වසංගත ඒකකයේ ප්‍රධානියා ඉවත් කිරීමේ හේතුව හෙළිවේ

වසංගත ඒකකයේ ප්‍රධානියා ඉවත් කිරීමේ හේතුව හෙළිවේ

*********************************************

වසංගත ඒකකයේ ප්‍රධානියා ඉවත් කිරීමේ හේතුව හෙළිවේ

(19.06.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් ලබාදීමට හේතුව මේ වනවිට හෙළිව තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ වසංගත රෝග විද්‍යා අංශය පසුගිය දිනවල ලබාදුන් තොරතුරු වල පැවති ගැටළු සහගත තත්ත්වය හේතුවෙන් මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව අද (19) පෙරවරුවේ වාර්තා වුණා.

මෙම නව පත් කිරීමත් සමඟ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා.

ඩෙංගු මර්දන ඒකකයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ ධුරයට ඉල්ලුම් කර තිබූ අතර, ඒ අනුව ඔහුට එම තනතුර ලැබී ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමත් සමඟ වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ ආයතන ප්‍රතිසන්ධාන කිරීමේ ක්‍රියාවලිය යටතේ මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි.

ඊයේ (18) මෙරටින් වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් එනම් 493 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එම ආසාදිතයින්ගෙන් 135 දෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් හඳුනා ගැණුනා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 274 දෙනෙකු මඩකලපුවෙන් 174 දෙනෙකු හමුවුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 166 දෙනෙකු වාර්තාවී ඇති අතර, කෑගල්ලෙන් සහ ගාල්ලෙන් ආසාදිතයන් 111 දෙනෙකු බැගින් වාර්තාවී තිබෙනවා.

පසුගිය කාල වකවානුවේ ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (18) ආසාදිතයන් වාර්තාවීම පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. එම සංඛ්‍යාව 104 ක්.

(19.06.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

පානදුර – අරුක්ගොඩ ප්‍රදේශයේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ අවස්ථාවකදී අද (19) නොසන්සුන්තාවයක් ඇති වුණා.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ ඇතැම් පුද්ගලයින් දේශපාලන බලපෑම් මත එන්නත් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

එහිදී ප්‍රදේශවාසියෙකු හිරු මාධ්‍යවේදියාට සිය රාජකාරියට බාධා කරනු ලැබුවා.

මෙරට එන්නත්කරණ වැඩසටහන අද (19) දිනයේත් ක්‍රියාත්මකයි. ඊයේ (18) දිනයේ සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 34,476 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඊට අමතරව එහි පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 22,419 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 1423,874 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 414,448 ක්.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 81,695 කට සහ දෙවන (2) මාත්‍රාව 11,691 කට ලබාදී තිබෙනවා.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 925,242 කුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 357,868 ක් ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2134 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 199,393 ක් ලෙසටයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 1420 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 236,833 ක් වනවා ෴

++++++++++++++++++++++++

(19.06.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ ප්‍රදේශයේ දින 18 ක බිළිඳෙකු උපතේදී ඇතිවූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් පෙරේදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගොස් තිබෙනවා.

පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ එම බිළිඳාට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

ඒ අනුව බිළිඳාගේ දේහය ඊයේ (18) ආදාහනය කර තිබෙනවා.

මේ අතර ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් වාර්තා වූ දෙමටගොඩ ආරාමය ප්‍රදේශයේ අද (19) එන්නත්කරණ කටයුතු සිදු කරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය කියා සිටියා ෴

+++++++++++++++++++

(19.06.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් තත්වයත් සමඟ දිවයිනේ බොහෝ පිරිසකට තම ජීවිකාව සිදුකර ගැනීමේ දැඩි අසීරුතා පැන නැගුණා.

එලෙස පීඩාවට පත් කතරගම ප්‍රදේශයේ ජන ජීවිතය පිළිබඳව පසුගියදා අප හිරු ප්‍රවෘත්ති තුළින් අනාවරණ කිරීමෙන් පසු පරිත්‍යාගශීලීන්ගේ අවධානය ඒ වෙත යොමුවී තිබෙනවා.

++++++++++++++++++++

(19.06.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලබන 21, 22 සහ 23 යන දින තුනෙහි (3) මැනිං පොදු වෙළදපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.

මේ බව මැනිං වෙළද සංගමයේ සහ සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා සදහන් කළා ෴

+++++++++++++++++++++

(19.06.2021 – 16:48 +0530 – hirunews.lk/sinhala)

ලබන 21 වන සඳුදා සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව දිවයිනේ සියලුම පළාත් තුල පමණක් සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුව බස් රථවල මගීන් ගෙන යාමට බස් හිමියන් සහ සේවකයන් දැනුවත් කර ඇති බවයි.

බස් ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රවාහන අමාත්‍යංශය ඇතුලු අදාළ ආයතන සමග සාකච්ඡා කරන බව ද ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

++++++++++++++++++++

(19.06.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හඳුනාගත් දෙමටගොඩ ආරාමය පෙදෙසින් තවත් කොවිඩ් ආසාදිතයන් 15 දෙනෙකු හඳුනාගෙන ඇතැයි තොරතුරු වාර්තා වනවා.

ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් පස් දෙනෙකු (5) කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පසුගියදා සඳහන් කළේ.

මෙම ප්‍රභේදය දැනට මෙරට තුළ ව්‍යාප්තව ඇති B.117 ප්‍රභේදයට වඩා අතිශය බරපතළ හානි ගෙනදෙන බවත් එය දෙගුණයක (2) වේගයකින් ව්‍යාප්ත වන බවයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.

මේ වන විට ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන ඉන්දීය කොරෝනා ප්‍රභේදය වන ඩෙල්ටා (B1.6.617.2) ප්‍රභේදයේ නව විකෘති ප්‍රභේදයක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන බව පැවසෙන මෙම ප්‍රභේදය නම් කර ඇත්තේ AY.1 හෙවත් ‘ඩෙල්ටා ප්ලස්’ නමින්.

දැනට මෙම ප්‍රභේදයේ රෝගීන් 63 දෙනෙකු ලොව පුරා හඳුනාගෙන ඇති අතර ජුනි 11 වැනි දින ඉන්දියාව විසින් නිකුත් කල කොවිඩ් වාර්තාවේ මෙම නව ප්‍රභේදය ආසාධනය වූ රෝගීන් 6 දෙනෙකු එරටින් වාර්ථා වී තිබුනා.

මෙයට අමතරව කැනඩාව, ජර්මනිය,රුසියාව යන රටවලින් වාර්තා වී තිබුනේ මෙම ප්‍රභේදයේ එක රෝගියෙකු බැගිනුයි.

එමෙන්ම නේපාලයෙන් රෝගීන් 2 ක්, ස්විස්ටර්ලන්තයෙන් 4 ක්, පෝලන්තයෙන් 9 ක්, පෘතුගාලයෙන් 12 ක්, ජපානයෙන් 13 ක් සහ අමෙරිකාවෙන් 14 ක් ලෙසින් ගෝලීයව රෝගීන් වාර්ථා වී තිබුනා.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් බිය පල කරන්නේ මෙම ප්‍රභේදය පවතින කොවිඩ් මර්ධන එන්නත් කෙරෙහි යහපත් ප්‍රතිචාර නොදක්වනු ඇති බවටයි.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ඇති බවට තහවුරු කෙරුණු දෙමටගොඩ ආරාමය පාරේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ලද සාම්පල 5 ක් පිළිබඳ සිදුකළ දීර්ඝ පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යායතනය තහවුරු කර ගත්තේ අදාළ පරීක්ෂාවට යොදාගත් සාම්පල 5 ම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හෙවත් (B.1.617.2) ආසාදිතයින් බවයි.

මීට අමතරව වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය මඩකලපුව සහ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ 6, 8 සහ 10 යන ප්‍රදේශවලින් තවත් සාම්පල ලබාගෙන තිබුණා.

කෙසේවෙතත් එම සාම්පල පරීක්ෂාවේදී විශේෂ තත්වයක් වාර්තාවී නැහැ.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ පරීක්ෂාවට ලක්කෙරුණු එකම තැනින් ලබාගත් සාම්පල 100% ක් එකම ප්‍රභේදයක් වාර්තා කිරීම බරපතල තත්වයක් බවයි.

එය සීඝ්‍රයෙන් පැතිර යන බරපතල රෝගාබාධ තත්වයන් මතු කරන ඉන්දීය ප්‍රභේදය හෙවත් ඩෙල්ටා (B.1.617.2) ප්‍රභේදය වීම තත්වය තවත් සංකීර්ණ කරන්නක් බව ඔහු පෙන්වා දෙනවා.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය මීට පෙර අවස්ථා දෙකකදී (2) මෙරටින් වාර්තාවූ අතර එම පී.සී.ආර්. සාම්පල ලබාගෙන තිබුණේ නිරෝධායන මධ්‍යස්ථාන හරහායි.

මේ අනුව මෙම ප්‍රභේදය මෙරට සමාජයෙන් වාර්තා වන්නේ පළමු වරටයි.

@@@@@@@@@@@@@@@@@

(19.06.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

රජයේ වාහන සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ පවතින්නේ වෙනත් කතාබහක්.

බොහෝ රජයේ වාහන අබලන් වී විනාශයට පත්වීම බොහෝ දෙනාගේ කණස්සල්ලට හේතු වී තිබෙන කරුණක්.

එවන් පසුබිමක අපට වාර්තා වූ ආදර්ශමත් පුවතක් මේ.

******************************************

(19.06.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද මාදුරු ඔය ගං ඉවුරේ සිදුකළ අනවසර වැලි ගොඩදැමීමක් වැටලීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරින් කටයුතු කළා.

කෙසේ වෙතත් අදාළ පිරිස පසුව නිදහස් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

******************************************

(19.06.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

පොහොර නිසි කලට නොලැබීම හේතුවෙන් ප්‍රදේශ රැසක වගාවන්වලට බලපෑම් එල්ල වී ඇති බව ගොවීන් පවසනවා.

මේ අතර ඇතැම් ප්‍රදේශවල භෝග වගාවන් විවිධ රෝගවලට ගොදුරුවීමේ අවදානමක්ද හටගෙන තිබෙනවා.

පොළොන්නරුව ඉහළ ඇල්ලෑව ගම්මානයේ පවුල් 3000 කගේ පමණ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කුඹුරු ගොවිතැනයි.

නමුත් එම ගොවීන් මේ වනවිට දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින්නේ පොහොර නිසි වේලාවට නොලැබීමෙන් හේතුවෙන්.

******************************************

(19.06.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සංචරණ සීමා පවතින කාලයේ බක්කි කරත්තයකින් ගාල්ල නගරයට පැමිණි හතරදෙනෙකු (4) ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ පුතෙකු ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ගාල්ල පොලිසියේ ජංගම මුර සංචාරයේ නිරත නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විරෝධතාව සඳහා ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් අදාළ බක්කි කරත්තය මොවුන් විසින් කුලියට ගෙන පැමිණ ඇති බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් බක්කි කරත්තයකින් ගාල්ල නගරයට පැමිණෙමින් සිටි 4 දෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමගි ජන බලවේගයේ තරුණ පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කණිෂ්ක ද ලැනරෝල් ද සිටි අතර, පසුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

රජයට විරෝධය පළ කරන දැන්වීම් ප්‍රදර්ශනය කරමින් ගාල්ල – මාගල්ල පාලම අසළ සිට මොවුන් බක්කි කරත්තයේ නැග ගාල්ල නගරය දෙසට පැමිණ තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සංචරණ සීමා උල්ලංගණය කිරීමේ චෝදනාව යටතේ එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත්, ලබන 21 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ඔවුන්ව පොලිස් ඇප මත මුදා හැරුණා.

මේ අතර, ඉන්ධන මිලට විරෝධය පලකරමින් ගාල්ලේ ධීවරයින් පිරිසක් අද විරොධතාවක නිරත වුණා. එමෙන්ම, ඉන්ධන මිල පහළ දමන ලෙස මීගමුවේ ධීවරයින් පිරිසක් විරෝධතාවයේ නිරත වුණේ මීගමුව 8 වන තොටුපල අසලදියි ෴

******************************************

(19.06.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

නිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම වැදගත් බවයි කාබනික පොහොර සහ කාබනික වගාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (18) පැවති විද්වත් හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, සිය වගාවන් සිදුකරගෙන යාම සඳහා පොහොර ලබා නොදීමට විරෝධය පළ කරමින් අදත් (19) දිවයිනේ ස්ථාන කිහිපයකදී විරෝධතා සංවිධාන කර තිබුණා.

පොහොර නොලැබීම නිසා සිය තේ වගාවන් සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවයි මාතලේ – ඇල්කඩුව ප්‍රදේශයේ අද පැවති විරෝධතාවකට එක්වෙමින් කුඩා තේවතු හිමියන් කිහිප දෙනෙකු සඳහන් කළේ.

බණ්ඩාරවෙල – කිතල්ඇල්ල සහ හීල් ඔය ප්‍රදේශයේ ගොවීන් ද අද (19) කිතල් ඇල්ල – රජකොටුව මංසන්ධියේ විරෝධතාවක නිරත වූයේ තම එළවළු වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලැබී නොමැති බව පවසමින්.

******************************************

(19.06.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 17,026 ක් ගෙවුණු මාස 6 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ප්‍රමාණය කිලෝ 460 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 298 ක් සහ ගංජා කිලෝ 2,166 ක් ඔවුන් සතුව තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

(19.06.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට පැමිණ සිටින ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනේ විද්‍යාඥයින් සිව් දෙනා (4) පළමු වරට අද (19) උස්වැටකෙයියාව වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

ඒ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමත් සමඟ සිදුවූ හානි නිරීක්ෂණය කිරීම සඳහායි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ද එක්වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *