ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස ලබාගත හැකි එන්නත ගැන අනාවරණයක්

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස ලබාගත හැකි එන්නත ගැන අනාවරණයක්

*********************************************

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස ලබාගත හැකි එන්නත ගැන අනාවරණයක්

(14.06.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයෙකුට දෙවන (2) මාත්‍රාව වශයෙන් ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ ප්‍රධානී ඇලෙහැන්ඩ්‍රෝ ක්‍රාවියෝටෝ පවසනවා.

මාර්ග ක්‍රමයට පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම එන්නත් මිශ්‍ර කිරීම හා ගැලපීම ආරක්ෂිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එම එන්නත් වර්ග දෙක (2) ලබාගැනීමෙන් ඵලදායිතාව අතින් ගැටලුවක් ඇති නොවන බව ඇලෙහැන්ඩ්‍රෝ ක්‍රාවියෝටෝ වැඩිදුරටත් පවසා තිබෙනවා ෴

++++++++++++++++++++++++

(14.06.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් රතු ලැයිස්තු ගතකර ඇති රටවල් රැසකට නව රැකියා බලපත්‍ර නිකුත් කිරීම බහරේනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සඳහා එම බලපත්‍ර නිකුත් කිරීම මෙලෙස අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

අදාළ රටවලින් පුද්ගලයින් පැමිණීමද බහරේනය පසුගිය මැයි 24 වැනිදා සිට අත්හිටුවනු ලැබූ අතර, ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඊට වියට්නාමයද ඇතුළත් කෙරුණා ෴

++++++++++++++++++++++++

(14.06.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පවතින කාලසීමාව තුල අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් ලබාගෙන එම බලපත්‍රය මුවාවෙන් ගංජා ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ සමඟ අදාල ලොරි රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 56 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ගල්ගමුව පොලිසිය විසින් ඊයේ (13) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී ගංජා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

කුකුළන් සහ බිත්තර ප්‍රවාහනය කරන බවට පවසමින් මන්නාරම දිසාපතිවරයා ගෙන් සැකකරු අදාල අත්‍යවශ්‍ය සේවා බලපත්‍රය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++

(14.06.2021 – 12:08 +0530 – hirunews.lk/sinhala)

මින් ඉදිරිය කොවිඩ්-19 ආශ්‍රිත මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේ දී වාර්තා කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව මීට පෙර වාර්තා කළ පසුගිය දිනවල සිදුවූ මරණ, මෙම නව ක්‍රමවේදය යටතේ වාර්තා නොකරන බවයි ඔහු කියා සිටියේ.

+++++++++++++++++++++

(14.06.2021 – 12:36 +0530 – hirunews.lk/sinhala)

මැනිං වෙළඳපොල ඇතුළු දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන ජුනි 17 සහ 18 යන දිනවල ද විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන්නේ තොග වෙළඳාම සඳහා පමණයි.

ආර්ථික පුනර්ජීවනය සහ දිලිඳුකම දුරැලීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ එකඟත්වය මතයි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනු ලබන්නේ ෴

+++++++++++++++++++++

(14.06.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 2,361 දෙනා සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 223,638 ක් දක්වා ඉහළ ගියා.

වාර්තා වූ ආසාදිතයින්ගෙන් තිස් දෙදෙනෙකු (32) විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 2,329 දෙනා ‘අලු‍ත් අවුරුදු කොරෝනා පොකුරේ’ ආසාදිතයින්.

එම ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, එම දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 362 ක්.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 338 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 339 දෙනෙකු වාර්තා වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඊයේ (13) දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 332 ක්.

කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

මේ අතර, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනගහනය අනුව ඉන්දියාව හා සැසඳීමේදී මෙරටින් දෛනිකව වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බවයි.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 60,697 ක්.

සයිනොෆාම් එන්නතේ පළමු (1), දෙවැනි (2) හා ස්පුට්නික් එන්නතේ දෙවැනි (2) මාත්‍රා ලබාදීම අදත් (14) එන්නත් කිරීමේ මධ්‍යස්ථාන කිහිපයකදී සිදුවනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ එක්තැන්ව නිවෙස්වල සිටින වයස්ගත පුද්ගලයින්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට මේ වනවිටත් උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර අද (14) සිට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ පැය 24 ත්, පැය 48 ත් අතර කාලයක් තුළ වාර්තා කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

වසංගත රෝග විද්‍යා අංශය මගින් ඉදිරිපත් කරන කොරෝනා මරණ පිළිබඳ වාර්තා යාවත්කාලීන නොවන බවට පසුගිය කාලය සීමාව තුළ විවිධ පාර්ශව චෝදනා කළා.

දෛනිකව සිදුවන මරණ නිවැරදිව වාර්තා නොකිරීමෙන් රට තුළ පවතින කොරෝනා තත්ත්වය පිළිබඳව නිවැරදි තීන්දු තීරණ ගත නොහැකි බවටයි ඔවුන් පෙන්වා දුන්නේ.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 2,136 ක් වාර්තා වන අතර, ගෙවුණු දිනය තුලදී නව කොරෝනා මරණ තහවුරු කිරීමක් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලැබුවේ නැහැ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ සිදුවන කොරෝනා ආසාදිත මරණ කඩිනමින් වාර්තා කිරීමට අදාළව ක්‍රමවේදයක් මේ වනවිට සකසා ඇති බවයි.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කළ 1,198 දෙනෙකු ගතවූ පැය 24 දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ පළාත් සංචරණ සීමා උල්ලංගණය කරමින් පිවිසුනු රථවාහන 100 ක්ද ගෙවුණු දිනයේදී හරවා යැවුණු බවයි.

එසේම, සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට සූදු පිටියක් පැවැත් වූ 07 දෙනෙකු මොරටුමුල්ල පොලිසිය ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් තුන් දෙනෙකු (3) කාන්තාවන්.

මේ අතර, ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් රතු ලැයිස්තු ගතකර ඇති රටවල් රැසකට නව රැකියා බලපත්‍ර නිකුත් කිරීම බහරේනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඊට ශ්‍රී ලංකාවද ඇතුළත්.

@@@@@@@@@@@@@@@@

(14.06.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 71 ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (14) අලුයම පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි. මෙම සැකකරුවන් තුන්දෙනා (3) ඩිංගි බෝට්ටුවක් සමග සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ තුල තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 237 යි ග්‍රෑම් 500 ක් සොයා ගැණුනා ෴

******************************************

(14.06.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සිදුකළ ප්‍රකාශයේ විමර්ශන අවසන් කර තිබෙනවා.

නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පසුගිය මාර්තු 09 වනදා සිදුකළ එම ප්‍රකාශයේ සියලු විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.

පසුගිය 09 වනදා හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මුස්ලිම් නීතිය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර පසුව ඔහු සිදුවූ වරද සම්බන්ධයෙන් සමාව අයැද සිටියා.

ඉන් අනතුරුවයි අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ ෴

******************************************

(14.06.2021 – 12:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නා.

ඒ අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.

එසේම, අභි‍යාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, දිවුරුම් දුන් අතර, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස හිටපු මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ද ජනාධිපතිවරයා ඉදිරියේ අද (14) දිවුරුම් දුන්නා ෴

******************************************

(14.06.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් තම වෘත්තීය සිදුකරගෙන යාමට නොහැකි බවට පවසමින් ප්‍රදේශ කිහිපයක ධීවර ජනතාව අද (14) විරෝධතාවල නිරත වුණා.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මාරවිල – මෝදරවැල්ල ධීවර තොටුපලේ ධීවරයින් ද අද (14) විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර, වැඩි වූ ඉන්ධන මිල යළි සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව අද (14) රැස්වන අමාත්‍ය මණ්ඩල හමුවේදී සලකා බැලීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග අනාවරණ කළා.

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (14) පස්වරු 05 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

******************************************

(14.06.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය නතර කිරීමත් සමඟ දිස්ත්‍රික්ක රැසක ගොවීන් දැඩී පිඩාවට පත්ව සිටිනවා.

තේ වගාකරුවන් ද පෙන්වා දෙන්නේ රසායනික පොහොර නොමැතිව තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පහතහේවාහැට ප්‍රදේශයේ එළවළු ගොවීන්ද පෙහොර නොමැතිව අසීරුතාවට පත්ව සිටිනවා.

එසේම, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ ඉලුක්වැව, මහසෙන්ගම ප්‍රදේශයේ ගොවීන් ද වම්බටු, තිබ්බටු, ලොකු ලූනු, තක්කාලි, මෑ කරල් ඇතුළු භෝග වගාවන් සිදුකිරීමට නොහැකිව පීඩාවට පත්ව සිටින බව සඳහන්.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කළේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පාලනයකින් යුතුව පොහොර ලබාදීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

මේ අතර සහනදායී මිලට ගොවීන්ට ලබාදීමට තිබූ පොහොර මිටි 50 ක් සිය පෞද්ගලික වෙළඳසැලක තබා වැඩි මිලට අලෙවි කරමින් සිටි වාරියපොල ගොවිජන සේවා කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගැනුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ලද තොරතුරකට අනුව වාරියපොල සියඹලාකොටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ වෙළඳ සැල වටලා අදාල පොහොර තොඟය අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් 57 හැවිරිදි සංවර්ධන නිලධාරියා අද (14) වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

(14.06.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුලුවීමට උත්සාහ දරණ බවට එරට බුද්ධි අංශවලට ලද තොරතුරක් මත තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව ඉහළ නංවා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ආයුධ සන්නද්ධ පිරිසක් රාමේෂ්වරම් දෙසට බෝට්ටුවකින් ගමන් කර ඇතැයි බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ පිරිසක් ඇතුලුවීමට උත්සාහ දරන බවට බුද්ධි අංශ වාර්තා කර ඇත්තේ පසුගිය සෙනසුරාදා (12) පස්වරුවේයි.

මදුරෙයි නගරයේ පොලිස් ස්ථානය වෙත ඒ සම්බන්ධයෙන් පළමු තොරතුර වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින තොරතුරුකරුවෙක් විසින්.

ඒ සම්බන්ධයෙන් තමිල්නාඩු පොලිසය හා එරට මධ්‍යම බුද්ධි අංශය දැඩි අවධානයක් යොමු කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව කන්‍යකුමාරිල තූත්තුකුඩිල රාමේෂ්වරම් හා චෙන්නායි නගරවල විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි.

ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වුවද ඔවුන්ගේ අනන්‍යතාව හෝ ඔවුන් සම්බන්ධ සංවිධානයක් පිළිබඳ හෙළිව නැහැ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවීමට දරණ ඕනෑම උත්සාහයක් වලක්වා ගැනීම සඳහා වෙරළාරක්ෂක මුර සේවා ඉහළ නංවා ඇති බවයි.

ඊට අමතරව වෙරළබඩ ප්‍ර දේශ කරා ගමන්කරන සියලු ප්‍රධාන මාර්ගවලද විශේෂ පොලිස් මුරපොළවල් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

වෙරළ තීරයේ පිහිටි මහල් ගොඩනැගිලි අහඹු ලෙස පරික්ෂාවට ලක්කිරීමටද එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා ෴

******************************************

ගැබ්බර බිරිඳ දෑතින් ඔසවා ගෙන කිලෝමීටර් 22 ක් පා ගමනින් ගිය සැමියාගේ සෙනෙහස

(14.06.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පැවැති ගංවතුරත් සමඟ හදිසියේ අසනීප වූ තම ගැබ්බර බිරිඳ දෑතින් ඔසවා ගෙන කිලෝමීටර් 22 ක් දුර පා ගමනින්ම රෝහලට රැගෙන ගිය ආදරණීය සැමියෙකු පිළිබඳ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.

(14.05.2021 – 19:31 +0530 – sinhala.adaderana.lk)

තම ගැබිනි බිරිඳ කිලෝ මීටර් ගණනක් කරමත තබාගෙන රෝහලක් වෙත ගිය සැමියෙක් පිළිබඳ පුවතක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලවල වැඩි අවධානයක් යොමුවී තිබුණි.

සුරේෂ් කුමාර ජීවත් වන්නේ, ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ය.

පසුගියදා පැවැති ගංවතුර තත්ත්වයක් සමග මොහු ජීවත්වන කොඩිකන්ද ගමත් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට විය.

මේ අතර වාරයේ 7 මස් වියැති ගැබිණියක් වූ කුමාරගේ බිරිඳ හදිසියේ අසනීප වී තිබුණි.

එහිදී ඇය තම ස්වාමි පුරුෂයාට පවසා ඇත්තේ ‘තම කුස තුල සිටින දරුවා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන’ බවය.

පවුල් සෞඛ්‍ය සේවිකාව ඇමතූ ඔවුන්ට ලැබුණු උපදෙස වූයේ පැය 5 ක් ඇතුළත ඇය රෝහල් ගතකරන ලෙසය.

හතර වටින්ම ජලයෙන් යටවී ඇති අවස්ථාවක කුමාර සිය බිරිඳ රෝහල් ගතකරන්නේ කෙසේද?

නමුත්, තම බිරිඳටත්, මෙලොව එළිය නොදුටු දරුවාටත් ගැනත් කල්පනා කළ කුමාර තම බිරිඳව කරේ තබාගෙන රෝහල වෙත ගෙන යාමට ය.

හිනිදුම රෝහල පිහිටා ඇත්තේ ඔහුගේ නිවසේ සිට කිලෝ මීටර් 4 ක් ඈතිනි.

නමුත් එම රෝහලට සිය බිරිඳව ඇතුළත් කිරීමට ඔහුට නොහැකි විනි.

ඒ අනුව යළි බිරිඳ ඔසවා ගන්නා කුමාර කිලෝමීටර් 18 ක් දුරින් පිහිටි උඩුගම රෝහල වෙත ගමන් කිරීම ඇරඹීය.

පැය කිහිපයක අතිශය දුෂ්කර ගමනක් ගෙවා දැමූ මොවුන් දෙපල අවසානයේ උඩුගම රෝහල වෙත පැමිණීමට සමත් විය.

පසුව එම රෝහල විසින් ඇය ව කිලෝමීටර් 35 ක් පමණ දුරින් පිහිටි ගාල්ල මහ මෝදර රෝහලට රැගෙන එනු ලැබීය.

එහිදී අවශ්‍ය ප්‍රතිකාර සහ ස්කෑන් පරීක්ෂණ වලින් අනතුරුව වෛද්‍යවරු පවසා ඇත්තේ ගර්භණී කාන්තාවට සහ ඇගේ නූපන් දරුවාට හානියක් වී නොමැති බවය.

එම අභියෝගය ජයගත් කුමාරට දැන් උන්හිටිතැන් අහිමිවන තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.

ඒ කුමාරගේ කුලී නිවසට මුදල් ගෙවීම අතපසුවීම හේතුවෙනි.

******************************************

(14.06.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

13 හැවිරිදි දැරියකට ප්‍රතිකාර කිරීමට යැයි පවසමින් රුවන්වැල්ල අම්රිතිගල ප්‍රදේශයේ යකැදුරෙකු ඇතුළු පිරිසක් සිදුකළ ව්‍යාජ යාතු කර්මයක් පිළිබඳ තොරතුරු කිරිඳිවැල හිස්වැල්ලලෙන් වාර්තා වුණා.

දැරියගේ මව්පියන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ නිධන් වස්තු ලබාගැනීම සඳහා අදාළ පිරිස සිදුකළ කූට ක්‍රියාවක් හේතුවෙන් තම දියණිය මෙලෙස රෝගාතුර වී ඇති බවයි.

******************************************

(14.06.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

අදට යෙදී තිබෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් ‘ලොවේ හදගැස්ම ඔබේ රුධිරයයි’ මැයෙන් ජාතික වැඩසටහන ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැත් වුණා.

එහිදී රුධිර දායකයින්ගේ පහසුව සඳහා ‘රක්ත’ නමින් රුධිර දායක මෘදුකාංගයක් හඳුන්වා දීම ද සිදු කෙරුණා.

ජාතික රුධිර පරවීලයන සේවය, කොලඹ සිවිල් සමාජ මධ්‍යස්ථාන සහ NDH මෘදුකාංග සේවා පෞද්ගලික සමාගම එක්වයි එම මෘදුකාංගය හඳුන්වා දුන්නේ.

මෙම මෘදුකාංගය ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට නොමිලේ ලබා දීම ද විශේෂත්වයක්.

ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරු සංජීව ධර්මවර්ධන මහතායි.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සංවිධානය කර තිබුණා.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ රුධිර පරිත්‍යාගශීලින්ගෙන් රුධිරය ලබා ගැනීම විශාල අභියෝගයක්ව තිබියදීත් රෝගී ජනතාවගේ ජීවිත අනතුරට පත් නොකර රුධිරය ලබා දීමට ජනතාව දැක්වූ සහයට ස්තූතිය පළකරන බවයි එහිදී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවේ.

එමෙන්ම නව මෘදුකාංගය හරහා රුධිර පරිත්‍යාගශිලීන්ට සහ රුධිරපරිත්‍යාග කඳවුරු පවත්වන අයටත් පහසුවක් වනු ඇති බවද අධ්‍යක්ෂවරයා එහිදී කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *