එන්නත් ගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරු ඇතුලු 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැලඳේ

එන්නත් ගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරු ඇතුලු 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැලඳේ

*********************************************

එන්නත් ගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරු ඇතුලු 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැලඳේ

(20.06.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල 350 කට වැඩි පිරිසකට ‘ඉන්දිය ඩෙල්ටා’ ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මොවුන් ‘සිනොවැක්’ එන්නත ලබාගෙන තිබියදී මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.

එරට එන්නත්කරණය පසුගිය ජනවාරි මාසයේදී ආරම්භ කෙරුණු අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛත්වය ලබාදී එන්නත්කරණය සිදුකළා.

ඉන්දුනීසියානු වෛද්‍ය සංගමය පවසන්නේ එරට සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට චීනයේ නිෂ්පාදිත ‘සිනොවැක්’ එන්නත ලබා දී ඇති බවයි ෴

++++++++++++++++++++++

(20.06.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු පිළිබදව බස් සංගම් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර පරස්පර අදහස් මතුව තිබෙනවා.

බස් සංගම් ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බැවින් ඒ පිළිබදව ජාතික ගමනාගමන කොමිසම ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගත් බවයි.

එසේම, ඉදිරියේදී විෂය භාර අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මහනුවර දී ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බස් සංගම් සමඟ මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පැවැත්වූ අතර, ඔවුන් මේ මොහොතේ ගාස්තු වැඩිවීමක් අපේක්ෂා නොකර වෙනත් සහනයක් බලාපොරොත්තු වන බවයි.

දිවයිනටම පනවා ඇති සංචරණ සීමා හෙට (21) අලුයම හතරට (04:00) ඉවත් කෙරෙන අතර, යළි 23 වන දා සංචරණ සීමා පනවනු ලබන්නේ රාත්‍රී 10:00 ටයි.

එය 25 වන දා අලුයම 04:00 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර, සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ දුම්රිය ස්ථානවල මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහි එක් අදියරක් ලෙස කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ විෂබීජ නාශක දියර ලබා ගැනීමට ස්වයංක්‍රීය උපකරණ සවි කිරීමේ ව්‍යාපෘතියක් අද (20) සිදුකෙරෙන බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ වින්ග් කමාන්ඩර් මහේෂ් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++

(20.06.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

සරසවි වරම් ලැබූ එහෙත් තවමත් ඒ සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට නොහැකි වූ සිසුන්ට ඒ සඳහා මේ මස 23 වනදා දක්වා තවත් අතිරේක දින 3 ක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට තිබූ අවසන් දිනය පෙරේදායින් (18) අවසන් වූ අතර, පවතින සංචරණ සීමා සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ ෴

+++++++++++++++++++++

(20.06.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

උණවටුන – ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදි ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේදී අතරමැදියෙකු ලෙස ක්‍රියා කළ බව කියන ගාල්ල – කොටුව පදිංචි පුද්ගලයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල නියෝග කළා.

එමෙන්ම තවත් ජංගම දුරකථන අංක කිහිපයක වාර්තා ලබාගන්නා ලෙසයි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග ලබාදී ඇත්තේ.

පසුගිය 05 වනදා සහ හත්වන (07) දින ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගැනීමට බස්නාහිර පළාතේ සිට වාහනවලින් දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පැමිණි සිද්ධියට අදාළ නියෝගය ලබාදෙනු ලැබුවේ ෴

++++++++++++++++++++

(20.06.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – එරාවුර් නගරය ආසන්නයේ මිච්නගර් ප්‍රදේශයේදී සංචරණ සීමා කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු දණගැස්සවීමේ සිද්ධියකට අදාළව හමුදා නිලධාරියෙකු සහ සැරයන්වරයෙකු පරීක්ෂණ නිමවන තෙක් තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

අදාළ හමුදා නිලධාරියා සහ සැරයන්වරයා දැනට එරාවුර් ප්‍රදේශයේ හමුදා අනුකණ්ඩයක රාජකාරියේ නිරතවන බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

අදාළ පිරිස සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක එරාවුර් නගරයේ ආපනශාලාවක් විවෘත කර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් එහි රැඳී සිට තිබෙනවා.

මීට පෙරද අවස්ථා කිහිපයකදී අදාළ වෙළඳසැලේ හිමිකරුට සහ එහි පැමිණෙන පුද්ගලයින්ට ඊට අදාළව අවවාද කර ඇත්තේ සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වෙළඳසැළ විවෘත නොකරන ලෙසටයි.

එහෙත් එම අවවාද සහ උපදෙස් පිළි නොපදිමින් එම පිරිස වෙළඳසැලට පැමිණ ආහාර ලබාගෙන ඇති බවටයි වාර්තාවන්නේ.

මේ පිළිබඳව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ද අවස්ථා කිහිපයකදි දැනුවත් කර ඇති අතර, ඉන් අනතුරුවයි මෙම පිරිස මාර්ගයේ දණ ගස්සවා ඇති බවට වාර්තාවන්නේ ෴

+++++++++++++++++++++

(20.06.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ පාසල් වසා දමා ඇති අවස්ථාවේ සිසුන්ට අධ්‍යාපනය ලබාදීම සිදුවන්නේ මාර්ගගත ක්‍රමවේදයට අනුවයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල පවතින අන්තර්ජාල පහසුකම්, දුරකථන සංඥා මෙන්ම ඊට අදාළ මෙවලම් නොමැතිවීම හේතුවෙන් සිසුන් සහ ගුරුවරුන් මේ වනවිට ගැටළු රැසකට මුහුණදී සිටිනවා.

මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවීමේදී ගැටළු රාශියකට කරුවලගස්වැව ප්‍රාදේශී ලේකම් කොට්ඨාශයේ ගම්මාන රැසක්ද මුහුණදී සිටිනවා.

අන්තර්ජාල පහසුකම් සහ දුරකථන සංඥා නොමැතිකම හේතුවෙන් සිය අධ්‍යාපන කටයුතු නිසි පරිදි ඉටුකර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවන්ට තමන් මුහුණ දෙන බවයි ප්‍රදේශයේ සිසුන් ප්‍රකාශ කළේ.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේද ගම්මාන රැසක සිසුන් මෙම ගැටළුව හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

@@@@@@@@@@@@@@@@@

(20.06.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

පිළිස්සුම් තුවාල සහිතව මියගිය තල්මසෙකු මන්නාරම – මුසලි – කරඩිකුලි වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා.

අඩි 12 ක් පමණ දිගින් යුතු මෙම තල්මසා ඊයේ (19) පස්වරුවේ වෙරළට ගොඩගසා තිබියදී හමුවූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එමෙන්ම අම්පාර – පෙරියනිලාවනෙයි වෙරළ තීරයට සහ හලාවත වෙරළ තීරයට මියගිය කැස්බෑවන්ගේ සිරුරු ගොඩගසා තිබෙනවා.

මියගිය තල්මසාගේ සහ කැස්බෑවන්ගේ සිරුරු සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ධීවරයන් විසින් නාවික හමුදාවට දැනුම්දී ඇති බවද සඳහන් ෴

******************************************

(20.06.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දියාව විමසිල්ලෙන් පසුවන බව එරට හමුදා ප්‍රධානියෙකු පවසා තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය පුවත් සේවයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදියි.

ඉන්දියාව සතුව මනා සාගර සීමා ආරක්ෂාවක් පවතින අතර, කිසිවෙකුට තම රටට මැදිහත්වීම් සිදුකළ නොහැකි බවට ඔහු කියා සිටියා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර හම්බන්තොට වරායේ බලය තහවුරු කර ගැනීමට චීනය සමත් වූ බවයි ඉන්දීය නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානියා අදාළ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ.

චීනයේ ප්‍රවේශය තර්ජනයක් ලෙසම හඳුනා ගැනීම ගැටළු සහගත වුවත් ඔවුන් කලාපය පිළිබද දැඩි උනන්දුවක් දැක්වීම තාර්කිකව අවධානයෙන් විමසා බැලිය යුතු කරුණක් බව ඔහුගේ අදහස වුණා.

එබැවින් චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලකින් පසුවන බවයි ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානී වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් ඉන්දීය පුවත් සේවයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ.

******************************************

(20.06.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – හබරණ – කිතුල්උතුව ප්‍රදේශයේ පැලකට ඇද තිබූ අනවසර විදුලි රැහැනකින් සිදුවූ විදුලිය කාන්දුවකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (20) අලුයම මෙලෙස මියගොස් ඇති මවගේ වයස අවුරුදු 45 ක් වන අතර දරුවා 13 හැවිරිදි වියේ පසුවනවා.

නිවසට යාබදව තිබූ වගාවක පැල් රකිමින් සිටියදී මොවුන් මෙම අනතුරට ලක්වුණා.

******************************************

(20.06.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (19) දින සිදු කළ මෙහෙයුම්වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

බංගදෙණිය, ත්‍රිකුණාමලය, කලුතර උතුර, කලුතර දකුණ, සාලියපුර, නවගමුව, පල්ලෙකැලේ, මුල්ලේරියාව සහ මන්නාරම ප්‍රදේශවලදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය බංගදෙණිය ප්‍රදේශයේ කළ වැටලීමකදී මෝටර් රථයකින් හෙරොයින් ග්‍රෑම් 290 ක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (19) මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ බලගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්.

මේ අතර ත්‍රිකුණාමලය සිංහපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 590 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමල පොලිසිය කළ වැටලීමකදීයි.

අවුරුදු 43 සහ 46 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා (2) ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවන්.

මේ අතර කලුතර දකුණ පොලිසිය විසින් පලාතොට සහ මහ වස්කඩුව ප්‍රදේශවලදී සිදුකළ වැටලීමකින් හෙරොයින් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (19) පස්වරුවේ පලාතොට හංදියේදී 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනේ හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100 ක් සමගින්. එම සැකකරු කලුතර දකුණ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මහ වස්කඩුව ප්‍රදේශයේ කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 440 ක් සමග 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනා. එම පුද්ගලයා වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර කලුතර උතුර පොලිසිය කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 100 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා. 24 හැවිරිදි සැකකරු වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය විමර්ශන අංශය සාලියපුර ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 210 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 24 ක් වන සැකකරු සාලියපුර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

නවගමුව කොතලාවල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 19 ක් සහ අයිස් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 130 ක් සමග කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නවගමුව පොලිසිය කළ වැටලීමකදීයි.

පල්ලෙකැලේ වතුවල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 30 ක් සමග ඊයේ (19) උදෑසන සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පල්ලෙකැලේ පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර නෙවිල් ප්‍රනාන්දු රෝහල අසලදී මුල්ලේරියාව පොලිසිය කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 100 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 22 සහ 25 වයස්වල පසුවන සැකකරුවන් කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හෙළිවී ඇත්තේ.

මේ අතර මන්නාරම කාර්සල් ප්‍රදේශයේදී කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 4 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පේසාලේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්. පොලිසිය සඳහන් කළේ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි ෴

******************************************

(20.06.2021 – 12:26 +0530 – hirunews.lk/sinhala)

පොහොර නොමැතිකමින් සිය වගාවන් සිදුකර ගත නොහැකිව පීඩාවට පත්වන ගොවීන් පිළිබඳ දිනෙන් දින දිවයින පුරා ප්‍රදේශ රැසකින්ම වාර්තාවනවා.

නමුත් මෙම ගැටලුවට ගොවීන්ට තවමත් නිසි විසඳුමක් ලැබී නැහැ.

මේ අතර නිසි පරිදි සිය වගාවන් සිදුකරගෙන යාමට අවශ්‍ය පොහොර නොලැබීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බව පවසමින් බදුල්ල – කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොවීන් අද (20) උද්ඝෝණයක නිරත වුණා.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතුහිමියන්ද ප්‍රකාශ කළේ නිසි පරිදි පොහොර නොලැබීම නිසා සිය තේ දළු අස්වැන්න අඩුවී ඇති බවයි.

ඒ අනුව පොහොර ගැටලුවට අවශ්‍ය විධිමත් විසඳුමක් ලබාදෙන ලෙසයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

******************************************

(20.06.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පියෙකු එල්ල කළ ප්‍රහාරයකින් ඔහුගේ මාස 08 ක් වන සිඟිති දියණිය මියගොස් දරුවාගේ මිත්තණිය බරපතළ තුවාල ලබා තිබෙනවා.

අදට (ජූනි 20) යෙදෙන ලෝක පියවරුන්ගේ දිනයට කළුපැල්ලමක් එක්කරමින් මෙම අනුවේදනීය පුවත වාර්තා වුනේ ත්‍රීකුණාමලය – කප්පල්තුරෙයි ප්‍රදේශයෙන්.

ත්‍රීකුණාමලය – කප්පල්තුරෙයි ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු 21 හැවිරිදි පියෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇත්තේ ඊයේ (19) පස්වරුවේයි.

එම පහරදීමෙන් මාස 08 වයසැති ඔහුගේ සිඟිති දියණිය මියගොස් තිබෙනවා.

එම ප්‍රහාරය වැලැක්වීම සඳහා ඔහුගේ බිරිඳගේ මව මැදිහත්ව ඇති අතර සැකකරු විසින් තියුණු ආයුධයකින් ඇයගේ අතක් කපා දමා තිබෙනවා. එම ප්‍රහාරයෙන් ඇයගේ අත වලලුකර ප්‍රදේශයෙන් වෙන්ව තිබුණා.

ප්‍රදේශවාසීන් විසින් කැපුම් තුවාල ලබා සිටි 43 හැවිරිදි කාන්තාව ත්‍රීකුණාමලය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය පැමිණ කැපී වෙන්ව තිබු අත කොටස ද රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළා.

ප්‍රහාරයෙන් මියගිය මාස 08 ක දියණියගේ මව ද බාලවයස්කාරයෙකු වන අතර ඇගේ වයස අවුරුදු 15 ක්.

පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය හා පහරදීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රහාරයෙන් පසුව 21 හැවිරිදි සැකකරු පළාගොස් සැඟව ඇති අතර පොලිසිය සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

******************************************

(20.06.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණදී සිටින මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් විදේශීය ණය සපයන ආයතනවලින් ලබාගැනීමට රජය තීරණය කර තිබෙනවා.

එම මුදල, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේශීය ණය පියවා ගැනීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, තෙල් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.081 ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා.

එම ණය ගෙවීමට වාර්ෂිකව රුපියල් බිලියන 30 කට ආසන්න මුදලක් ගෙවීමටයි සිදුව ඇත්තේ.

ඒ අනුව ලබාගැනීමට තීරණය කර ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල පිරිනැමීම සඳහා ණය සපයන ආයතන හතරක් පමණ මේ වනවිට කැමැත්ත පළ කර ඇති බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කළේ.

ඔවුන්ගේ යෝජනා මේ වනවිට කමිටුවක් මගින් සළකා බලමින් සිටින බවද අමාත්‍යාංශ ලේකම්වරිය කියාසිටියා.

පසුගියදා රජය විසින් පෙට්‍රල්, ඩීසල් මෙන්ම භූමිතෙල් මිලද ඉහළ දැමූ අතර, ඊට එරෙහිව අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *