ඊයේ (28) මෙරටින් ආසාදිතයින් 2850 ක් – ‘අලුත් අවුරුදු පොකුර’ 80,000 ඉක්මවයි

ඊයේ (28) මෙරටින් ආසාදිතයින් 2850 ක් – ‘අලුත් අවුරුදු පොකුර’ 80,000 ඉක්මවයි

*********************************************

ඊයේ (28) මෙරටින් ආසාදිතයින් 2850 ක් – ‘අලුත් අවුරුදු පොකුර’ 80,000 ඉක්මවයි

(29.05.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) දිනයේදී ආසාදිතයින් 2850 දෙනෙකු වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අප්‍රේල් මස 29 වනදා සිට ඊයේ (28) දක්වා මරණ 39 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි.

ඉන් මරණ 03 ක් ඊයේ (28) සිදුව තිබෙනවා.

මේ මස 25, 26 යන දිනවල මරණ 08 බැගින් වාර්තා වී ඇති අතර 27 වනදා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 07 ක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝන මරණ සංඛ්‍යාව 1363 ක්.

එමෙන්ම කොරෝනා ආසාදිතයනගේ සංඛ්‍යාව සහ කොරෝනා ආසාදනයෙන් මියයන සංඛ්‍යාව මෙන්ම භූමියේ ස්වභාවය මත කුමන දිස්ත්‍රික්කවලට එන්නත් ලබාදෙන්නේද යන්න පිළිබඳව තීරණය කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ (28) දිනයේදීත් මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 2850 ක් වාර්තා වුණා.

ඒ අනුව අලුත් අවුරුදු පොකුර 80,610 ක් දක්වා ඉහළ යන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

දැනට කොරෝනා එන්නත ලබාදීම කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල සිදුකරන අතර, ඊට අමතරව රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්කවලටද එන්නත් ලබාදීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (28) ප්‍රකාශ කළේ.

ඒ අනුව හෙට (30) සිට රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවද ඇය මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා.

(29.05.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල පොලිස් වසමේ 63/17 මැගසින් පාර, බොරැල්ල ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරුවීමෙන් අනතුරුව නිවසින් පළා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස පලාගොස් ඇත්තේ සංගීත් ධනුෂ්ක දාබරේ නැමති 28 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්.

පසුගිය මැයි 26 වනදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අදාල තරුණයා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් එක්ව ඔහුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීම සඳහා ඔහුගේ නිවසට ඊයේ (28) ගිය අවස්ථාවේ නිවැසියන්ට නොදන්නවා ඔහු නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

පොලිස් ස්ථානය බොරැල්ල – 011 269 4019
ස්ථානාධිපති බොරැල්ල – 071 859 1587

+++++++++++++++++++++++

(29.05.2021 – 06:15 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (28) දිනයේදී තවත් පුද්ගලයින් 793 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

එමෙන්ම නිරෝධායන නීතිය ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගැනුණු පිරිස 16,386 ක් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර සංචරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සොයන විශේෂ ඩ්‍රෝන මෙහෙයුමේදී සංචරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සිව්දෙනෙක් ඊයේ (28) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+++++++++++++++++++++++

සරසවි ඉල්ලුම් පත්‍ර නිවෙස් වෙත ප්‍රවාහනයට පොත් සාප්පුවලටත් අවසර

(29.05.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා තාවකාලිකව ඉවත් කිරීම නතර කිරීමට කටයුතු කළද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන අත්පොත සිසුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමට පොත් අලෙවි සැල්වලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එසේම අදාළ ක්‍රමවේදයද භාවිත කිරීමට නොහැකි නම් අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අදාළ ඉල්ලුම් පත්‍ර යොමු කිරීමටද හැකියාව පවතින බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ.

ඒ, කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේම පවතින තත්වය හමුවේ විදුලි බිල්පත් හෝ ජල බිල්පත් ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති අතර, ඉදිරියේදී කඩිනම් විසඳුමක් ඒ සඳහා ලබාදෙන බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ට සහ කොරෝනා රෝගීන් හේතුවෙන් නිරෝධායනයේ පසුවන පුද්ගලයින්ගේ ජල බිල්පත් ප්‍රමාද වුවහොත් ඊට සහනයක් සළසා දීමට තීරණය කර ඇතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සෙසු පාරිභෝගිකයන්ට අදාළ සහනය හිමිවන්නේ නැහැ.

මේ අතර, සංචරණ සීමා පවතින කාලය තුළ නිරෝධායන නීති සහ සංචරණ සීමා උල්ලංගණය කිරීම් සිදුකරන පුද්ගලයින් සොයා පසුගිය දින කිහිපයේම දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

එලෙස නීති කඩ කළ පුද්ගලයින්ට පොලීසිය අවවාද සිදුකරන ආකාරයක් ද දක්නට ලැබුණා.

ඊයේ (28) දිනයේ නිරෝධානය නීති කඩ කළ පුද්ගලයින් 793 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ඔහු කියා සිටියේ ඉන් වැඩිම පිරිස එනම් 161 ක් මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි ෴

+++++++++++++++++++++++

(29.05.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැවතියද අද (29) සිට දින 03 ක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා පාරිභෝගිකයන්ට පැමිණීමට හැකියාවක් නැහැ.

සිල්ලර වෙළඳුන්ට, තොග වෙළඳුන්ට සහ ජංගම වෙළඳසැල් පවත්වාගෙන යන පුද්ගලයින්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ එළවළු සහ පළතුරු මිලදී ගැනීමට සහ රැගෙන යාමට හැකියාව පවතිනවා.

එලෙස පැමිණෙන පුද්ගලයින් ඊට අදාළ පිළිගත හැකි ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බවයි පොලීසිය සඳහන් කළේ.

බොහෝ පිරිස් එවැනි කටයුතුවලට සහභාගිවන මුවාවෙන් නීතිවිරෝධී කටයුතු සිදුකිරීම සහ පෞද්ගලික ගමන් බිමන් යාම මෙලෙස ලියකියවිලි පරීක්ෂා කිරීමට හේතු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම ජුනි මස 03 සහ 04 යන දිනවලදී ද ඒ ආකාරයෙන්ම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++++

(29.05.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

මොරටුව ප්‍රදේශයේ එන්නත් ලබාදීමේදී ටෝකන් ක්‍රමයට සිදු කළා මෙන් ගාල්ල ප්‍රදේශයේදී ද එන්නත් ලබාදීමේදී ටෝකන් නිකුත් කිරීමක් පිළිබඳ තොරතුරු වාර්තාවුණා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් එක් කර තිබුණා.

ඒ අනුව එහි සඳහන් වූයේ කොවිඩ් එන්නත් ලබාදීමේ දෙවන (2) දිනය වූ ඊයේ (28) ග්‍රාම නිලධාරී වසම් අටක (8) එන්නත් ලබාදීමේ කටයුතු සිදුවූ බවයි.

එසේම පෙරේදා (27) දින ග්‍රාම සේවා වසම් 5 ක අටදහසකට (8000) ආසන්න පිරිසකට එන්නත් ලබාදීම සිදුකළ බවත්, ටෝකන් සහ ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී විධිමත් හා සාධාරණ අයුරින් එය සිදුකළ බවත් සම්පත් අතුකෝරාල මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.

එසේම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සම්බන්ධයෙන්ද සම්පත් අතුකෝරාල මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමට තවත් සටහනක් එක් කර තිබුණා.

කෙසේ වෙතත් ටෝකන්වල සඳහන් අංකවලට අනුව එන්නත් ලබාදෙන ලෙසට ප්‍රදේශයේ වෛද්‍යවරුන්ට බලපෑම් සිදුකළ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඊයේ (28) අත්අඩංගුවට ගැනුනු අතර, පසුව ඔහු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

+++++++++++++++++++

(29.05.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (28) හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් එනම් 512 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

දෙවනුවට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 443 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන්නේ රෝගීන් 281 කු පමණයි.

ඊට අමතරව මහනුවරින් ආසාදිතයින් 271 ක්, නුවරඑළියෙන් 191 ක් හඳුනගෙන තිබෙනවා.

කුරුණෑගල 177 දෙනෙකු සහ රත්නපුරයෙන් 150 දෙනෙකු වාර්තා වන බවයි කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(29.05.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මේ දක්වා මිය ගොස් ඇති පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 71 ට වැඩි අය බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1363 ක් බවයි.

ඉන් මරණ 646 ක්ම එනම් සියයට 47.85 ක මරණ ප්‍රතිශතයක් සිදුව ඇත්තේ වයස අවුරුදු 71 ට වැඩි පුද්ගල මරණ බව සඳහන්.

මේ අතර, වයස අවුරුදු 61 ත්, 70 ත් අතර මරණ 356 ක් වාර්තා වී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 26.37 ක්.

වයස අවුරුදු 09 ට අඩු ළමා මරණ 02 ක් වාර්තා වී ඇති අතර, අවුරුදු 10 ත්, 30 ත් අතර මරණ 16 ක් සිදුව තිබෙනවා ෴

+++++++++++++++++++++

(29.05.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් එන්නත වයස අවුරුදු 12 ත්, 15 ත් අතර ළමයින්ට ලබාදීමට යුරෝපා සංගමයේ අනුමැතිය හිමිව තිබෙනවා.

යුරෝපා සංගමයේ සෞඛ්‍ය කොමසාරිස් ස්ටෙලා ක්‍රියාකයිඩ්ස් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වසංගතය අවසන් කිරීමට මෙය තවත් එක් පියවරක් බවයි.

කෙසේ වෙතත්, දරුවන්ට එන්නත් ලබාදිය යුතු ද යන්න රජයේ තීරණවලින් ඔබ්බට දෙමව්පියන් විසින් ගත යුතු බවයි ඇය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

යුරෝපා රටක් වන ජර්මනිය ලබන මාසයේ සිට වයස අවුරුදු 12 ට වැඩි ළමයින්ට ෆයිසර් එන්නත ලබාදීමට දැනටමත් තීරණය කර තිබෙනවා ෴

++++++++++++++++++++++

(29.05.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

රටෙහි ආර්ථිකයට වැඩි දායකත්වයක් සපයන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ද එන්නත්කරණයේදී ප්‍රමුඛතාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළා.

රාජ්‍ය සේවයේ මෙන් පෞද්ගලික අංශයේ ද ගැබිණි මව්වරුන් සේවයට නොකැදවන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව සියළු හාම්පුතුන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ පිළිපදින ලෙසයි සියළු හාම්පුතුන්ට සහ සේවක සේවිකාවන්ට දැනුම් දෙන්නේ.

කම්කරු දෙපාර්තමේන්තුව මගින් සෞඛ්‍ය කමිටු පිහිටුවීම සඳහා අවශ්‍ය උපදෙස් කර්මාන්තශාලා හිමියන්ට ලබාදී ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළා ෴

@@@@@@@@@@@@@

(29.05.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

ගලේවෙල, දිග්ගල ප්‍රදේශයේදී ජලය පිර වූ මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක (1½) පමණ කුඩා දරුවෙකු ඊයේ (28) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවා සිය මුත්තණුවන්ගේ නිවස පිටුපස ජලය පිරී තිබූ මුට්ටියකින් බෝතලයකට වතුර පිරවීමට උත්සාහ කිරීමේදී එම මුට්ටියට ඇද වැටී මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරන්නේ.

මියගිය දරුවාට තවත් වැඩිමහල් සොහොයුරන් හතරදෙනෙකු (4) සිටින අතර, මව, සිය පියාගේ නිවසට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

මියගිය කුඩා දරුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ තැපත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

******************************************

(29.05.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක් වූ ‘එම් වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හේතුවෙන් කොළඹ උතුර සාගර කලාපයේ වෙරළ තීරයට සහ ධීවර ජනතාවට සිදුව ඇති ව්‍යසනය පිළිබඳව තමන් දැඩි කණස්සල්ලට පත්ව ඇති බව අගරදගුරු පදවි මීසම් එකමුතුවේ පියතුමන්ලා පවසනවා.

තම ජනතාවට සිදුව ඇති බිහිසුණු විපත්තිය හමුවේ වගකිවයුතු කාරකාදීන් අනුගමනය කළ නිහඬ පිළිවෙත ගැනද අප්‍රසාදය පළ කරන බවයි එම පියතුමන්ලා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මීට ඉහතදී ඉන්ධන කාන්දුවක් නිසා දැවී පිළිස්සී ගිය ‘නිව් ඩයමන්ඩ්’ නෞකාව නිසා ඇතිවූ ව්‍යසනය හමුවේ රැකියා අහිමි වූ ධීවර ජනතාව අමතක කොට දැමු අයුරුත් මෙහිදී අමතක වී නොමැති බව උන්වහන්සේලා පෙන්වා දෙනවා.

එපමණක් නොව පරිසරයට සිදුවූ හානිය සහ ඊට ආවේක්ෂණ ක්‍රියාමාර්ගයක් නොගත් අයුරු සම්බන්ධයෙන් ද මීසම් එකමුතුවේ පියතුමන්ලා මෙහිදී මතක් කර තිබෙනවා.

සියලු කරුණු සළකා බලමින් ව්‍යසනය හමුවේ කෙටිකාලීනව හා දිගුකාලීනව රැකියා අහිමිවන ධීවර ජනතාව වෙත නොපමාව වන්දි ගෙවීමට කටයුතු කළ යුතු බවත් රක්ෂණ ආවරණ මුදල්වල ප්‍රතිලාභීන් ලෙස ධීවර ජනතාව නම් කළ යුතු බවත් උන්වහන්සේලා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම, ව්‍යසනය නිසා ඇතිවන රෝගවලදී සියලු සෞඛ්‍ය පහසුකම් නොපමාව ඔවුනට ලබාදීමටද ක්‍රියාකළ යුතු වනවා.

විනාශ වූ වෙරළ පද්ධතිය යථා තත්වයට පත් කොට කොරල්පර විනාශවී යාමේ තර්ජනය පිළිබඳවද හඳුනාගනිමින් ඊට පිළියම් යෙදීමටද බලධාරීන් පියවර ගත යුතු බවටයි අගරදගුරු පදවි මීසම් එකමුතුවේ පියතුමන්ලා ඉල්ලීමක් කරනවා.

ධීවර කටයුතු සඳහා තහනම් කර ඇති සියලු දිනයන් සඳහා ධීවර පවුල්වලට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය නොපමාව ලබාදීමට ක්‍රියා කළ යුතු බවටද එම නිවේදනයේ සඳහන්.

මේ අතර ගිනිගත් ‘එම් වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හේතුවෙන් කොළඹ වරායේ නාවික කටයුතු සඳහා බාධාවක් නොවන බව වරාය අධිකාරිය ප්‍රකාශ කළා.

එහි සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ෴

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්නෙන් බලපෑම් එල්ල වූ ධීවර ජනතාවටත් රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ එම දීමනාව ලබාදිය යුතු පුද්ගලයින්ගේ නාම ලේඛන ලබාදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි ෴

******************************************

(29.05.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

යාපනය – නාගර්කෝවිල් ප්‍රදේශයේදී අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සහ පතොරම් තොගයක් සමඟ හිටපු මුහුදු කොටි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (28) නාගර්කෝවිල් වෙරළාසන්නයේ සිදුකරන ලද මෙහෙයුමකදී තාවකාලිකව ඉදිකරන ලද පැල්පතක් ඇතුළත බිම මේවා වලදමා තිබී ඇති බවයි වාර්තා වන්නේ.

අධිබලැති ක්ලේමෝ බෝම්බයට අමතරව ටී 56 පතොරම් 14 ක්, පිස්තෝල පතොරම් 45 ක් සහ ඩෙටනේටර් නූල් මීටර දෙකක් (2) ද මෙලෙස සොයාගත් ද්‍රව්‍ය අතර වනවා.

******************************************

(29.05.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් (2) සමඟ තිදෙනෙකු (3) වාලච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අවුරුදු 19 ත් 56 ත් අතර වයස්වල පසුවන කිරාන් සහ සිරන්ඩිබ් ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර, ග්‍රෑන්ඩ්පාස් හා බොරැල්ල ප්‍රදේශවලදී හෙරොයින් ග්‍රෑම් 08 යි මිලිග්‍රෑම් 845 ක් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 24 සහ 46 වයස්වල පසුවන මොවුන් බොරැල්ල සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(29.05.2021 – 11:58 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ සුන්බුන් පැමිණීම නිසා අපවිත්‍ර වූ මුහුදු තීරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයට පැමිණියා.

එම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ද එක්ව සිටියා.

පසුගිය 19 දා ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාවේ බහාලුම් 1486 ක් පැවතුණා.

කෙසේ වෙතත්, මේ වන විට නෞකාවේ සියළු බහලුම් ගිනිගෙන විනාශ වී ඇති බවට සැක පළ කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ. ගිනි ගන්නා අවස්ථාවේ බහලුම් කිහිපයක් මුහුදට වැටී තිබුණා.

නෞකාවේ ප්‍රවාහනය කෙරුණු බොහෝ ද්‍රව්‍ය කළුතර සිට කල්පිටිය දක්වා වෙරළ කලාපයට ගසාගෙන පැමිණ තිබූ අතර ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය වෙරළෙහි තැන්පත් වී තිබුණා.

මේ හේතුවෙන් එම කලාපයේ මසුන් ද මැරී සිටින අයුරු දක්නට ලැබුණා.

මේ අතර, සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින් හා ප්‍රතිචක්‍රීයකරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළේ අදාළ ප්ලාස්ටික් නිෂ්පාදන කැට වෙරළෙන් ඉවත් කර ප්‍රතිචක්‍රීයකරණය කරදීමට සූදානම් බවයි.

එමෙන්ම, මෙම තත්ත්වය හමුවේ තමන්ට ධීවර කර්මාන්තය කරගෙන යාමට නොහැකි වාතාවරණයක් උද්ගතවී ඇති බව මීගමුව ප්‍රදේශයේ ධීවරයින් ප්‍රකාශ කළා.

මේ අතර ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් පැතිරෙන දුම රට අභ්‍යන්තරයට පැමිණීමේ හැකියාවක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

ඒ හේතුවෙන් ශ්වසන ආබාධ පවා සිදුවිය හැකි බවයි එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ.

******************************************

(29.05.2021 – 12:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ ප්‍රතිලාභ රටට අත්කර ගැනීම සඳහා පක්ෂ භේදයෙන් තොරව එක්ව කටයුතු කළ යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ වරාය නගරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *