කාබනික හා ජෛව පොහොර ආනයනය මෙරටට එල්ලවන ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්

කාබනික හා ජෛව පොහොර ආනයනය මෙරටට එල්ලවන ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්

*********************************************

කාබනික හා ජෛව පොහොර ආනයනය මෙරටට එල්ලවන ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්

(27.05.2021 – 21:48 +0530 – lankaleadnews.com)

ආනයනික කාබනික හා ජෛව පොහොර මෙරට ජෛව පද්ධතියට දැඩි අවධානමක් එල්ල කල හැකි ජෛව විද්‍යාත්මක ප්‍රහාරයකි. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ පාරිසරික පද්ධතිය රසායනික තෙල් පොහොර නිසාවෙන් බරපතල ලෙස දූෂණයකට ලක්ව තිබුනද එය ජෛව විවිධත්වය කෙරෙහිත්, පාංශු ව්‍යුහය හා පාංශු ජීවි ක්‍රියාකාරකම් තාවකාලිකව අකර්මණ්‍ය කිරිමට බලපෑවද මුලුමනින්ම විනාශ කිරිම කෙරෙහි සෘජු බලපෑම් එල්ල කරනු ලැබුවේ නැත. නමුදු වෙනත් රටක් විසින් එකී රටේ පාංශු ව්‍යුහයටත් එහි ක්‍රියාකාරිත්වයටත් හිතකර පාංශූ ජීවින් අපේ රටේ පාංශු ව්‍යුහයට අහිතකර බලපෑම් එල්ල කිරීමේ දැඩි අවදානම් තත්වයන් පවතී. එසේම එය රසායනික තෙල් පොහොර අවභාවිතය නිසාවෙන් සිදු වූ විනාශයට වඩා විනාශකාරි ක්‍රියාන්විතයක් වනු ඇත. එනිසාම කලයුත්තේ කාබනික හා ජෛව පොහොර ආනයනය වහා නවතා මෙරට තුලදීම රාජ්‍ය හා පෞද්ගලික මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු ඇරඹීමේ ක්‍රියාවලියයි. මේ සදහා නිශ්චිත වූ කාල රාමුවක් අත්‍යාවශ්‍යයය.

නිසි වැඩපිලිවෙළක් හා සැලසුමක් නොමැතිව ජනපතිවරයා විසින් කඩිමුඩියේ ගනු ලැබු රසායනික පොහොර තහනම නිසාවෙන් මෙරට වාණිජ හා යැපුම් කෘෂිකර්ම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ලවන අතර එය මෙරට කෘෂි නිෂ්පාදන ආර්ථිකය බරපතල කඩා වැටිමකට ලක්වීමක් වනු ඇත. ගෝලීය වසංගත අභියෝගයන් හමුවේ ආනයන අපනයන ක්‍රියාවලිය මුලුමනින්ම පාහේ ඇණහිටි ඇති මොහොතක මෙවැනි ‘දැන් කපු – දැන් නූල්’ පන්නයේ තීන්දු තීරණ ගැනීම පිලිබදව නැවත නැවතත් සිතාබැලිය යුතුය. කෙසේ වුවද දීර්ඝකාලීනව මෙරට ගොවිබිම් වලට රසායනික තෙල් පොහොර භාවිතය නිසාවෙන් පාරිසරිකව හා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතිවී තිබෙන අහිතකර බලපෑම අතිමහත්ය. එනිසාම ජනපතිවරයා විසින් ගනු ලැබී තීරණය අපි අගේකොට සලකන නමුදු කිසිදු ආකාරයේ උපායමාර්ගික ප්‍රවේශයකින් තොරව ගනු ලැබූ මෙම තීරණය නිසා දැඩි ලෙස බලපෑමක් එල්ලවන්නේ වී ගොවියාට වන අතර එය මෙරට ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වනු ඇත.

මෙම තීරණය ගැනීමට පෙර අදාල ආයතන හා අමාත්‍යාංශ මට්ටමින් විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කිසිදූ පූර්ව සූදානමක් නොතිබීම විමතියට කාරණයකි. කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුවම බලපාන්නාවූ මෙවැනි බරපතල තීන්දු තීරණ ගැනීම පිටුපස මෙරට ප්‍රධාන ජීවනෝපාය කොටගත් වී ගොවියා ඇතුලු අනෙකුත් සුළු ගොවීන් ගොවිතැන් කටයුතුවලින් හුදකලා කොට මෙරට යැපුම් කෘෂිකර්මාන්තය බිදවට්ටවා ජාවාරම්කාර ආනයන ආර්ථිකයක් කරා රට තල්ලු කිරිමේ තවත් ආර්ථික ඝාතක ක්‍රියාවලියක කුමන්ත්‍රණයක් මේ පිටුපස ඇති බවද සැක සහිතය.

මෙහි ඇති වඩාත් භයානකම ක්‍රියාවලිය වනුයේ මෙරටට අවශ්‍ය තරමටම කාබනික පොහොර නිෂ්පාදනය නොවන හෙයින් පිටරටින් කාබනික හා ජෛව පොහොර ආනයනයයි. මේ පිලිබදව අද (27.05.2021) දින ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේය. ජාතික ගොවිජන එකමුතුව මේ පිලිබදව 2021 මැයි මස 05 හා මැයි මස 12 වෙනිදින පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවේදි මුල් වරට රසායනික තෙල් පොහොර ආනයනය වෙනුවට කාබනික හා ජෛව පොහොර ආනයන සූදානමක් ගැන කරුණු අනාවරණය කරනු ලැබු අතර එය අද වනවිට ඔප්පු වී ඇත.

මෙරටට ගෙන්වනු ලැබූ රසායනික තෙල් පොහොර පිලිබදව නිසි විධිමත් හිතකර ගුණාත්මක තත්ත්වය පරික්ෂා කරගන්නට අසමත් වූ ආයතන මෙවැනි කාබනික හා ජෛව පොහොර වල ගුණාත්මක තත්ත්ව පරික්ෂා කිරිම පිලිබදව කිසිසේත්ම විශ්වාස කල නොහැකිය. විශේෂයෙන්ම කාබනික හා ජෛව පොහොර තුලින් මෙරටට අහිතකර බැක්ටීරියාවන් ක්ෂුද්‍රජීවීන් අපේ පාංශු ව්‍යුහය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කිරීමේ අවදානමක් පවතින අතර එය ජෛව විවිධත්වය බිදවැටිමට සෘජුවම බලපනු ඇත. මෙකී තත්ත්වය නිසාවෙන් ආනයනික කාබනික හා ජෛව පොහොර අපේ පසට මුදාහැරිම පිලිබදව යලි යලිදු සිතා බැලිය යුතු කාරණයක් බව අප අවධාරණය කර සිටින්නෙමු.

මෙරට එක්වරම මුලුමනින්ම රසායනික තෙල් පොහොර තහනම වෙනුවට අධියර ගණනාවකින් නිශ්චිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක කිරිම කෙරෙහි යලි අවධානය යොමු කල යුතුය. එය මෙරට ගොවියාත්, කෘෂි නිෂ්පාදන ආර්ථිකයත්, පරිසරයත්, මහජන සෞඛ්‍යමය තත්ත්වය පිලිබදවත් ගන්නාවූ දිගුකාලීන සුභදායී වූත් ඵලදායිවූත් ක්‍රියාමර්ගයක් වනු ඇත.

අනුරාධ තෙන්නකෝන්
(ජාතික ගොවිජන එකමුතුව සභාපති)

++++++++++++

කාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..

(29.05.2021 – 16:40 +0530 – lankacnews.com)

රසායනික පොහොර ආනයනකරුවන් ඊයේ (28) දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුන ගැසුණි.

රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළම නිෂ්පාදනය කරනතුරු කාබනික පොහොර ආනයනය කිරීමට එම ආනයනය කරුවන්ට එහිදී එකඟත්වය පලකරන ලදී.

වස විෂ සහිත සමුලඝාතන රසායනික පොහොර හා කෘෂි රසායන තවදුරටත් ගෙන්වීමට කිසිදු ඉඩක් නැති බව ඇමතිවරයා එහිදී අවධාරණය කලේය.

ශ්‍රි ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත කිරීමටත් හෙළ ගොවිතැන ප්‍රවර්ධනයටත් සියලු සහාය ලබාදෙන ලෙස ඇමතිවරයා පොහොර ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා, අමාත්‍යාංශ ලේකම් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය ෴

++++++++++++

ජනපතිගේ කාබනික පොහොර ආනයනය කිරීමේ තීන්දුව පරිසර පද්ධතියට අහිතකරයි – වෛද්‍ය පී හේවගේ (29.05.2021)

******************************************

සේරුවිල රජමහා විහාරයට මහනායක හිමියන්ට ඇතුල් වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් – කිරිබත්ගොඩ ඥානානන්දට චෝදනා – නීතිඥයා අලි සබ්‍රිගේ ජේෂ්ඨතම කනිෂ්ඨයෙක්

(29.05.2021 – colombotoday.com)

ඓතිහාසික සේරුවිල රජ මහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වු සේරුවිල රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරය පිළිබඳව මතභේදාත්මක තත්වයක් හටගත් බැවින් එම විහාරස්ථානයේ හිමිකාරිත්වය සතු අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ අතිගරු මහා නායක, මහා මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත පරම පූජනීය දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යටතට පත්කිරීමට එම සංඝ සභාව තීන්දු කරන ලදි.

කෙසේ වෙතත් අලුදෙනියේ සුබෝධි නැමති භික්ෂුන් වහන්සේ විසින් තමන් වහන්සේ සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස පෙනී සිටිමින් මහනායක හිමියන් ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා පිරිසකට බුදුරජුන්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවිල රජමහා විහාරයට ඇතුල් වීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණයෙන් පසුගිය මැයි 21 වන දින තහනම් නියෝගයක් ගෙන තිබෙනවා.

මේ සිද්ධිය පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ චෝදනාව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිටත් ‘මහමෙවුනා අසපුව’ නමින් සාම්ප්‍රධායික ක්‍රමයෙන් බැහැර භික්ෂු මාලිගා ක්‍රමයක් ව්‍යාප්තකරමින් සිටින කිරිබත්ගොඩ ඥානානන්දටත් එල්ල වෙමින් පවතියි.

එයට හේතුව වන්නේ අලුදෙනියේ සුබෝධි නැමති භික්ෂුව කිරිබත්ගොඩ ඥානානන්දගේ ගෝල භික්ෂුවක් වීම නිසාය. මහනායක හිමියන්ට සහ එම සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ භිෂුන් වහන්සේලා කිහිප නමකට කිරිබත්ගොඩ ඥානානන්ද ඇතුළු පිරිස තර්ජනය කිරීමේ සිද්ධි කිහිපයක් ද වාර්තා වේ.

මහනායක හිමියන්ට ඇතුල්වීම තහනම් කල නියෝගය ලබා ගැනීම සඳහා අධිකරණයේ පෙනී සිට ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ගේ ජ්‍යෙෂ්ඨතම කනිෂ්ඨ නීතිඥයෙක් වන සංජීව දසනායකයි. අලි සබ්‍රි අධිකරණ අමාත්‍යධුරය භාරගැනීමෙන් පසු ඔහු පෙනී සිටි නඩු බොහොමයකට අධිකරණයේ පෙනී සිටින්නේ සංජීව දසනායක යි.

පසුගිය ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දුන් බැවින් සේරුවිල රජමහා විහාරය තමන්ට ලබා ගැනීමට උදව් කරන ලෙස කිරිබත්ගොඩ ඥානානන්ද ඉල්ලා ඇති බවත්, ජනාධිපති මාර්ගයෙන් අලි සබ්‍රි ගේ කනිෂ්ඨ නීතිඥයා ලවා මෙම තහනම් නියෝගය ලබාගෙන ඇති බවත් අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ සංඝ සභික හිමිවරු සැක පළකර සිටිති.

කෙසේ වෙතත් පරම පුජනීය ස්ථානයක් නීතිය අවභාවිතා කර මහනායක හිමියන්ට පවා තර්ජනය කරමින් ලබා ගැනීමට ඉඩ නොදීමට එම හිමිවරු ඒකමතිකව අධිෂ්ඨාන කරගෙන ඇත.

අම්මා මුත්තා කලෙකදීවත් අසා නැති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේලාගේ අවධානය යොමු වී ඇති අතර සියලුම සංඝ සභා එකතුවී ඉදිරියේදී ජනාධිපති ගෙන් සහ අගමැති ගෙන් මේ පිළිබඳව කරුණු විමසීමට බලාපොරොත්තුවෙන් සිටිති ෴

@@@@@@@@@@@@@@@

පෞද්ගලික රෝහල් කොරෝනා රෝගීන්ව හුරගෙන කයි – මුජිබර්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

(29.05.2021 – colombotoday.com)

බොහෝ පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි.

කොරෝනා ආසාදිතයන්ට ලොකු ප්‍රතිකාර කිරීමක් සිදු නොකෙරුණද රෝහල්වලින් පිටව යද්දි ඔවුන් ලොකු බිල් ඉදිරිපත් කරන බව රහුමාන් චෝදනා කරයි.

රෝහල් වලින් පිටව යා හැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කළත් සමහර පෞද්ගලික රෝහල් විවිධ ගිවිසුම් ගැන කියමින් රෝගීන් දින ගණන් ඒවායේ රඳවා ගෙන ලොකු බිල් ඉදිරිපත් කරන බවත් මෙවැනි අසාධාරණ අයකිරීම් වැළැක්වීමට රජය වහා මැදිහත්විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

කොරෝනා ආසාදනයවූ අවස්ථාවේදී තමාද මෙවැනි අසාධාරණ අයකිරිම්වලට ගොදුරු වූ මන්ත්‍රීවරයෙකු යැයි ප්‍රකාශ කළ මුජිබර් රහුමාන් තමා මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදීද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි සඳහන් කළේය.

දරුණු වසංගතයක් පවතින අවස්ථාවක කල දුටු කල වළ ඉහ ගැනීමට උත්සාහ දරන පෞද්ගලික රෝහල්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු රජයෙන් වැඩිදුරටත් ඉල්ලිම් කරයි ෴

+++++++++++++++++++++

මේ වෙන්නේ වසංගත මරණ නෙවේ; මිනීමැරුම්. මේ මරණ වලට බැසිල්, උදයංග වග කිවයුතුයි – Truth with Chamuditha

++++++++++++++++++++

(29.05.2021 – 18:28 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ හා ජංගම වෙළඳුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ අහෝසි කරන බලපත්‍ර එම ප්‍රදේශයේ වෙනත් වෙළඳසලකට ලබාදීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව යම් වෙළෙඳසලක් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නේ නම් පාරිභෝගික අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දීමේ හැකියාව ඇති බව අමත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

එමෙන්ම සෑම ග්‍රාමසේවා වසමකටම අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරිම සඳහා බලපත්‍ර 02 ක් බැගින් ලබා දී ඇති බවයි අමත්‍යවරයා සඳහන් කලේ ෴

++++++++++++++++++++++++++

(29.05.2021 – 18:37 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති ලබන මස 7 වනදා දක්වා ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කීල්ස්, ආර්පිකෝ, ලාෆ්ස් සහ කාගීල්ස් ෆුඩ්සිටි ඇතුලු ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල්වලින් මෙන්ම සතොස හරහාද ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ බෙදා හැරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි එම ආයතන සඳහන් කළේ.

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලසීමාවේ ඖෂධසැල් විවෘතව පැවතිය ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. දිස්ත්‍රික් මට්ටමින් ඒ සඳහා දුරකථන අංක හඳුන්වාදී ඇති අතර, ඒවා https://www.spc.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

ඒ අනුව අදාළ දුරකථන අංක වෙත වට්ස්ඇප් මාර්ගයෙන් ඖෂධ අවශ්‍යතාවය පිළිබදව කෙටි පණිවුඩයක් යොමු කළ යුතු වනවා.

ඉන් අනතුරුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කෙටි පණිවුඩය යොමු කළ පුද්ගලයාට ඇමතුමක් ලබාදීම හරහා ඖෂධ අවශ්‍යතාවය ඉටු කරලීමට කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත්, අදාළ දුරකථන අංක වෙත ඇමතුම් ලබා නොදෙන ලෙසයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම, සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලසීමාව තුළ දී ප්‍රධාන පෙළේ සුපිරි වෙළදසැල් ද මේ වන විට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ නිවෙස් වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා අන්තර්ජාලය, ඇප්, වට්ස්ඇප් සහ දුරකථන ඔස්සේ සිය භාණ්ඩ ඇණවුම් කළ හැකි බවටයි එම වෙළදසැල් කළමනාකරුවන් ප්‍රකාශ කළේ.

සතොස ආයතනයද භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රමවේදයක් අනිද්දා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ 1998 දුරකථන අංකය ඇමතීමෙන් හෝ https://www.lankasathosa.lk/ වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් ක්‍රමවේදය යටතේ භාණ්ඩ ඇණවුම් කිරීමට හැකියාව පවතින බවයි.

මේ අතර, සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ ජංගම වෙළඳ රථ නිසියාකාරව නොපැමිණෙන්නේ නම් 1965 අංකයට තොරතුරු ලබාදෙන ලෙසයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර අද (29) දිනයේ ඇතැම් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර ඇති බවට ප්‍රකාශ වීමත් සමඟ වෙළඳුන් කිහිප දෙනෙකු ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, හෙට (30) දිනයේ සිට ක්‍රමානුකූලව ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණිය හැකිකේ බලපත්‍ර ලබා ගත් තොග හෝ ජංගම වෙළෙන්දන්ට පමණක් බවයි ඔහු කියා සිටියේ.

• Online Home Delivery Services in Sri Lanka :

+++++++++++++++++++

(29.05.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත්කරණයේදී නියමිත ප්‍රමුඛතා ලේඛනයක් සහ සුදුසු ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කොට ප්‍රසිද්ධියට පත් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

ඒ, පසුගිය දින කිහිපය තුළ එන්නත් ලබාදීමේදී වඩාත් සාධාරණ හා විනිවිදභාවයෙන් යුක්තව එම කටයුතු සිදුනොවන බවට ප්‍රකාශ කරමින් මානව හිමිකම් කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින්.

සත්‍ය වශයෙන් මෙන්ම ඍජු ලෙස කොරෝනා ආසාදිත රෝගීන් සමඟ ගැටෙන්නා වූ සහ එමගින් ආසාදනය විය හැකි කණ්ඩායම් වෙත ප්‍රමුඛතාවය ලබාදීම සුදුසු බව මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රමුඛතා ලේඛනයක් සහ සුදුසු ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කර ජුනි මස 15 වන දාට පෙර දැනුම් දෙන ලෙසයි මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ජගත් බාලසූරිය මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර ඇත්තේ.

මේ අතර, සංචරණ සීමා පනවා තිබුණ ද කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අදත් ක්‍රියාත්මක වුණා. නාරාහේන්පිට අභයාරාමයේ විහාරස්ථානයේද එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා.

මේ අතර, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 11 ක් මේ වන විට මෙරටට ලැබී ඇති අතර, ඊයේ (28) වන විට එහි පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 5,80,031 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ජුනි 8 වන දා සිට සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 65,000 ක් මෙරටට ලැබී ඇති අතර පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 14,984 ක්.

ස්පුට්නික් එන්නත හෙට (30) සිට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ද ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම, කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 1,264,000 ක් මෙරටට ලැබී ඇති අතර එහි පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 925,242 නෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව එහි ඉතිරි වූ මාත්‍රා ගණන 338,758 ක් වුවත් වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන පරිදි ඊයේ (28) දිනය වන විට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදී පුද්ගලයන් සංඛ්‍යාව 343,293 ක්.

එසේ නම් මෙරට සතු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා සංචිතයට අතිරික්තව පුද්ගලයන් 4535 දෙනෙකුට එහි පළමු (1) හෝ දෙවන (2) මාත්‍රාව ලෙස ලබාදී ඇත්තේ කෙසේ ද යන්න ප්‍රශ්නාර්ථයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *