කොළඹ නගරය තුළ කොවිඩ් පැතිරයාම පාලනය වෙයි – වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි

කොළඹ නගරය තුළ කොවිඩ් පැතිරයාම පාලනය වෙයි – වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි

*********************************************

කොළඹ නගරය තුළ කොවිඩ් පැතිරයාම පාලනය වෙයි – වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි

(30.05.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය කොළඹ නගරය තුළ පැතිරයාම පාලනය කරගැනීමට සමත්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එන්නත්කරණ වැඩපිළිවෙළේදී මොරටුවේ ඇති වූ සිද්ධිය මෙන් සිද්ධීන් කොළඹ නගරය තුළ ඇති නොවීමට තමන් වගබලා ගන්නා බවයි.

+++++++++++++++++++++++

(30.05.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala)

මීට පෙර සංචරණ සීමා පැවති කාලයේදී කොළඹ ජාතික රෝහලේ සායනික කටයුතු ගැන දැන ගැනීමට ලබා දුන් දුරකථන අංක හා වට්ස්ඇප් අංක ඔස්සේ, ඉදිරි සායන දින හා ඖෂධ ලබා ගැනීම පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බව එම රෝහල දැනුම් දෙනවා.

එම දුරකථන අංක පහතින් :

++++++++++++++++++++

(30.05.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ස්ථාපිත කළ කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයක් මත මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර ඊයේ (29) එය රෝහල් කාර්ය මණ්ඩලය වෙත පවරා දීම සිදුකෙරුණා.

ඇදන් 25 ක් සහ අනෙකුත් පහසුකම්වලින් සමන්විතවයි මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ෴

++++++++++++++++++++

(30.05.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ (29) ඇතිවූ සිද්ධිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද හෝ අනුදැනුම ඇතිව සිදුකරන ලද වැඩසටහනක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

ඊයේ (29) පෙරවරුවේ සිට එම විහාරස්ථානයට ජනතාව විශාල ලෙස රැස්වී සිටින බවට වාර්තාවූ අතර, එම තත්වය කොරෝනා මර්දන වැඩපිළිවෙලට බාධාවක් බවයි ඇය කියා සිටියේ.

කෙසේ වෙතත් අභයාරාමාධිපති ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම පරිදි පස්වරු පහට (05:00) පමණ රැස්ව සිටි සුළු පිරිසකට කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට පියවර ගත් බවද සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.

++++++++++++++++++++

(30.05.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා හමුවේ විහාරස්ථානවලට ප්‍රත්‍ය පහසුකම් ලබාගැනීමට දුෂ්කරවී ඇත්නම් ඒ සඳහා පහසුකම් සැළසීමට වැඩපිලිවෙලක් සකස් කර තිබෙනවා.

ඒ අනුව තම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානය සඳහා අවශ්‍ය පහසුකම් සැළසීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ඊට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී තිබෙනවා ෴

++++++++++++++++++++++

(30.05.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ දී අලුත්ගම, බේරුවල සහ පයාගල යන පොලිස් වසම් තුනෙහි (3) ජංගම වෙළද සේවා රථ 158 කට සහ ග්‍රාමීය වෙළදසැල් 80 කට අවසර බලපත්‍ර නිකුත් කර ඇති බව බේරුවල ප්‍රාදේශීය ලේකම් රන්ජන් ප්‍රියශාන්ත මහතා පවසනවා.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ මත වෙළදසැල් සහ ජංගම වෙළද සේවා රථ පවත්වාගෙන යන ලෙසටයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ ෴

+++++++++++++++++++++

(30.05.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 1434 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු ගණන 149,825 ක් වනවා ෴

+++++++++++++++++++++++

(30.05.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 2186 ක් වාර්තා වනවා.

ඒ අනුව මේ දක්වා මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 182,724 ක් දක්වා ඉහළ ගොස් තිබේනවා.

එමෙන්ම අද (30) දිනයේ කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 1434 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු ගණන 149,825 ක් වනවා.

මේ අතර ගෙවුණු දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අලුතින් කොවිඩ් මරණ 42 ක් වාර්තා කළා ෴

++++++++++++++++++++

(30.05.2021 – 18:39 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැනවීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (30) සාකච්ඡාවක් පැවැත්වුණා.

දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට දිස්ත්‍රික්කය නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ද එක්ව සිටියා. සංචරණ සීමා ලබන මස 07 වන දා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජංගම අලෙවිසැල් මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත බෙදා හැරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා.

තොග වෙළදුන්ට සහ බලපත්‍රලාභී ජංගම අලෙවි රථවලට එළවළු, පළතුරු මිලදී ගැනීම සඳහා අද (30) ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබූ අතර, හෙට (31) දිනයේ දී ඒවා විවෘතව තැබෙනවා.

කෙසේ වෙතත්, ආර්ථික මධ්‍යස්ථානවලින් එළවළු විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට සිදුව ඇති බවයි තොග සහ ජංගම වෙළදුන් චෝදනා කළේ.

මේ අතර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අද කැප්පෙටිපොළ, ඇඹිලිපිටිය, නුවරඑළිය, තඹුත්තේගම, දඹුල්ල සහ බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිල ගණන් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව බෝංචි කිලෝවක් ඒවායේ අලෙවි වී තිබුණේ රුපියල් 90 ත්, 240 ත් අතර මිලකටයි. බීට් කිලෝවක මිල රුපියල් 70 ත්, 130 ත් අතර මිලක පැවති අතර, වම්බටු කිලෝවක් රුපියල් 80 ත්, 150 ත් අතර මිලකට අලෙවි වී තිබෙනවා.

ගෝවා කිලෝවක් රුපියල් 70 ත්, 130 ත් අතර මිලකට අලෙවි වී ඇති අතර, ලීක්ස් කිලෝවක් අලෙවි වී තිබුණේ රුපියල් 80 ත්, 180 ත් අතර මිලකටයි.

වට්ටක්කා කිලෝවක් රුපියල් 30 ත්, 45 ත් අතර මිලකට අලෙවි වුණා.

අඩුම මුදලකට අලෙවි වී තිබුණේ අළුකෙසෙල් සහ මඤ්ඤොක්කා වන අතර ඒවායේ කිලෝවක අවම තොග මිල රුපියල් 15 ත්, 20 ත් අතර පැවති අතර උපරිම තොග මිල පැවතියේ රුපියල් 50 ත්, 60 ත් අතර මිලකටයි.

මේ අතර, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (30) නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණියේ එහි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහායි.

මේ අතර, බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අද (30) මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් ඉදිරියේදී ‘චූන් පාන්’ පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.

බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවන් සදහා සෞඛ්‍යාරක්ෂිත විශේෂ ඇදුම් කට්ටලයක් හඳුන්වා දීම ඊයේ (29) සිදුකෙරුණා.

+++++++++++++++++++

(30.05.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

ස්පුට්නික් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම අවශ්‍යද යන්න සම්බන්ධයෙන් කොවිඩ් තාක්ෂණික කමිටුව මගින් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මහනුවර එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළා.

එමෙන්ම නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ (29) ඇතිවූ සිද්ධිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද හෝ අනුදැනුම ඇතිව සිදුකරන ලද වැඩසටහනක් නොවන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

ඊයේ (29) පෙරවරුවේ සිට නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ජනතාව විශාල ලෙස රැස්වී සිටින බවට වාර්තාවූ අතර, එම තත්වය කොරෝනා මර්දන වැඩපිළිවෙලට බාධාවක් බවයි ඇය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අභයාරාමාධිපති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි පස්වරු පහට (5) පමණ රැස්ව සිටි සුළු පිරිසකට කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට පියවර ගත් බවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා.

කෙසේ වෙතත් අද (30) දිනයේත් අභයාරාම විහාරස්ථාන පරිශ්‍රයේ විශාල පිරිසක් රැස්ව සිටියේ එන්නත් ලබාගැනීම සඳහා බව පවසමින්. එලෙස එන්නත් ලබාගැනීමට පැමිණි පිරිස අතර නොසන්සුන්තාවක්ද හට ගත්තා.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) මාතර දිස්ත්‍රික්කයේ සිදුකරන එන්නත්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක්වුණා.

ඒ අනුව මාතර – වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයට ගිය අග්‍රාමාත්‍යවරයා එහි කටයුතු නිරීක්ෂණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා එන්නත්කරණ ක්‍රියාවලිය අඛන්ඩව ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළා.

මේ අතර, කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන් යාපනය, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (30) සිට ආරම්භ කෙරුණා.

එමෙන්ම, යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කළේ මධ්‍යස්ථාන 12 ක් කේන්ද්‍ර කරගනිමින්.

(30.05.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ ජාතික සැලසුම මුළුමනින්ම උල්ලංගණය කරමින් ආණ්ඩුව මෙරට එන්නත්කරණය ‘දේශපාලන ගරානාවක්’ බවට පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ කඩින් කඩ ලැබෙන ඉතා අවම එන්නත් ප්‍රමාණය සිය බලය යොදා ඩැහැ ගන්නා පිරිසක් ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් ජනගහනයෙන් සියයට 10 කට ප්‍රමාණවත් එන්නත් ලැබෙන විට අවුරුදු 60 ට වැඩි පුරවැසියන්ට ලබාදීමේ සැලැස්ම උල්ලංගණය කර ඇති බව ඔහු එමගින් පෙන්වා දෙනවා.

මෙරටට ගෙන්වන සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් සඳහා ඇමරිකානු ඩොලර් 15 ක් වැය කෙරෙන අතර, එම එන්නත බංග්ලාදේශය ලබා ගන්නේ ඩොලර් 10 කට බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයේ දක්වා ඇත්තේ.

මෙලෙස එන්නත් මිලියන 14 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති අතර, ඊට ඩොලර් මිලියන 210 ක් හෙවත් රුපියල් මිලියන 42,420 ක් වැය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

එහෙත් බංග්ලාදේශය ලබා ගන්නා මිල වන ඇමරිකානු ඩොලර් 10 සමග සංසන්දනය කිරීමේදී මාත්‍රා මිලියන 14 වෙනුවෙන් වැය වන්නේ ඩොලර් මිලියන 140 ක් පමණයි.

ඒ අනුව ඩොලර් මිලියන 70 ක් එනම් රුපියල් මිලියන 14,140 ක් පමණ වන මුදලට සිදුව ඇත්තේ කුමක් ද යන්න ආණ්ඩුව රටට හෙළිදරව් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ෴

(30.05.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළදීමෙන් අපවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන්ගේ ආදාහන කටයුතු අද (30) පස්වරුවේ සිදුකෙරුණේ බද්දේගම ආදාහනාගාරයේදියි.

අද (30) අලුයම පූජ්‍ය බද්දේගම සමිත හිමියන් මාතර පෞද්ගලික රෝහලක අපවත් වන විට උන්වහන්සේ 68 වන වියේ පසුවුණා. උන්වහන්සේගේ ආදාහන කටයුතුවලට පෙර බද්දේගම නගර ශාලාවේ ආගමික වතාවත් සිදුකෙරුණු අතර එම අවස්ථාවට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.

උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශෝකය පළ කළා ෴

@@@@@@@@@@@@@@

(30.05.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

මහවිලච්චියේ වී ගොවීන් මෙන්ම එළවළු සහ පළතුරු වගා කරන්නන් පොහොර නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

අක්කර දහසක (1000) පමණ වගාකටයුතු සිදුකර ඇති අදාළ ගොවීන් ප්‍රකාශ කර සිටියේ කඩිනමින් පොහොර ලබාදෙන ලෙසටයි ෴

******************************************

(30.05.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

අනවසරෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා 4 ක් යළි ආපසු හරවා යවා තිබෙනවා.

එම ධීවර යාත්‍රාවල ධීවරයින් 40 දෙනෙකු පමණ සිට ඇති අතර, ඒ අනුවයි ඊයේ (29) දිනයේදී යළිත් ඔවුන් ඉන්දියාව වෙත හරවා යවා ඇත්තේ.

ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයත් සමඟ නාවික හමුදාව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මෙරට මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා ෴

******************************************

(30.05.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් හලාවත සිට පුත්තලම දක්වා ඇති දුම්රිය මාර්ගයේ මානුවන්ගම ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී හමුවී තිබෙනවා.

මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක පස් (5) දරු මවක් බවයි වාර්තා වන්නේ.

අදාල කාන්තාව හලාවත – මානුවන්ගම, තිඹිල්ල පදිංචිව සිටි තැනැත්තියක් බවට හඳුනාගෙන තිබෙනවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතරහලාවත පොලීසිය විසින් මෙම මරණය ගැන වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කරනවා.

******************************************

(30.05.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා රැදී සිටින හෝටලයට අද (30) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණියා.

ඒ, අදාළ ගින්න සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සදහායි.

කෙසේ වෙතත්, අවශ්‍ය ලිපි ලේඛන නොමැති නිසා හෙට (31) දිනයේ යළි ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණීමේ අපේක්ෂාවෙන් ඔවුන් හෝටලයෙන් පිටව ගොස් තිබෙනවා.

******************************************

(30.05.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

මාඳුරුඔයේ අනවසරයෙන් වැලි ගොඩදැමූ පුද්ගලයින් පිරිසක් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ වැටලීම් නිලධාරීන් සිය භාරයට ගනුලැබුවා.

මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද ප්‍රදේශයේ වඩමුනේ පාලම ආසන්නයෙන් මාඳුරුඔයේ කොටසක මෙම වැටලීම සිදුකළා.

මෙම වැටලීමේදී පුද්ගලයින් 5 දෙනෙකු භූ විද්‍යා වැටලීම් නිලධාරීන් භාරයට ගැණුනු අතර ඔවුන් වාලච්චේන පොලීසිය වෙත රැගෙන ගොස් තිබුණා.

එහිදී පොලිස් පරිශ්‍රයේ දී ඇති වූ කතාබහ යෙදී එක් පුදගලයෙකු පවසන්නේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ලොකු අම්මාගේ පුතා තමන් බවයි.

කෙසේ වෙතත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් අප කළ විමසිමකදී ඔහු සඳහන් කළේ මෙලෙස පවසන පුද්ගලයා තමාගේ ඥාතියෙකු නොවන බවත් ඔහුගේ ප්‍රකාශය අසත්‍යක් බවයි.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ලංකාවේ කිසිම තැනක තමාගේ ඥාතිවරයෙක් වැලි ජාවාරම්කරුවෙකු වීමට අවස්ථාවක් නොමැති අතර එය සඳහා තමා අනුබල දීමක් සිදුකර නොමැති බවයි.

******************************************

(30.05.2021 – 18:34 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනිසියාවේ සිට ස්පාඤ්ඤය බලා භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි නෞකාවකට නැව් ආරක්ෂක සමාගමක් විසින් ගිනි අවි ලබාදිමට යාමේදි එයින් කොටසක් මුහුදට වැටි අතුරුදහන් වී ඇති බවට එම ගිනි අවි නැව වෙත ගෙන ගිය යාත්‍රාව පදවාගෙන ගිය පුද්ගලයා විසින් ගාල්ල, වරාය පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

පැමිණිල්ල අනුව මෙම නෞකාවට ගොඩවීම සඳහා රුසියානු ජාතික කපිතාන්වරයෙකු ද එම නැව් ආරක්ෂක සමාගමේ තිදෙනෙකු (3) ද නාවික හමුදා කඳවුරේ ගබඩා කර තිබු ගිනි අවි සහ තවත් උපකරණ කිහිපයක්ද රැගෙන දක්ෂිණ නාවික හමුදා කඳවුරේ තිදෙනෙකු (3) ද සමඟ ඉකුත් (28) වන දින සවස පැමිණිලිකරු විසින් පදවන ලද යාත්‍රාවෙන් නැව වෙත ගොස් තිබෙනවා.

එසේ ගොස් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 10 ක් පමණ දුර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ගිනි අවි සහ සහ අනෙක් උපකරණ දොඹකරය මඟින් නැවට පැටවීමට යාමේදී ඇති වූ අයහපත් කාලගුණ තත්වය නිසා මුහුද රළු විම හේතුවෙන් දොඹකරය නැවේ බඳේ කොටසේ වැදී ඒවා සියල්ලම මුහුදට වැටී තිබෙනවා.

පසුව එම සිද්ධිය ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට වාර්තා කිරිමත් සමඟ නාවික හමුදාවේ යාත්‍රා දෙකක් (2) වහාම එම ස්ථානයට ගොස් සෝදිසි කිරිමේදී එවායින් කොටසක් සොයාගෙන තිබෙනවා.

මුහුදට වැටුණු අනිත් ගිණි අවි තොගය සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළද එම කොටස සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

සිද්ධිය පිළිබඳව ගාල්ල, වරාය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලබනවා ෴

(31.05.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියාවේ සිට ස්පාඤ්ඤ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකට ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 10 ක් දුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ගිනි අවි සහ තවත් උපකරණ දොඹකරයක් මගින් නැවට පැටවීමට යාමේදී ඉන් කොටසක් මුහුදට වැටීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අදාළ ගිනි අවි නැව වෙත ගෙන ගිය යාත්‍රාව පැද වූ පුද්ගලයා විසින් ගාල්ල වරාය පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.

පැමිණිල්ල සිදු කළ පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ නැව් ආරක්ෂක සමාගමක නියෝජිතයින් තම යාත්‍රාවෙන් අදාළ ගිනිඅවි සහ තවත් උපකරණ දොඹකරයක් මාර්ගයෙන් නැවට පැටවීම පසුගිය 28 වනදා උත්සහ කළ බවයි.

කෙසේ වෙතත් අයහපත් කාලගුණයත් සමඟ අධික සුළං නිසා මුහුද රළු වීම හේතුවෙන් දොඹකරය නැවේ බඳේ වැදී ඒවා මුහුදට වැටී ඇති බවද යාත්‍රාව පැදවූ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට වාර්තා කිරීමත් සමඟ නාවික හමුදාවේ යාත්‍රා දෙකක් (2) වහාම එම ස්ථානයට ගොස් සෝදිසි කර තිබුණා.

එහිදී ඒවායින් කොටසක් සොයාගෙන ඇතත් අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි 14 ක්, ඒ සඳහා යොදන උණ්ඩ 2400 ක පතොරොම් ගැබ්, ගමන් කතන, අවි බහාලන පෙට්ටි ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට හැකි වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *