යළි කරළියට ආ චර්ම රෝගය : ලීෂ්මනේසිස්

යළි කරළියට ආ චර්ම රෝගය : ලීෂ්මනේසිස්

*********************************************

යළි කරළියට ආ චර්ම රෝගය : ලීෂ්මනේසිස්

(29.05.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන ‘ලීෂ්මනේසිස්’ නැමැති චර්ම රෝගය වැළඳුණු පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික මහතා පවසනවා.

පසුගිය වසර තුළ පමණක් මෙම චර්ම රෝගය වැළඳුනු පුද්ගලයින් 3200 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබෙනවා.

මහාචාර්ය සුනෙත් බුද්ධික මහතා පෙන්වා දෙන්නේ චර්මගත ලීෂ්මනේසිස් රෝගයෙන් ඔබ්බට ගොස් එය ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට පවා හානි කරන මාරාන්තික තත්ත්වයන් ඇති කරන රෝගී තත්ත්වයක් බවයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලද මෙම රෝගය ව්‍යාප්තව පවතින බව ඔහු පැවසුවා.

******************************************

(29.05.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – පරසන්ගස්වැව ප්‍රදේශයේදී පොලීසියේ රාජකාරියට බාධා එල්ල කර තුවාල සිදුකිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජුනි 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සොරකම් කරන ලද ගවයින් ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සඳහා ගිය අවස්ථාවේ දී පෙරේදා අදාළ සැකකරුවන් සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා ෴

******************************************

(29.05.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ත්, 55 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළාසන්න ප්‍රදේශයේ මුහුදු රළ මීටර් 2.5 ත්, 3 ත් දක්වා ඉහළ යා හැකියි.

ඒ හේතුවෙන් ධීවර, නාවික ප්‍රජාව සහ වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව අවදානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ෴

******************************************

(29.05.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ගැටලුවට විසඳුමක් ලෙස ජෛව පටල ජෛව පොහොර නැමැති කාබනික පොහොරක් යොදා ගත හැකි බව මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මෙරට දී ප්‍රථමවරට හඳුන්වාදුන් මෙම පොහොර වගාවන්ට යොදා ගැනීමෙන් වර්ෂයකට ලැබෙන ආර්ථිකමය වාසිය රුපියල් බිලියන 10 කට අධික බවයි.

******************************************

(29.05.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීම හේතුවෙන් නිපදවී ඇති මිශ්‍ර උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම පිළිබඳව මාර්ගෝපදේශ සහ යෝජනා මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුලු අදාළ ආයතන වෙත යොමුකර තිබෙනවා.

අදාළ නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් නිපදවී ඇති සමස්ත අපද්‍රව්‍ය උපද්‍රවකාරී අපද්‍රව්‍ය ලෙස හැඳින්වීමටයි මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව යෝජනා 11 ක් අදාළ ආයතන වෙත යොමුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා.

අදාළ නෞකාවේ සුන්බුන් සහ අපද්‍රව්‍ය එක්රැස්විය හැකි වෙරළ තීර සහ ස්ථාන අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර, ජනතාවට එම අපද්‍රව්‍ය ස්පර්ශ නොකරන ලෙස දැනුම්දිය යුතුයි.

එක්රැස් කරන අපද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා පොලීසිය හෝ නාවික හමුදාව යටතේ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කළ යුතු බව අදාළ මාර්ගෝපදේශනවල දැක්වෙනවා.

******************************************

(29.05.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

මුළු දිවයිනටම සංචරණ සීමා පනවා තිබෙන මොහොතක, හලාවත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක යතුරුපැදියකින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් පෙරේදා (27) හලාවත පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ දියණියක් බවටයි වාර්තා වන්නේ.

එම සැකකාරිය දිගින් දිගටම මෙම ක්‍රියාව සිදුකර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය මේ වන විට පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා ෴

******************************************

ගිනිගත් නැවේ අපද්‍රව්‍ය රැස්වූ ස්ථාන අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කළ යුතුයි – මධ්‍යම පරිසර අධිකාරිය

(29.05.2021 – 16:58 +0530 – sinhala.adaderana.lk)

ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය රැස්විය හැකි වෙරළ තීර සහ ස්ථාන අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කිරීමට පියවර ගත යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

නෞකාවේ ගින්න හේතුවෙන් ඇති වූ මිශ්‍ර උපද්‍රවකාරි අපද්‍රව්‍ය, කළමනාකරණය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සහ යෝජනා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන ‍වෙත යොමු කරමින් එම අධිකාරිය මේ බව සඳහන් කර තිබේ.

එම අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා ඒ පිළිබඳ දැනුමක් සහිත පුද්ගලයින් යෙදවිය යුතු අතර ඔවුන් නිසි ආරක්ෂිත උපකරණ හා ක්‍රමවේද භාවිත කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

උපද්‍රවකාරි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ කටයුතු සඳහා ඊට අදාළ බලපත්‍ර සහිත ආයතන යොදාගත යුතු බව ද එම අධිකාරිය පවසයි.

අපද්‍රව්‍ය අපහරණය ඇතුළු මේ සම්බන්ධයෙන් සිදුකරන සියලු පිරිවැය අදාළ නැව් සමාගම විසින් දැරිය යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය සිය යෝජනා මඟින් පෙන්වා දී ඇත.

එම මාර්ගෝපදේශයන් හා යෝජනා පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ :

@@@@@@@@@@@@@@@@@

(29.05.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ජුනි මස 06 වන දා දක්වා අත්හිටුවා තිබෙනවා.

පවතින කොරෝනා තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීමේදී ජුනි මස 30 වන දා දක්වා දඩ මුදල් අය නොකරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

[ http://motortraffic.wp.gov.lk/ ]

++++++++++++++++++++++

(29.05.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

අද (29) දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් එළවළු තොග රැගෙන පැමිණි ගොවීන්ට හිස් අතින් යළි හැරී යාමට සිදුවුණා.

ඊට හේතු වූයේ එම මධ්‍යස්ථාන විවෘත කර නොතිබීම හේතුවෙන්.

මේ අතර, ලබන ජුනි 07 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක සංචරණ සීමා කාලය තුල ජංගම රථ මගින් නිවාස වෙතටම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙලට සියලු කටයුතු සූදානම් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල මුදල් ලබා ගැනීම සඳහා ආසන්නයේම පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍ර වෙත ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එලෙස ගමන් ගන්නා පුද්ගලයින් පොලීසියට ඒ බව සනාථ කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

සංචරණ සීමා මධ්‍යයේ මාර්ගවල ධාවනය වන වාහන පරීක්ෂා කිරීමේ කටයුතු අදත් දිවයින පුරා ක්‍රියාත්මකයි.

+++++++++++++++++++++

(29.05.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් කටයුතු කිරීම පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් එම සංගමය දැනුම් දී ඇත්තේ දේශපාලනඥයින්ගේ අනවශ්‍ය අතපෙවීම් හා බලපෑම් කිරීම් දැඩි ලෙස හෙලා දකින බවයි.

ඒ අනුව මොරටුව නගරාධිපතිවරයා ඇතුළු මෙවන් අනව්‍යශ බලපෑම් කරන දේශපාලනඥයින්ට විරුද්ධව නිරෝධායනය පනත අනුව මෙන්ම රටේ පවතින නීතියට අනුව කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා ෴

++++++++++++++++++++++

(29.05.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ගෙන්වූ ස්පුට්නික්-වී දෙවන (2) එන්නත් තොගය හෙට (30) සිට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, තවත් දිස්ත්‍රික්ක 5 කට අමතර සයිනොෆාම් එන්නත් තොග ලබාදීමට කටයුතු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) තොගය ලෙස මාත්‍රා 50,000 ක් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේ පෙරේදා (27) රාත්‍රියේයි.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට මෙලෙස සයිනොෆාම් එන්නතේ අමතර තොගයක් ලබාදී තිබෙනවා.

මීට අමතරව රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ද එන්නත් කිරීම සිදුකරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

ඊයේ (28) දිනයේදීත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 1331 දෙනෙකුට ලබාදී ඇති අතර මේ වන විට එහි දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් ගණන 343,293 ක්. සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ද ඊයේ (28) දිනයේදී පුද්ගලයින් 16,622 නෙකුට ලබාදී තිබෙනවා.

එහි පළමු (1) මාත්‍රාව මේ වන විට පුද්ගලයින් 580,031 කට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර, ඊයේ (28) හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 2850 න් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 512 ක්.

ඉන් 103 දෙනෙකුම වාර්තා වී ඇත්තේ පානදුර – දකුණ ප්‍රදේශයෙන්.

මීට අමතරව ගම්පහින් ආසාදිතයින් 443 දෙනෙකු සහ කොළඹින් 281 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, මහනුවර, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ද ඊයේ (28) දිනයේදී ආසාදිතයින් 150 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම, ඊයේ (28) දිනයේදීත් මෙරටින් කොරෝනා මරණ 39 ක් වාර්තා වී තිබෙනවා.

++++++++++++++++++++++

(29.05.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙරට පුද්ගලයින්ගෙන් සියයට 48 ක් දුම්පානය නවතා දමා ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

එහි මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා කියා සිටියේ දුම්පානය කරන්නන්ට කොවිඩ් වැලදීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින අතර එමඟින් එවැනි පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට දරුණු බලපෑම් එල්ල කිරීමටත් වැඩි හැකියාවක් පවතින බවයි.

දුම්පානය හේතුවෙන් දිනකට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 40 දෙනෙකු මියයන බවත් ඔහු පෙන්වා දුන්නා ෴

+++++++++++++++++++++

(29.05.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පසුගිය දිනක සිදුකළ කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිඵල ඊයේ (28) ලැබී තිබූ අතර, ඒ අනුව ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව සඳහන්.

කන්තලේ ප්‍රදේශයේ පිහිටි නිවසේ ඔහු මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර, ප්‍රතිකාර සඳහා කොළඹ රෝහලක් වෙත රැගෙන ඒමට නියමිතයි ෴

++++++++++++++++++++++++

(29.05.2021 – 15:29 +0530 – hirunews.lk/sinhala)

අද (29) දිනයේදීත් වැඩිහිටි දීමනාව ඇතුලු ආධාර ලබාගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් තැපැල් කාර්යාල වෙත පැමිණ සිටි බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ඇතැම් ස්ථානවල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ආධාර ලබාගැනීම සඳහා ජනතාව එක්ව සිටි බවටයි වාර්තාවන්නේ.

වැල්ලවාය තැපැල් කාර්යාලයටද අද (29) දිනයේදී වැඩිහිටි දීමනාව ලබාගැනීම සඳහා ජනතාව එක්ව සිටි අතර, තත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(29.05.2021 – 16:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 149 දෙනෙකු වාර්තාවීමත් සමඟ නුවරඑළිය – හාවාඑළිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඊයේ (28) සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් අනතුරුවයි මෙලෙස කර්මාන්තශාලාව වසා දමා ඇත්තේ.

මීට අමතරව කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 300 ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++++++

(29.05.2021 – 16:34 +0530 – hirunews.lk/sinhala)

මුදල් ගෙවා කොරෝනා එන්නත්කරණය සිදුනොකරන ලෙසට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එලෙස මුදල් ගෙවා ලබාගන්නා එන්නත් ව්‍යාජ ඒවා බවයි.

රජය විසින් කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නොමිළේ සිදුකිරීම නිසා මුදල් ගෙවීමක් සිදුනොකරන ලෙසට ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

++++++++++++++++++++++

(29.05.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන හා විශේෂිත අංශවලට අනුයුක්ත පොලිස් නිලධාරීන් 341 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

එම නිලධාරීන්ගේ පවුල්වලට රුපියල් පන්දහසක (5000) බඩු මල්ලක් බෙදාදීමේ අවස්ථාවට අද (29) එක්වෙමින් ඔහු කියා සිටියේ කොරෝනා තුන්වන (3) රැල්ල තුළ මෙම නව ආසාදිතයන් වාර්තාවී ඇති බවයි ෴

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 2029 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ මුළු ගණන 148,391 ක් වනවා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2039 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 179,750 ක් ලෙසටයි.

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ 2029 දෙනෙකු ද අද (29) රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන් ගණන 148,391ක් වනවා ෴

++++++++++++++++++++++

(29.05.2021 – 18:28 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ හා ජංගම වෙළඳුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ අහෝසි කරන බලපත්‍ර එම ප්‍රදේශයේ වෙනත් වෙළඳසලකට ලබාදීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව යම් වෙළෙඳසලක් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නේ නම් පාරිභෝගික අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දීමේ හැකියාව ඇති බව අමත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

එමෙන්ම සෑම ග්‍රාමසේවා වසමකටම අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරිම සඳහා බලපත්‍ර 02 ක් බැගින් ලබා දී ඇති බවයි අමත්‍යවරයා සඳහන් කලේ ෴

+++++++++++++++++++++

කාඩ්බෝඩ් මිනී පෙට්ටියක්

(29.05.2021 – 18:52 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාදිත මෘතදේහ බහාලීම සඳහා රුපියල් 4,500 ක් වැනි අඩු මුදලකට කාඩ්බෝඩ්වලින් නිෂ්පාදනය කළ මිනී පෙට්ටියක් දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පසුගියදා හඳුන්වා දී තිබේ.

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් වන ප්‍රියන්ත සහබන්දු මහතාට ඇති වු සංකල්පයක් අනුව එම කාඩ්බෝඩ් මිනී පෙට්ටි නිර්මාණය කර ඇත.

කොවිඩ් මෘත ශරීර රුපියල් 30,000 – 40,000 ක් වැනි අධික මුදලක් යටතේ ලබාගත් මිනී පෙට්ටියක දමා අවසන් කටයුතු සිදුකිරීම අපහසු වු බැවින් මෙවන් නිර්මාණයක් සිදුකිරීමට සිතූ බව ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට මා මේ සංකල්පය පිළිබඳ මීට කලින් දැනුවත් කරලා තිබුණා. එතුමා සැනින් අධිකරණ වෛද්‍යතුමාට මාව සම්බන්ධ කළා. ඊට පස්සේ අපි නගරාධිපති තුමාත් විශේෂයෙන් කොමසාරිස්තුමත් මේකට සම්බන්ධ කරගෙන මේ පෙට්ටිය අපි කලින් නිර්මාණය කරලා සාම්පල ගෙන්නගෙන තිබුණේ. ඊට පස්සේ තමයි අද අපි මේක යථාර්තයක් බවට පත්කරලා තියෙන්නේ.”

අදාළ මිනී පෙට්ටිය තුළ කිලෝ 100 ක බරක් ඇති මෘත ශරීරයක් තැන්පත් කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *