ජංගම රථවලින් අධික මිලට බඩු විකුණන වෙළෙඳුන්ට වැඩ වරදියි

ජංගම රථවලින් අධික මිලට බඩු විකුණන වෙළෙඳුන්ට වැඩ වරදියි

*********************************************

ජංගම රථවලින් අධික මිලට බඩු විකුණන වෙළෙඳුන්ට වැඩ වරදියි

(18.06.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

අධික මිල ගණන් යටතේ එළවළු සහ පළතුරු විකුණන ජංගම රථවල බලපත්‍ර තහනම් කිරීමට කටයුතු කරන බව ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන කාර්ය සාධන බලකායේ සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

කොරෝනා වසංගත තත්වයත් සමඟ එළවළු සහ පළතුරු මිල පාලනය කර කාර්යක්ෂමව බෙදාහැරීම පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදියි ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ.

ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේත් විවෘත කර තිබුණද ගොවීන්ගේ සහ ගැනුම්කරුවන්ගේ අඩුවක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් අදත් ඉහළ මිල ගණන් වලට එළවළු අලෙවි වූ බවයි වාර්තා වන්නේ.

සංචරණ සීමා පැවතියද ඊයේ සහ අද ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තබන බව රජය ප්‍රකාශ කළා.

ඊයේ එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළඳුන් සඳහන් කළේ එළවළු මිල සීග්‍ර ලෙස ඉහල යාම හේතුවෙන් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

එමෙන්ම, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවිකරුවන් කියා සිටියේ අද එම ආර්ථික මධ්‍යස්ථානයේත් එළවළු ඉහළ මිලකට අලෙවි වූ බවයි.

මැනිං වෙළඳ සංකීර්ණයේද ගොවීන් මෙන්ම අලෙවිකරුවන්ගේ ද අඩුවක් දක්නට ලැබුණා ෴

@@@@@@@@@@@@@@@

(18.06.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව කඩුවෙල මහ නගර සභාවේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් එම නගර සභාව ඉදිරිපිට අද (18) උද්ඝෝෂණයක නිරත වුණා.

එහිදි ඔවුන් තිරික්කවලින් සහ පාපැදිවලින් පැමිණ විරෝධතාව දැක්වූ අතර, ඇතැම් මන්ත්‍රීවරුන් ත්‍රීරෝද රථ තල්ලු කරමින් පැමිණි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තෙල් මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් බෙන්තොට නගර සභාවේ අද (18) පැවති සභා වාරයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සිව් (4) දෙනෙකු පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය දැක්වූවා.

මේ අතර සමාගම් ඉල්ලීම් කළද පවතින තත්වය හමුවේ කිරිපිටි සහ ගෑස් මිල ඉහල දැමීමට තීරණයක් ගෙන නොමැති බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

******************************************

(18.06.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර තිබෙනවා.

ඔහුගෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයට නිහාල් කැප්පෙටිපොල මහතා පත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

ගුණ නොදැන ඉවතලන පොල් වතුර

(18.06.2021 – nethgossip.lk)

වර්තමානයේ බොහෝ දෙනා පොල් ගෙඩියක් බිඳීමෙන් පසු එහි ඇති වතුර ඉවත දමනවා. නමුත් එහි තිබෙන ගුණ ගැන දන්නවා නම් කිසි දිනෙක පොල් වතුර විසි කරන්නේ නැහැ. අපේ රටේ එහෙම වුණාට පිට රටවල උදවිය පොල් වතුර ටින් කරලා බෝතල් කරලා ගෙන්නාගෙන බොනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් වටිනා පානයක් ලෙස පිළිගෙන ඇති පොල් වතුර, සිරැරේ අභ්‍යන්තර හා බාහිරව ඇතිවන රෝග ගණනාවක් දුරු කිරීමේ ශක්තිය ඇත්තක්. විටමින් බී, සී, ඊ, යකඩ, කැල්සියම් පොටෑසියම් මැග්නීසියම්, සින්ක් සිලේනියම්, අයඩින්, සල්ෆර් ඇමයිනෝ අම්ල, කාබනික අම්ල රසායන, ශාක හෝමෝන වැනි පෝෂක හා ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි, දිව්‍යමය ඖෂධීය පානයක්.

එය ලොව වටිනාම ස්වාභාවික පානය ලෙස හඳුන්වනු ලබනවා. පොල් වතුරවල පොටෑසියම් බහුලවෙයි. කෙසෙල්වලට වඩා ප්‍රබල බවත්, දොඩම් වීදුරුවකටත්, එළකිරි වීදුරුවකටත්, වඩා ගුණයක් පොල්වතුර කෝප්පයක ඇති බවත් සඳහන්. දෙවැනි ලෝක යුද්ධ සමයෙහි මෙම ඖෂධීය දියරය සේලයින් ලෙස යොදා ගැන්මෙන් 50,000 ක් පමණ පිරිසක් සුවපත් කරගත් බවට වාර්තා වෙනවා. විවිධ රටවල සිදුකළ පර්යේෂණ මගින් හෙළිදරව් කරගත් පොල් වතුරවල අඩංගු ඖෂධීය ගුණගැනයි මේ.

පොල්වතුරවලින් මුහුණ සේදීමෙන් පිළිස්සුම් සුව වනවා. සමෙහි ඇති කුරුලෑ ලප කැළැල් මැකී යනවා. වියළි බව දුරු වී සමේ වියපත් වීම පමාවී, තෙත් බව හා කාන්තිමත් බව ඇතිවෙනවා. තරුණ පෙනුම දිගු කාලයක් රැඳෙනවා.

පොල්වතුර ගල්වා හිස සම්බාහනය කිරීමෙන් දිලීර නාශක ගුණ ඇති ලෝරික් අම්ලය ස්වාභාවික කන්ඩිෂනරයක් සේ ක්‍රියාත්මක වනවා. ඉන් හිසෙහි දිලීර උකුණු බිබිලි තුවාල සුව වී කෙස් වැටීම වැළකී, නිල්වන් කෙස් කළඹක් වැවෙනවා. හදවතට හිතකර මේද අම්ල ඇති පොල්වතුර හර්දයාබාධ, හා අධි රුධිර පීඩනය පාලනය කර දීමෙන් තවත් වටිනා මෙහෙයක් ඉටුකරනවා.

රුධිර සංසරණ පද්ධතියට හිතකර සේවයක් ලබා දී කොලෙස්ටරෝල් පාලනය කරමින් රුධිර වාර්තා යහපත් තත්ත්වයට පත් කරනවා. අධි රුධිර පීඩන රෝගීන් යොදා ගෙන කෙරුණු එක් අධ්‍යයනයකදී, හෙළිවුණේ පොල්වතුර පානයෙන් රෝගීන්ගේ අධි රුධිර පීඩන මට්ටම 72 කින් අඩු වූ බවයි.

පිලිපීන චයිනීස් රෝහලේ මුත්‍රවාහිනි පද්ධති අංශ බලධාරියෙක් තම රෝගීන් ඇසුරින් සිදුකළ පොල් වතුරවල අගය වටහා දෙන පර්යේෂණයක් ගැන ප්‍රකාශයක් කළා. ඔහු කියාසිටියේ මුත්‍රා ගල් නිසා ශල්‍යකර්ම අවශ්‍යව සිටි රෝගීන් සතියකට දින කීපයක් පොල්වතුර පානය කිරීම නිසා මුත්‍රා ගල් කැඩී යාම්, කුඩා වීම් සිදුවී එය ශල්‍යකර්මයකින් තොරව බෙහෙත් දීමෙන් පමණක් සුව කළ හැකිවූ බවයි. ඒ අනුව පොල්වතුරෙන් මුත්‍රා වකුගඩු ආබාධ මෙන්ම දියවැඩියාව පාලනය කිරීමත් සිදුවෙයි.

එහි ඇති කුස පිරෙන ගතියෙන් අධි ආහාර පරිභෝජනයේ අවශ්‍යතාව නැති වී තරබාරුව දුරු කෙරෙන අතර, මත්පැන් විෂවීම් අධිමාත්‍ර බෙහෙත් විෂවීම්වලින් ඇතිවන අපහසුතා ද දුරු වී යනවා.

1999 අමෙරිකාවේ යේල් සරසවියේ කෙරුණු තවත් පර්යේෂණයකදී පොල්වතුර පානයෙන් සීනි කෑමේ කෑදර කම ද පාලනය වන බව සොයා ගැනුණා.

මෙහි අඩංගු මොනොලෝරින්වල ව්‍යාධිජනක බැක්ටීරියා වෛරස්, හර්පිස්, HINI දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරසය, විනාශ කිරීමේ ශක්තිය පවතිනවා. පොල්වතුරෙහි ඇති සෝඩියම් පොටෑසියම්, මැග්නීසියම් බහුලතාවත් සමඟ, මද සරුභාවය දුරුකර ලිංගික සක්‍රීයත්වය ඇති කිරීමට එයට හැකියි. ඇසට හිතකර පොල්වතුර ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා වැනි රෝග ඈත් කරමින් ඇස්පෙනීම ද වර්ධනය කරනවා. මස්පිඩු ශක්තිමත් කර කෙණ්ඩ පෙරළීම් වැනි තත්ත්වයන් වළකනවා.

ගැබිණි මව්වරුනට සහන සලසන අතර ඔවුන්ට ඇති වන වමනය වැනි අපහසුතා දුරු කිරීමට මෙන්ම දරුවාත් මවත් සෞඛ්‍ය සම්පන්න කිරීමට ද සමත්. පැපොල, සරම්ප, පලු දැමීම්, උෂ්ණ බිබිලිවල පොල්වතුර ගෑමෙන් සහන ඇති වෙනවා. වැඩිපුර ලුණු ආහාරයට ගැනීමෙන් සිරුරට වන හානිය වළකන්නත් මෙම ඖෂධීය පානයට හැකියි. මළබද්ධය දුරු කිරීමට පළතුරුවලටත් එහා ගිය සේවයක් එය ඉටු කරනවා. මානසික පීඩනය, විෂාදය, ගැස්ට්‍රයිටිස්, පිළිකා උදරාබාධ, පණු රෝග වැනි විවිධ රෝග මැඬලන්නට ද පොල්වතුරවලට හැකියි. පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි.

ශරීරයට අවශ්‍ය මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සින්ක් හා මැන්ගනීස් ඇතුළු පෝෂණ කොටස් රාශියක් පොල් වතුරවල අඩංගුයි. ඒ වගේම කැලරි සහ විටමින් බී වලිනුත් එය පොහොසත්. මස්පිඬු ශක්තිමත් කිරීමටත් අස්ථිවල සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහාත් පොල් වතුර උපකාර කරයි. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත් සමත් බව සොයාගෙන ඇත.

සටහන : අනුරංග

******************************************

(18.06.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට රුපියල් දස දහසක (10,000) මුදලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම පිළිබඳව විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදියි.

මේ අතර අදත් (18) පොහොර හිඟයට විසඳුම් ඉල්ලා දිවයිනේ ස්ථාන කිහිපයකදී විරෝධතා පැවැත්වුණා.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවේදී අනාවරණ වූයේ හෙක්ටයාරයකට කාබනික පොහොර කිලෝග්‍රෑම් 500 ක්, ශාඛ පෝෂක ඇමෝනියම් ඇසිඩ් කිලෝ 5 ක්, පොටෑසියම් කිලෝග්‍රෑම් 35 ක් හා ජෛව පොහොර ලීටර් 10 ක් යෙදිය යුතු බවයි.

වගා කෙරෙන හෙක්ටයාර 16 සඳහා මෙම නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදනය කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය හා තේ තවාන් හිමියන් එක්ව ගාල්ලේ දී උද්ඝෝෂණයක නිරතවුණා.

ඒ, පොහොර නොමැතිකමින් තේ පැළ තවාන් වලට දැඩි බලපෑමක් සිදුවී ඇති බව පවසමින්.

මේ අතර, වීරකැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර බෙදා දෙන බවට කළ දැනුම්දීමකට අනුව එම ස්ථානයට ගොවීන් පැමිණ සිටියා.

පැය තුනක (3) කාලයක් එහි රැදී සිටි ගොවීන්ට ලබන සදුඳා (21) පොහොර ලබා දෙන බවට දැනුම්දීමත් සමඟ ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව ගියා.

එමෙන්ම, සෞඛ්‍ය උපදෙස් නොතකමින් විශාල පිරිසක් අද (18) උදෑසන ඉබ්බාගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට පැමිණ සිටියේ පොහොර ලබා ගැනීමටයි.

එහිදි පිරිස පාලනය කිරීම සඳහා පොලීසියේ ද සහය ලබා ගැනීමට එහි නිලධාරීන්ට සිදුවුණා.

මේ අතර, එප්පාවල – ඛෙත්තාරාම විහාරස්ථානයේ කාබනික පොහොර භවිතා කරමින් සිදු කරන ලද සාර්ථක වගාව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

+++++++++++

******************************************

(18.06.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ පිහිටුවීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝග කර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අංක 02/05/05/01/2021 දරන ලිපියට අනුකූලවයි.

1999 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ තනතුරට උසස් කෙරුනු වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනවා.

පොලිස්පතිවරයාගේ නියෝගය ඇතුලත් ලිපිය පහතින් :

******************************************

(18.06.2021 – 16:07 +0530 – hirunews.lk/sinhala)

වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා පත් කර තිබෙනවා.

ඒ අනුව, මෙතෙක් එම ධුරයේ කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරණ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වන අනුෂ පැල්පිට මහතා මේ දක්වා එම ලේකම් ධුරය දැරූ අතර, තමන්ට ධුරයෙන් විශ්‍රාම යාමට අවසර ඉල්ලා ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබූ බවයි වාර්තා වුණේ.

වරාය අධිකාරියේ නව සභාපති ලෙසට පත්වූ නිහාල් කැප්පෙටිපොළ මහතා ධර්මරාජයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන අතර 70 දශකයේ කැඩෙට් නිලධාරියෙකු ලෙස වෙළඳ නාවික ක්ශ්‍රේත්‍රයට එක්ව තිබෙනවා.

ඔහු වසර 15 ක් ලංකා නැව් සංස්ථාවේ සේවය කර ඇති අතර අනතුරුව විදේශීය නෞකා සමාගම්වලද සේවය කර තිබෙනවා.

පළපුරුදු කපිතාන්වරයෙකු ලෙස 90 දශකයේ මුල්භාගයේදී මුහුදු ගමනින් ඉවත් වී නියමුවෙකු (Pilot) ලෙස වරාය අධිකාරියට එක් වූ නිහාල් කැප්පෙටිපොල 1999 වසරේදී කොළඹ වරායේ නියෝජ්‍ය හාබර් මාස්ටර් ලෙස ද පත්වනවා.

කෙටි කාලයකට පසු කොළඹ වරායේ හාබර් මාස්ටර් (Harbour Master) ලෙස ද පත්වන ඔහු පසුව වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහ කළමණාකාර අධ්‍යක්ෂ යන තනතුරු ද හොබවා තිබෙනවා ෴

******************************************

(18.06.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 390 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු (2) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

කයිට්ස් – කරම්පන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුරදීයි අදාළ සැකකරුවන් කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති කේරළ ගංජා ප්‍රමාණය කිලෝ 130 යි ග්‍රෑම් 760 කට ආසන්නයි.

එම කේරළ ගංජා රැගෙන ආ බව පැවසෙන ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

(18.06.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් සකස් කළ, කොරෝනා පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් කටාර් රාජ්‍යය හරහා ප්‍රංශයට යාමට උත්සහ කළ තරුණියක් කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ මුලතිව් මාන්කුලම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඇය අද (18) අලුයම 03:45 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකට පිවිසීම සඳහා පැමිණි බවයි.

එහිදී ඇගේ ලේඛණ සම්බන්ධයෙන් ඇතිවු ගැටළුකාරිත්වය මත සිදුකළ විමර්ශයේදී අදාළ කොරෝනා පරීක්ෂණ වාර්තාව මෙන්ම විදේශ ගමන් බලපත්‍රයද ව්‍යාජ බවට තහවුරු වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *