ස්පුට්නික් එක් (1) මාත්‍රාවක් පමණක් ගැනීමට කැමැත්ත පළ කරමින් අත්සන් ලබාගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මතයි – ඇමති කෙහෙළිය

ස්පුට්නික් එක් (1) මාත්‍රාවක් පමණක් ගැනීමට කැමැත්ත පළ කරමින් අත්සන් ලබාගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මතයි – ඇමති කෙහෙළිය

*********************************************

ස්පුට්නික් එක් (1) මාත්‍රාවක් පමණක් ගැනීමට කැමැත්ත පළ කරමින් අත්සන් ලබාගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මතයි – ඇමති කෙහෙළිය

(01.06.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දී ස්පුට්නික් එන්නත ලබාදීමේදී එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන බවට පවසමින් අත්සන් ලබා ගැනීම සිදුකළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විශේෂඥ කමිටුවේ උපදෙස් මත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ස්පුට්නික්-වී එන්නතේ පළමු (1) මාත්‍රාව පමණක් ජනතාවට ලබාදීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ස්පුට්නික් එන්නත ලබාදීම පෙරේදා (30) මහනුවර දී ආරම්භ කළ අතර එහිදී එන්නත ලබාගත් පුද්ගලයින්ට කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා වෙනම පත්‍රිකාවක් ලබාදී තිබුණා.

එහි තිබූ මුද්‍රවක දැක්වුණේ ස්පුට්නික්-වී එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි යන්නයි.

ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ ද කරුණු අනාවරණ කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබදව කිසිවක් නොදන්නා බවයි.

එහෙත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශේෂඥ කමිටුවේ අනුදැනුම සහිතව එය සිදුවූවක් බවයි.

සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත ජූනි 07 වනදා දක්වා දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ හොර රහසේ මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි ෴

+++++++++++++++++++++++++++

(01.06.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති කඩකරමින් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුමට සහභාගි වූ සියලු දෙනාට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවති රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළකළේ ‘හිරු ටී.වී. සලකුණ’ වැඩසටහනට එක්වෙමින්.

++++++++++++++++++++

(01.06.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හමුවේ රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව පිළිබඳ තොරතුරු සහ එම අයදුම්පත්‍රය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුක් කර තිබෙනවා.

[ එම විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න ]

+++++++++++++++++++++

(01.06.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් දින 10 කින් පසු නිවෙස් වෙත යොමු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (31) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 2 912 ක් වාර්තා වූ අතර ඒ සමග මෙරටින් වාර්තා වන මුලු ආසාදිතයන් සංඛ්‍යාව 1,86,363 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (31) වාර්තාවූ ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති අතර, එම සංඛ්‍යාව 490 ක්.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 322 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 260 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවකට තැන්පත් කිරීම සඳහා රැගෙන ආ රුපියල් කෝටි දෙකක (2) පමණ මුදලක් පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට කොරෝනා වැළඳී තිබෙනවා.

මීට අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර පොලීසිය මේ බව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරියට දැනුම් දෙනු ලැබුවා.

මේ අතර සංචරණ සීමා කඩ කරන්නන් සොයා දිවයින පුරා මාර්ග වල සිදු කරන පොලිස් පරීක්ෂණ අදත් (01) ක්‍රියාත්මකයි.

මේ අතර භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ස්ථාපිත පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (01) මහනුවරදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙනු ලැබුවා.

මහනුවර – වැව රවුමේ සංඝරාජ මාවතේ පිහිටි පෞද්ගලික හෝටලයක් මෙලෙස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කර ඇති බවයි ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය සඳහන් කළේ.

මේ දිනවල සංචාරකයින් නොමැතිවීම හේතුවෙන් අදාළ හෝටලයේ හිමිකරු තාවකාලිකව මෙය කොරෝනා ආසාදිත භික්ෂූන් වහන්සේලාට ප්‍රතිකාර කිරීම සඳහා ලබාදී තිබෙනවා.

පසුව දළදා මාළිගාව ඊට අවශ්‍ය උපකරණ එක්කර ඇති අතර, ඒ අනුවයි අද (01) එය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙනු ලැබුවේ.

මේ අතර කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් දින 10 කින් පසු නිවෙස් වෙත යොමු කරන බවයි.

කොරෝනා පරීක්ෂණයක් සිදු නොකර ඔවුන් එලෙස පිටත් කර යවන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

+++++++++++++++++++++++

(01.06.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමත් සමඟ සාගරයට අපද්‍රව්‍ය එක්වීම හේතුවෙන් වෙළඳපොලේ ලුණු හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, අඩු මිලට සතොස හරහා ලුණු මිලදී ගැනීමට ඇති බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

+++++++++++++++++++

(01.06.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් සබරගමුව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

ආරක්ෂාකාරී පියවරක් ලෙස ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් ලෙස ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය සැලකෙන බැවින් ඒ පිළිබදව සලකා බලමිනුයි අදාළ තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව අද (01) සිට එළඹෙන 30 වන දා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

එම කාලවකවානුව ද ඇතුළුව ජුනි මස 31 වන දා දක්වාම දඩ මුදලකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් එම්.ඩී. රංජනී ජයකොඩි මහත්මිය දැනුම් දෙන්නේ ෴

@@@@@@@@@@@@@@@@@

(01.06.2021 – 10:39 +0530 – hirunews.lk/sinhala)

පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන රුපියල් 250 ක මාසික දීමනාව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2,500 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු අදියර යටතේ පෙර පාසල් ගුරුවරුන් සහ ගුරුවරියන් 25,000 ක් සඳහා එම දීමනාව ලබාදෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එකවෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ෴

******************************************

(01.06.2021 – 10:43 +0530 – hirunews.lk/sinhala)

2021 ජුනි මස පළමු වනදා සිට 2022 ජනවාරි 31 දක්වා මාස 08 ක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු සිංගප්පූරුව පාදක කරගත් සමාගම් 02 කට පිරිනැමීමට බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඊයම් ප්‍රතිශතය 92 ඛණ්ඩයේ පෙට්‍රල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ඕවසීස් එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගම වෙත පිරිනැමීමට නියමිතයි.

එමෙන්ම ඊයම් ප්‍රතිශතය 92 ඛණ්ඩයේ තවත් පෙට්‍රල් තොගයක්, සුපිරි ඩීසල් සහ ඩීසල් මෙරට සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමී ඇත්තේ සිංගප්පූරුවේ පෙට්‍රෝචයිනා සමාගම වෙතටයි ෴

******************************************

(01.06.2021 – 10:53 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ – පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවතොටුපොලක තත්ත්වයට සංවර්ධනය කිරීම සඳහා රජයේ අවදානය නැවත වරක් යොමුවී තිබෙනවා.

ඒ සඳහා ඉන්දීය රජයෙන් ලැබෙන රුපියල් මිලියන 300 ක ආධාර මුදලක් භාවිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි අද (01) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ෴

******************************************

(01.06.2021 – 12:23 +0530 – hirunews.lk/sinhala)

මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහනක් අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු කළ ඇප ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන් දුරුගොඩ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෝසමක් මාර්ගයෙන් නගරාධිපතිවරයා මෙම ඉල්ලීම කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මීට පෙර නියෝග කෙරුණේ ෴

******************************************

(01.06.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කල අදහස් :

******************************************

(01.06.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

මහජන මුදල් වැයකරමින් ඉදිකරන රජයට අයත් ගොඩනැඟිලි නිසි ප්‍රයෝජනයක් නොගෙන විනාශ වීමට ඉඩ හැරීම කණගාටුවට කරුණක්.

එලෙස විනාශවීවෙමින් පවතින ගොඩනැගිල්ලක් පිළිබඳ පුවතක් මැදිගිරිය – යුදගනාව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මේ මැදිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුදගනාව ප්‍රදේශයේ ඉදිකර ඇති විනාශ වෙමින් පවතින ගොඩනැගිල්ලයි.

රුපියල් කෝටි 3 ක පමණ මුදලක් වැය කර මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ 2000 වර්ෂයේදී.

මැදිරිගිරිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක් පවත්වාගෙන යාම සඳහා මෙම ගොඩනැගිල්ල එවක රජය විසින් ඉදිකර පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට භාරදුන්නද පසුව එහි ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගොස් නැහැ.

මේ වන විට සමාජ විරෝධී ක්‍රියාකාරකම් සිදුකරන්නන්ගේ තිත්පොළක් බවට පත්ව ඇති මෙම ගොඩනැගිල්ල පෞද්ගලික ව්‍යාපාරිකයින් විසින් වසර 20 ක් තිස්සේ ඇඟළුම් කම්හලක් විවෘත කරන බව පවසා ණය ලබාගන්නා ක්‍රමයක් බවටද පත්කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට මැදිගිරිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාද සමග අප එහි ගිය අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු ඊට බාධා කර තිබුනා.

විදුලිය, ජලය වැනි සියලු පහසුකම් සහිතව ඉදිකර ඇති මෙම වටිනා ගොඩනැගිල්ල කොවිඩ් ආසාධිත රෝගීන්ට රෝහලක් ලෙස භාවිතා කිරීමට හෝ එසේ නොමැති නම් වෙනත් ඵලදායී ක්‍රියාවකට යොදවන ලෙසටයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

******************************************

(01.06.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

පමුණුගම මුහුද ආශ්‍රිතව තෙල් පැල්ලමක් නිරීක්ෂණය වන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එම තෙල් පැල්ලම ගිනිගැනීමට ලක්වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදුවූ තෙල් කාන්දුවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක දුරින් නැංගුරම් ලා ඇති මෙම නෞකාවේ ගින්න බොහෝදුරට මැඩපවත්වා තිබෙනවා.

ගිනිගැනීම හේතුවෙන් සාගරයට මුදාහැරුණු අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ කටයුතු අඛන්ඩව සිදුකෙරෙන අතර, මෙම සිද්ධියෙන් බටහිර මුහුදු කලාපයේ ධීවර කටයුතුවල නිරත ධීවරයින්ගේ ජීවනෝපායටද තර්ජනයක් එල්ලවී තිබෙනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අදත් වෙළඳාම් කටයුතු සඳහා විවෘත කර තිබුණද වෙළඳුන් පැවසුවේ නෞකාව ගිනිගැනීමේ සිද්ධිය හේතුවෙන් මාළු මිලදී ගැනීමට වෙළඳුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

******************************************

(01.06.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

දිලීර රෝගයක් හේතුවෙන් මහනුවර – මැණික්හින්න ප්‍රදේශයේ වට්ටක්කා වගාව විනාශවීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

මහනුවර – මැණික්හින්න – පිටවල වෙල්යාය ආශ්‍රිත අක්කර 30 ක පමණ භූමියක වැඩි වශයෙන් වගා කරන්නේ වට්ටක්කායි.

එලෙස වගා කර ඇති වට්ටක්කා වගාව දිලීර රෝගයක් හේතුවෙන් කොළ කහ පැහැ ගැන්වී විනාශ වන බව ගොවීන් පවසනවා.

දේශීය බීජ බව පවසා පෞද්ගලික ආයතන අලෙවි කරන බීජ වගා කළ ද තුන් (3) මසකට පමණ පසු ඊට අත්ව ඇති ඉරණම ගොවින් මෙලෙස පැහැදිලි කළා.

මේ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවක කෘෂි උපදේශකවරුන් දැනුවත් කළ ද ඔවුන් ලබාදෙන උපදෙස්වලට නිසි විසඳුම් ලැබී නොමැති බව ගොවීන් පෙන්වා දෙනවා.

බදු පදනම මත සිදුකරන මෙම වගා කටයුතු විනාශවීමෙන් තමන් කබලෙන් ලිපට වැටී ඇති බව ගොවීන් පෙන්වා දෙනවා.

බීජ හේතුවෙන් මෙම රෝගය හට ඇත්ද එසේත් නැතිනම් පොහොර නිසා මෙම රෝගය වැළඳී ඇත්දැයි යන්න මෙම ගොවීන්ට තවදුරටත් ප්‍රශ්නයක් වී තිබෙනවා.

******************************************

(01.06.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

තයිරොක්සින් හෝර්මෝනයේ ඌණතා පවතින රෝගීන් ලබාගන්නා තයිරොක්සින් ඖෂවල හිඟයක් පවතින බව වාර්තාවනවා.

කොළඹ මෙන්ම පිට පළාත්වල රජයේ ඔසුසැල් සහ පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වලද මෙම ඖෂධය මිලදී ගැනීමට නොමැති බවයි වාර්තා වුණේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොක්සින් හෝර්මෝනය නිපදවීමේ ඌණතා පවතින අවස්ථාවලදී වෛද්‍ය නිර්දේශය මත දීර්ඝකාලීනව රෝගීන් මෙම ඖෂධය ලබාගැනීම සිදු කෙරෙනවා.

අප මේ සම්බන්ධයෙන් විමසීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා සිටියේ නැහැ.

මේ අතර, ඇතැම් පිළිකා සඳහා ප්‍රතිකාර ලෙස භාවිත කරන මිලිලීටර් හතරේ (4) බෙවසිසුමැබ් එන්නත් බෝතල් 32,000 ක් රුපියල් මිලියන 220.8 කට මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි ෴

******************************************

(01.06.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

මහවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් තොඩුවාව වෙරළ තීරය මුහුදු ඛාදනයට ලක්වීමෙන් එම ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මේ පිළිබඳව දේශපාලන බලධාරීන් ඇතුළු පාර්ශ්වවලට පැවසුවද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවයි.

මහවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ උතුරු තොඩුවාව වෙරළ තීරය මෙලෙස මුහුදු ඛාදනයට ලක්වන්නේ දීර්ඝ කාලයක සිටයි.

මෙම තත්ත්වය වැළැක්වීමට පසුගිය රජය සහ වත්මන් රජය ද ගල්වැටී යෙදීම වැනි විසඳුම් දුන්නද තම ගැටලුවට මෙතෙක් ස්ථිර පිළියමක් ලැබී නොමැති බව ප්‍රදේශවාසීන් පවසනවා.

එහි ජීවත් වන පවුල් 50 කට ආසන්න පිරිසකගේ නිවාස හා දේපළවලට මුහුදු ඛාදනයෙන් දැඩි හානි සිදුව තිබෙනවා.

මේ පිළිබඳව දේශපාලන බලධාරීන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදි පාර්ශ්වවලට දැනුම් දුන්නද මෙතෙක් ඊට ස්ථිර විසඳුම් ලැබී නොමැති බවට තොඩුවාව ජනතාව චෝදනා කරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *