වෙසක් පුන් පොහෝ දිනය අදයි

වෙසක් පුන් පොහෝ දිනය අදයි

*********************************************

වෙසක් පුන් පොහෝ දිනය අදයි

(26.05.2021 – 06:08 +0530 – hirunews.lk/sinhala)

බෝසතානන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන්පෑම යන අසිරිමත් සිදුවීම් සිදුවූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

සමස්ත ලෝකවාසී බොදු ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය ලෙස අද දිනය සැලකෙනවා.

බුදුරජාණන් වහන්සේ සුමේධ නම් තාපසයෙකු ලෙස එක් ආත්ම භවයක ඉපිද දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකදීයි.

එසේම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ලෙස කටයුතු කළ ආනන්ද මහරහතන් වහන්සේ පිරිනිවන්පෑම සිදුකළේ ද අද වන් දිනක බවයි පොතපතෙහි සඳහන් වන්නේ.

******************************************

(26.05.2021 – 06:38 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවේ.

උතුරු-මැද පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (50-60) දක්වා වැඩි විය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්කර තිබෙනවා ෴

******************************************

(26.05.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

රසායන ද්‍රව්‍ය සහිත ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න තවදුරටත් පැතිරෙමින් පවතිනවා.

ගින්න නිවීමේ මෙහෙයුමට එක්වීම සඳහා ඉන්දියාව වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් (2) ටග් යාත්‍රාවක් සහ ඩොරිනර් ගුවන් යානයක් යෙදවූ අතර, ඉන් එක් යාත්‍රාවක් මේ වනවිට නෞකාව ගිනි ගන්නා මුහුදු ප්‍රදේශයට ළඟා වී ඇති බව සඳහන්.

ඊයේ (25) නෞකාවේ ඇති වූ පිපිරීමෙන් නාවිකයින් දෙදෙනෙකු (2) තුවාල ලැබූ අතර, 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය නාවික හමුදාව විසින් ඉවත් කරගනු ලැබුවා.

නෞකාව මේ වනවිට කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ ස්ථානයේ සිට ඈත දියඹට රැගෙන ගොස් තිබෙනවා.

නෞකාවේ ගින්න හේතුවෙන් ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත ප්‍රජාවට එම මුහුදු ප්‍රදේශය මඟ හැර තම ධීවර කටයුතුවල නිරත වන ලෙසට නාවික හමුදාව ඊයේ (25) දැනුම් දුන්නා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් හා කොටස් කොළඹ සිට මීගමුව දක්වා වෙරළ තීරයට පැමිණිය හැකි බැවින් රසායනික ද්‍රව්‍ය ඇතුළත් ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටයි.

******************************************

(26.05.2021 – 09:54 +0530 – hirunews.lk/sinhala)

අදට (26) යෙදෙන වෙසක් පුන් පොහෝය නිමිත්තෙන් සිරකරුවන් 240 දෙනෙකුට නිදහස ලබා දිමට නියමිතයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ විශේෂ සමාව යටතේ මෙම නිදහස හිමි වන බවයි.

අද (26) මෙලෙස නිදහස ලබන සියලු සිරකරුවන් සුළු වැරදි යටතේ බන්ධනාගාර ගත කළ පුද්ගලයින් වන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා ෴

******************************************

(26.05.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

යාස් චණ්ඩ මාරුතයේ බලපෑම නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

කෙසේ නමුත්, මෙම පද්ධතිය මගින් දිවයින වටා මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි ඇති කරන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වීම සමඟ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහිදී සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකියි.

වැසි කාලගුණය හේතුවෙන් කළු ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකියි.

නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයේ ජල ගැලීම් අවදානමක් පවතින බවද එමඟින් නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්.

******************************************

(26.05.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පිටත වාරයේ ගිනි ගැනීමට ලක්ව ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කන්ටේනර්, දැවී තෙල්, සහ අබලි මීගමු වෙරල තීරයේ ජා ඇල, කපුගොඩ, සේත්තුපා ඩුව වෙරල තීරයන්ට ගොඩ ගසා තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ මෙම අබලි වත්තල ප්‍රීති පුර වෙරල තීරයේ සිට මීගමු වෙරල තීරය දක්වා කිලෝ මීටර් නවයක (9) පමණ ප්‍රමාණයක මේ වනවිට පැතිර ඇති බවයි.

ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් සහ තවත් විවිධ ප්‍රමාණයේ කොටස් රාශියක් ඇති අතර එම ද්‍රව්‍ය ස්පර්ශ නොකරන ලෙසට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට යළි දැනුම් දෙනවා.

ජනතාව එම කොටස් එකතු කරන බවට තොරතුරු ලැබුණු බව ද ඔහු සඳහන් කළා.

පසුගිය 19 වනදා මෙම නෞකාවේ ගින්නක් හට ගත්තේ එහි ප්‍රවාහනය කරමින් තිබූ නයිට්‍රික් අම්ල රසායන ද්‍රව්‍ය බහාලුමකින් කාන්දුවීම හේතුවෙන්.

++++++++++

කොළඹ වරයට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනිගැනීමට ලක්වන සිංගප්පුරුවට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා එක්ව සිටියා.

මෙම යානා නැවේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය පව්ඩර් (Dry Chemicle Powder) කිලෝ ග්‍රෑම් 425 ක් නැව මතට හෙලා තිබෙනවා.

මිට අමතරව ගිනි නිවීම් කටයුතු සඳහා සහයෝගය දීමට පැමිණි ඉන්දීය වෙරල ආරක්ෂක බලකායේ යාත්‍රා දෙක සහ වෝටර් ලිලී ටග් යාත්‍රාවත් ගිනි නිවීමේ මෙහෙයුම් වලට එක්වුණා.

මෙම ගින්න පාලනය කිරීම සඳහා ඉන්දීය වෙරල ආරක්ෂක බලකායේ ඩ්‍රෝනීය ගුවන් යානාවද එක්ව සිටියා ෴

(26.05.2021 – 11:28 +0530 – hirunews.lk/sinhala)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න අතරතුර ඇතිවූ පිපිරීම හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු (2) තුවාල ලැබුවා.

මේ දෙදෙනා ප්‍රතිකාර සඳහා ඇතුලත් කෙරුනේ කොළඹ ජාතික රෝහලටයි.

පසුව ඔවුන්ට කල PCR පරීක්ෂණයේදී එක් අයෙකුට කොවිඩ්-19 අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බවයි ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

කෙසේවෙතත් එය ඉන්දීය කොරෝනා ප්‍රභේදය දැයි මෙතෙක් තහවුරු කරගෙන නැහැ ෴

@@@@@@@@@@@@@@@@@

(26.05.2021 – 06:22 +0530 – hirunews.lk/sinhala)

චීනය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක (5) තොගය අද (26) අලුයම දිවයිනට ළඟා වුණා.

බීජිං නුවර සිට එන්නත් තොගය රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරන විශේෂ ගුවන් යානය අලුයම 12:20 ට කටුනායක ගුවන් තොටුපලට ළඟා වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එන්නත් තොගය භාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන සහ ඩී.වී.චානක මෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හුන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

එහිදී එන්නත් තොගය ප්‍රදානය කිරීමෙන් අනතුරුව චීන තානාපතිවරයා සඳහන් කළේ කොරෝනා වෛරසය අපගේ පොදු සතුරා වන අතර, ඊට එරෙහි බලවත්ම ආයුධය එක්සත්කම හා සහයෝගීතාව බවයි.

එන්නත බෙදාහදා ගැනීම තුළින් ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීම සිය ඉලක්කය බවද චීන තානාපතිවරයා සඳහන් කළා.

මේ වනවිට චීනය ලොව රටවල් 80 කට නොමිලේ එන්නත් ලබාදෙන අතර, තවත් රටවල් 43 ක් චීන කොරෝනා එන්නත් ආනයනය කරමින් සිටින බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

මීට පෙර චීනය විසින් එම එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළා.

එසේම, රුසියානු ස්පුට්නික් එන්නතේ මාත්‍රා 50,000 ක්ද ලබන සිකුරාදා දිවයිනට ලැබීමට නියමිතව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

(26.05.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

චීන – ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස සයිනොවැක් කොරෝනා එන්නත ඉදිරි මාස දෙකක (2) කාලය ඇතුළත මෙරටදී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසුවේ සයිනොෆාම් එන්නතේ මාත්‍රා මිලියන 2 ක් ලබන ජූනි මාසයේදී දිවයිනට ලැබීමට නියමිතව ඇති බවයි.

මීට පෙරද චීනය, එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අතර මේ වනවිට චීනය ලොව රටවල් 80 කට නොමිලේ එන්නත් ලබා දී තිබෙනවා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 340,842 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද පුද්ගලයින් 517,824 දෙනෙකුට ලබාදී අවසන්.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 14,984 ක්.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේ තහවුරු කළ කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ මරණ 28 අතරින් 11 ක්ම සිදුව ඇත්තේ නිවෙස් තුළදීයි.

මෙම මරණ 28 සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,269 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++

(26.05.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික රෝහලකින් කොරෝනා ආසාදිතයෙකු පළාගොස් තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ මෙලෙස පළාගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසටයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ ෴

+++++++++++++++++++

(26.05.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala)

අසාදිතයින් 2,728 දෙනෙකු ඊයේ (25) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1,69,900 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 28 ක්ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ තහවුරු කරනු ලැබුවා.

ඉන් මරණ 05 ක් සිදුව ඇත්තේ ඊයේ (25) දිනයේදීයි.

ඊයේ (25) තහවුරු කරන ලද කොරෝනා ආසාදිත පුද්ගල මරණ 28 අතරින් මරණ 23 ක් සිදුව ඇත්තේ මැයි 18 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා කාලය තුළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔවුන් වයස අවුරුදු 32 ත්, 97 ත් අතර වයස්වල පසුවන්නන්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1269 ක්.

ඊයේ (25) දිනයේදී වෛරසය ආසාදනය වූවන් 1,228 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,41,175 ක් වනවා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 27,482 ක් පමණයි.

මේ අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළ කාර්යය මණ්ලයට ද ග්‍රාම නිලධාරි හා සියලුම කාණ්ඩවලට අයත් සියලුම සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් හට මීලඟ අදියරේ කොරෝනා එන්නත් ලබාදීමේදි ප්‍රමුඛත්වය ලබා දෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන්. එච්.එම් චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මේ මොහොතේ වෘත්තිය ක්‍රියාමාර්ග වලට යොමු නොවන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත්, කොරෝනා එන්නත් ලබා නොදීමට එරෙහිව සැලසුම් කල පරිදි වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

+++++++++++++++++++++

(26.05.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා තාවකාලිකව ලිහිල් කළ සංචරණ සීමා මේ වනවිට යළිත් දැඩිව ක්‍රියාත්මකයි.

ඊයේ (25) රාත්‍රි 11 සිට ක්‍රියාත්මක, එම සංචරණ සීමා යළි ලබන 31 වනදා අලුයම 4 දක්වා ක්‍රියාත්මක අතර , එදින යළි සංචරණ සීමා ලිහිල් කෙරෙනවා.

ඒ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිළදී ගැනිම සඳහායි.

පසුව එදින රාත්‍රි 11 ට යළිත් සංචරණ සීමා දැඩි කෙරෙන අතර යළිත් සංචරණ සිමා ලිහිල් කෙරෙන්නේ ලබන ජුනි මස 4 වනදායි.

මේ අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඊයේ (25) සංචරණ සීමා ලිහිල් කළ අතර ඇතැම් ප්‍රදේශවල ජනතාව රථවාහනවල ගමන් කරමින් ලබාදුන් උපදෙස් උල්ලංඝනය කරන ආකාරයක් දක්නට ලැබුණා.

ඊයේ (25) සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේ මුහුණු ආවරණ නොමැතිව අලුත්ගම දර්ගා නගරයේ වෙළඳ සැලකින් භාණ්ඩ මිළට ගෙන විල්බැරෝවකින් ප්‍රවාහන කළ පුද්ගලයෙකු නිරෝධායන රිතී උල්ලංඝණය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුනා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ 40 හැවිරිදි ඔහුට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්විමේ ආඥා පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කරන බවයි.

පාගමනින් පැමිණ ළඟම වෙළඳසැලෙන් භාණ්ඩ මිලදී ගන්නා ලෙස දැනුවත් කර තිබූ අතර, ඇතැම් පිරිස් විල්බැරෝ, උපයෝගි කරගෙන භාණ්ඩ ප්‍රවාහනය කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඇතැම් ස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, සැලකිය යුතු පිරිසක් සංචරණ සීමාවන්ට යටත්ව කටයුතු කළ බවට ද ප්‍රදේශ රැසකින් වාර්තා වුණා.

++++++++++++++++++++

(26.05.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (25) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2728 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 558 ක්.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 522 දෙනෙකු ඊයේ (25) හඳුනා ගත් බවයි.

එසේම, ඊයේ (25) කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 476 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 189 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 121 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 117 දෙනෙකු ඊයේ (25) හඳුනාගත් ආසාදිතයින් අතර වනවා ෴

+++++++++++++++++++++

(26.05.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණය මගින් කොරෝනා වසංගතය පාලනය කරන බටහිර රටවල් ක්‍රමයෙන් විවෘත වද්දී ඉන්දියානු ශිෂ්‍ය ප්‍රජාව මුහුණදෙන ගැටලුවක් වන්නේ ඔවුන් ලබා ගත් භාරත් බයෝටෙක් කොවැක්සීන් එන්නත එම රටවල් විසින් නොපිළිගැනීමයි.

විදෙස් විශ්වවිද්‍යාලවල ඉගෙනීම සඳහා කොරෝනා එන්නත් ලබා සිටීම ඉදිරියේදී අනිවාර්ය වනු ඇති.

එහෙත්, බටහිර රටවල් බොහොමයක් මෙතෙක් පිළිගෙන ඇත්තේ ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පමණයි.

චීන සයිනොෆාම් එන්නතට ද පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණා.

එමගින් ප්‍රකාශ කළේ එන්නත පිළිබඳ තවත් තොරතුරු ලැබිය යුතු බවයි.

එහෙත් භාරත් බයෝටෙක් එන්නත මේ වනවිට ලොව රටවල් 13 ක් හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති අතර රටවල් 60 ක් ඒ පිළිබඳ සලකා බලමින් සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ භාරත් බයෝටෙක් එන්නත සඳහා ජුලි මාසය සහ සැප්තැම්බර් මාසය අතර අනුමැතිය ලබාදීමට හැකිවනු ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *