ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් කොරෝනා ප්‍රතිකාර ගැන විශේෂ පුහුණුවක්

ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් කොරෝනා ප්‍රතිකාර ගැන විශේෂ පුහුණුවක්

*********************************************

ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් කොරෝනා ප්‍රතිකාර ගැන විශේෂ පුහුණුවක්

(28.05.2021 – 15:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් ආයුර්වේද රෝහල්වල කාර්ය මණ්ඩලවලට විශේෂිත කොරෝනා ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳව පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉදිරි දින දෙක (2) තුළ අදාළ පුහුණුකිරීම් ආරම්භ කරන බවයි එම අමාත්‍යාංශයේ අද (28) පැවති කොවිඩ්-19 විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය ඇමතිනි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ.

එසේම දිවයිනේ විවිධ ප්‍රදේශවල ආයෝජන කලාපයන් හි ඇඟළුම් කර්මාන්තශාලාවල සේවයේ නියුතු සේවක සේවිකාවන් ඉලක්ක කරගනිමින් විශේෂිත එන්නත්කරණ වැඩසටහනක් දියත් කිරීමට තීරණය කර ඇති බවද ඇය සඳහන් කළා ෴

+++++++++++++++++++++++

(28.05.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ලබාදීම සඳහා ජංගම අලෙවිසේවා ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඩිලිවරි සේවා පවත්වගෙන යාම සඳහා ලබාදී තිබු බලපත්‍රවල වලංගු කාලය ජූනි 7 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.

එසේම සිල්ලර වෙළඳුන්ට සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා මේ මස 29, 30 සහ 31 යන දිනවල ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබෙන බවද ඔහු සඳහන් කළා ෴

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන ජුනි මස 8 වනදා මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා ෴

++++++++++++++++++++

(28.05.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට ජුනි මස 8 වනදා සිට මාසයක් සම්පූර්ණ වන දිනයේදී පළමු (1)එන්නත ලබාගත් ස්ථානයේදීම දෙවන (2) මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්වල එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදියි ඔහු මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම ජුනි මස 07 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී තීරණය කර තිබෙනවා.

සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතරමැද තෝරාගත් දින 03 ක් රට විවෘතව තැබීමටයි මීට පෙර තීරණය කෙරුණේ.

එහෙත් පසුගිය 25 වනදා පෙරවරු 4 ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව ක්‍රියා කළ ආකාරය වසංගතය පැතිර යාමට ඉඩ හැරීමක් බැවින් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සහාය එමගින් අසාර්ථක විය හැකි බව ඔහු පෙන්වා දෙනු ලැබුවේ.

ඒ අනුව මැයි මස 31 සහ ජුනි මස 04 යන දෙදින (2) සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබු තීරණය අත්හිටවූ අතර ඉදිරි දින සඳහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ජංගම අලෙවි රථ මගින් බෙදාහැරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැර යාමට අවසර ලබා දී තිබෙනවා.

මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ළග තබාගැනීම අනිවාර්යය වනවා.

කොවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයට ජනතාව ද වගකීමෙන් සහාය දිය යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිවසින් බැහැර යාමට අවසර ලබා දී තිබෙනවා.

මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයේ ප්‍රධානියා කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැදුනුම්පත ලඟ තබා ගැනීම අනිවාර්ය වනු ඇති.

වසංගතය පැතිර යාම වැලැක්වීමට රජය ගන්නා උත්සාහයට ජනතාවද වගකීමෙන් සහය දිය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරත් ප්‍රකාශ කළේ.

++++++++++++++++++++++

(28.05.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) මොරටුව මෙතෝදිස්ත දේවස්ථානයේ පැවති කොවිඩ්-19 මර්දන එන්නත්කරණ වැඩසටහනට බාධා කළ මොරටුව නගරාධිපති සමන් ලාල් අද (28) උදෑසන පොලිසියට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මොරටුව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

මොරටුව නගරාධිපති ඊයේ (27) දිනය තුලදීත් රටේ පවතින නීතිය නොසලකා ඔහුගේ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන අයුරු පැහැදිළිව දක්නට ලැබුනු බවයි ප්‍රදේශවාසීන් පවා චෝදනා කරන්නේ.

එමෙන්ම ඔහු අද (28) අධිකරණයට ගෙනා අවස්ථාවේදීත් ඔහුගේ ආධාරකරුවන්, මේවන විට ක්‍රියාත්මක වන දැඩි සංචරණ නීති රීති සීමා තඹයකට හෝ සලකන බවක් දක්නට නොලැබුනේ අධිකරණය ඉදිරිපිට රැස්වී සිටි ආකාරයෙන්.

මොරටුව දිසා අධිකරණය ඉදිරිපිට අවම තරමින් නගරාධිපතිගේ ආධාරකරුවන් සියයකට (100) ආසන්න ප්‍රමාණයක් සංචරණ සහ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් හැසිරෙන අයුරු දක්නට ලැබුනා.

මොරටුව පොලිසිය මේ අවස්ථාවේ නිසිලෙස ක්‍රියාත්මක වූයේ නම් මොරටු නගරාධිපති සමග තවත් පිරිසක් ඔහුගේ තනියට බන්ධනාගාර ගත කිරීමට හැකියාව ලැබෙනු ඇති.

කෙසේවෙතත් එවැනි නීතිය ක්‍රියාත්මක වීමක් මේ අවස්ථාවේ දක්නට නොලැබීම කණගාටුවට කරුණක්.

+++++++++++++++++++++++

(28.05.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනිකා එන්නත නිශ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා සිංගප්පූරු සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වෙත යොමු කර ඇති මෙම ලිපියේ සඳහන් වන්නේ එහි සඳහන් කරන සමාගම් හැරුණු විට ඇස්ට්‍රාසෙනිකා සමාගමේ කිසිදු පෞද්ගලික ඒජන්තවරයෙකු නොමැති බවයි.

ශ්‍රී ලංකාව තුල ඇස්ට්‍රාසෙනිකා එන්නත අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබාගැනීමට පෞද්ගලික සමාගම් දිගින් දිගටම සිය සමාගමට ඉල්ලීම් කරන බව එම ලිපියේ සඳහන්.

කෙසේවෙතත් එම ලිපිය හරහා ඇස්ට්‍රාසෙනිකා සිංගප්පූරු සමාගම අවධාරණය කරන්නේ පවතින තත්වය යටතේ සිය සමාගම ගනුදෙනු කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට සහ පිළිවිතරයන්ට අනුකුලව පමණක් බවයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා සමාගම මෙරටට එන්නත් ලබාදීමේ කාර්ය භාරය යුනිසෙෆ් සංවිධානය, කොවැක්ස් එන්නත් වැඩසටහන සහ එන්නත නිශ්පාදනය කරන ඉන්දියාවේ සේරම් ඉන්ස්ටිටියුට් සමාගම හරහා පමණක් සිදුකරන බවයි මෙම ලිපිය හරහා අවධාරණය කරන්නේ.

++++++++++++++++++++++

(28.05.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2573 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 146,362 ක් ලෙසටයි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2243 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 177104ක් දක්වා ඉහළ යනවා.

එමෙන්ම කොරෝනා අසාදිතයන් 2573 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යව එක් ලක්ෂ හතලිස් හයදහස් තුන්සිය හැට දෙකක් (1,46,362) දක්වා ඉහල ගියා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 602 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (28) දිනයේ පමණක් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 2845 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 38 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1363ක් ලෙසටයි.

මේවන විට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 177,711 ක් හමුවී ඇති අතර ඉන් 29,986 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 146,362 ක් ෴

+++++++++++++++++++++

(28.05.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

මිලදීගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ජුනි මස 6 වනදා මෙරටට රැගෙන එන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ජූනි 08 වනදා මෙරටට පැමිණිමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඉදිරියේදී රත්නපුර සහ යාපනය දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (27) දිනයේ පුද්ගලයන් හතලිස් එක් දහස් නවසිය තිස් නව දෙනෙකුට (41,939) ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එම එන්නත ලබාගත් මුළු සංඛ්‍යාව පන්ලක්ෂ හැට තුන් දහස් හාරසිය නවයක් (5,63,409).

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පෞද්ගලික අංශය මගින් ලබා දීමට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් කරමින් පවතින බවට තම සමාගම දැනුවත්ව ඇති බව ඇස්ට්‍රාසෙනෙකා සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත යොමුකර ලිපියක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වනවා.

එහි දැක්වෙන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෝලීය අවශ්‍යතාවන් සඳහා බෙදා හැරීම සිදු කරනු ලබන්නේ රජයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ පමණක් බවයි.

කෙසේ වෙතත් අදාළ ලිපිය සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ එන්නත්කරණය රාජ්‍ය අංශය මගින් පමණක් සිදු කළ යුතු බවයි.

ඒ අනුව කොරෝනා එන්නත්කරණය පෞද්ගලික අංශයට ලබා දිය යුතු බවට පසුගිය දිනවල ප්‍රකාශ කළ බොහෝ පාර්ශවයන්ට ඇස්ට්‍රාසෙනිකා සමාගම නිකුත් කළ ලිපිය, කදිම පිළිතුරක් බවද ඔහු සඳහන් කළා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන (2) මාත්‍රාව, බොරැල්ල කින්සි පාරේ නිවසක දී මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි කොළඹ මහ නගර සභාවේ උසස් නිළධාරියෙකු සඳහන් කළා.

ඒ අනුව රුපියල් දස දහස (10,000), විසිපන් දහස (25,000) සහ විදේශිකයන් සඳහා ලක්ෂය (100,000) ඉක්මවා මුදලකට මෙම එන්නත ලබා දෙන බවටයි වාර්තා වුණේ.

ඒ අනුව මේ පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවයි අදාළ නිළධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

එවන් පසුබිමක ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පෞද්ගලික හිතවතුන් සඳහා මෝදර දාරකාගාරය ප්‍රදේශයේ දී ලබා දෙන බවටද වාර්තා වනවා ෴

+++++++++++++++++++

(28.05.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින් තම රාජකාරි සිදුකිරීම සඳහා ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබියදී ඒවා නොසළකා අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසනවා.

නුගේගොඩ ප්‍රදේශයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් ධම්මික මුණසිංහ මහතා මේ බව කියා සිටියා ෴

+++++++++++++++++++

(28.05.2021 – 23:17 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුවන දුෂ්කරතා අවම කිරීම සඳහා මේ මස 31 සිට ජංගම ක්‍රමයට භාණ්ඩ නිවසට ගෙන්වා ගත හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (28) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ ඒ අනූව 1998 ක්ෂණික දුරකථන අංකය හරහා අදාළ ඇනවුම් සිදු කිරීමේ හැකියාව පවතින බවයි.

මෙම ක්‍රමයට අනූව දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් මගින් භාණ්ඩ වර්ග 114 ක් වෙළෙඳපලේ පවතින මිලට අඩුවෙන් 1998 ක්ෂණික දුරකථන සේවාව මඟින් භාණ්ඩ ඇනවුම් කිරීමේ හැකියාව පවතිනවා.

[ https://www.lankasathosa.lk/ ]

@@@@@@@@@@@@@@@@

(28.05.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ඉවත් වී තිබෙනවා.

තමා පාස්කු කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ බැවින් පෞද්ගලික හේතුවක් මත නඩු විභාගයෙන් ඉවත් වූ බවයි ඔහු අධිකරණයට අද (28) දැනුම් දුන්නේ.

විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවූ අතර, පෙත්සම සළකා බැලීම ලබන මස හතරවනදා (04) දක්වා කල් තැබුණා.

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත්තේ ෴

******************************************

(28.05.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ කවගුචි නගරයේ නගරාධිපති නොබුඕ ඔකුනොකි මහතා විසින් අති නවීන ගිලන් රථයක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

ඒ ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජව් ගුණසේකර මහතාගේ ඉල්ලීමකට අනුවයි.

මෙම ඉල්ලීම සිදුකෙරුණේ මීට මාස කිහිපයකට පෙර මෙටට ගිනි නිවීමේ රථ කිහිපයක් ප්‍රදානයක් ලෙසින් ලබාගැනීම සඳහා සිදු කෙරුණු සාකච්ඡාවකදීයි.

මෙම ගිලන් රථය හදිසි ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය අති නවීණ පහසුකම්වලින් සමන්විතයි.

******************************************

(28.05.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – පරසන්ගස්වැව – සියඹලෑව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) සහ ඔත්තු ලබාදුන් අයෙකුට තියුණු ආයුධවලින් පහරදුන් පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ඇතුලු තුන්දෙනා (3) මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

පරසන්ගස්වැව ප්‍රදේශයේ මස් පිණිස ගවයන් සොරකම් සිදුවන බවට ලද තොරතුරකට අනුව අද (28) අලුයම සිදුකළ වැටලීමක් අතරතුරදියි මෙම පහරදීම සිදුව ඇත්තේ.

කෙසේ වෙතත් පහරදීමෙන් පසුව සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

******************************************

ගිනිගත් නෞකාව දෙකඩවීමේ අවදානමක් නොමැති බවට නාවික හමුදාව කියයි

(28.05.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ගිණි ගැනීමට ලක්ව ඇති ‘එම් වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව කොටස් 2 කට වෙන්වීමේ අවදානමක් මෙතෙක් නොමැති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ නෞකාවේ ආපදා තත්වය මේ වන විට බොහෝ දුරට පාලනය කර ඇති බවයි.

මාධ්‍ය හමුවට එක්වූ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය කියා සිටියේ සම්පූර්ණ පරිසර හානිය ගණනය කිරීමට දීර්ඝ කාලයක් ගතවන බැවින් අදාල නෞකා සමාගමෙන් අතරමැදි හානිපූර්ණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර නෞකාව ගිනි ගැනීමත් සමග එහි ඉන්ධන, රසායනික ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය මුසු වී ඇති වෙරළාසන්න මුහුදු ප්‍රදේශ වලට පනවා ඇති ධීවර කටයුතු අත්හිටවීම තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ ධීවර කටයුතු අත්හිටුවීම හේතුවෙන් ආදායම් අහිමීව සිටින ධීවරයින්ට මූල්‍යමය සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇති බවයි.

අදාළ නෞකාව තුළ ශ්‍රී ලංකාවට ගොඩබෑම සඳහා බහලුම් 500 ක් පැවති බව නෞකාවේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන ‘සී කොන්සෝටියම් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනයේ අධ්‍යක්ෂ ලක්මාල් දිසානායක මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම බහලුම්වල අඩංගු ද්‍රව්‍ය පිළිබඳව අදහස් දැක්විය නොහැකි බවයි ඔහු කියා සිටියේ.

(28.05.2021 – 21:30 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ හටගත් ගින්න මේ වනවිට මැඩපැවැත්වීමට හැකි වුවත්, රටක් ලෙස අප මේ වනවිට දරුණු පාරිසරික ගැටළු රැසකට මුහුණ දී සිටිනවා.

ඒ ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවෙන් කාන්දු වු රසායණික ද්‍රව්‍ය හා ගින්නත් සමග මුහුදට ඇඳවැටුනු බහාලුම් තුල තිබු ද්‍රව්‍ය මේ වනවිට වෙරළ තීරයවෙත ගොඩ ගසමින් තිබීම හේතුවෙන්.

මේ බලපෑම මේ වනවිට වැඩි වශයෙන්ම පවතින්නේ මීගමුවේ සිට කළුතර දක්වා වු මුහුදු තීරයටයි.

මේ හේතුවෙන් මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම පක්ෂීන් ඇතුළු අනෙකුත් සතුන්ට ද දැඩි බලපෑමක් එල්ල වී අවසන්.

මීගමුව කලපුව මුහුදට විවර වන ස්ථානය බාධක යොදා වසා දැමීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අද පියවර ගත්තේ කලපුවට අපද්‍රව්‍ය එක්වීම වලකා ගැනීම සඳහායි.

නෞකාව ගිනි ගැනීමේදී මුහුදට එක් වු සුන්බුන් හා අපද්‍රව්‍ය ඉවත් කර මීගමුව දුංගල්පිටිය – මුහුදු තීරය පවිත්‍ර කිරීම අද ගුවන් හමුදා භටයින් 250 කගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

[ සේයාරූ ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *