සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම

සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම

*********************************************

සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම

(04.06.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි රෝගීන්ගේ නිවසට තැපැල් මාර්ගයෙන් එම රෝගීන්ගේ ඖෂධ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා.

රෝහල්වල සායන සඳහා සහභාගි වන රෝගීන්ගේ ඖෂධ නිවසට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වාදී තිබෙනවා.

එසේම, රජයේ රෝහල් වල සායන වල ලියාපදිංචි රෝගීන් මෙම වැඩපිළිවෙල සඳහා තම ස්ථිර ලිපිනය ලබාදිය යුතුයි.

එමෙන්ම, සායන සඳහා ලියාපදිංචි වී ඇති ලිපිනය ස්ථිර ලිපිනය නොවේ නම් ඒ පිළිබඳව රෝහල දැනුවත් කර තොරතුරු යාවත්කාලීන කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

එම අංක පහතින් :

072 072 0720 / 072 060 6060

මේ අතර පවතින කොවිඩ්-19 සහ ඩෙංගු රෝගය ව්‍යාප්තියේ වත්මන් තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින් :

+++++++++++++++++++

(04.06.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව බිළිඳෙකු මාවනැල්ලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට රැගෙන යමින් සිටි ගිලන් රථයක් ජල ගැල්මට හසුව අක්‍රීයවීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලය පීඩාවට පත්වූ පුවතක් බියගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම ගිලන් රථය අද (04) අලුයම 3 ට පමණ අක්‍රීය වී ඇතත් කොවිඩ් ආසාදිත බිළිඳා නැවත රැගෙන යාම සඳහා වෙනත් ගිලන් රථයක් පැමිණ ඇත්තේ අද (04) පෙරවරුවේයි.

++++++++++++++++++++++

චන්දිමාල්ගේ උපන්දින සාදය

(04.06.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළා.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනෙකු (4) සහ සැකකාරියන් තුන් (3) දෙනෙකු අද (04) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා හමුවටයි ඉදිරිපත් කරනු ලැබුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මෑණියන් වන 73 හැවිරිදි කුරුවිට ගමගේ ගුණවතී සිල්වා, ඔහුගේ ඥාති දියණියක් වන 16 හැවිරිදි කේ.ජී. අනර්කලී ආකර්ෂා සහ මාධවී ඇන්තනි යන අය ද ඇතුළත් වුණා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය විරුද්ධ නොවන අතර ඇප ලබා දීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාර්ගයෙන් මෙම සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන බව සහකාර පොලිස් අධිකාරීවරයා කියාසිටියා.

මෙහිදී මාධවී ඇන්තනී නමැති සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ කොරෝනා ආසාදිතයින් නිවසේ දී නිරෝධායනයට ලක් කිරීම රජයේ වත්මන් ප්‍රතිපත්තිය වී ඇති බවයි.

ඒ අනුව මෙම සැකකරුවන් නිවසේදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා අධිකරණය හමුවේ කියාසිටියේ මේ පිළිබඳව තීරණය කළ යුත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සියලුම සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වනදා කැඳවීමට ද නියම කළා.

මෙම උපන්දින සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපන ශිල්පී පියුමි හංසමාලි ඇතුළුව මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 21 ක්.

මීට පෙර අත්අඩංගුවට ගත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනා මේ වනවිටත් සති දෙකක (2) කාලසීමාවක් සඳහා නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර, පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගි වූ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති තරු පන්තියේ හෝටලයේ සූපවේදියෙකු ඇතුළු සේවකයන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වුණා.

සංචරණ නීති සහ නිරෝධායන නීති කඩකරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධාන කළ උපන්දින සාදයට නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි ඇතුලු පිරිස පැමිණෙන ආකාරය දැක්වෙන දර්ශණ නිකුත්වී තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(04.06.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

ජගත් පරිසර දිනය නිමිත්තෙන් හෙට (05) සහ අනිද්දා (06) දිනවලදී සියලුම නිවාස හා ගෙවතු ඇතුළත් පරිශ්‍ර, මදුරුවන්ගෙන් තොර ස්ථාන බවට පත් කිරීම සඳහා පිරිසිදු කිරීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා මහජනතාව එක්රැස් කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බැවින් මෙම තීරණයට එළඹි බවයි.

පරිසරයට පැය 48 ක් තේමාව යටතේ හුස්ම පොදයි පරිසරයයි නමින් මෙම දෙදින පරිසර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

පවතින මෝසම් වර්ෂාවත් සමඟ තවත් මාස දෙකකින් (2) පමණ ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් ද, පවතින අතර, පවතින කොරෝනා වසංගතය හමුවේ ඒ පිළිබඳව ද අවධානය යොමුකළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

හෙටට (05) යෙදෙන ජගත් පරිසර දිනයේ මෙවර තේමාව අපේ පරිසර පද්ධති සුරකිමු යන්නයි ෴

******************************************

(04.06.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්වය අද (04) රාත්‍රී කාලයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5 ක පවුල් 31,303 කට අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

එමෙන්ම, අවතැන් කඳවුරු 27 ක ආපදාවට ලක්වූවන් 5067 දෙනෙකු රඳවා තිබෙනවා.

පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර, පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 5 ක්.

අර්ධ හානි වූ නිවාස 317 ක් ද පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, රත්නපුර, කොළඹ, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක නිකුත් කර ඇති නායයාමේ අවදානම තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මකයි.

******************************************

(04.06.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් (Sarah Hulton) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ කෙරෙහි මහ කොමසාරිස්වරිය ප්‍රසාදය පළ කළ බවයි.

එමෙන්ම එන්නත්කරණ ක්‍රියාවලියට ලබාදිය හැකි සහාය පිළිබඳව ද ඇය අදහස් පළ කර තිබෙනවා.

වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා ගන්නා උත්සහායට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳව ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු වුණා.

2030 වසර වන විට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත්, සූර්ය ශක්තිය ගබඩාකරණයට සහ සම්ප්‍රේෂණයට සහාය වීමටත් සාරා හල්ටන් එකඟතාව පළ කර තිබෙනවා.

කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් පරිසරය සුරැකීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

20.8% ක්ව පවතින ‘වන ආවරණය’ 30% ක් දක්වා වර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය දැනුම සහ ක්‍රමවේදයන් ලබාදීමට ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු කෙරුනා.

‘එක්ස් – ප්‍රේස් පර්ල්’ නෞකාවෙන් පරිසරයට සිදුව ඇති හානිය අධ්‍යනයට බ්‍රිතාන්‍යයේ තාක්ෂණික සහාය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

ජීනිවා යෝජනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉඩම් ගැටළු විසඳීම ඇතුළුව අනෙකුත් කරුණු සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙළ ද පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

******************************************

(04.06.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

මුන්දලම අක්කරවේල්ලිය සහ පුලිච්චාකුලම් ප්‍රදේශවල ගංවතුරට කොටුවී සිටි පුද්ගලයන් 24 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා.

අද (04) දහවල් ඔවුන් මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ මුන්දලම පොලිසිය සමග ඒකාබද්ධවයි.

මුන්දලම සියඹලන්කොටුව වැව පිටාර ගැලීම හේතුවෙන් අද (04) අලුයම 2 පමණ සිට පැය 7 කට ආසන්න කාලයක් මෙම පිරිස තම නිවෙස්වලට කොටුවී සිට තිබෙනවා.

නිවාස 4 ක සිටි පිරිසක් මෙලෙස බේරාගෙන ඇති අතර අවුරුදු 80 ක කාන්තාවක් ද ඊට අයත්.

නාවික හමුදාව සහ පොලිස් කණ්ඩායම් එක්ව ඔවුන් නිරුපද්‍රිතව බේරාගත් අතර පසුව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *