සයිනොෆාම් එන්නතෙහි 2 වන මාත්‍රාව ලබා දීම

සයිනොෆාම් එන්නතෙහි 2 වන මාත්‍රාව ලබා දීම

*********************************************

සයිනොෆාම් එන්නතෙහි 2 වන මාත්‍රාව ලබා දීම

(31.05.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම ජූනි මස 8 වනදා සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම මස එනම් මැයි මස පළමු (1) මාත්‍රාව ලබාගත් දිනට සමාන්තර දිනකදී සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගත හැකි බවයි.

පළමු (1) මාත්‍රාව ලබා ගත් ස්ථානයේදීම දෙවන (2) මාත්‍රාවද ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද යුද හමුදාපතිවරයා කියා සිටියා.

ඊයේ (30) දිනය වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 6,66,612 දෙනෙකුට ලබා දී ඇති අතර දිනය තුළ පමණක් 65,104 දෙනෙකුට මෙම එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊට අමතරව ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (30) දිනයේ 1680 දෙනෙකුට ලබා දී තිබුණා.

මේ අතර ස්පුට්නික් වී එන්නතේ පළමු (1) මාත්‍රාව පමණක් වුවද ලබාගැනීමට කැමැත්ත පළ කරන බවට සටහන් කෙරුණු මුද්‍රාවක් සහිත ලියවිල්ලකට අත්සන් ලබාගන්නා බවට ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සැරිසරනවා.

එය මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිදුව ඇති බවටයි වාර්තාවූයේ.

අප මේ පිළිබඳව සිදුකළ සොයාබැලීමකදී මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ප්‍රකාශ කර සිටියේ තම නිවෙස්වල ද එලෙස කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රයක් ලැබී තිබූ බවයි.

මෙරට සියලු ගුවන්තොටුපළවල් හෙට (ජුනි 01) දිනයේ සිට විවෘත කරන බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා. මෙහිදී ගුවන් යානයක පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75 ක් පමණක් වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ෴

අද (31) පෙරවරුවේ කොළඹ නගරයට ඇතුළු වූ වාහන සම්බන්ධයෙන් සංගණයක් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(31.05.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැනවීමත් සමඟ ජනතාවට අවශ්‍ය එළවළු සහ පළතුරු මිලදී ගැනීම සඳහා ජංගම රථ අද (31) දිවයින පුරා වෙළඳාම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඊයේ (30) විවෘත කිරීමත් සමඟ ඒවායින් මිලදී ගත් එළවළු සහ පළතුරු තොග මෙලෙස නිවෙස් වෙත ගොස් අලෙවි කිරීම් සිදුකෙරෙනවා.

මේ අතර අද (31) දිනයේදීත් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින අතර, ඊයේ (30) දිනට සාපේක්ෂව අද (31) ඇතැම් ආර්ථික මධ්‍යස්ථාන සඳහා තොග මිලදී ගැනීමට වෙළඳුන් පැමිණ සිටියේ නැහැ.

විශේෂයෙන් පෑළියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන වල මෙම තත්ත්වය දක්නට ලැබුණා.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලද අද (31) දින විවෘතව පැවතුණා.

නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයටද සැළකිය යුතු අන්දමින් වෙළඳුන් අද (31) අලුයම සිට පැමිණ සිටි බවයි එහි කළමනාකරු රොෂාන් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයටද අද (31) උදෑසන වනවිට එළවළු කිලෝ ලක්ෂ 3 ක් පමණ ලැබී තිබුණත්, ඒවා මිලදී ගැනීම සඳහා පැමිණ සිටි වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි වෙළඳ සංගමයේ ලේකම් චමින්ද රෝහණ කුමාර මහතා කියා සිටියේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද අද (31) දිනයේදීත් එළවළු තොග රැගෙන ගොවීන් පැමිණ සිටි අතර තොග මිලදී ගැනීම සඳහා වෙළඳුන් පෙර දින මෙන් පැමිණ සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඇතැම් ගොවීන් සහ වෙළඳුන් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ බවටද චෝදනා එල්ල වනවා.

කෙසේ වෙතත් තඹුත්තේගම සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානවලට අද (31) දිනයේ තොග ලැබීමේ අඩුවක් දක්නට ලැබුණු බව වාර්තා වනවා.

මේ අතර කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පෙරදිනට සාපේක්ෂව එළවළු තොග ලැබීමේ අඩුවක් පවතින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

+++++++++++++++++++++

(31.05.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතියට සාපේක්ෂව කොරෝනා රෝගීන් වෙනුවෙන් දැඩිසත්කාර ඇඳන් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන භාවිතය ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මෙරටින් ඊයේ (31) දිනයේත් කොරෝනා ආසාදිතයින් 2,859 හඳුනාගත් අතර, ඉන් වැඩිම පිරිසක් එනම් 608 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

දෙවනුවට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 547 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන්නේ රෝගීන් 447 දෙනෙකු පමණයි.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 143 දෙනෙකුත්, කෑගල්ලෙන් 136 දෙනෙකුත්, මහනුවරින් 108 දෙනෙකුත් වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.

මේ අතර දැනට පනවා ඇති සංචරණ සහ අනෙකුත් සීමා කොරෝනා පාලනය කළ හැකි මට්ටමට පැමිණෙන තෙක් තවදුරටත් පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සදහන් කළේ සෞඛ්‍ය වෘත්තීය සංගම් කිහිපයකින් සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන් හා අනෙකුත් උපදේශකයින්ගේ එකමුතුවෙන් කරන ලද ඉල්ලීමට ජනාධිපතිවරයා සහ රජය සංචරණ සීමා පැනවීමට ගත් තීරණය අගය කරන බවයි.

එමෙන්ම රුපියල් පන්දහසේ (5000) දීමනාව අනිද්දා (02) සිට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඊට අදාළ තොරතුරු ලබාගැනීම ඇතුලු මූලික කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.

එසේම හෙට (01) සිට ගුවන් තොටුපල විවෘත කිරීමට ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළා.

ඒ ජාඇළ ප්‍රදේශයේදියි.

+++++++++++++++++++++

(31.05.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

හෙට (01) දිනයේ සිට ගුවන් තොටුපල විවෘත කළ ද වියට්නාමයේ සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුලුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

වියට්නාමයේ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව වියට්නාමය හරහා මෙරටට පැමිණීම ද තාවකාලිකව තහනම් වනු ඇති ෴

@@@@@@@@@@@@@@@

(31.05.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ ලබා ගනිමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කෙරුණා.

අදාළ ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඊට අදාළ උදෘත නීතිපතිවරයා වෙත යොමු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

******************************************

(31.05.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

කුරුම්බැට්ටියක් උගුරේ සිරවීමෙන් කුඩා දරුවෙක් මියයාමේ පුවතක් ගාල්ල, කරාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 11 ක් වයසැති කුඩා දැරියක්.

දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිටින අතර තුර කුරුම්බැට්ටියක් මෙලෙස සිරවී ඇති අතර එහිදී ඇතිවූ ස්වසන අපහසුතාවක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.

******************************************

(31.05.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සිදුකරන කැපවීම සැබැවින්ම අගය කළ යුතු කරුණක්.

නමුත් ඔවුන්ගේ අසීමිත කැපවීමට නිගාදෙන අතළොස්සක් පමණ වන පිරිස හේතුවෙන් සමස්ත ආරක්ෂක අංශ අප්‍රසාදයට ලක්වන අවස්ථාද නැතුවාම නොවේ.

පුත්තලම නොරච්චෝලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු මුහුණ දුන් මෙම සිදුවීමත් එවන් එක් අවස්ථාවක්.

අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වූ පොලිස්නි ලධාරියාගේ වැඩ තහනම් කිරීමට කල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයා පියවර ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බවත් ඔහු සඳහන් කළා.

******************************************

(31.05.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 1,70,00,000 ට ආසන්න වටිනාකමකින් යුත් මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, සැකකරුවන් දෙදෙනෙකු (2) සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වාලච්චේන – රිදීතැන්න පොලිස් මාර්ග බාධකයේදීයි.

අදාළ ලොරි රථයේ තිබී මත්පැන් බෝතල් 9240 ක් පොලීසියට භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(31.05.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දෙදෙනා අද (31) දින අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ.

මෙම සාදය සඳහා 20 ත් 25 ත් අතර පිරිසක් පැමිණ සිට ඇති බවටයි පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත්තේ.

හෝටලයේ ආරක්‍ෂිත කැමරා පද්ධතියේ දත්ත පරික්ෂා කරමින් සාදය සඳහා පැමිණි අනෙක් පිරිස හඳුනා ගැනීම සඳහා කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වීමේ චෝදනවාට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා අද (31) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රට තුල මේ වනවිට පනවා ඇති නිරෝධායන නීතිය නොතකමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීමේ චෝදනාව මත ඔවුන් දෙදෙනා (2) කොටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් වන නඩුව ලබන 08 වන මස 21 වන දින යළි කැඳවීමට නියමිතයි.

******************************************

යළි උණුසුම් වූ දෙවනගල

(31.05.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරා විද්‍යා ස්මාරක සහිත භූමියේ අනවසරයෙන් ගසක් කපා දැමීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ගස කපාදැමීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

අනවසර ඉඩම් ආක්‍රමණිකයන්ගෙන් මාවනැල්ල, ඓතිහාසික දෙවනගල පුරා විද්‍යා භූමියට කලක පටන් බලපෑම් එල්ල වුණා.

‘හිරු සී.අයි.ඒ.’ මේ පිළිබද අනාවරණය කිරීමත් සමග අදාළ ඉඩම් ගැටළු විසදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට කළ දැනුම් මත පසුගිය කාලයේ එහි මැණුම් කටයුතු ද සිදුකෙරුණා.

මේ අතරතුර දෙවනගල ප්‍රධාන පිවිසුම අසල ඇති නිවසක පුද්ගලයෙකු පුරා විද්‍යා භූමියේ ඇති ගසක අතු ඉවත් කිරීමට ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඊයේ (30) පෙරවරුවේ පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණය යටත් ගසේ අතු ඉවත් කිරීම ආරම්භ කර ඇති අතර පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගිය සැනින් නීති විරෝධීව පුරා විද්‍යා භූමියේ ඇති ගස කපා ඉවත් කිරීමටයි නිවෙස් හිමියා කටයුතු කර ඇත්තේ.

ඒ සමග උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

පුරා විද්‍යා භූමියේ අනවසරයෙන් කපා තිබූ ගස අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබු බැවින් එය බිම හෙළීමටයි ප්‍රදේශවාසීන් මෙලෙස කටයුතු කළා.

******************************************

(31.05.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

වැලි ජාවාරම්කරුවන් හට නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

මාදුරුඔයේ අනවසරයෙන් වැලි ගොඩදැමූ පුද්ගලයින් පිරිසකට සිදුකළ දේශපාලන මැදිහත්වීමක්ස ම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළ අතර පරිසර අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් මේ බව පැවසුවා.

මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද ප්‍රදේශයේ වඩමුනේ පාලම ආසන්නයෙන් මාඳුරුඔයේ කොටසක මෙම වැටලීම සිදුකළා.

සෙනසුරාදා සහ ඉරිදා දිනයන්ට බලපත්‍රානුකූලව වැලි ගොඩ දැමීම් සිදුකළ නොහැකි නමුත් කිසියම් පිරිසක් බලපත්‍ර හිමි වැලි තොටුපලට නුදුරින් පසුගිය සෙනසුරාදා මෙලෙස වැලි ගොඩ දමා තිබුණා.

හිරු ප්‍රවෘත්ති මෙම වැලි ජාවාරම පිළිබඳව ඊයේ (30) 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

******************************************

(31.05.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඩෙංගු වෛරසය ද ව්‍යාප්ත වීමේ ප්‍රවනතාවක් පවතින බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ උණ සහ ඇගපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් ඒ පිළිබද වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි ඔහු කියා සිටියේ.

ඩෙංගු රෝගීන් වාර්තා වීම පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම මාසයේ දී වැඩි වීමක් පෙන්නුම් කරන බවයි එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කළේ.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 7674 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

******************************************

(31.05.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් වෙරළට ගොඩ ගසා ඇති සුන්බුන්වල විකිරණශීලී ද්‍රව්‍ය නොමැති බවට අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා කියා සිටියේ නැවෙන් එක්රැස් වූ සුන්බුන්වල වෙරළේ ස්ථාන කිහිපයකදී බාහිර විකිරණ මට්ටම පරීක්ෂා කිරීම සිදුකළ බවයි.

එමෙන්ම, සුන්බුන්, ප්ලාස්ටික් කැටිති, වැලි සහ අපවිත්‍ර මුහුදු ජල සාම්පල එක්රැස් කර පරීක්ෂාවට ලක් කළ බවයි ඔහු සඳහන් කළේ.

මීගමුව – මාඔයේ සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වීම වළක්වාලමින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක බව ධීවර දෙපාර්තමේන්තුව යළි අවධාරණය කරනවා.

කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අදාළ තහනම ක්‍රියාත්මක මුහුදු ප්‍රදේශය හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

******************************************

(31.05.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන (2) කොටසේ ඉදිකිරීම් සඳහා හිටපු ඇමති දයා ගමගේට අයත් ඔලිම්පස් සමාගමට ලබාදී තිබූ කොන්ත්‍රාත්තුව අවලංගු කර තිබෙනවා.

ඒ, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සමාගම දිගින් දිගටම මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන (2) කොටසේ ඉදිකිරීම් ප්‍රමාද කරමින් තිබෙන බවට ලැබී තිබූ වාර්තා අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන (2) කොටසේ ඉදිකිරීම් ප්‍රමාදකළ හිටපු ඇමති දයා ගමගේට අයත් ඔලිම්පස් සමාගමට ලබාදී තිබූ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ඔවුන්ට අවවාද කළද එය දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා මෙම තීරණය ගත් බවයි විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ.

මාර්ග ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබාදී තිබියදී ඉදිකිරීම් ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *