තිරිඟු පිටි මුවාවෙන් රහසිගත ලෙස මෙරටට ගෙන්වූ උඳු පිටි තොගයක් රේගු දැලේ පැටලෙයි
*********************************************
තිරිඟු පිටි මුවාවෙන් රහසිගත ලෙස මෙරටට ගෙන්වූ උඳු පිටි තොගයක් රේගු දැලේ පැටලෙයි
(22.05.2021 – 06:51 +0530 – hirunews.lk/sinhala)
තිරිඟු පිටි ලෙස පවසමින් නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ උඳු පිටි තොගයක් ඊයේ (21) සිය භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඒ සමඟ මෙම ආනයනයට සම්බන්ධ වාප්පු ලිපිකරුවකු ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
රුපියල් ලක්ෂ 64 ක් පමණ වටිනා උඳු පිටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙලෙස ආනයනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
රුපියල් 10,77,000 ක් වටිනා තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 18,000 ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ බහාලුම තුළ ඇති බවටයි මෙම ආනයනයකරුවා රේගුවට පවසා ඇත්තේ.
කෙසේ වෙතත් අදාල බහාලුම විවෘත කර ඊයේ (21) පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී රුපියල් ලක්ෂ 64 ක් පමණ වටිනා උඳු පිටි කිලෝ ග්‍රෑම් 15,060 ක් අඩංගු මලු 502 ක් රේගු නිලධාරීන් විසින් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මෙම බහාලුම විවෘත කළ පසු පිටතට පෙනෙන ආකාරයට තිරිඟු පිටි අඩංගු මලු 98 ක් අසුරා තිබී ඇති අතර, ඒම මලු වලට පිටුපසින් උඳු පිටි අඩංගු මලු 502 ක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී සොයා ගැනුණා.
රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
******************************************
(22.05.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)
සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු ගෙලිඔය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට පත්වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ 42 හැවිරිදි වියේ පසුවූ මෙම සැකකරු කොත්මලේ ප්‍රදේශයේ සේවය කරන රජයේ නිලධාරියෙක් බවයි.
මෙරට ප්‍රසිද්ධ වනාන්තර එළිපෙහෙලි කරන බවට සඳහන් කරමින් සැකකරු විසින් ව්‍යාජ ඡායාරූප ෆේස්බුක් ගිණුමකට එක් කරමින් මෙලෙස සාවද්‍ය ප්‍රචාරයන් සිදුකරගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු මේ වනවිට අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර ඔහු අද (22) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
වනාන්තර එලි කිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර මුහුණුපොතෙහි පළ කළ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කොත්මලේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔහු අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකට අදාළව 42 හැවිරිදි ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා ෴
******************************************
(22.05.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)
වත්තල, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් සහ මෝදර යන ප්‍රදේශ ආශ්‍රිතව අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ පුද්ගලයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 205 ක් ද සොයාගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴
******************************************
(22.05.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමේ 49 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
1948 වසරේ ඩොමීනියන් තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව නිදහස ලැබූ අතර, ව්‍යවස්ථාව වෙනස් කරමින් මෙරට ජනරජයක් බවට පත් කෙරුණේ 1970 වසරේ බලයට පැමිණි සමගි පෙරමුණු රජය යටතේයී.
ඒ, ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) ජනවරමක් හිමිකරගත් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ රජය විසින් 1972 වසරේ මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.
කෙසේ නමුත්, වර්තමානයේ පවතින කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ මෙවර ජනරජ දින සැමරුම් සීමා කර තිබෙනවා.
ඒ අනුව බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ පිහිටුවා ඇති සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රතිමාව ඉදිරියේ පුෂ්පෝපහාරයක් අද (22) උදෑසන සිදුකෙරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.
******************************************
(22.05.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)
උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩුපීඩන තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70, 80 දක්වා දැඩි සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහිදී කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි අතර, මුහුද ක්ෂණිකව රළු විය හැකියි.
මේ නිසා ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කළා.
එමෙන්ම, මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන පිරිස්වලට ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.
මේ අතර, නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් සියය (100) දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළා ෴
******************************************
(22.05.2021 – news.navy.lk)
කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 21 වන දින නිකුත් කළ පුවත හා සබැඳේ.
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි 2021 මැයි 20 වන දින ඇති වු ගින්න අද (2021 මැයි 22) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මේ වන විට පාලනය කරමින් සිටියි.
2021 මැයි මස 21 වන දිනද, නාවික හමුදාවේ, වරාය අධිකාරියේ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගොස් ආපදා තත්ත්වය පිලිබඳ වැඩිදුර අධීක්ෂණය කරන ලදි. තවද නෞකාවමත ඇති බහාලුම් වලට ඉහලින් විටින් විට ගිනි දළු නිරික්ෂණය වන අතර, මේ වන විට වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවන් 03 ක් මගින් ගින්න ඇති වූ බහාලුම් අවට උෂ්ණත්වය පාලනය කිරීම සඳහා සිසිලන ක්‍රියාවලිය සිදු කරමින් සිටි.
මෙම ගින්න පාලනය කිරීමේ මෙහෙයුමට සහය වීම සඳහා නාවික හමුදාවේ ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාව සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ තවදුරටත් ස්ථානගත කර ඇති අතර, ඇති වන ඕනෑම හදිසි තත්ත්වයකදී ක්ෂණිකව ක්රීයාත්මක වීම සඳහා නාවික හමුදා ටග් යාත්‍රාවක් ද නාවික හමුදාව විසින් සූදානමින් තබා ඇත ෴
(22.05.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමකට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න නිවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ සඳහා ඊයේ (21) ශ්‍රී ලංකා ගුවන් හමුදාවද එක්වූ අතර, බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙහෙයුම් සඳහා යොදවනු ලැබුවා.
එමඟින් ගිනි නිවීමේ වියලි රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 425 ක් සාර්ථකව නෞකාව මතට හෙලූ බව ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂවරයා නිවේදනය කළා.
ගින්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ නාවික හමුදාවේ මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් පිරිසක් අදාළ නෞකාව ආසන්නයට ඊයේ (21) දහවල් ළඟා වුණා.
සිංගප්පූරු සමාගමකට අයත් මෙම නෞකාවේ බහාළුමක රසායන ද්‍රව්‍ය කාන්දුවීමක් ගින්නට හේතුව බව සඳහන්.
නෞකාව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ හසීරා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කර තිබූ අතර මේ වනවිට එම නෞකාව කොළඹ, වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් නැංගුරම්ලා තිබෙනවා.
නෞකාව පිලිපීන, චීන, ඉන්දීය සහ රුසියානු ජාතිකයින්ගෙන් සමන්විත 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විතයි.
එහි නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමඟ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාළුම් 1486 ක් තිබෙන බව සඳහන්.
ගින්න හේතුවෙන් නෞකාවේ සමතුලිතතාවයට බලපෑමක් නොමැති බවද නාවික හමුදාව වැඩිදුරටත් කියා සිටියා.
ගින්න පාලනය කිරීමේ මෙහෙයුම්වලට තවදුරටත් නාවික හමුදාවේ සහ වරාය අධිකාරියේ ඩෝරා යාත්‍රා දෙකක් (2) සහ නෞකා දෙකක් (2) යොදවා තිබෙනවා ෴
******************************************
(22.05.2021 – 09:51 +0530 – hirunews.lk/sinhala)
දඹුල්ල නගරයේ පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙකු නගරවාසීන් සහ පොලිසිය එක්ව අද (22) උදෑසන දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට පොහොර බෑගයක පුද්ගලයකු සිටින බවට දැක ඇති අයෙක් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමෙන් පසුවයි ඔහු සොයාගෙන ඇත්තේ.
මෙම තරුණයා මාවතගම ප්‍රදේශයේ පදිංචි ගාමිණී දිසානායක නැමැත්තෙකු බවට අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මොහු කුමන කාරණයක් සඳහා දඹුල්ලට පැමිණියේ ද, කුමක් හෝ කරදරයක පැටලී ඇද්ද යන්න සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් තවමත් අනාවරණය වී නැහැ.
@@@@@@@@@@@@@@@@@
(22.05.2021 – 06:15 +0530 – hirunews.lk/sinhala)
තවත් කොවිඩ්-19 ආසාදිත මරණ 44 ක් මෙරටින් වාර්තා වනවා.
මෙම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි.
මෙම මරණ 44 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1,132 ක් දක්වා ඉහළ ගියා.
ඊයේ (21) මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 44 අතරින් 30 දෙනෙකු පිරිමි පුද්ගලයින් වනවා.
මියගිය පුද්ගලයින් අතරින් 23 දෙනෙකු වයස අවුරුදු 71 ඉක්මවූවන් වන අතර, වයස අවුරුදු 61 ත්, 70 ත් අතර 11 දෙනෙකුද ඒ අතර වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
වයස අවුරුදු 51 ත්, 60 ත් අතර 07 දෙනෙකු, වයස අවුරුදු 31 ත්, 40 ත් අතර දෙදෙනෙකු (2) සහ වයස අවුරුදු 21 ත්, 30 ත් අතර එක් අයෙකුද (1) එම පිරිස අතර වනවා ෴
++++++++++++++++++++++
(22.05.2021 – 06:31 +0530 – hirunews.lk/sinhala)
නිරෝධායන නීතිය කඩකළ තවත් පුද්ගලයින් 423 දෙනෙකු ඊයේ (21) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළා.
මෙයින් පුද්ගලයින් 65 දෙනෙක් මහනුවර ප්‍රදේශයෙන් සහ පුද්ගලයින් 98 දෙනෙකු මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ සමඟ මේ දක්වා නිරෝධායන නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් ගණන 11,743 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴
+++++++++++++++++++++
(22.05.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)
දිවයිනම ආවරණය වන පරිදි පනවා ඇති දැඩි සංචරණ සීමා මේ වනවිට ක්‍රියාත්මකයි.
ඊයේ (21) රාත්‍රී 11 ට ආරම්භ කළ එම සංචරණ සීමා ලබන අඟහරුවාදා (25) අලුයම 4 ට තාවකාලිකව ඉවත් කෙරෙනු ඇති.
අනතුරුව, එදිනම (25) රාත්‍රී 11 ට නැවතත් දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙනවා.
එය ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 28 වන සිකුරාදා අලුයම හතරට (4) යි.
සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාවේදී නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරින් 22,000 ක් යොදවා තිබෙනවා.
සංචරණ සීමා පනවා තිබුණ ද අත්‍යාවශ්‍ය සේවා, ඩිලිවරි, ඉදිකිරීම් කටයුතු හා කෘෂිකර්මාන්ත කටයුතු සඳහා සීමා පනවා නැහැ.
මේ අතර, දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති මෙම කාලයේදී අත්‍යාවශ්‍ය සේවා රථවල රියදුරන් වුවත්, මාර්ග නීතිවලට අනුගතව ක්‍රියාකළ යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළා.
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ලබන 24 සහ 25 යන දෙදින දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බවයි.
එසේම, ලබන 27 සහ 28 යන දෙදින ද ගොවීන්ගේ නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රියාවලිය සඳහා ආර්ථික මධ්‍යස්ථාන 07 ක් විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව, දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ හා ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස විවෘතව තැබෙනවා.
සංචරණ සීමා පනවනු ලැබුව ද, ධීවර කටයුතුවලට සහ මත්ස්‍ය තොග වෙළඳාමට අවහිරතාවක් නොමැති බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.
මේ අතර, සංචරණ සීමා පැනවෙන කාලසීමාව තුල ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් නොවන පරිදි අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (21) බලධාරින්ට උපදෙස් ලබා දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡාවේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ ලබන ජුනි මාසය අග වනවිට මෙරට සැලකිය යුතු පිරිසක් එන්නත්කරණයට ලක්කළහොත් එම කාලසීමාව වනවිට වෛරස් ව්‍යාප්තිය අවම කර ගත හැකි බවයි ෴
++++++++++++++++++++++++
(22.05.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා මර්දන කටයුතුවල නිරත හෙද හෙදියන්ට බලපා ඇති ගැටලු මැයි 31 වනදාට පෙර නොවිසඳන්නේ නම්, හෙද හෙදියන්ට අදාළ නොමැති සියලු රාජකාරි වලින් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ හෙද කාර්ය මණ්ඩලයට බලපා තිබෙන ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරින් දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව විශේෂ නිවාඩු, ගර්භනී නිලධාරිනියන්ගේ ආරක්ෂාව, රුපියල් 5000 ක අතුරු දීමනාව, නිවාඩු දින දීමනා, ආසාදිත සහ නිරෝධායනයට ලක්වන හෙද හෙදියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ඇතුළු අදාළ ගැටලු විසඳිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 16 ක් ද ඊයේ (21) නිවේදනයක් නිකුත් කරමින් මැයි 31 ට පෙර ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් නොලැබෙන්නේ නම්, නැවත දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ප්‍රකාශ කළා.
ජාතික විදුලිබල පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ සේවකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් අදාළ ඉල්ලීම් සිදුකර ඇති බවයි එම නිවේදනයේ දැක්වුණේ.
විදුලිබල මණ්ඩල සේවකයන් එන්නත්කරණය, වෛද්‍යාධාර ක්‍රමවේදයන්, දිරිදීමනා සහ කොරෝනා ආසාදනය වී සේවකයෙකු මියගියහොත් යැපෙන්නන් වෙත ප්රතිලාභ ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් ඔවුන්ගේ ඉල්ලීම් අතර වනවා ෴
+++++++++++++++++++++
(22.05.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)
පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කළද, නිවසේ සාමාජිකයින් පමණක් සම්බන්ධ කරගෙන වෙසක් සැරසිලි සිදුකිරීමට බාධාවක් නොමැති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ ඊයේ (21)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා මේ බව කියා සිටියා ෴
++++++++++++++++++++
(22.05.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා ආසාදිතයින් 3,547 දෙනෙකු ඊයේ (21) අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 158,333 දක්වා ඉහළ ගියා.
රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් 1,828 දෙනෙකු ඊයේ (21) දිනයේදී සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
එය දිනකදී සුවය ලැබූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද වන අතර, ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 125,360 ක්.
මේ අතර, බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය අඩු කිරීමට පියවර ගැනීමක් ලෙස නව ඇප මාර්ගෝපදේශ ඇතුළත් ලිපියක් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව, හෙරොයින් සම්බන්ධව නඩු පැවරීමේදී හෙරොයින් ග්‍රෑම් 02 කට වඩා අඩුවන අවස්ථාවලදී යන කාණ්ඩයට පසුව හෙරොයින්වල දළ බර ප්‍රමාණය ග්‍රෑම් 2 ත් 4 ත් අතර යනුවෙන් ඇප ලබාදීම සඳහා නව කාණ්ඩයක් හඳුන්වාදීම සුදුසු බවයි නීතිපතිවරයා දන්වා ඇත්තේ.
එසේම, හෙරොයින් පානය සඳහා ඇබ්බැහිවූවන් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් ද නීතිපතිවරයා ඇප සංශෝධන, උපදෙස් ලබාදී තිබෙනවා.
තවද, වසරක සිරදඩුවමකින් දඩුවම් කල හැකි වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන අවස්ථාවන්වලදී අධිකරණයට ඉදිරිපත් කරන මුල් අවස්ථාවේදීම ඇප ලබා දීමට විරුද්ධවීම සඳහා සුවිශේෂී කරුණු නොමැති නම් එය අධිකරණයට වාර්තා කළ යුතු බවයි නීතිපතිවරයා දන්වා ඇත්තේ.
මීට අමතරව, තවත් කරුණු කිහිපයක් නීතිපතිවරයා නිර්දේශ කර ඇති අතර, සුදුසු පසු අවස්ථාවකදී නැවත සමාලෝචනය කිරීමට බාධාවක් නොවන බව ද නීතිපතිවරයා පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴