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාවකදී මෙම අදහස් පල කලේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *