විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් භාර ගැනීම අනිද්දා (21) සිට ඇරඹේ

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් භාර ගැනීම අනිද්දා (21) සිට ඇරඹේ

*********************************************

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් භාර ගැනීම අනිද්දා (21) සිට ඇරඹේ

(19.05.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

2020 සහ 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් භාර ගැනීම මැයි මස 21 වන දා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ජුනි මස 11 වන දා දක්වා ඊට අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

ඒ අනුව සිසුන් විසින් සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයේ ඡායාපිටපතක් ගෙන අත්සන් තබා සහතික කොට apply2020@ugc.ac.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු වනවා ෴

University Grants Commission – Sri Lanka
https://ugc.ac.lk/

******************************************

(19.05.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමඟ තම වගාවන් සිදුකර ගත නොහැකි බවට ගොවීන්මැසිවිලි නඟනවා.

එවන් පසුබිමක සාර්ථක ලෙස කාබනික පොහොර නිපදවන අපූරු වැවිලිකරුවෙකු මාතලේ මහවෙල ප්‍රදේශයෙන් අපට හමුවුණා.

මේ පුෂ්පකුමාර ගමගේ මහතා.

මාතලේ, මහවෙල, රතලවැව ප්‍රදේශයේ අක්කර 33 ක පමණ විශාල භූමියක ඔහු ඉතා සාර්ථක ලෙස කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් සහ කුළු බඩු ශාඛ වගා බිමක් පවත්වාගෙන යනවා.

කර්මාන්ත ශාලාවලින් බැහැර කෙරෙන ජලය මෙන්ම ගලි බවුසර්, සහ ගොවිපොළ අපද්‍රව්‍යද උපයෝගී කර ගනිමිනුයි ඔහු මෙම පොහොර නිෂ්පාදනය සිදුකරන්නේ.

කඳු සහිත අක්කර 33 ක භූමිය තුළ පියවරෙන් පියවර අපද්‍රව්‍ය පොහොර බවට පත්කරමින් තම වගා බිමේද සරුසාර අස්වැන්නක් ලබාගැනීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.

පුෂ්පකුමාර මහතා විසින් පවත්වාගෙන යනු ලබන මෙම කාබනික පොහොර නිෂ්පාදන ආයතනය තවත් සේවකයන් 12 දෙනෙකුට රැකියා අවස්ථාද හිමිකරදීමට සමත්වීම විශේෂත්වයක්.

මේ අතර තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර නොමැතිවීමෙන් තම අස්වැන්න පහත බැස ඇති බවට ගාල්ල, කළුතර තේ වතු හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

******************************************

(19.05.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

මේ මෙරට වානිජ අගනුවර වන කොළඹ නගරයේ අතිශය ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති කොළඹ 2 වෑකන්ද මහල් නිවාස සංකීර්ණයයි. මෙහි ඇති මහල් නිවාස ගණන 114 ක්.

1972 ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණයේ වත්මන් තත්ත්වයයි මේ.

වෑකන්ද නිවාස සංකීර්ණයේ බිත්ති දැඩිසේ අබලන්ව ඇති අතර ගොඩනැගිලි මත ගස් පවා පැළ වී ඇති ආකාරය දැකිය හැකියි.

පවුල් 300 ක පමණ පිරිසක් ජීවත්වන මෙම නිවාස සංකීර්ණයේ ළමුන්ද 100 ක් පමණ ජීවත් වනවා.

ඔවුන්ගේ ජීවිත වලට ද මේ හේතුවෙන් එල්ලව ඇති අවදානම සුළු පටු නැහැ.

තමන් මුහුණදී ඇති මෙම ජීවිත අවදානම පිළිබඳව බලධාරීන්ගේ අවධානයට යොමුකළද නිසි විසඳුමක් නොලැබුණු බවට වෑකන්ද මහල් නිවාසයේ පදිංචිකරුවන් චෝදනා කරනවා.

මීට වසර කිහිපයකට පෙර මීතොටමුල්ල කසළ කන්දක් නාය ගොස් ජීවිත බිළිගත් ඛෙදවාචකයට නොදෙවෙනි ව්‍යසනයක් යළි ඇති වීම වළක්වා ගැනීම බලධාරීන් සතු වගකීමක් නොවේද?

රතු මිනිත්තුව අවධානයෙන්.

******************************************

(19.05.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ, කොවිඩ් රෝගය ද පැතිරෙමින් පවතින අවස්ථාවක කිසියම් පුද්ගලයෙකුට උණ තත්ත්වයන් පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි ෴

******************************************

(19.05.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ අද (19) උදෑසන පැවති විරෝධතාව සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා බී වාර්තාවක් මගින් කොළඹ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

එම බී වාර්තාවේ සඳහන්ව ඇත්තේ අදාළ විරෝධතාකරුවන් ‘පෝට් සිටි’ පනතට එරෙහිව මෙලෙස විරෝධතාවයේ නිරතවූ බවයි.

එමෙන්ම එහිදී නිරෝධායන නීති උල්ලංඝණය වන ආකාරයට කටයුතු කර ඇති බවත් එම බී වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා සී.සී.ටී.වී. කැමරා දත්ත උපයෝගී කර ගනිමින් එම විරෝධතාව මෙහෙයවූ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

‘පෝට් සිටි’ පනතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති ඇතුලු ක්‍රියාකාරීන් පිරිසක් අද (19) උදෑසන 10 ට පමණ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක නිරතවුනා ෴

@@@@@@@@@@@@@@@@

(19.05.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. දික්ඔය මූලික රෝහලේදී අද (19) සිදුකළ කොරෝනා පරීක්ෂණයකදියි ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ. ඒ අනුව මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් කිහිප දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

++++++++++++++++++++++

(19.05.2021 – 16:13 +0530 – hirunews.lk/sinhala)

21 වනදා සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වනදා සඳුදා මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම කාලසීමාව තුලදී කිසිදු සංචාරකයෙකුට හෝ ගුවන් මගියෙකුට මෙරටට ඇතුලුවීමට අවසර ලැබෙන්නේ නැහැ.

කෙසේවෙතත් තවදුරටත් මෙරටින් පිටත්වන ගුවන් මගීන් සඳහා සැලසුම් කළ පරිදිම සේවාවන් සැපයෙන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.

මෙම කාලසීමාව තුලදීත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා සඳහා සියලු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළා.

රට තුල සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ විශේෂයෙන්ම පිටරට සිට මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ගෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රට තුලට ඇතුලුවීම වළක්වාලීමේ පියවරක් ලෙසටයි මෙම තීරණය ගෙන ඇත්තේ.

++++++++++++++++++++++

(19.05.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ පහක (5) තොගයක් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදීමට චීන රජය කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව එම එන්නත් තොගය මේ මාසයේදීම මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බවයි ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

කොරෝනා වෛරසය මර්දනයට ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සොයා බලා කඩිනම් වාර්තාවක් ලබාගැනීමට සහ ඇණවුම් කිරීමට අදාළව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවට විශේෂඥ වෛද්‍යවරුන් වන ආනන්ද විජේවික්‍රම, හසිත තිසේරා සහ ප්‍රසන්න ගුණසේන යන මහත්වරු ඇතුළත් බවයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ.

එමෙන්ම කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමේදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පළමු (1) මාත්‍රාව ලෙස ගත් පුද්ගලයන් සයිනොෆාම් එන්නත ලබාගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

එවැනි සිද්ධීන් ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල්ඩ් මහතා කියා සිටියේ.

කිරිදෙන සහ ගර්භනී මව්වරුන්ට එන්නත් ලබාදීමට ද අනුමැතිය ලබාදී ඇති බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළේ.

එමෙන්ම, ගර්භනී මව්වරුන්ට හදිසි තත්වයකදී සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වුවද ගර්භනී සටහන් පොත ඉදිරිපත් කර රෝහල් කරා යාමට හැකියාව පවතින බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ ෴

තවත් කොවිඩ් අසාදිතයින් 1,222 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ මුළු සංඛ්‍යාව 122,367 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා ෴

මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින බැවින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවලින් සේවා ලබා ගැනීමට එම දින දෙකෙහි වේලාව වෙන්කරගත් අයට මැයි 31 සහ ජුනි 01 අදාල සේවා ලබාගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

++++++++++++++++++++++

(19.05.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ලොව විවිධ රටවල් මේ වන විට අත්හදා බලනු ලබන නව ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදීමට විශේෂඥ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර තිබේනවා.

මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සහ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරු ඇතුළත්.

මෙම කමිටුව විසින් එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ මේ වන විට සායනිකව අත්හදා බලනු ලබන ඖෂධ සම්බන්ධයෙන් සොයා බැලිමට නියමිතයි.

මෙම කමිටුවෙන් ලබාදෙන නිර්දේශවලට අනුව කොරෝනා රෝගය මර්දනය කිරීමට නිපදවනු ලබන ඖෂධ සහ නව ප්‍රතිකාර ක්‍රමවේද කඩිනමින් මෙරටට ලබා ගැනීම සඳහා වන මිලදී ගැනීම් ක්‍රමවේද ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරිය සඳහන් කලේ.

+++++++++++++++++++++

(19.05.2021 – 18:36 +0530 – hirunews.lk/sinhala)

අද (19) කොවිඩ්-19 ආසාදිතයින් 3051 ක් මේ දක්වා වාර්තාවී තිබෙනවා. මෙම සංඛ්‍යාව එක් දිනක් තුල මෙරටදී මෙතෙක් වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 150,771 ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 27,389 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 122,367 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා මරණ 1015 ක් ද වාර්තාවී තිබෙනවා.

++++++++++++++++++++++

(19.05.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

‘අලුත් අවුරුදු පොකුර’ ආශ්‍රිතව මේ වනවිට මරණ 412 ක් වාර්තාවී තිබෙනවා.

ඒ, දින 34 ක් වැනි කාලයක් තුළ වීම විශේෂත්වයක්. ඊයේ (18) මරණ 34 ක් මෙරටින් වාර්තා වූ අතර, එය දිනක් තුළ මෙරට වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

ඉන් 32 නෙකුම මිය ගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. ගෙවුණු සතිය තුළ පමණක් කොරෝනා මරණ සංඛ්‍යාව 165 ක් වාර්තා වී තිබෙනවා.

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කියා සිටියේ කොරෝනා තුන්වන (3) රැල්ල ආරම්භ වීමෙන් පසු මේ දක්වා ගැබිණි මව්වරුන් 5 දෙනෙකු ද මිය ගොස් ඇති බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ගම්පහ ප්‍රදේශයේදී අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිනොපදින්නේ නම්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *