දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිලධාරී වසම් 70 ක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිලධාරී වසම් 70 ක් හුදෙකලා කෙරේ

*********************************************

දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිලධාරී වසම් 70 ක් හුදෙකලා කෙරේ

(17.05.2021 – 06:14 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් අද (17) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 10 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 70 ක් මෙලෙස හුදෙකලා කිරීමටයි තීරණය කර ඇත්තේ.

එලෙස හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින් :

+++++++++++++++++++++

(17.05.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

දින 3 ක කාලයක් දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද (17) අලුයම හතරට (04:00) ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් මෙලෙස සංචරණ සීමා ඉවත් කෙරුණද, මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දින අලුයම හතර (04:00) දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් පළාත් අතර සංචරණය කිරීම තවදුරටත් සීමා වන අතර, අද (17) සිට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++++

(17.05.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා පුද්ගලයින්ට දැඩි සීමා යටතේ බස් රථ යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම මහනුවර, මහව, රඹුක්කන, හලාවත සහ බෙලිඅත්තේ සිට කොළඹ දක්වා අද (17) විශේෂ දුම්රිය 5 ක් ධාවනයට යොදවා තිබුණ ද ඒවා ධාවනය නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඊට හේතුව වී ඇත්තේ දුම්රිය සේවකයින් පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණවීමට උත්සාහ කිරීමයි.

අදාළ ප්‍රදේශවල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට කටයුතු සූදානම් කර තිබුණ ද ඊයේ (16) මධ්‍යම රාත්‍රිය ආසන්න වනතුරුත් එම දුම්රිය අදාළ දුම්රිය ස්ථාන වෙත පිටත්ව ගොස් තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, දුම්රියෙන් කොළඹට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි මගීන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(17.05.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 7 ක ප්‍රදේශ රැසක් හුදෙකලා භාවයෙන් ඉවත් කර ඇති බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ සුහදුමාවත, චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කවන්තිකුඩා ග්‍රාම නිලධාරී වසමේ විජේරත්න මාවත මෙලෙස හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝඹුවල වයඹ, බෝම්බුවල නිරිත, බෝඹුවල උතුරුමැද, බෝඹුවල දකුණ මැද, බෝඹුවල ගිණිකොණ, යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා භාවයෙන් ඉවත් කරනු ලැබුවා.

කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ කටුකැළේ, වැල්මීගොඩ ග්‍රාම නිලධාරී වසමත්, පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පිංවත්ත, පිංවත්ත බටහිර ග්‍රාම නිළධාරි වසම් ද හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම බණ්ඩාරගම පොලිස් වසමේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ රොටරිගම ප්‍රදේශය ද හුදෙකලා භාවයෙන් ඉවත් කෙරුණා.

ඊට අමතරව මඩකලපුව, නුවරඑළිය, ගම්පහ, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත්‍රික්කවල හුදෙකලා කෙරුණු ප්‍රදේශ කිහිපයක් ද අද පෙරවරුවේ සිට හුදෙකලා භාවයෙන් නිදහස් කෙරුණා ෴

+++++++++++++++++++

(17.05.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 2275 දෙනෙකු ඊයේ (16) වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 142,746 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (16) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 63 දෙනෙකුම විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින්.

ඊයේ (16) දිනයේ කොරෝනා මරණ 21 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වුණේ 962 ක් ලෙසයි.

එම මරණ 21 න් 18 කටම කොවිඩ් නියුමෝනියාව හේතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මිය ගිය පිරිස 37 සහ 82 වයස්වල පසුවන ඉමදූව, ගම්පොළ, අනුරාධපුර, මොරටුව, මීරිගම, ඉංගිරිය, බුලත්සිංහල, නෑබොඩ, බදුල්ල, ගෙලිඔය, යාපනය, හඳපාන්ගොඩ, හබරාදූව, ඇඹිලිපිටිය, නාකියාදෙනිය, ගාල්ල, කඩවත, හාලිඇල, මහයියාව, දකුණු කළුතර සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

++++++++++++++++++++++

(17.05.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන ආ ගොවීන් සහ වෙළදුන් පිරිසක් අපහසුතාවයට ලක්ව සිටින බව වාර්තා වුණා.

ඊයේ (16) රජය ප්‍රකාශ කළේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන ආ හැක්කේ මාතලේ ප්‍රදේශයේ ගොවීන්ට පමණක් බවයි.

ඒ අනුව ඊයේ (16) රාත්‍රියේ පැමිණි මොවුන්ට මාතලේ – බලකඩුව ප්‍රදේශය පසු කර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාමට මාතලේ පොලීසිය අවස්ථාව ලබා දී නැහැ.

ඒ අනුව ඊයේ (16) රාත්‍රී 9 ට පමණ එම ස්ථානයට පැමිණි ඔවුන් තවමත් එහි රැදී සිටින බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++++

(17.05.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) දිනයේත් එන්නත්කරණය සිදුවූ අතර කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1612 කට ලබාදී තිබෙනවා.

ඊට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 26,697 දෙනෙකුට ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

මේ වන විට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 267,077 කට ලබාදී ඇති අතර, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 375,316 ක් ෴

++++++++++++++++++++++

(17.05.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

ස්වභාවදහම සහ පරිසරය සමඟ ජීවත් වන්නේ නම් එලෙස ජීවත් වන්නන් ආරක්ෂා කිරීමට සොබාදහම සහ පරිසර කටයුතු කරන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කළා.

ආදිවාසී සමාජය තුළින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එසේම කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ තම සමාජයට ද එන්නත ලබාදෙන්නේ නම් ඊට එකඟත්වය පළ කරන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++++

(17.05.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවක නිරත වනවා. කොරෝනා පරීක්ෂණ සිදුකරන ලෙස සහ කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් විරෝධතාවයේ නිරත වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රැදවියන් 40 කට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටිනවා ෴

@@@@@@@@@@@@@@@@

(17.05.2021 – 06:42 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (17) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴

******************************************

(17.05.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් යකඩ පොල්ලකින් පහර දී සිය බිරිඳ ඝාතනය කර තිබෙනවා.

මහරගම, පමුණුව පාර ප්‍රදේශයේ දී ඊයේ (16) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක්.

සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාවගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත්කර තිබෙනවා ෴

******************************************

(17.05.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල – හැඩිගම ප්‍රදේශයේ දී සංවර්ධන නිලධාරිනියකට ඊයේ (16) පහරදීමක් සිදුකර තිබෙනවා. සිද්ධිය විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

******************************************

(17.05.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන වෙසක් සමය වෙනුවෙන් සැකසෙන වෙසක් සැරසිලි සඳහා පොලිතින් ප්ලාස්ටික් නිෂ්පාදන යොදා නොගන්නා ලෙස පරිසර අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, පරිසරයට මුදා හැරෙන පොලිතින් සහ ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්.

පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වාර්ෂිකව මෙරටට පොලිතින්, ප්ලාස්ටික් ආනයනය සඳහා රුපියල් කෝටි 5800 ක් පමණ වැය වන අතර එලෙස ආනයනය කෙරෙන පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 177,197 ක් බවයි.

නමුත් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාවක් ඇත්තේ ඉන් සියයට 7.1 ක් හෙවත් ටොන් 12,636 ක් පමණයි.

ඉතිරි සියයට 92.29 ම පරිසරයට මුදා හැරෙන බවයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *