සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

*********************************************

සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

(02.06.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

දැනට මුළු දිවයිනට ක්‍රියාත්මක සංචරණ සීමා එළඹෙන ජූනි 14 වනදා අලුයම හතර (04:00) දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (02) ප්‍රකාශ කළා.

එමෙන්ම දිස්ත්‍රික්ක 12 ක 60 ට වැඩි පුද්ගලයන් සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම ලබන 08 වන දා ආරම්භ කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මුළු දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා එළඹෙන 07 වනදා අළුයම හතරෙන් (04:00) අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් එය තවත් සතියකින් දීර්ඝ කරන බවයි.

+++++++++++++++++++++++++

(02.06.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝණය කරමින් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කොළඹ තරු පන්තියේ හෝටලයක සංවිධාන කර තිබූ උපන්දින සාදයට එක්වූ 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන අද (02) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය එම පුද්ගලයින් 13 දෙනාට ඇප ලබාදුන් බව හිරු ප්‍රවෘත්ති අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතර දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක් සහ ඇයගේ සැමියා ද සිටියා.

චමල් ශුශාන්ත ගුණසේකර වන ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකරගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයෙක්.

කෙසේවෙතත් මෙම පුද්ගලයා පොලිසිය හමුවේ ප්‍රකාශකර ඇත්තේ තමන් එඩ්වඩ් ගුණසේකරගේ පුත්‍රයා බවටයි.

කොළඹ කොටුව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ පුද්ගලයා ඊයේ (01) අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය තුල කෑ ගසමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි.

එහිදී මෙම පුද්ගලයා ඔහුට ඇති දේශපාලන සම්බන්ධකම් පිළිබඳ ප්‍රකාශ කළ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියාසිටියේ ෴

++++++++++++++++++++++++

(02.06.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 වසංගත රෝගී තත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා නිසා අපහසුවට පත්ව සිටින ජනතාව සඳහා එළවළු සහ වියළි අහාර සහනදායි මිළට ලබා දීම සිවිල් ආරක්ෂක බලකාය විසින් සිදු කරනු ලබනවා.

ඒ කොළඹ අවට ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි ජංගම රථ 10 ක් යොදාගනිමින්.

මෙහිදී ජනතාවට එළවළු වර්ග 12 ක බඩු මල්ලක්ද රුපියල් 500 ක සහනදායි මිලට ලබාදී තිබෙනවා.

ඒ අතර සුවඳැල්, බටපොල, ඇල් හා බාස්මතී යන දේශීය සහල් වර්ග ද රතු කැකුලු, සුදු කැකුලු, නාඩු, කීරි සම්බා සහ සම්බා සහල් වර්ග ද මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී ඇතැයි සඳහන්.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නංවා තිබෙනවා.

++++++++++++++++++++++++++

(02.06.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 1504 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු ගණන 160,714 ක් වනවා ෴

+++++++++++++++++++++++++

(02.06.2021 – 17:41 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – හාලිඇල පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ, සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් අනතුරුවයි. එම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟයි මෙලෙස කොරෝනා පරීක්ෂණ සිදුකර ඇත්තේ.

මීට අමතරව ඔවුන්ගේ ආශ්‍රිතයින් 18 දෙනෙකු ද නිරෝධායනයට යොමු කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++

(02.06.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරුපහේ හෝටලයක සිය උපන්දින සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, ඊට සහභාගි වූ නිරූපන ශිල්පී පියුමි හංසමාලි ඇතුළු 15 දෙනා නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ මෙම පිරිස සති දෙකක (2) කාලයක් සඳහා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට නියමිත බවයි.

සංචරණ සීමා කඩ කරමින් මෙම සාදයට සහභාගි වීමේ චෝදනාව මත ඊයේ (01) අත්අඩංගුවට ගත් 6 දෙනා සහ අද (02) පොලිස් භාරයට පත්වූ 7 දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය නියෝග කළේ සැකකරුවන් 13 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි. එලෙස අත්අඩංගුවට පත්වූ පිරිසට කාන්තාවන් දෙදෙනෙකු (2) ද අයත්. මෙම උපන් දින සාදය සංවිධානය කළ රූපලාවල්‍ය ශිල්පියා සහ නිරූපන ශිල්පිනිය මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා.

නඩුව අද (02) කැදවූ අවස්ථාවේදී පොලීසිය කරුණු දක්වමින් ප්‍රකාශ කළේ රට පුරා සංචරණ සීමා පනවා තිබෙන අවස්ථාවක උපන් දින සාද පැවැත්වීමට නීතියට පටහැනි බවයි.

ඒ අනුව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පර්යේෂණ සිදුකරන බව ප්‍රකාශ කළ පොලීසිය, මෙම සැකකරුවන් බන්ධනාගාරය මාර්ගයෙන් නිරෝධායනය සඳහා යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී සැකකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කරුණු දක්වමින් සදහන් කළේ සැකකරුවන් නිරෝධායනය සඳහා යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය නොමැති බවයි.

නිරෝධායන නීති උල්ලංගණය කරමින් කටයුතු කළ කුරුණෑගල නගරාධිපතිවරයා මේ දක්වා අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙහිදී පොලීසිය ඇමතූ අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරුවන් නිරෝධායනය සඳහා යොමු කිරීමට බලයක් මහේස්ත්‍රාත්වරයෙකුට නොමැති බවයි.

පසුගිය වසරේ මාර්තු 18 වන දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පුද්ගලයෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට බලය පොලීසියට පවරා දී ඇති බවත් එම බලතල අනුගමනය කරමින් පොලීසියට අවශ්‍ය වූ විට සැකකරුවන් නිරෝධායනයට යොමු කළ හැකි බවත්, මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළා.

එම බලතල අනුගමනය කරමින් පොලීසියට අවශ්‍ය නම් සැකකරුවන් නිරෝධායනයට යොමු කළ හැකි බව කී අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නිරෝධානය ක්‍රියාමාර්ග ඔවුන් විසින් උල්ලංඝණය කරන්නේ නම් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පොලීසියට හැකියාව පවතින බව පෙන්වා දුන්නා.

මෙම තොරතුරු මාධ්‍ය වෙත දැනුම් දෙන්නේ නම් එය නිවැරදිව ප්‍රකාශ කරන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙනිය පොලීසියට නියෝග කළේ. සිද්ධියට අදාළ නඩුව යළි කැදවීම අගෝස්තු මස 27 වන දා දක්වා කල් තැබුණා.

++++++++++

++++++++++

පස්සර යනගමන් ෆේස්බුක් ලයිව් ඇවිත් පියුමි හංසමාලි සියල්ලන් පතුරු ගසයි

(02.06.2021 – gossiplankanews.com)

අද දින (02) ඇප මත මුදාහරින ලද පියුමි හංසමාලි ඇතුළු පිරිස පස්සර බන්ඩාරවෙල වෙත නිරෝධායනය සඳහා රැගෙන යද්දී සියල්ලන්ට බැණවදිමින් පියුමි හංසමාලි ඇතුළු කණ්ඩායම ෆේස් බුක් ලයිව් වීඩියෝවක් නිකුත් කර ඇත.

එහිදී පියුමි පවසන්නේ ‘හිරු නාලිකාවේ සලකුණ වැඩසටහන’ට අජිත් රෝහණ මහතාව සම්බන්ධ කරගෙන තමන් ඇතුළු පිරිසට නිවේදක චමුදිත සමරවික්‍රම අසත්‍ය චෝදනා එල්ල කළ බවයි. එම අවස්ථාවේ අජිත් රෝහණ මහතා අසරණ වූ බවත් තමා අජිත් රෝහණ මහතාට මෙන්ම ගරු අධිකරණයට කිසිවක් නොකියන නමුත් චමුදිත සිදු කළ චෝදනා භාර නොගන්නා බවයි.

සාදයට 40-50 ක් ආවේ නැති බවත් මේ ඉන්නා 15 දෙනා පමණක් බවත් ඇය කියන අතර පාටියේ කේක් එක කපන්නත් පෙර ඉතා ටික වේලාවකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් විශාල සිද්ධියක් සිදුවූයේ නැති බවත්ය.

තමා පැයකින් ඇප ලබාගැනීම ගැනද චමුදිතට විශාල ප්‍රශ්නයක් තිබූ බවත් එවැන්නක් ඇසුයේ ඇයිද යන්න ගැටලුවක් බවත් ඇය කියා සිටියාය.

එසේම හිරුටීවි නත්තල් පාටියෙන් 150 ක් කොරෝනා පොසිටිව් වූ බවත් ඒ අය සියල්ලන් නිවෙස් වල නිරෝධායනය කරවූ බවත් මේ ආකාරයට රැගෙන යාමට තබා ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු නොකළ බව ඇය කියයි.

මෙම අවස්ථාවට එක්වූ අනෙක් අය පවසන්නේ ඔවුන්ට කට උත්තරයක් ලබාගැනීමට කියා ඊයේ (01) නිවසින් ගෙන්නා ගත් පසුව මේ දක්වා රඳවාගෙන සිට අද (02) දින සවස ඇප ලබාදී කිසිදු ඇදුමක් හෝ අතේ කිසිවක් නැතිව නිරෝධායනය සඳහා පස්සරට පිටත් කළ බවයි. අවසන් වරට උදේ කෑම පමණක් ලබාගෙන ඇති බවද ඇතැමුන් දන්වා සිටින ලදි.

තමන්ගේ දරුවන් ගැන බැලීමට හෝ අවස්ථාව නොදුන් බව මවකවූ දිවුලපිටිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී භාගේස්වරී මධුෂිකා චෝදනා කළාය. ඇගේ සැමියාද බස් රථයේ නිරෝධායනයට රැගෙන යමින් තිබිණි.

අධිකරණය නියෝග කළ පරිදි පීඑච්අයි මහතෙකු හරහා තමන්ව මේ ආකාරයට රැගෙන යන්නේ නැති බවත් පොලිසියේදී පීඑච්අයි මහතා කාමරයක රඳවා සිටි බවත් තමන්ට කිසිදු උපදෙසක් හෝ තම ඉල්ලීමක් බැලීමට ඔහු තම පිරිස වෙත ආවේ නැති බවත් චෝදනාවකි.

++++++++++

[ පියුමි ඇතුළු පිරිස නිරෝධායනයට ගෙන ගියේ නීතියට පිටින් ! ]

++++++++++

+++++++++++++

(03.06.2021 – gossiplankanews.com)

ෂැංග්‍රිලා හෝටලයේ සාදය දැමූ අය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා ඔවුනගේ දැඩි අකමැත්තෙන් බණ්ඩාරවෙල පස්සර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබුණි.

මෙම අවස්ථාවට ඇප ලද 15 දෙනෙකු ඇතුළත්ව සිටි නමුත් සාදයේ ප්‍රධානියා නොසිටියේය.

ඔහුව සොයා කෝට්ටේ පිහිටි නිවස වෙත පොලිස් කණ්ඩායමක් ගොස් තිබූ අතර ඔහු නිවසේ නොසිටියේය.

රාත්‍රී කාලයේ වාර්තාවන්නේ තලවතුගොඩ හේමාස් පුද්ගලික රෝහලට ඔහු ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඒ අනුව ඔහු කණ්ඩායම මගහැර තිබේ ෴

++++++++++++++++++++++

(02.06.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 12 කට මෙම මස 8 වනදා සිට සයිනොෆාම් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය, මාතලේ, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලට එන්නත ලබාදෙනු ඇති.

වයස අවුරුදු 60 ඉක්මවූ සහ ගැබිණි මව්වරුන්ට මෙන්ම රජයේ සේවකයන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

මේ අතර, දිස්ත්‍රික්ක 12 ක අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන 8 වන දා උදෑසන 8 සිට සිට එම එන්නත ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

නුවරඑළිය, මාතලේ, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොණරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට මෙලෙස සයිනොෆාම් එන්නත ලබාදෙනු ඇති.

එන්නත ලබාදීමේදී ගර්භනී මාතාවන්ට සහ රජයේ සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදීමට ද කටයුතු කරන බව යුද හමුදාපතිවරයා කියා සිටියා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එන්නත්කරණයේදී සංකූලතා හා රෝගී තත්වයන් ඇති ගැබිනි මව්වරුන් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවයි.

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් හත්දෙනෙකු (7) මේ දක්වා මියගොස් ඇති අතර, අවසන් මරණය ඊයේ (01) කළුබෝවිල රෝහලෙන් වාර්තාවූ බවයි ඇය ප්‍රකාශ කළේ.

මේ අතර මහනුවර – පල්ලෙකැලේ ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් පිරිසක් හිසරදය, වමනය, ආහාර අරුචිය සංකූලතා පෙන්නුම් කිරීම හේතුවෙන් මැණික්හින්න ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කෙරුණා.

ඉන් 60 කට වැඩි පිරිසක් අද (02) පස්වරුව වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම සේවක සේවිකාවන් ඊයේ (01) දිනයේදී ස්පුට්නික් එන්නත ලබාගෙන ඇති නමුත්, හදිසි අසනීප වීම, එන්නතෙහි අතුරු ආබාධයක් නොවන බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එන්නත ලබාගැනීමෙන් පසු ඇතිවූ මානසික තත්වයන් හෝ ආහාර විෂවීමක් මීට හේතුවන්නට ඇති බවයි.

එමෙන්ම මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගත කළ යුතු තත්වයේ පසුවන්නේ ආසාදිතයන් සියයට විස්සක් (20%) පමණක් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

ඒ, අද (02) මහරගම – නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ අතර කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊයේ (02) ආරම්භ කළ සත්‍යග්‍රහය අද (02) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක වුණා.

හෙට (03) දිනයේ පෙරවරු හතේ (07:00) සිට දහවල් 12:00 දක්වා සේවයෙන් බැහැර වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක රොෂේන් සමීර මහතා කියා සිටියේ.

ප්‍රදේශවාසී ජනතාව එක්ව දින හයක් (6) තුළ රුපියල් එක්කෝටි හාරලක්ෂයක (1,04,00,000) මුදලක් එක්රැස් කර මිලදී ගත් නව පරීක්ෂණ යන්ත්‍රයක් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට භාරදීම අද (02) සිදු කෙරුණා.

කොරෝනා පරීක්ෂණ යන්ත්‍රය සඳහා මුදල් වැය කිරීමෙන් පසුව ඉතිරිවූ මුදලින් රසායනාගාර ගොඩනැගිල්ලක්ද ඉදි කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

@@@@@@@@@@@@@@@@@

සේරුවිල මංගල රජමහා විහාරයේ අර්බුදකාරී තත්ත්වයක්

(02.06.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති තනතුර සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් අදහස් පළ කළා.

සේරුවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපති ධුරය හෙඹවූ පූජ්‍ය මුං හේනේ මෙත්තාරාම හිමියන් ඉන්දියාවේදී කොවිඩ්-19 ආසාදනය වීමෙන් අපවත් වීමත් සමඟ එම විහාරයේ විහාරාධිපති ධුරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා.

ඉන් අනතුරුව චෛත්‍ය වර්ධන කමිටුව විසින් විහාරාධිපති තනතුර සඳහා පත්කළේ පූජ්‍ය අලුදෙණියේ සුබෝධ හිමියන්වයි.

කෙසේ වෙතත් සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස අමරපුර ශ්‍රී කල්‍යාණි වංශ පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි හිමියන් පත්කිරීමට විධායක සංඝ සභාව තීරණය කර තිබෙනවා.

බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් එම පත්කිරීම ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

කෙසේ වෙතත් පූජ්‍ය අලුදෙනියේ සුබෝධ හිමියන් විසින් තමන් විහාරාධිපතිධුරයෙන් ඉවත්කිරීමේ සූදානමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පසුගියදා කොළඹ දිසා අධිකරණයට ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපතිහිමියන් පත්කිරීමේදී අධිකරණය ලබාදී ඇති නියෝගය ප්‍රකාරව කටයුතු කරන බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ.

+++++++++++++

මහනායක හාමුදුරුවන්ට අභියෝග කිරීම දේවදත්ත සම්ප්‍රධායේ වැඩක් – සේරුවිල අත්පත්කර ගැනීමට කිරිබත්ගොඩයා දේශපාලන හිතවත්කම් යොදා ගන්නවා ? (02.06.2021)

“යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් මහනායක හාමුදුරුවන්ට අභියෝග කරනවානම් සාමාන්‍ය ජනවහරේ අපි කියන්නේ දේවදත්ත නිකායේ කියලා.

ඒකට හේතුව තමයි බුදුන්ට අභියෝග කලේ බුදුන් ළඟ මහන වෙච්ච දේව දත්ත. මහනායක හිමියන්ට අභියෝග කරනවානම් ඒක දේවදත්ත සම්ප්‍රධායේ වැඩක්” යැයි මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ සේරුවිල මංගල රජමහා විහාරය පිළිබඳව ඇතිවී තිබෙන තත්වය පිළිබඳව කරුණු දැක්වීමට ඊයේ (01) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කලෝය.

සේරුවිල අත්පත්කරගැනීමට කිරිබත්ගොඩ ඥානානන්ද තම දේශපාලන හිතවත්කම් යොදා ගන්නවාදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ “වෙන්ඩ පුළුවන්… හැබැයි නොවිය යුත්තක්…” යැයි සඳහන් කරන ලදි ෴

******************************************

(02.06.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala)

මහවැලි අධිකාරියට අයත් වැව් රක්ෂිතයක් හා ඇළ රක්ෂිතයක් නීති විරෝධීව ගොඩකරන බවට තණමල්විල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට චෝදනා එල්ල වනවා.

අදාල ඉඩම පවතින සෙවනගල නෙළුම්වැව ගම්මානය මේ වනවිට හුදකලා කර ඇති අතර, රට පුරා සංචරණ සීමා පනවා ඇති කාලයක සිදුකරන මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබද ගම්වාසීන් මවිතය පළ කරනවා.

මෙම ඉඩම පිහිටා ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් සෙවනගල – නෙළුම්වැව ගම්මානයේයි.

මහවැලි අධිකාරියට අයත් වැව් රක්ෂිතයක් හා ඇළ රක්ෂිතයක් අසල පිහිටා ඇති මෙම අක්කර 02 ක පමණ භූමිය කලකට ඉහතදී පුද්ගලයෙකු බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටි බවයි ගම්වාසීන් පවසන්නේ.

කෙසේ වෙතත්, එවක තණමල්විල ප්‍රාදේශීය සභාව අධිකරණ ක්‍රියාමාර්ග හරහා මෙම භූමිය ප්‍රාදේශීය සභාව සතුකර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ගම්වාසීන් පෙන්වා දෙන්නේ මේ වනවිත් ඇළ මාර්ගය ගොඩ කර තිබීම හේතුවෙන් වැසි සමයේදී කුඹුරු ඉඩම් රැසක් යටවීමේ අවදානමක් ද පවතින බවයි.

වැව් රක්ෂිතය හා ඇල රක්ෂිතය ආශ්‍රිතව නීති විරෝධී ගොඩකිරීම් සිදු නොකරන ලෙසට මහවැලි අධිකාරිය විසින් අදාල පුද්ගලයන්ට දැනුම් දී තිබියදීත් ඉඩම් ගොඩකිරීම තවදුරටත් සිදුකරන බවයි ජනතාව පවසන්නේ.

කොවිඩ් අවදානම හේතුවෙන් මේ වනවිට හුදකලා කර ඇති නෙළුම්වැව ගම්මානයේ මෙම ඉඩම අසලම පොලිස් මුරපොලක් පවා පවතිද්දී නීති විරෝධීව මෙම ඉඩම ගොඩකරන ආකාරය පිළිබදව ගම්වාසීන් විමතිය පළ කරනවා.

******************************************

(02.06.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගත් ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් නිකුත් වූ උපද්‍රව්‍යකාරී අපද්‍රව්‍ය ටොන් 584 ක් මේ දක්වා මෙරට වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී ඉවත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නිවේදනය කළා.

උස්වැටකෙයියාව ප්‍රදේශයේ සිට පමුණුගම – කැපුම්ගොඩ දක්වා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සෑම දිනකම උදෑසන 7 සිට පස්වරු 4 දක්වා නාවික හමුදා සෙබලුන් 470 ක් පමණ එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

******************************************

(02.06.2021 – 18:14 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් කේරළ ගංජා කිලෝග්රැම් 29 යි ග්රැම් 800 ක් රැගෙන එමින් සිටි ධීවරයින් දෙදෙනකු (2) මන්නාරම මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම කේරල ගංජා තොගය පාර්සල 14 ක් තුල බහා තිබියදීයි නාවික හමුදාව සොයා ගනු ලැබුවේ.

මෙතෙක් සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම කේරළ ගංජා තොගය මන්නාරම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා රැගෙනවිත් ඇති බවටයි.

නාවික හමුදා භාරයට ගත් මෙම ධිවරයින් දෙදෙනා (2) මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මොවුන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදී ඇති අතර තලෙයිමන්නාරම පොලිසිය සහ නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *