අයහපත් කාලගුණයත් සමඟ පහත් බිම් ජලයෙන් යටවෙයි

අයහපත් කාලගුණයත් සමඟ පහත් බිම් ජලයෙන් යටවෙයි

*********************************************

අයහපත් කාලගුණයත් සමඟ පහත් බිම් ජලයෙන් යටවෙයි

(04.06.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala)

පැවති අයහපත් කාලගුණ තත්වයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක පහත් බිම් ඊයේ (03) රාත්‍රියේ ජලයෙන් යටවුණා.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, මහරගම, කඩුවෙල, ජයවර්ධනපුර ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇත්තේ දැඩි වර්ෂාව හේතුවෙනුයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය, කිරිබත්ගොඩ , පැලියගොඩ ඇතුලු බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, කළුගඟේ ජල මට්ටම ඉහළයාමෙන් ඉංගිරිය, හොරණ, බුලත්සිංහල, අගලවත්ත, මදුරාවල, මිල්ලනිය සහ පාලින්දනුවර පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

අධික වැසි හේතුවෙන් පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම පවතින අධික වර්ෂාවත් සමඟ කුරුණෑගල දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 02 ක්ද විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එම ජලාශ අවට පහත් බිම්වල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ෴

කැළණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළයමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ එම පහත බිම් අවට ජනතාවට මේ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසටයි.

බියගම – කඩුවෙල මාර්ගය ජලයෙන් යටවීම නිසා අධිවේගී මාර්ගයේ කඩවත දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට කඩුවෙල හුවමාරුවෙන් පිටවිය නොහැකියි.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා සහ ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා ෴

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 44,000 කට විදුලි සැපයුම විසන්ධි වි ඇති බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.

කුලියාපිටිය, කුරුණෑගල, හොරණ, මතුගම, නාරම්මල, දඹුල්ල, අකුරුස්ස, සහ කෑගල්ල යන ප්‍රදේශ වලට මෙලෙස විදුලිය බිඳ වැටි ඇති බවයි වාර්තා වන්නේ. මේ වනවිටත් අදාළ ප්‍රදේශ වල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරමින් පවතිනවා ෴

******************************************

නැව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි

(04.06.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනිගැනීමට ලක්වූ MV X Press pearl නෞකාව අයත් ‘X Press ෆීඩර්’ නැව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සැමුවෙල් යෝස්කොවිච් අද (04) පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටියා.

සිංගප්පූරුවේ ‘චැනල් නිව්ස් ඒෂියා’ රූපවාහිනී සේවාව සමඟ සාකච්ඡාවකට එක්වූ ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කළා.

එම රූපවාහිනී සංවාදයේ සම්පූර්ණ සිංහල පරිවර්ථනය පහතින් :

ප්‍රශ්නය
මොකක්ද ඔබේ ආයතනය මේ සිදුවන්නට යන මහා පරිසර විනාශයට කරන්නට බලාපොරොත්තු වෙන්නේ?

පිළිතුර
සියල්ලට පළමුව මම කැමතියි ප්‍රකාශ කරන්නට අපගේ බලවත් කනගාටුව මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒ වගේම සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් අපි සමාව ඉල්ලා සිටිනවා.
මේ ව්‍යසනය සමග ශ්‍රී ලංකාවේ පරිසරයට සහ ජනජීවිතයට විනාශයක් සිදු වෙලා තියෙනවා.
අපි මෙම ගැටලුව ඇතිවූ අවස්ථාවේම ජාත්‍යන්තර සංවිධාන කීපයක් සමග සමීපව කටයුතු කිරීම ආරම්භ කළා. හයිකොප් සංවිධානය ඉන් එකක්.
මේ වගේ තෙල් විසිරීමකදී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ලෝකයේ හොඳම විශේෂඥයන්ගෙන් සමන්විත සංවිධානයක් ඒක.
මම කියන්න කැමතියි දැන් සිංගප්පූරුවේ වෙලාවෙන් අළුයම පහයි,මේ වන තුරුත් නැවෙන් තෙල් විසිර යාමක් පිළිබඳව වාර්තා වෙන්නේ න.
ඒක සතුටුදායක ආරංචියක්.

ප්‍රශ්නය
යොස්කොවිට්ස් මහත්මයා අපට පෙනෙන ආකාරයට මේ නෞකාව දැන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. මේකෙන් සිද්ධ වෙච්ච පාඩුව කොච්චරක් කියලද හිතන්නේ?

පිළිතුර
ඇත්තටම ඒ ගැන තවම කියන්න අමාරුයි,මේ පිළිබඳ නිසි තක්සේරුවක් ලබා ගන්නේ නැතුව. ඒ තක්සේරුව ලබාගැනීමත් ලෙහෙසි කාරණයක් නෙවෙයි. නමුත් අපි රක්ෂණය වෙලා ඉන්නේ. ඒ නිසා අපට සිදුවන සෘජු පාඩුව සීමා සහිතයි.

ප්‍රශ්නය
ඒ වගේම මේ සිදුවීම හරහා ශ්‍රී ලංකාවට සිදු වූ හානිය සහ හානිපූරණය වන්දි ගෙවීම සම්බන්ධ ගැටලුවකුත් මතු වෙනවා නේද?

පිළිතුර
ඇත්ත වශයෙන්ම ඒ කාරණය මේ වෙනවිට තක්සේරු කෙරෙමින් පවතිනවා.
නමුත් මං ඔබට කියන්න ඕනේ ඒක බොහොම දීර්ඝ සංකීර්ණ වැඩපිළිවෙළක්.
අපි පළමුව මේ ගැටලුව නිරාකරණය කරගෙන ඉන්න ඕනේ ඊට පසුව තමයි අපි සිදු වෙච්ච හානිය තක්සේරු කළ යුත්තේ.
අපි මේ වන විටත් ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරනවා.
සමුද්‍ර ආරක්ෂණ බලධාරීන් සමගත් අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ.
ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ.
අපි මතක තියාගන්න ඕනෙ කාරණයක් තමයි මේ වන විට ශ්‍රී ලංකාවේ සංචරණ සීමා පනවලා තියෙන්නේ.
නමුත් එවැනි තත්ත්වයක් යටතේත් අපි ඒ කටයුතු සඳහා බර යන්ත්‍ර රැසක් යොමු කරලා තියෙනවා.
අපි මේ මොහොතේ මීපා සහ නාවික හමුදාවටත් ස්තුති කරන්න ඕනේ සංචරණ සීමා පනවලා තියෙන වෙලාවේ මේ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්.

ප්‍රශ්නය
යොස්කොවිට්ස් මහත්මයා ඔබ ශ්‍රී ලංකා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා. ඒ වගේම ඔබ කියනවා ශ්‍රී ලංකාවේ අදාල අංශ සමග මේ සම්බන්ධයෙන් ඉතා සමීපව කටයුතු කරනවා කියලත්. අපට කියන්න පුළුවන්ද එහි ප්‍රගතිය මොකක්ද කියලා?

පිළිතුර
ඔබ නිවැරදියි. මට පළමුව නෞකාවේ දැන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න ඉඩ දෙන්න.
ඊයේ දින සිට නෞකාව මුහුදේ ගිලිලා තියෙන්නෙ. මීටර් 21 ගැඹුරු මුහුදු පතුලේ මේ වෙනකොට පසුපස කොටස හිර වෙලා තියෙනවා. එහි ඉදිරිපස කොටසත් සෙමෙන් ගිලෙමින් තිබෙනවා.
නෞකාවේ තත්ත්වය සම්බන්ධයෙන් යමක් කියන්නට අපි තව ටික කලක් බලා සිටිය යුතුයි නෞකාව සම්පූර්ණයෙන් මුහුදේ ගිලී යන තෙක්. ඉන් පසුවයි අපිට බලන්න පුළුවන් සත්‍ය වශයෙන්ම අපි කළ යුත්තේ කුමක්ද කියලා. ඉන්පසුව අපට නිරීක්ෂණය කරන්නට පුළුවන් මෙහි තෙල් කාන්දුවක් සිදු වෙනවාද, තවත් අපද්‍රව්‍යය මුහුද ජලය සමග එකතු වෙනවද කියලා.

ප්‍රශ්නය
අපට දැනගන්නට ලැබිලා තියෙනවා නෞකාව කාන්දු වෙන කන්ටේනර් ඉවත් කිරීමට වරායන් දෙකකින් ඉල්ලා ඇති නමුත් ඔවුන් ඒ සඳහා නිසි අනුග්‍රහයක් දක්වා නැති බව. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
ඇතැම් විට ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වා තිබුණා නම් මේ විනාශය සමහරවිට මගහරවා ගන්නට තිබුණා.

පිළිතුර
පළමුව මම කැමතියි ඔබව නිවැරදි කරන්න. එක කන්ටේනරයක පමණයි කාන්දුව සිදු වී තිබුනේ. නැතුව කන්ටේනර් ගණනාවක නොවේ. ඇත්තටම ගින්නට හේතුව පැහැදිලි කර ගැනීම ඉතාම අසීරු කටයුත්තක්.
කන්ටේනරයක යම්කිසි රසායනික කාන්දුවක් සිදු වෙමින් තිබුනා. බොහෝ විට ඒක මේ ගින්නට හේතු වෙන්නට පුළුවන්.
නමුත් මං අවධාරණය කරන්න කැමතියි අපට සීයට සීයක් තාමත් තහවුරු වී නැහැ.
මේ වගේ සිදුවීම් මුහුදේ ඕනතරම් සිද්ධ වෙනවා ඇතැම් අවස්ථාවලදී වරායන් උදවු කිරීමට එකඟ වෙනවා ඇතැම් අවස්ථාවල දී එකඟ වෙන්නේ නෑ.
එමෙන්ම මුහුදු මාර්ග ඔස්සේ අන්තරායකාර භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව එවැනි තත්ත්වයක් පාලනය කරගැනීම නැවේ කාර්ය මණ්ඩලයටයි පැවරෙන්නේ.
මෙතෙක් කරන ලද සොයා ගැනීම් වල දී තහවුරු වෙලා තියෙන්නේ ඔවුන් නිසි ලෙස කටයුතු කර ඇති බවයි.
මෙය නිවැරදිව සිදු වුණා, මැයි විසි වැනිදා (20) නැවේ යම්කිසි දුමාරයක් දකිනකම්.

ප්‍රශ්නය
අන්තරායකාර ද්‍රව්‍යය දුර්වල ලෙස ගබඩා කිරීම නිසා ඇතිවූ කාන්දුවක් හේතුවෙන් මේ ගින්න ඇතිවුණු බවටයි දැනට තියෙන තොරතුරු තහවුරු කරන්නේ.
මේ වගේ රසායන ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන් වරින් වර නැව් ගිනි ගැනීම් සිදු වෙනවා මේක වහාම සොයා බැලිය යුතු පිළියම් යෙදිය යුතු කාරණයක් නේද?

පිලිතුර
ඔබ ඉතාම හොඳ ප්‍රශ්නයක් මතු කළේ. නැව් සමාගම් මේ ගැටළුවට පිළිතුරු සෙවීමට පසුගිය වසර ගණනාව පුරා ඉතා දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා.
ඔබ මතක තබා ගත යුතුයි මේ කන්ටේනර, නැවට පැටවීමේදී ඒවා මුද්‍රා තබලයි තියෙන්නේ. අපි ප්‍රතිපත්තිමය වශයෙන් විශ්වාස කරනවා එම කන්ටේනර තුල ද්‍රව්‍ය නිසි ලෙස ගබඩා කර කර ඇති බවට.
අපිට මේවා විවෘත කරන්න අවසරයක් නැහැ.
අපි විශ්වාස කරනවා ඒවා වෘත්තීය මට්ටමෙන් සිදුවෙලා ඇති කියලා.
ඒ වගේම ඒ තුළ ඇති ද්‍රව්‍ය නිවැරදි ආකාරයට වාර්තා කරලා ඇති කියලා.
පසුගිය කාලය පුරාම ගනනින් කිව නොහැකි තරම් නෞකාවල විවිධ ගිනි ගැනීම් ඇතිවෙලා තියෙනවා විවිධ වූ සංකීර්ණ ක්‍රියාවලිය නිසා.
ඒවා ඇතැම් විට රසායන ද්‍රව්‍ය කාන්දුවීම නිසා සිදුවූ ඒවා තමයි.

බොහෝම ස්තුතියි සැමුවෙල් යොස්කොවිට්ස් මහත්මයා.

@@@@@@@@@@@@@@@@

(04.06.2021 – 09:05 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම වසංගත තත්වයකදී පිළිකා රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබාදිය හැකි වෙනමම ඒකකයක් ඉදිකිරීමේ කටයුතු මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ දී ආරම්භ වී තිබෙනවා.

ඒ සඳහා යෙදවීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 11 ක් පමණ වන බවයි තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් ලබාදෙන විශේෂ ප්‍රතිකාර හේතුවෙන් ඔවුන් වෙනුවෙන් වෙනමම ඒකකයක් කඩිනමින් ඉදි කිරීමේ අවශ්‍යතාවක් පවතින බව එහි අධ්‍යක්ෂවරයා මීට පෙර ප්‍රකාශ කළ බවයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ.

එය සැළකිල්ලට ගනිමිනුයි මෙම ඒකකය ඉදිකිරීමට කටයුතු කර ඇත්තේ.

මෙය තාවකාලික ඉදිකිරීමක් නොවන අතර, ඉදිරියේදී රට තුළ වන ඕනෑම වසංගත තත්වයකදී භාවිතයට ගත හැකියි.

මේ අතර ගෙවුණු දිනයේ නව කොරෝනා ආසාදිතයන් 3,297 ක් වාර්තාවූවා.

එයින් 3264 ක් අලුත් ‘අවුරුදු පොකුරෙන්’ වාර්තා වූ අතර, විදේශ ගතව සිට පැමිණි 33 දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා.

එමෙන්ම මෙරටින් තවත් කොරෝනා මරණ 42 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1608 දක්වා ඉහළ ගියා.

මේ අතර, අමෙරිකා එක්සත් ජනපදය විසින් සිය අතිරික්ත කොරෝනා එන්නත් වෙනත් රටවල් සමඟ හුවමාරු කර ගැනීමට තීරණය කර ඇති අතර, එලෙස එන්නත් ප්‍රදානයන් ලබන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා.

ජනපති ජෝ බයිඩ්න් සඳහන් කළේ එලෙස කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 25 ක් කඩිනමින් ආසියාවේ ලතින් අමෙරිකාවේ සහ කැරිබියානු රටවල් වෙත පිරිනමන බවයි.

එලෙස ආසියාව සහ අග්නි දිග ආසියානු කලාපයට ලබාදෙන එන්නත් මාත්‍රා මිලියන 7 ක් රටවල් 17 ක් අතර බෙදියාමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාවට ද අදාළ එන්නත් ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

මේ අතර, බ්‍රිතාන්‍යවාසීන් සංචාරයෙන් වැළකිය සිටිය යුතු රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට එරට රජය ඊයේ (03) තීරණය කළා.

ඒ, තවත් රටවල් 7 ක් සිය රතු ලැයිස්තුවට එක් කිරීමත් සමඟයි ෴

+++++++++++++++++++++++

(04.06.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

කොළඹ තරු හෝටලයකදී චන්දිමාල් ජයසිංහ විසින් පැවැත්වූ උපන්දිය සාදයට සහභාගී වූ බවට සැකපිට අද (04) දිනයේ තවත් 6 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 3 ක් පිරිමි පුද්ගලයන් 3 ක් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මීට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 15 ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ සංඛ්‍යාව 21 ක්.

කෙසේ වෙතත් තවත් එක් (1) පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා මේ වනවිටත් අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ කොළඹ තරු හෝටලයේ සූපවේදියෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම හෝටලයේ පැවති උපන්දින සාදයට සහභාගී වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර එම උපන්දින සාදයට එක්වූ තවත් හය (6) දෙනෙකු කොළඹ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අතර ප්‍රවීණ චිත්‍රපට නළු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය ද සිටින බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++

(04.06.2021 – 12:09 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 8,91,630 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

ඒ අනුව, ඊයේ (03) දිනයේදී පමණක් එම එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 45,047 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මීට අමතරව, ඊයේ (03) දිනයේදී කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 795 දෙනෙකුට ලබාදී ඇති අතර, මේ වනවිට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 350,958 දෙනෙකුට ලබාදී තිබෙනවා.

මේ වනවිට එහි පළමු (1) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 925,242 ක්.

එසේම, ස්පුට්නික්-වී එන්නතේ පළමු මාත්‍රාව ඊයේ (03) දිනයේදී 2283 දෙනෙකුට ලබාදී ඇති අතර, මේ වනවිට එම එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 64,986 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *