ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 136,685 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 136,685 දක්වා ඉහළට

*********************************************

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 136,685 දක්වා ඉහළට

(14.05.2021 – 18:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 889 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 136,685 ක් ලෙසටයි.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1306 ක් සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 110,108 ක් දක්වා ඉහළ ගියා.

මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 24,796 ක්. ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා මරණ 892 ක් ද සිදුව තිබෙනවා.

මේ අතර අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සංචරණ සීමා පනවා තිබුණද, කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන් ස්ථාන කිහිපයකදීම ක්‍රියාත්මක කෙරුණා.

ඒ යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා එන්නත් ලබාදීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අද (14) සිදු කෙරුණේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදියි.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව මේ දක්වා පුද්ගලයන් 241,522 කුට ලබාදී ඇති අතර, ගෙවුණු දිනයේ පමණක් දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 9,965 ක්.

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාවද ඊයේ (13) දිනයේ පුද්ගලයන් 64,260 දෙනෙකු ලබාදී ඇති අතර, ඒ අනුව මේ දක්වා එම එන්නත 214,880 කට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් වී එන්නතේ පළමු (1) මාත්‍රාවද මේ වනවිට පුද්ගලයන් 14,673 දෙනෙකුට ලබාදී අවසන්.

බස්නාහිර පළාතෙන් පසු එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ තෝරාගනිමින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (14) මාධ්‍ය හමුවේ කියා සිටියේ.

කොග්ගල ආයෝජන කලාපයට අයත් ඇඟළුම් කර්මාන්තශාලා පහක (5) සේවක සේවිකාවන් 1,500 කට වැඩි පිරිසකට සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් 217 දෙනෙකු ආසාදිත බවට තහවුරු වී ඇතැයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළා.

කැකිරාව පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදිත බවට තහවුරුවීමත් සමඟ එම අංශයේ සේවය කරන නිලධාරීන් 27 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු පලාගොස් රෝහල ආසන්නයේ නිවසක පිටුපස සැඟව සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය එම ආසාදිතයා අල්ලා යළි රෝහල් ගත කිරීමට කටයුතු කළා.

මේ අතර කොරෝනා ආසාදිත මව්වරුන් අසාධ්‍ය තත්වයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා කියා සිටියේ.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන බන්ධනාගාර රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාගැනීමට පහසුවන පරිදි කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

011 467 7101 අංකයෙන් එම තොරතුරු මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ විය හැකි බවයි බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ.

+++++++++++++++++++++++++

(14.05.2021 – 18:35 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් යොදාගෙන සිදු කළ ක්ෂණික කොවිඩ් පරීක්ෂණ වැඩපිළිවෙලක සාර්ථක ප්‍රතිඵල අත්විඳින්නට ඔවුන් සමත්වී තිබෙනවා.

‘අල්ට්‍රා රැපිඩ් කොවිඩ්’ පරීක්ෂණය ලෙසින් නම්කර ඇති මේ හරහා තත්පර 25 ක් ඇතුලත කොවිඩ් ආසාදනය වී ඇත් ද සහ ආසාදනය වී ඇති කොවිඩ් ප්‍රභේදය කුමක් ද යන්න සොයාගත හැකි වනවා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන කැනරි ග්ලොබල් සමාගම විසින් මෙම පරීක්ෂණ කට්ටලය නිෂ්පාදනය කර ඇති අතර ඒ හරහා ලබාගත් දත්ත සහ දැනට භාවිත කෙරෙන කොවිඩ් පරීක්ෂණ දත්ත සංසන්දනය කිරීමේදී මෙම කෙටි කාලීන පරීක්ෂණයේ ප්‍රතිඵල සියයට 100 ක් සාර්ථක බව හෙළිවී තිබෙනවා.

මෙම පරීක්ෂණ ක්‍රියාවලියට එක්වූ බ්‍රිතාන්‍ය ගුවන් සමාගම පවසන්නේ මෙම නව අත්හදා බැලීම කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදයේ නව පිටුවක් පෙරළන බවයි.

මෙය විශේෂයෙන්ම සංචාරකයින් සඳහා භාවිත කළ හැකි ඉතා පහසු පරීක්ෂණ ක්‍රමවේදයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ලොව පුරා දැඩි ලෙස ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය එරට වැසියන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයන් 12 ක් සඳහා වාරණ පැනවූවා.

යුරෝපීය, දකුණු ඇමරිකානු සංචාරක ගමනාන්තයන් ද මෙයට අයත් ෴

+++++++++++++++++++++++

(14.05.2021 – 20:36 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (17) අළුයම 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සති අන්තය සඳහා සමස්ත දිවයින ආවරණය කරමින් පනවා ඇති සංචරණ සීමා මේ වන විට ක්‍රියාත්මකයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම කාලසීමාව තුළ සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මාර්ග බාධක සමඟ පොලිස් නිලධාරීන් 20,000 ක් යොදවා ඇති බවයි.

දීර්ඝ සති අන්තය සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පැනවූ සංචරණ සීමා ඊයේ (13) රාත්‍රී 11 න් ආරම්භ වූ අතර එය එළැඹෙන සඳුදා (17) අළුයම 4 දක්වා ක්‍රියාත්මකයි.

එම කාල සීමාව තුළදී ඔසුසැල් හැර සියලු වෙළඳසැල්ල සුපිරි වෙළඳසැල් සහ කඩසාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඇතැම් පුද්ගලයින් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කළ පිරිස් යළි හරවා යැවීමටද පොලිසිය කටයුතු කළා.

කොළඹ නගරයේ සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද ස්ථාන කිහිපයක සංචාරය කළේ මෙලෙසින්.

කොළඹ නගරයේ සංචරණ සීමා පැනවීමත් සමඟ යාචකයින්ද දැඩි ලෙස අසරණ වී සිටිනවා.

ඊයේ (13) රාත්‍රී සිට සංචරණ සීමා පැනවීමට පෙර උඩවලව ප්‍රදේශයේ තැබෑරුමකින් මත්පැන් අලෙවි කරන ආකාරය දක්නට ලැබුණා.

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා මෙන්ම බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සඳහාද අවසර හිමිවනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත්කළ නිවේදනයට අනුව, සෞඛ්‍ය සේවා, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවල අත්‍යවශ්‍ය නිල සංචාර සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන් මෙන්ම අත්‍යවශ්‍ය සේවා සපයන්නන්සඳහා ද මෙම සංචරණ සීමා අදාළ වන්නේ නැහැ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වියලි ආහාර හෝ පිසූ ආහාර පාරිභෝගිකයින් වෙත නිවසට ගෙනැවිත් දීමේ ඩිලිවරි සේවාවන් සඳහා මෙම කාලසීමාව තුළ අවසර හිමිවන බවයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේල සංචරණ සීමා කියාත්මක වුවද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟළුම් කර්මාන්තශාලා පවත්වාගෙන යාමේ හැකියාවක් පවතින බවයි.

ඒ අනුව ඇඟළුම් නිෂ්පාදනයල බෙදාහැරීමල ආනයනය සහ අපනයනය වැනි කාර්යයන් ජෛව ආරක්ෂක බුබුලකට අනුගතව සිදුකළ යුතුයි.

සඳුදා (17) අළුයම 4 ට මෙම සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු මැයි 30 වැනිදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අළුයම 4 දක්වායි.

මේ අතර මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ 42 ක් ලබන සඳුදා (17) අළුයම 4 සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 6 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 12 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 24 ක් හුදෙකලා කෙරෙනවා.

මේ අතර සඳුදා (17) අළුයම 4 සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 2 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 6 ක් හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙනු ඇති.

මේ අතර කොවිඩ් වසංගතයත් සමඟ සංචරණ සීමා පැනවීම හේතුවෙන් අද (14) සිට ලබන සඳුදා (17) තෙක් අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20 ක් ඇතුළත් සහන මල්ලක් රුපියල් 5000 ක මුදලකට ලබා දීමට වෙළඳ අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

මෙම සහන මල්ල ලබා දීමේ කටයුතු සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලල ප්‍රාදේශීය ලේකම් කාර්යාලල ග්‍රාමසේවා නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කළ යුතුයි.

අදාළ සහන මල්ල එම කාර්යාල වෙත ලබා දීම සඳහා පමණක් සතොස වෙළඳසැල් විවෘතව තැබෙන බව වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළා.

+++++++++++++++++++++++

(14.05.2021 – 20:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් මේ දිනවල රට පුරා වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. මේ එන්නත් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ පැහැදිලි කිරීමක්.

++++++++++++++++++++++

(14.05.2021 – 21:09 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති කාලසීමාවන්වලදී ජනතාවට මුහුණපෑමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම වෙනුවේන දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ උපදෙස් අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

මෙම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ කර තිබෙනවා.

ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන්නේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේයි.

මහජනතාවට යම් ගැටලුවක් පවතී නම් ඔහු පදිංචි දිස්ත්‍රික්කයේ හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් විසඳා ගත හැකියි.

එම මධ්‍යස්ථානවල නිලධාරීන්ට අදාළ ගැටලුව විසඳීමට නොහැකිවන අවස්ථාවලදී එය ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට දැන්වීමෙන් විසඳා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එක් එක් දිස්ත්‍රික්වල පිහිටුවා ඇති දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ කාර්යාලයීය සහ ජංගම දුරකථන පහත දැක්වෙනවා.

+++++++++++++++++++++++

(14.05.2021 – 22:18 +0530 – hirunews.lk/sinhala)

• තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1380 ක් හඳුනා ගැනීමත් සමග අද දිනයේ වාර්තාවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2269 ක් දක්වා ඉහළ යනවා. මේවන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 138,085ක්. ඉන් 27,054 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 110,108 ක් ෴

• කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාවේ වැඩිම මරණ සංඛ්‍යාව අද (14) වාර්තා වී තිබෙනවා. ඒ මරණ 31 ක්. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 923 ක් දක්වා ඉහළ යනවා.

මේ අතර අද (14) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 2269 ක් වාර්තාවී ඇති අතර මෙතෙක් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 138,085 ක්. ඉන් 27054 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 110,108 ක් ෴

++++++++++++++++++++

(15.05.2021 – 06:11 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 9282 ක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර නිරෝධායන නීති ක්‍රියාත්මකවන කාල සීමාව තුල නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කළ කාන්තාවක් මහව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

44 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව සන්තකයේ තිබී මත්පැන් බෝතල් 38 ක් සහ බියර් බෝතල් 98 ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරිය විසින් රාත්‍රී සාද පවත්වන පුද්ගලයින්ට මෙලෙස මත්පැන් අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++

(15.05.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුල පුත්තලම, මුල්ලිකුලම් ප්‍රදේශයේ පාළු නිවසක් තුළ බූරු ගසමින් සිටි පුද්ගලයින් 19 දෙනෙක් පුත්තලම පොලිසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර මොවුන් වයස අවුරුදු 20 – 30 අතර සීමාවල පසුවන්නන්.

පොලිසියට ලද තොරතුක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර නිරෝධායන නීති උල්ලංඝණය කරමින් සූදු ක්‍රීඩාවේ නියැලී සිටි මෙම පිරිස පී.සී.ආර්. පරික්ෂාවන් සඳහා යොමුකර ඇති අතර ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

@@@@@@@@@@@@@@@@@

(14.05.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල මකුලුව ප්‍රදේශයේ මහල් තුනකින් (3) යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ වහල මත සිට සරුංගල් යවමින් සිටි තුන් (3) දෙනෙකු එම වහල කඩා වැටීමෙන් මියගොස් තිබෙනවා.

මියගිය තුන්දෙනා (3) අතර පියෙක් සහ ඔහුගේ පුත්‍රයා ද වන බව සඳහන්.

******************************************

(14.05.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එසේම අදාළ මුහුදු ප්‍රදේශවල මේ මොහොතේ ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි දැනුම් දෙන්නේ.

ඊට අමතරව සුළඟේ වේගය ඉහල යා හැකි බැවින් කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 4 ක් වාර්තා වී තිබෙනවා.

ගාල්ල – නාගොඩ ප්‍රදේශයෙන් මරණ දෙකක් (2) වාර්තා වන අතර ඔවුන් වයස අවුරුදු 32 සහ 51 යන වයස්වල පසුවන්නන්. සැඬ පහරට හසුව ගසාගෙන යාමෙන් මෙම මරණ දෙකම (2) සිදුව තිබෙනවා.

එමෙන්ම, වරකාපොල ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබුණේ නිවස මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්.

එලෙස මියගිය පුද්ගලයාගේ මවද එම පස් කන්දට යටවූ අතර, යුද හමුදා සාමාජිකයන් විසින් සිදුකළ මෙහෙයුම්වලදී අදාළ කාන්තාව බේරාගැනීමට හැකිව තිබෙනවා.

බියගම – කොළඹ ප්‍රධාන මාර්ගයේ පට්ටිවිල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් 22 හැවිරිදි තරුණයෙකු සැඬ පහරට හසුවීමෙන් අද (14) මිය ගිය අතර පසුව ඔහුගේ දේහය සොයා ගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.

අයහපත් කාලගුණයත් සමඟ ගංඟා රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබූ අතර, කැළණි ගඟ ආශ්‍රිත දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, සීතාවක, කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල සහ කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු වනවා.

මීට අමතරව කළු, ගිං, නිල්වලා ගංඟාවල මෙන්ම මාඔය සහ අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර, ඒ අවට පහත්බිම්වල ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයට අදාළව පැනවූ නායයාමේ අවදානම තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා ෴

අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 2750 ක පුද්ගලයින් 11,542 ක් පීඩාවට පත්ව තිබෙනවා. නිවාස 205 කට අර්ධ හානි සිදුව ඇති අතර පවුල් 42 ක පුද්ගලයන් 175 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ ෴

******************************************

(14.05.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටක සිට ආනයනය කරන ලද බහලුම් 25 ක තිබූ බාස්මතී සහල් විශාල තොගයක් නිදහස් කරන ලෙස සතොස ආයතනය කළ ඉල්ලීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෘමි සතුන් බහුල වීම සහ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසුවීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාපාරිකයෙකු විසින් මීට කලකට ඉහත දී මෙම බාස්මතී සහල් තොගය මෙරටට ගෙන්වා ඇති අතර, පසුව ඔහු විසින් ඒවා අතහැර දමා තිබෙනවා.

ඒ අනුව රේගු ගබඩා තුළ පවතින මෙම සහල් තොගය මනුෂ්‍ය පරිභෝජනයට නිකුත් කිරීමට අවසර දෙන ලෙසයි සතොස ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ ෴

******************************************

(15.05.2021 – 06:44 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට අද (15) දිනයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බව දැනුම් දෙනවා.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *