චීන එන්නත පිළිබඳ ප්‍රධාන ගැටලු 05 ට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිතුරු දෙයි

චීන එන්නත පිළිබඳ ප්‍රධාන ගැටලු 05 ට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිතුරු දෙයි

*********************************************

චීන එන්නත පිළිබඳ ප්‍රධාන ගැටලු 05 ට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිතුරු දෙයි

(17.05.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

  • සිනොෆාම් (Sinopharm) එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද?
  • ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද?
  • වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද?
  • සිනොෆාම් (Sinopharm) එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි?
  • සිනොෆාම් (Sinopharm) සාර්ථක එන්නතක් ද?

මේ චීන සිනොෆාම් (Sinopharm) එන්නත පිළිබඳව බහුලව නැගෙන ප්‍රශ්න කිහිපයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැටලු වලට පිලිතුරු සපයා තිබුනේ මෙලෙසින් :

  1. සිනොෆාම් (Sinopharm) එන්නතෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකිද ?

සිනොෆාම් (Sinopharm) එන්නතෙහි අඩංගු වන්නේ සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දමන ලද වෛරසයක්. මේ නිසා ශරීරය තුළදී කිසිම ලෙසකින් ක්‍රියා කිරීමට හෝ ගුණනය වීමට මෙයට හැකියාවක් නෑ. ඒ නිසා මෙමගින් රෝගය වැළඳීමට කිසිසේත්ම හැකියාවක් නැහැ.

  1. සිනොෆාම් (Sinopharm) එන්නත ලංකාවේදී ගැබිණි මාතාවන්ට ලබා නොදෙන්නේ ඇයි ?

මෙයට හේතුව ගැබිනි මාතාවන් අතරෙහි මේ එන්නත භාවිතා කිරීම පිළිබඳ පර්යේෂණ දත්ත තවමත් ප්‍රමාණවත් අයුරින් වාර්තා වී නොතිබීමයි. කෙසේ වුවත් එන්නතෙහි ස්වභාවය හා සංඝටක සලකා බලන විට, ගර්භනී මව්වරුන් අතරෙහි ද එහි ක්‍රියාකාරිත්වය හා ආරක්ෂාකාරී බව නොවෙනස්ව පවතිනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරනවා.

ඉදිරියේදී මෙම එන්නත ගැබිනි මව්වරුන්ටත් ලබා දෙනවාද, ලබා දෙන්නේ කුමන අවස්ථාවලදීද, යන කරුණු, එන්නත සම්බන්ධයෙන් යාවත්කාලින වන නවතම දත්ත පදනම් කරගනිමින් වසංගත රෝග විද්‍යායතනය විසින් තීරණය කෙරෙනවා ඇති.

  1. ඉදිරියේදී මව් පදවිය අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට එන්නත ලබා ගැනීමෙන් ගැටලු ඇති වේ ද ?

එන්නත ලබා දීමට ප්‍රථම ගර්භණී බව පරික්ෂා කිරීමට අවශ්‍යතාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නැහැ. මේ එන්නත කිසිම ලෙසකින්වත් මදසරුභාවයට හේතු වීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඉදිරියේදී මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් මෙම එන්නත ලබා ගැනීමට කිසිදු බාධාවක් නෑ. ගර්භනී තත්ත්වය තුළ දී කොවිඩ් රෝගය බලපෑ හැකි ආකාරය සළකා බලද්දි එයට පෙර එන්නතෙන් ආරක්ෂාවක් ලබා ගැනීම ඉතා නුවණැති ක්‍රියාවක් බව පෙනෙනවා.

  1. වයස අවුරුදු 60 න් ඉහළ පුද්ගලයන් සඳහා එන්නත සුදුසුද ?

මෙම එන්නත පිළිබඳව සිදුකරන ලද සායනික පරීක්ෂණ වලදී මෙම එන්නත කිසිදු වයස් කාණ්ඩයකට ගැටලුවක් ඇති කරන බවක් වාර්තා වී නැහැ. නමුත් ඒ සඳහා යොදාගෙන ඇති නියැදියේ වයසින් වැඩි පුද්ගලයින් සංඛ්‍යාව අඩුවීම නිසා ලංකාවට මුලින්ම මෙම එන්නත හඳුන්වා දෙන අවස්ථාවේ දී වැඩිහිටි පුද්ගලයින් සඳහා එය අනුමත කළේ නැහැ. නමුත් දත්ත තවදුරටත් සලකා බැලීමේදී සහ ලංකාවේ දැනට රෝගය පැතිරීගෙන යන අවදානම සලකාබලා කිසිදු රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැති අවුරුදු 60 ට වැඩි සියල්ලන් සඳහා ද මෙම එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඉහත කරුණු සියල්ලෙන්ම පැහැදිලි වෙන්නේ මහජනතාවට එන්නත් ලබාදීම පිළිබඳ තීරණය ගනු ලබන්නේ අන්තර්ජාතික මට්ටමෙන් මෙන්ම දේශීය විද්වතුන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් බව. නවතම දත්ත භාවිතා කරමින් සහ රටේ වසංගත ස්වභාවය අධ්‍යයනය කරමින් එන්නතක් ලබා දීමට තීරණය කරන්නේ ඉන් රෝගයට එරෙහිව ලැබෙන ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගවීමක් සහිතවයි.

  1. සිනොෆාම් (Sinopharm) සාර්ථක එන්නතක් ද?

කොවිඩ් රෝගය වැළැක්වීම සඳහා සිනොෆාම් (Sinopharm) සාර්ථක එන්නතක් බව නවතම පර්යේෂණ දත්ත ඉතාමත්ම පැහැදිලිව පෙන්නුම් කරනවා. මෙම එන්නත දැනටත් භාවිතා කර ඇති බහරේන් වැනි රටවල නිරීක්ෂණ දත්ත ආශ්‍රයෙන් මෙම කාරණාව තවදුරටත් තහවුරු වෙනවා.

රටකට එන්නතකින් පමණක් වසංගත තත්ත්වයෙන් ගොඩ එන්න බැහැ. අනෙකුත් ආරක්ෂාකාරී පියවර ද මනාව අනුගමනය කළ යුතුයි. ඒ කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පිටුදැකීමේ සටනේ දී එන්නත්කරනය අපට ඇති ප්‍රබලම ආයුධයක් වෙනවා. ගෝලීය වශයෙන් විශාල එන්නත් හිඟයක් පවතින මේ අවස්ථාවේ, රටට එන්නත් ලැබෙන්නේ මහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් විදිහටයි.

එන්නත් කරණය කර ගැනීමට ඔබට යම්කිසි අවස්ථාවක් ලැබුනහොත් ලැබුණ පළමු අවස්ථාවෙන් ම එයට යොමු වීම වැදගත් වන්නේ ඒ නිසයි ෴

++++++++++++++++++++++++++

(17.05.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් විසිදෙනෙකු (20) ආරම්භ කර තිබූ විරෝධතාව අවසන් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.

බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මත නැගී ඔවුන් විරෝධතාවයේ නිරතවුණේ කොරෝනා පරීක්ෂණ සිදුකරන ලෙස සහ කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් ෴

++++++++++++++++++++++

(17.05.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

පාසල් වසා දමා ඇති අවස්ථාවේ සිසුන් සදහා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබාදීමේදි අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන්ට අනවශ්‍ය බලපෑම් සිදුකරමින් සිටින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ දිගින් දිගටම එවැනි බලපෑම් සිදුකලහොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ෴

++++++++++++++++++++++

(17.05.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ ඇඳන් සහ රෝහල් ඉදිකිරීම කොරෝනා වෛරසය පාලනය කිරීමට විසඳුමක් නොවන බවයි.

එමෙන්ම කොරෝනා රෝගීන් නිවෙස් තුල නිරෝධායනය පිළිබඳව ද එහිදී ඔහු අදහස් පළ කර සිටියා.

නමුත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ නිවෙස් තුළ නිරෝධායනය සම්බන්ධයෙන් තවමත් රජය විසින් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති බවයි ෴

+++++++++++++++++++

(17.05.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත පුද්ගලයින් නිවෙස් තුළ නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ ඇඳන් සහ රෝහල් ඉදිකිරීම කොරෝනා පාලනය සඳහා විසඳුමක් නොවන බවයි.

මේ අතර, ඊයේ (16) දිනයේදී වාර්තා වූ ආසාදිතයින් 2275 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 438 ක්.

මීට අමතරව ගෙවුණු දිනයේ දිස්ත්‍රික්ක 25 න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 438 දෙනාගෙන් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මිරිහාන ප්‍රදේශයෙන්.

එම සංඛ්‍යාව 56 ක්. මීට අමතරව ගෙවුණු දිනයේ පිළියන්දල ප්‍රදේශයෙන් ද ආසාදිතයින් 42 නෙකු හඳුනා ගැනුණා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 410 ක් ඊයේ (16) දින වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ බියගම ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 173 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන්ද ගෙවුණු දිනයේ ආසාදිතයන් 241 දෙනෙක් වාර්තාවී තිබෙනවා.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 261 ක්, කුරුණෑගලින් ආසාදිතයන් 100 ක්, නුවරඑළියෙන් ආසාදිතයන් 179 ක් සහ මහනුවරින් ආසාදිතයන් 138 ක්ද ඊයේ (16) වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,42,746 ක්.

එමෙන්ම ඊයේ (16) දිනයේදී මෙරටින් කොරෝනා මරණ 21 ක් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 962 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා වෛසරය ආසාදනය වීමෙන් සළුසල සහ ලක්සල යන ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා ද අද (17) උදෑසන ජීවිතක්ෂයට පත්වුණා. වේරහැර කොතාලවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේදී මියයනවිට ඔහු 59 හැවිරිදි වියේ පසුවුණා.

මේ අතර, කොරෝනා පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලා බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් 20 දෙනෙකු වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ආරච්චිකට්ටුව සෞඛ්‍ය බලප්‍රදේශයේ නිවෙස් කිහිපයක ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්ට අහඹු ලෙස සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

දකුණු පළාත් ඩිපෝ කිහිපයක සේවකයින් 12 දෙනෙකුටද ඊයේ (16) දිනය වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් කොන්දොස්තරවරුන් සහ රියදුරන් බවටයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ අතර බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කොරෝනා එන්නත් ලබාදීමේ වැඩසටහන අද (17) දිනයේදීත් ක්‍රියාත්මකයි.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 3,75,316 කට ලබාදී තිබෙනවා.

කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ඇඳන් 100 කින් සමන්විත නව ප්‍රතිකාර ඒකකයක් යුද හමුදාව, නුවරඑළිය දිස්ත්‍රික් යොවුන් සේනාංකය හා එක්ව රිකිල්ලගස්කඩ ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටියේ ඉදිකර තිබෙනවා.

කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සේවා පුලුල් කිරීමේ වැඩසටහන යටතේ ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඇඳන් දස දහසක (10,000) ව්‍යාපෘතිය දින 10 කින් සම්පූර්ණ කිරීමට ඊට සම්බන්ධ වූ ස්වේච්ඡා ප්‍රජාව සමත්වූ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය හත්වනදා (07) ආරම්භ කළ එම ව්‍යාපෘතිය යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දායක වූ පිරිස් නව ඇඳන් 16,000 ක් පමණ සකස් කිරීමට සමත්වී ඇති බවයි.

කොවිඩ් ආසාදිත පුද්ගලයින් ඔවුන් පදිංචි ප්‍රදේශයට ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන හා අතරමැදි මධ්‍යස්ථාන වෙත යොමුකර ප්‍රතිකාර ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා ෴

+++++++++++++++++++++

(17.05.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

මුළු දිවයිනටම දින 03 ක් සඳහා පැනවූ සංචරණ සීමා අද (17) අළුයම අවසන් වීමෙන් පසු ජන ජීවිතය සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් රැකියා සඳහා පැමිණි පිරිස් චෝදනා කළේ නියමිත පරිදි ප්‍රමාණවත් දුම්රිය සහ බස් රථ සේවා ක්‍රියාත්මක නොවු බවටයි.

අද (17) පෙරවරුවේ දුම්රිය 53 ක් ධාවනයේ යෙදීමට සැලසුම් කර තිබුණත් ධාවනය කර තිබුණේ දුම්රිය 10 ක් පමණක් බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ.

මහනුවර, මහව, රඹුක්කන, හලාවත සහ බෙලිඅත්තේ සිට කොළඹ දක්වා අද (17) විශේෂ දුම්රිය 5 ක් ධාවනයට යොදවා තිබුණ ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ඒවා අවලංගු කළ බවයි. ඊට හේතුව වී තිබුණේ දුම්රිය සේවකයින් පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණවීමට උත්සාහ කිරීමයි.

කෙසේ වෙතත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා කියා සිටියේ මෙම දුම්රියන්ගෙන් මහව සිට පැමිණෙන දුම්රිය හැර සෙසු දුම්රිය කොළඹ දක්වා පැමිණි බවයි.

මේ අතර, මඟීන් සඳහා බස් රථ වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කරන බවට ප්‍රකාශ කළද බස් රථ ප්‍රමාණවත් පරිදි නොතිබූ බවට මගීන් චෝදනා කරනවා.

++++++++++++++++++++++

(17.05.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ට සහන මළු බෙදීමේදී ඇල්කඩුව – තාලිංගාමඩ වසමේ ග්‍රාම නිලධාරීවරියට, උකුවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරියක් විසින් සිදුකළ බව කියන පහරදීමකට විරෝධය පළ කරමින් අද (17) මාතලේ – උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරීන් සේවා කටයුතුවලින් ඉවත්වී සිටිනවා.

ඊට සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ද සහය පළ කරමින් සේවා කටයුතුවලින් ඉවත්වී ඇති බවටයි වාර්තාවන්නේ.

අදාළ මන්ත්‍රීවරිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි උකුවෙල ග්‍රාම නිලධාරි සුසන්ත ජෝතිපාල මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(17.05.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල හා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන, පෑලියගොඩ මැනිං පොදු වෙළඳපල සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද (17) යළි විවෘත කිරීමත් සමඟ එම ආර්ථික මධ්‍යස්ථානවලට ගොවීන් සහ වෙළඳුන් රැසක් පැමිණ සිටිනු දක්නට ලැබුණා.

ඇතැමුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා කටයුතු කරන අයුරු දක්නට ලැබුණු බවයි එම මධ්‍යස්ථානවලට ගිය හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

පසුගිය දින කිහිපයේම ආර්ථික මධ්‍යස්ථානවලට ගොවීන් එළවළු තොග ගෙනවිත් තිබුණද ගැනුම්කරුවන් නොපැමිණීම හේතුවෙන් ඔවුන් අර්බුද රැසකට මුහුණ දුන්නා.

එවැනි තත්ත්වයක් හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එනු ලැබූ එළවළු රජය විසින් මිලදී ගනු ලැබූ අතර ඇතැම් ආර්ථික මධ්‍යස්ථාන වලට ගෙන එනු ලැබූ තොග නොමිලේ ජනතාව අතර බෙදා දීමටයි ගොවීන්ට සිදුවුණේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (17) දින විවෘත වුවද ඊට පැමිණීමට අවස්ථාව හිමිවූයේ මාතලේ දිස්ත්‍රික්කයේ අලෙවිකරුවන්ට පමණයි.

එහෙත් නුවරඑළියේ සිට එළවළු තොග රැගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් කිහිප දෙනෙකු පොලිස් නිලධාරීන් මාතලේ – බලකඩුව ප්‍රදේශයේදී නතර කිරීමට පියවර ගනු ලැබුවා.

ඔවුන් ඊයේ (16) රාත්‍රි 9 ට පමණ එම ස්ථානයට පැමිණ තිබූ අතර, අද (17) උදෑසන වනතුරුත් එහි රැඳී සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුලුවීමේ අරමුණින්.

කෙසේ වෙතත් මෙම පිරිස යලි හරවා යැවීමට පොලිසිය කටයුතු කළා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයද අද (17) විවෘත කෙරුණු අතර තොග වෙළදුන් රැසක් පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයටද ගොවීන් සහ ගැණුම්කරුවන් විශාල පිරිසක් පැමිණ සිටින අයුරු අද (17) දක්නට ලැබුණා.

එමෙන්ම වෙනත් දිනවලට සාපේක්ෂව එළවළු සහ පළතුරු තොග කිලෝ ලක්ෂ 4 ක් පමණ අද (17) ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් ගෙනැවිත් තිබූ බවයි වාර්තා වන්නේ.

@@@@@@@@@@@@@@@@@@

(17.05.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හඳුනා ගැනීම සඳහා බස්නාහිර පළාත තුළ අද (17) සිට නව මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවෙන් පොලීසිය වෙත ලැබී ඇති නව උපකරණ දෙකක් භාවිත කරමින් මෙම මෙහෙයුම් සිදුකරන බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

(17.05.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ මැයි 24 වන දා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වාලමින් අභියාචනාධිකරණය නියෝගයක් ලබාදී තිබෙනවා.

වෙලේ සුදාගේ මව ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

(17.05.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

පොහොර නොමැතිවීමෙන් හාලිඇල, කුරුකුදේගම එළවළු ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව තිබෙනවා.

කාබනික පොහොර භාවිතයට කිසිදු අකමැත්තක් නොමැති බවත්, කාබනික පොහොර භාවිතයට හුරු වන තෙක් දැනට වගා කර ඇති එළවළු වගාවන් රැක ගැනීමට ටික කාලයකට හෝ රසායනික පොහොර භාවිතයට අවස්ථාව සලසා දෙන ලෙසත් ගොවීන් රජයෙන් ඉල්ලීමක් සිටිනවා.

******************************************

(17.05.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

කාලයක් තිස්සේ විසඳුමක් නැති අලි මිනිස් ගැටුමින් ජන ජීවිතයට මෙන්ම වන අලීන්ගේ ජීවිතවලටද එල්ල කරන්නේ දැඩි තර්ජනයක්. දිනපතා ගම් වැදෙන වන අලී හේතුවෙන් ගලෙන්බිඳුනුවැව, යකල්ල, උල්පත්පාර ආදී ප්‍රදේශවල ජනතාවද මේ දිනවල දැඩි පීඩාවට පත්ව සිටිනවා.

******************************************

(17.05.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

පාලමක් නොමැති නිසා ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් වළවේ ගඟ තරණය කිරීමට සිදු වූ පිරිසක් පිළිබඳ අපට වාර්තා වුණා. මේ මොණරාගල – සෙවනගල – කුරුගම්වැටිය ගම් වැසියන්ගේ කථාවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *