කොරෝනා වැළඳුණු හතරවන (4) ගැබිණි මවත් මියයයි

කොරෝනා වැළඳුණු හතරවන (4) ගැබිණි මවත් මියයයි

*********************************************

කොරෝනා වැළඳුණු හතරවන (4) ගැබිණි මවත් මියයයි

(16.05.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් ගැබිණි මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව කොරෝනා වැළඳීමෙන් මියගිය ගැබිණි මව්වරුන් සංඛ්‍යාව හතර (4) දක්වා ඉහළ යනු ඇති.

මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාම – යායගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇගේ කුස තුළ සිටි අටමස් (8) බිළිඳාද ඊයේ (15) රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදීයි.

උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මෙම කාන්තාව පසුගිය 05 වන දා තිස්සමහාරාම – දෙබරවැව රෝහලට ඇතුළත් වී තිබෙනවා.

එහිදී සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවකදී අනාවරණ වී ඇත්තේ ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

පසුව ඇයගේ සැමියා ඇතුළු පවුලේ කිහිප දෙනෙකුට ද කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී අනාවරණ වූයේ ගැබිණි මවගේ සැමියා සහ වැඩිමහල් දියණිය ඇතුළු 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි.

කෙසේ වෙතත්, දෙබරවැව රෝහලට ඇතුළත් කෙරුණු අදාළ ගර්භනී කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදීයි ඇය ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

මෙම කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් පසුගිය දා මහරගම ප්‍රදේශයේ නිවසක පැවති සාදයකට ද සහභාගි වී තිබෙනවා.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය හේමන්ත සේනානායක මහතා සඳහන් කළේ ගැබිණි මව්වරුන් සහ ස්ථූල කාන්තා පිරිමි දෙපාර්ශවයටම කොරෝනා ආසාදනය වීමෙන් ඇති වන සංකූලතා කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බවටයි.

මේ අතර, ඊයේ (15) දිනයේදීත් මෙරටින් ආසාදිතයින් 2,386 ක් අලුතින් වාර්තා වූ අතර, ඉන් වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 338 ක්.

‘අලුත් අවුරුදු පොකුරෙන්’ කොළඹින් පිට වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි. මහනුවර නගර සීමාව ආශ්‍රීතව ආසාදිතයින් 33 දෙනෙකුත්, මැණික්හින්න ප්‍රදේශයෙන් ආසාදිතයින් 32 නෙකුත්, කටුගස්තොට ප්‍රදේශයෙන් ආසාදිතයින් 24 දෙනෙකුත් ඇතුළුව දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයකින් මෙම ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 288 දෙනෙකුත් ඊයේ (15) දින වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (15) ආසාදිතයින් 321 දෙනෙකුත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 277 දෙනෙකුත් වාර්තා වී තිබෙනවා.

මේ අතර, අද (16) දිනයේදීත් බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයකදී කොරෝනා එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වනවා. එන්නත්කරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද ඊයේ (15) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති අතර ඊට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය නිවෙස්වල සිදුකරන නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව මෙලෙස අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ රඳවාගෙන ප්‍රතිකාර කළහොත් ගැටළු පැන නැගිය හැකි බවයි.

++++++++++++++++++++++

(16.05.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරකයින් හට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචරණ කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති බවයි.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද ඉහත ක්‍රමවේදය යටතේ සංචාරකයින්ට පළාත් අතර සංචරණ කටයුතු සිදුකළ හැකි බවයි ඇය කියා සිටියේ ෴

++++++++++++++++++++

(16.05.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

හෙට (17) දිනයේ සිට සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව වගකීම් සහගත වන ලෙසත් ඉදිරි සති තුනක (3) පමණ කාලය තුළ මෙලෙස සංචරණ සීමා තුළ සිටිමින් මෙය පාලනය කරගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ ඉදිරි දින කිහිපයත් නිවෙසට වී සිටින ලෙසයි.

සංචරණ සීමා තුළින් රටක් ලෙස මෙය පාලනය කළ හැකි බැවින් අත්‍යාවශය අය පමණක් බැහැරට පැමිණෙන ලෙසයි ඇය ඉල්ලා සිටියේ ෴

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1102 ක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 118,322 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++

(16.05.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙලේදී භික්ෂූන් වහන්සේට ද ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

මහනුවර දී අද (16) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ සඳහන් කළේ මහජනතාව සමග වැඩි වශයෙන් ගැවසීම හේතුවෙන් ඒ පිළිබදව සලකා බලා එන්නත් ලබාදීම සිදුකළ යුතු බවයි ෴

++++++++++++++++++++

(16.05.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා පුද්ගලයින්ට දැඩි සීමා යටතේ අවශ්‍ය බස් රථ හෙට (17) දිනයේ යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළා.

මේ අතර මහනුවර, මහව, රඹුක්කන, හලාවත සහ බෙලිඅත්තේ සිට කොළඹ දක්වා මගීන්ගේ පහසුව වෙනුවෙන් දුම්රිය පහක් (5) ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා කියා සිටියේ.

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය, පෑලියගොඩ මැනිං පොදු වෙළඳපොල, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට (17) විවෘතව තැබෙනවා.

+++++++++++++++++++

(16.05.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර සංචරණය කිරීම තවදුරටත් සීමා වන අතර, හෙට (17) සිට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

• ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම්, එනම් 1, 3, 5, 7, 9 අංක සහිත පුද්ගලයන්ට ඔත්තේ දිනවල එනම්, මැයි 17, 19, 21, 23, 25, 27, 29, 31 දිනවල නිවසින් බැහැරව යා හැකියි.

• ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ නම්, එනම් බින්දුවද ඇතුළත්ව 0, 2, 4, 6, 8, අංක ඇති පුද්ගලයන්ට මැයි 18, 20, 22, 24, 26, 28, 30 දිනවල බැහැරව යා හැකියි.

ඒ අනුව ඔත්තේ දිනයක් වන හෙට දිනයේ 1, 3, 5, 7, 9 ඔත්තේ ඉලක්කම් ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස පවතින පුද්ගලයන්ට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත් රාජකාරි සඳහා යාමේදී මෙම ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමය අදාළ නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

ජාතික හැඳුනුම්පත නොමැති නම්, හෙට (17) සිට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිටවීමේදී, විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ සඳහන් හැඳුනුම්පත් අංකයේ අවසාන අංකයට අනුව පිටවීමට අවසර හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

++++++++++++++++++++++

(16.05.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1732 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 142,203 ක් ලෙසටයි.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1102 ක් සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 118,322 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++++

(16.05.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

වසංගත රෝග විද්‍යා අංශය අද කොරෝනා රෝගීන් ව්‍යාප්ත වී ඇති ආකාරය දැක්වෙන සිතියම සංශෝධනයට ලක් කළ අතර, එමගින් දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ බොහොමයක් රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇත්තේ අධි අවධානම් කාණ්ඩයට ඇතුළත් කරමින්.

මෙලෙස රතු පැහැ ගන්වා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

අවධානම් අඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර, එම පැහැයෙන් යුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ගණන 25 කට ආසන්නයි.

එකඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති ප්‍රදේශ කහ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර, මාන්තෙයි උතුර සහ වැලිඔය එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වනවා.

එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ තවත් 36 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. රැඳවියන් 100 දෙනෙකුට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි ඔවුන් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ මේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 304 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

++++++++++++++++++

(16.05.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

අද (16) දිනයේත් කොරෝනා එන්නත් ලබාදීම ස්ථාන කිහිපයකදීම සිදුකෙරුණා.

මේ වන විට කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 2,65,465 කට ලබාදී ඇති අතර චීන සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 3,48,619 කට ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

එසේම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත ද පුද්ගලයින් 14,699 කට ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ කොවිඩ් රෝග ලක්ෂණ තිබේ නම් එන්නත් ලබා ගැනී සිදුනොකරන ලෙසයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 480 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (16) මෙරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 2212 දක්වා ඉහල ගියා ෴

විදෙස් ගතව සිට මෙරටට පැමිණි 63 දෙනෙකු කොවිඩ් අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (16) දිනය තුල මෙතෙක් වාර්තා වූ මුළු කොවිඩ් අසාදිතයින් ගණන 2,275 ක් ෴

හෙට (17) දිනයේ කිසිඳු දුම්රියක් ධාවනය නොකරන අතර ඒ සඳහා අමතර ලංගම බස් යොදවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා ෴

++++++++++++++++++

(16.05.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

රෝග ලක්ෂණ නොපෙන්වන එහෙත් කොරෝනා ආසාදිත පුද්ගලයින් නිවෙස් තුළම නියාමනයට ලක් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් අධ්‍යයනය කර සිදුකරන බව කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

කෙසේ වෙතත්, ඊයේ (15) දින රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ හෙට (17) සිට නිවෙස් තුළම කොරෝනා ආසාදිත පුද්ගලයින් නියාමනයට ලක් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත්, අද (16) පැවති මාධ්‍ය හමුවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ නිවෙස් තුළ නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය සාර්ථක නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අද (16) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගෙන් යළි විමසා සිටියා. එහිදී රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ඒ පිළිබදව තවදුරටත් සාකච්ඡා සිදුකරන බවයි.

කෙසේ වෙතත්, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිත රෝගීන් නිසි අධීක්ෂණයක් යටතේ නිවෙස් වල රදවා කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලට අදාළව ඉදිරියේදී උපදෙස් මාලාවක් සකස් කිරීමට නියමිත බවයි.

+++++++++++++++++++++

(16.05.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිතයෙක් නිවසේ තබාගෙන රැකබලා ගැනීමට යම් හෙයකින් ඔබට සිදු වුවහොත්, ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාවලිය කුමක්ද?

මේ ඒ පිළිබඳව කළ සොයා බැලීමක්.

දිනෙන් දින කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින් නිවෙස් වල නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල කතාබහක් ඇතිවී තිබෙනවා.

කෙසේවෙතත්, මේ දක්වා ඊට අවසන් තීරණයක් ගෙන නැහැ.

නමුත් රටේ පවතින තත්ත්වයත් සමඟ කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් නිරෝධායන මධ්‍යස්ථානයකට හෝ රෝහලකට රැගෙන යාම පමා විය හැකියි.

එවැනි අවස්ථාවක රෝගියාව නිවසේ සිට රැකබලා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?

+++++++++++++++++++

(16.05.2021 – 22:52 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 21 ක් අද (16) වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 962 ක් දක්වා ඉහළ ගියා.

ගතවූ පැය 24 ක කාලය තුල නිරෝධායනය නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 262 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ සමග වාහන 15 ක් ද පොලිස් භාරයට ගත් බවයි ඔහු සදහන්කර සිටියේ ෴

+++++++++++++++++

May 15, 2021 – 08:10 pm

@@@@@@@@@@@@@@@

(16.05.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව – කුඩා කැකිරාව ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙක් බව අප වාර්තාකරු සඳහන් කළා.

බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැකකරු ප්‍රදේශය අතහැර පලාගොස් තිබෙනවා ෴

******************************************

(16.05.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

කඩා වැටී තිබුණු දේශීය පොල්තෙල් කර්මාන්තය මේ වනවිට යථා තත්වයට පත්වෙමින් තිබෙන බව දේශීය පාරම්පරික පොල්තෙල් කර්මාන්තකරුවන් පවසනවා.

ඇතැම් ආනයනික පොල්තෙල්වල පිලිකාකාරක අඩංගු බවට තහවුරු වීම සහ පාම් ඔයිල් ආනයනය නතර කිරීමට රජය තීරණය කිරීම මීට හේතුවක් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

******************************************

(16.05.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – මින්නේරිය වැවෙන් පාලනයකින් තොරව ජලය නිකුත් කිරීම නිසා මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයේ කුඹුරු අක්කර 30 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමන පහසුකම්වලටද බාධා එල්ල වී ඇති බවයි.

මේ අතර මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මීගස්වැව – ගොඩපොත්ත මහායාය ගම්මානයේ අක්කර 150 ක පමණ වී ගොවීන් පීඩාවට පත්ව සිටින්නේ එම කුඹුරු ඉඩම් මැනුම් කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්.

මෙහි ජීවත් වන ගොවි පවුල් 28 කට වැඩි පිරිසකගේ ජීවනෝපාය ගොවිතැනයි.

මීට වසර 50 කට පමණ පෙර සිට පාරම්පරික වගා කටයුතු සිදු කළ මෙම ගොවීන් අද අසරණ භාවයට පත්ව තිබෙනවා.

ගොවීන් පවසන්නේ කුඹුරු අක්කර ගණනක වගා කටයුතු මේ වන විට ආරම්භ කර ඇති නමුත් දේශපාලනඥයෙකුගේ බලපෑම මත මෙම ඉඩම් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මිනුම් කටයුතු කිරීමට ලබාගෙන ඇති බවයි.

******************************************

(16.05.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – ලෙල්ලුපිටිය – මාක්ස් වත්ත සහ පොල්ගස්තැන්න ප්‍රදේශවාසීන් පානීය ජලය ලබා ගන්නා ඉන්දොල ඇළට ගෝඩා එක් කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ මොවුන් විසින් මෙම ඇළට ගෝඩා එක් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව එහි ජලය පානය කළ පුද්ගලයින් 35 කට ආසන්න සංඛ්‍යාවක් පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමයින්. සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදුකරනවා.

******************************************

(16.05.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා තිබියදී හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 28 දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් සමඟ අනුරාධපුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයෙන් වැඩිම ප්‍රමාණය වන ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 125 ක් අදාළ කාන්තාව සන්තකයේ තිබූ බවයි වැටලීම සිදුකළ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ.

ඊයේ (15) අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර මීට පෙර මත්කුඩු සමඟ පොලීසියට හසුවී අධිකරණයෙන් දඩුවම් ලැබූවන් ද සිටිනවා ෴

******************************************

(16.05.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, වරකාපොල – තෝලංගමුව, ගස්නාව ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මහනුවර මහරෝහලේ අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටි 83 හැවිරිදි මව මිය යාමත් සමඟයි.

පසුගිය 13 වන දා රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාපතනයත් සමඟ ඇය සමඟ නිවසේ සිටි 32 හැවිරිදි ඇගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වූ අතර මව ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට මාරු කර යැවුණේ.

මේ අතර, ගිනිකොණදිග අරාබි මුහුද ආශ්‍රිතව හට ගත් ‘ටවුටේ’ සුළි කුණාටුවේ බලපෑම මෙරටින් තුරන් වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අනිද්දා (18) එය ගුජරාට් වෙරළ තීරය හරහා ඉන්දියාවට ඇතුළුවීමට නියමිතයි.

එහි බලපෑමෙන් කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි අතර, කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකියි.

මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිනිකොණදිග සහ නැගෙනහිර – මධ්‍ය අරාබි මුහුදු ප්‍රදේශ තුළ ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

පසුගිය දින කිහිපයේ ඇද හැලුණු වර්ෂාවත් සමඟ ගම්පහ රෝහල, පොලිස් අධිකාරී කාර්යාලය, බස් නැවතුම්පොළ ආදී ස්ථාන රැසක් තවමත් ජලයෙන් යට වී තිබෙනවා.

මීට පෙර ගම්පහ – ජාඇල මාර්ගය ජලයෙන් යට වූ අවස්ථාවේ ගම්පහ නගරයට යාමට ජනතාව භාවිතා කළ ගම්පහ – රත්මල්විට මාර්ගය මෙවර ජලයෙන් යට වුණා.

ජනතාව චෝදනා කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ප්‍රදේශයේ ජලය බැස යාමට තිබූ කුඹුරු අක්‍රමවත් ලෙස ගොඩ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය බලපා ඇති බවයි.

මේ අතර, අයහපත් කාලගුණයේ බලපෑමෙන් ඇතැම් ප්‍රදේශවල අලුතින් ඉදිකළ මාර්ග කිහිපයක් ද ජල ගැලීම් හේතුවෙන් විනාශ වී තිබෙනවා.

කළුතර – අගලවත්ත මාර්ගයේ ලියනගෙදර මංසන්ධියේ සිට උඩවෙල දක්වා වන බේරගම කොටස අක්‍රමවත්ව ඉදිකිරීම හේතුවෙන් රුපියල් කෝටි දෙකක (2) පමණ මහජන මුදල් අපතේ ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ ෴

******************************************

(16.05.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

රැස්වීම් සඳහා සහභාගිවීමට එකඟ වන්නේ නම්, රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු කැඳවීමට කථානායකවරයා තීරණයක් ගෙන තිබෙනවා ෴

******************************************

(16.05.2021 – 23:07 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් නිවසේ දේපළවලට හා ටිපර් රථයකට කඩුවලින් පහර දී අලාභ හානි සිදු කර තිබෙනවා.

කුලියාපිටිය කරන්තිප්පල ප්‍රදේශයේ නිවසකට කණ්ඩායමක් යතුරුපැදිවලින් පැමිණෙන්නේ පෙරේදා (14) රාත්‍රීයේයි.

එලෙස පැමිණි පුද්ගලයින් අතුරින් එක් අයෙකු (1) නවතා තිබූ ටිපර් රථයකට කඩු ප්‍රහාරයක් එල්ල කරන ආකාරය කැමරාවල මෙලස සටහන්ව තිබුණා.

ඔවුන් තම නිවසේ සිටි සුනඛයාටද කඩුවලින් පහරදී බරපතල තුවාල සිදු කර ඇති බවයි නිවෙසේ හිමිකරු සඳහන් කළේ.

පොලීසිය සඳහන් කළේ මෙම අපරාධය සිදුකළ පිරිස එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි.

ඔවුන් මේ වනවිට පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කලක් තිස්සේ පැවති පෞද්ගලික ආරවුලක් මෙම පහරදීමට හේතුවන්නට ඇතැයි පොලීසිය සැකකරනවා.

කුලියාපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ පිරිසක් නිවසේ දේපළවලට හා ටිපර් රථයකට තියුණු ආයුධවලින් පහර දී හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *