‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක් රැස් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක් රැස් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

*********************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක් රැස් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

(27.05.2021 – 06:44 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගැසූ ද්‍රව්‍ය එක් රැස් කළ 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සමඟ ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

(27.05.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම්ලා තිබියදී ගිනි ගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න තවමත් ක්‍රියාත්මකයි.

මේ වනවිට ගින්න නෞකාව පුරා පැතිරී ඇති අතර, එම ගින්න පාලනය කිරීම සඳහා නාවික හමුදාව හා වරාය අධිකාරිය ඇතුළු පාර්ශව තවදුරටත් මෙහෙයුම්වල නිරත වනවා.

ඒ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘වෛයිභව්’ සහ‘ වජ්‍රා’ නෞකාව මෙන්ම ‘ඩෝනියර්’ ගුවන් යානය නෞකාවේ ගින්න නිවීමේ ඒකාබද්ධ මෙහෙයුමට එක්වූයේ ඊයේ (26) දිනයේදීයි.

මේ අතර, ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටුණු සුන්බුන් වත්තල – ප්‍රීතිපුර සිට මීගමුව දක්වා වන වෙරළ තීරයට ඊයේ (26) අලුයම සිට ගොඩගසා තිබුණා.

පසුව එහි ජනතාව එම ද්‍රව්‍ය එක්රැස් කිරීමේ කටයුතුවල නිරත වීමත් සමඟ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දුන්නේ අදාළ කොටස් ශරීර සෞඛ්‍යට අහිතකර බැවින් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි.

එලෙස මුහුදට වැටුණු රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ රැගෙන ගිය පිරිස් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඊයේ (26) පොලීසිය ආරම්භ කරනු ලැබුවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ මෙම තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවලට අම්ල වැසි ඇති වීමේ අවදානමක් පවතින බවයි.

කෙසේ වෙතත්, මෙම නෞකාව මගින් සාගරයට ඉන්ධන කාන්දු වී තිබීම මෙන්ම, සාගර පරිසරයට සිදුවන හානියත් සමඟ මත්ස්‍යයින් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නාරා ආයතනයෙන් විමසීමක් කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ශාමලී වීරසේකර මහත්මිය කියා සිටියේ මත්ස්‍ය සාම්පල ඉදිරියේදී පරීක්ෂණ සිදුකරන බවයි.

මේ අතර, මෙම සිද්ධියත් සමඟ දැනට මෙරට වායු දූෂණයට බලපෑමක් සිදුව නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

නෞකාවේ නයිට්‍රික් අම්ල කාන්දු වීමෙන් මෙම ගින්න ආරම්භ වූයේ පසුගිය 19 වනදායි.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව පසුගිය පෙබරවාරියේ නෞකා සමාගම මගින් දියත් කරනු ලැබූ අලුත්ම නෞකාවක් වන අතර, එය ගිනි ගැනීමට ලක් වුයේ තුන් වන (3) ගමන් වාරයේදී වීම විශේෂත්වයක් ෴

******************************************

(27.05.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 910 ක් වංචා කළ මහරගම වත්තගෙදර සමුපකාර සමිතියේ ප්‍රියංග නිශාන්ත කුමාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(27.05.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ වැරදි මත සිරගත කෙරෙන රැඳවියන් සඳහා පුනරුත්ථාපනය අනිවාර්ය කිරීමට කටයුතු කරමින් සිටින බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මහනුවර ප්‍රදේශයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, බන්ධනාගාරගත වන්නන්ට ඇප ලබාදීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් නීතිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අධිකරණ නියෝග මත පිටත සමාජයෙන් බන්ධනාගාර වෙත පැමිණෙන කොරෝනා ආසාදිත නව සැකකරුවන් සහ නව සිරකරුවන් ගෙන් දැනට බන්ධනාගාරගතව සිටින රැඳවියන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්.

බන්ධනාගාර තුල පවතින තදබදය අවම කිරීමේ නිර්දේශයන් ලෙසද නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බවයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව, හෙරොයින් සම්බන්ධව නඩු පැවරීමේදී ඇප ලබා දීම සදහා වන හෙරොයින් ග්‍රෑම් 02 කට වඩා අඩුවන අවස්ථාවන්ට අදාල කාණ්ඩයට අමතරව හෙරොයින් ග්‍රෑම් 02 ත් 04 ත් අතර අවස්ථාවන්ට අදාලව නව කාණ්ඩයක් හඳුන්වාදීම සුදුසු බව නීතිපතවරයා විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

එහි දැක්වෙන්නේ විමර්ශනයේදී අනාවරණය වන කරුණු අනුව හෙරොයින් ග්‍රෑම් 02 ත් 04 ත් අතර කාණ්ඩයේ සැකකරුවන්ට මාස 03 ක් ඇතුලත ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවට අදාල මහේස්ත්‍රාත් අධිකරණයන් දැනුවත් කළ යුතු බවයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවන් සහ හෙරොයින් ග්‍රෑම් 1 කට අඩු ප්‍රමාණක් ඇති අවස්ථාවලදී අධිකරණයට කරුණු වාර්තා කිරීම මගින් එම පුද්ගලයන් බන්ධනාගාරග තුලට යොමුවීම වලක්වාලිය හැකි බවද නීතිපතිවරයා නිකුත් කල මාර්ගෝපදේශවල සඳහන්.

එමෙන්ම, වසරක සිර දඬුවමකින් දඬුවම් කල හැකි වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන මුල් අවස්ථාවේදීම සුවිශේෂ කරුණක් නොමැති නම් ඇප ලබාදීමට විරුද්ධ නොවන බව අධිකරණයට වාර්තා කලයුතු බවට ද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා ෴

******************************************

(27.05.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට රබර් වගාවන් ආශ්‍රිතව මේ දින වල ‘පෙස්ටලෝෂියොප්ෂිස්’ නැමැති ‘පත්‍ර පතන රෝගය’ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පවසනවා.

එම ආයතනය ප්‍රකාශ කළේ මෙම රෝගයේදී පෙබරවාරි සිට අප්‍රේල් දක්වා සිදුවන සාමාන්‍ය වාර්ෂික පත්‍ර පතනයට සහ ‘ඔයිඩියම්’ රෝගය හේතුවෙන් සිදුවූ පත්‍ර පතනයට අමතරව මැයි සහ ජූනි මාස වලදීද පත්‍ර හැලී යාම සිදු වන බවයි.

පවතින වැසි සහිත කාලගුණ තත්වය සමග මෙම පත්‍ර පතන රෝගය දරුණු තත්වයට පත් වෙමින් ඇති බවට නිරීක්ෂණය වන බවයි රබර් පර්යේෂණායතනය සඳහන් කළේ.

ඒ අනුව රබර් වගාවන් තුල පැතිර යන මෙම රෝගය පිළිබද තොරතුරු දැනුම් දීම සඳහා වට්ස්ඇප් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව හැලුණු පත්‍රයක ඡායාරූපයක් සහිතව ඉඩමේ ලිපිනය, දුරකථන අංකය, වගාව අයත් ක්ලෝනය සහ බිම් ප්‍රමාණය 077 241 9482 යන අංකයට වට්ස්ඇප් පණිවිඩයකින් ලබා දෙන ලෙසයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය දැනුම් දෙන්නේ.

පවතින කොරෝනා වසංගතය සමග ක්‍රියාත්මක සංචරණ සීමා හේතුවෙන් වගාවන් පරීක්ෂා කිරීමේ කටයුතු සහ රෝග මර්ධන කටයුතු සිදු නොවන බවත් ඉදිරියේදී එම කටයුතු යලි ආරම්භ කරන බවත් රබර් පර්යේෂණායතනය වැඩිදුරටත් සඳහන් කලා.

මෙලෙස මැයි සහ ජූනි මාස වලදී රබර් ශාක වල පත්‍ර හැලීයාම සිදුවන පත්‍ර පතන රෝගය මීට පෙර පසුගිය 2020 සහ 2019 යන වසර වලදී ද වාර්තා වුණා ෴

(File Photo)

******************************************

(27.05.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

රේගු නීති උල්ලංඝනය කරමින් වාහන කොටස් ගෙන්වා මෙරටදී එකලස් කළ මෝටර් රථයක් ළඟ තබාගත් කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ 13 ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදීයි.

මාග්‍රට් සිල්වා නැමැති 56 හැවිරිදි ඇය එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(27.05.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

දිවයින වටා මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු විය හැකි අතර, ධීවර හා නාවික කටයුතුවල අවධානයෙන් යෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, දිවයිනට බලපා ඇති නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදි වැසි සහ විටින් විට සුළං සහිත කාලගුණ තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇති.

බස්නාහිර, සබරගමුව, පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් තරමක තද වැසි ඇතිවිය හැකි අතර, දිවයින හරහා සුලඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යා හැකියි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 -50 ත් අතර වන බවත්, පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා වැඩිවිය හැකි බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැය කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකියි.

පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වන මුහුදු ප්‍රදේශය රළු වන අතර බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු විය හැකියි.

ධීවර හා නාවික කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

@@@@@@@@@@@@@@@@@

(27.05.2021 – 06:38 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුල ඊයේ (26) දිනයේ ත්‍රිරෝද රථ පරික්ෂා කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබුනා. එහිදී ත්‍රිරෝද රථ 3397 පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එලෙස පරික්ෂා කල ත්‍රිරෝද රථ වලින් අනවෂ්‍ය ලෙස නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ධාවනය කල ත්‍රිරෝද රථ 25 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

එහිදී එම ත්‍රිරෝද රථ වල ගමන් කල පුද්ගලයින් 32 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 587 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

පවතින සංචරණ නීති උල්ලංඝනය කරමින් කොළඹට පැමිණි රථවාහන 28 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(27.05.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික රෝහලකින් පළාගිය කොරෝනා ආසාදිතයා දමන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහු මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බවයි.

ඔහු අම්පාර – දමන – එරගම – වරිපතන්චේන ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු විදේශගතවීම සඳහා කොරෝනා පරීක්ෂණයකට මුහුණදීමෙන් අනතුරුවයි වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ.

පෞද්ගලික රෝහලේ රැඳී සිටි තමාට එහි ගාස්තු ගෙවීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් මෙලෙස ඉන් පළාගිය බව ඔහු ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඉදිරියේදී ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි ෴

+++++++++++++++++++++

(27.05.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වසංගත රෝග විද්‍යා අංශය හඳුනාගන්නා ස්ථානවල කොරෝනා මර්දන එන්නත්කරණය අරඹන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ (26) නව කොරෝනා ආසාදිතයින් 2377 ක් හමුවීමත් සමග මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,72,277 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (26) දිනයේ තහවුරු කළ කොරෝනා මරණ 29 ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 1,298 ක් ලෙසයි.

ඒ අතර ඊයේ (26) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 02 ක් වන අතර, මැයි 20 වැනිදා සිට 25 වැනිදා දක්වා සිදුවූ මරණ 27 ක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මියගිය පිරිස අතර බදුල්ල – හාලිඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක තරුණියක් සහ 94 හැවිරිදි අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද වනවා.

ඊයේ (26) දිනයේදී කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 1,203 දෙනෙකු සුවය ලැබුවා.

ඒ සමඟ මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,32,334 ක් ලෙසයි.

මේ අතර, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල තෝරාගත් ස්ථානවල කඩිනමින් එන්නත්කරණය සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල වසංගත රෝග විද්‍යා ඒකක මගින් හඳුනාගත් ප්‍රදේශවල එන්නත්කරණය අද (27) සිට ආරම්භ වනු ඇති.

කෙසේ වෙතත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ඊයේ (26) දිනයේදීම ආරම්භ වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළා.

මේ අතර, කොරෝනා එන්නත් ලබා නොදීමට එරෙහිව අද (27) දෙවන දිනටත් වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

එමෙන්ම, කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් සුවය ලබා සිය නිවෙස බලා ඊයේ (26) පිටත්ව ගියා ෴

දැනටමත් චීනයෙන් ලැබී ඇති සීනෝෆාම් එන්නත් 500,000 න් එන්නත් මාත්‍රා 375,000 ක් දෙවන (2) මාත්‍රාව සඳහා වෙන් කරනු ලබන අතර 125,000 ක් ගාල්ල, මාතර සහ කුරුණෑගල එන්නත්කරණය සඳහා භාවිතා කරනු ඇති බව යුධ හමුදාපතිවරයා පවසනවා ෴

++++++++++++++++++++

(27.05.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා දහසය කෝටි අසූලක්ෂයකට (16,80,00,000) ආසාදනය වූ තිස්පන් ලක්ෂයකට (35,00,000) අධික ජීවිත බිලිගත් කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන කඩිනම් වාර්තාවක් සපයන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට බුද්ධි අංශ වෙත නියෝග කර තිබෙනවා.

ඒ, 2019 වසරේ අගභාගයේ චීනයේ වූහාන් නගරයෙන් මුලින්ම සොයා ගැනුණු කොරෝනා වෛරසය එහි පරීක්ෂණාගාරයකින් අහම්බෙන් නික්මුණේද යන්න පිළිබඳ යළි සැක මතුවීමත් සමඟයි.

අමෙරිකානු බුද්ධි වාර්තාවක් මගින් 2019 වසරේ නොවැම්බරයේ වූහාන් වෛරස් පරීක්ෂණාගාරයේ සාමාජිකයින් 03 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ සිද්ධියක් පිළිබඳව හෙලිදරව් කරනු ලැබුවා.

ඒ අනුවයි වෛරසය පරීක්ෂණාගාරයෙන් නික්මුණු බවට වන මතය යළි කරළියට පැමිණියේ.

කෙසේ නමුත්, එම මතය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ චීනය එය, වෛරසයේ ව්‍යාප්තිය ගැන තම රටට චෝදනා කිරීමේ බටහිර කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වූවා.

වෛරසයේ මූලාරම්භය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ මූලික විමර්ශනවලදී ප්‍රකාශ වූයේ එය ස්වභාවිකව සත්වයන්ගෙන් මිනිසුන්ට සංක්‍රමණය වූ වෛරසයක් විය හැකි බවයි.

කෙසේ නමුත්, විමර්ශන සඳහා චීනය පූර්ණ සහයෝගයක් නොදැක්වූ බවට චෝදනා එල්ල වුණා.

වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් දින 90 ක් ඇතුළත බුද්ධි වාර්තාවක් සපයන්නැයි ජනපති ජෝ බයිඩ්න් නියෝග කර ඇත්තේ මෙවැනි වාතාවරණයක් මැදයි.

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලින් වසරක් පැහැරගත් කොරෝනා වෛරස් වසංගතයේ මූලාරම්භය පිළිබඳව විමර්ශන විනිවිදභාවයකින් යුක්තව සිදුකළ යුතු බවට අමෙරිකානු සෞඛ්‍ය ලේකම් සේවියර් බෙකෙරා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්ද කළා.

මේ අතර, කොරෝනා වෛරසය චීනය විසින් කෘතිමව නිෂ්පාදනය කරන ලද්දක් බවට දිගින් දිගටම චෝදනා කළ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් පෝස්ට් පුවත්පත වෙත ඊමේල් පණිවුඩයක් යොමුකරමින් ප්‍රකාශ කළේ තමා මුල සිටම වෛරසයේ මූලාරම්භය පිළිබඳව සැක පළ කළ බවයි.

එහිදී තමා දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයින් දැන් තම මතය නිවැරදි බව පිළිගනු ඇතැයිද ඔහු එමඟින් කියා සිටියා ෴

+++++++++++++++++++++

(27.05.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් පීඩාවට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබාදී ඇති ණය සහන දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ නියමයන් මහබැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ සහ විශේෂිත බැංකු වෙත යොමුකර ඇති බව සඳහන්.

එහිදී පසුගිය 15 වනදා තෙක් නිකුත් කර ඇති ණය පහසුකම් අගෝස්තු 31 වනදා දක්වා නැවත සැකසීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලට මුහුණදී ඇති පුද්ගලයන්ගේ ණය පහසුකම් සහ පොලිය මෙලෙස සකසන ලෙසයි දන්වා ඇත්තේ.

එහිදී ණය ලබා ගත් පුද්ගලයන්ගේ මූල්‍ය දුෂ්කරතා සහ ආදායම් අහිමිවීම් සැලකිල්ලට ගත යුතු බව ද සඳහන් කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(27.05.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (26) දිනයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 2377 අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් එනම්, 573 දෙනෙකු වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එයින් ආසාදිතයන් 130 ක් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන අතර, හංවැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 58 ක් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 56 ක් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 530 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 257 ක් වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් 172,277 දෙනා අතරින් 75,193 දෙනෙකු අප්‍රේල් 15 වැනිදායින් පසුව වාර්තා වී තිබෙනවා.

එසේම, සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසු වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 688 ක්.

මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,298 ක් ලෙස සටහන් වනවා.

ඉන් 688 ක් අප්‍රේල් 15 වැනිදායින් පසුව වාර්තා වී ඇති අතර, එය සමස්ත මරණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට සියයට 53 ක්.

එම කාලය තුළ මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 399 දෙනෙකු සහ කාන්තාවන් 289 දෙනෙකු වනවා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) දිනයේ තහවුරු කළ කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 29 අතරින් දෙකක් (2) ඊයේ (26) සිදුව තිබෙනවා.

ඊට අමතරව අනෙක් මරණ 27 සිදුව ඇත්තේ මැයි මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා වූ කාලය තුළයි.

ඊයේ (26) තහවුරු කරන ලද මරණ අතරින් 08 ක්ම සිදුව ඇත්තේ නිවෙස් තුළදී වන අතර 20 හැවිරිදි තරුණියක්ද කොරෝනා ආසාදනයෙන් බදුල්ල මහ රෝහලේදී මිය ගොස් තිබෙනවා.

පසුගිය අප්‍රේල් 15 වැනිදායින් පසුව මෙරටින් කොරෝනා ආසාදිතයින් 75,193 ක් හඳුනාගෙන තිබූ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 90,637 ක්.

විදේශ රටවල සිට දිවයිනට පැමිණි පුද්ගලයින් අතරින් 4,533 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, මුල් අවස්ථාවේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,962 ක්.

ඊයේ (26) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,377 දෙනා සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 172,277 ක් දක්වා ඉහළ ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *