ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ

*********************************************

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටි පිරිස් නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදා ගැනේ

(14.05.2021 – news.navy.lk)

මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර අවදානම් තත්ත්වය යටතේ ආපදාවට පත් වන ජනතාව මුදා ගැනීම සහ අවශ්‍ය සහන සැලසීම සඳහා බස්නාහිර හා දකුණු පළාත් තුළ ගංවතුර අවධානමක් සහිත ප්‍රදේශයන් වල නාවික හමුදා සහන කණ්ඩායම් 10 ක් ස්ථානගත කිරීමට මේ වන විට කටයුතු කර ඇත. ඒ අනුව 2021 මැයි 13 වන දින රාත්‍රියේ ගාල්ල උඩුගම ප්‍රදේශයේදී ගිං ගඟ පිටාර ගැලීමෙන් ආපදාවට පත්ව සිටි පුද්ගලයින් 06 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත් විය.

මෙහිදී, පෙරදින රාත්‍රියේ ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමෙන් ගාල්ල උඩුගම ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හමුවේ පාරුවක් පෙරළීමෙන් සැඩ ජල පහරට හසුව ගසාගෙන ගොස් ගසක රැඳී සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙක් (03) සහ එක් (1) කාන්තාවක්ද , ගංවතුර හේතුවෙන් නිවසක කොටුවී සිටි එම ප්‍රදේශයේම තවත් කාන්තාවන් දෙදෙනකුද (02) ගාල්ල උඩුගම ප්‍රදේශය වෙත අනුයුක්ත කර සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් සහන කණ්ඩායම් විසින් බේරා ගැනීම‍ට කටයුතු කරන ලදී.

මේ වන විට පවතින ගංවතුර අවදානම් තත්ත්වය හමුවේ කළු, ගිං සහ නිල්වලා යන ගංඟා වල ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකදී අවශ්‍ය සහන සැළසීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ, බුලත්සිංහල සහ වළල්ලාවිට ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 03 ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම, තවලම, නාගොඩ සහ බද්දේගම ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 06 ක් ද, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ප්‍රදේශය ආවරණය වන පරිදි සහන කණ්ඩාමක් (01) වශයෙන් නාවික හමුදා සහන කණ්ඩායම් 10 ක් ස්ථාන ගත කිරීමට මේ වන විට කටයුතු කර ඇත.

එමෙන්ම, පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහජනතාවට සහන සැළසීමට, අවශ්‍යතාවය මත කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා සහන කණ්ඩායම් යෙදවීමට නාවික හමුදාව සූදානමින් සිටී.

[ සේයාරූ ]

+++++++++++++

ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03 ක් ස්ථානගත කෙරේ

(14.05.2021 – news.navy.lk)

පවත්නා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාව මුදා ගැනීමට සහ සහන සැළසීමට තවත් නාවික හමුදා සහන කණ්ඩායම් 03 ක් ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශවල ස්ථානගත කිරීමට අද (2021 මැයි 14) සවස කටයුතු කෙරිණි.

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කූරවලාන හා බියගම ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් දෙකක්ද (02) ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ එක් සහන කණ්ඩායමක් ද මෙලෙස ස්ථානගත කරන ලදී. ඒ අනුව මේ වන විට ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළ ගංවතුර අවදානමක් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 13 ක් ස්ථාන ගතකරමින් එම ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව වෙත අවශ්‍ය සහයෝගය සහ සහන ලබා දෙමින් සිටී.

එමෙන්ම, පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මහජනතාවට සහන සැළසීමට හා අවශ්‍යතාවය මත කඩිනමින් ක්‍රියාත්මක වෙමින් අවශ්‍ය ඕනෑම විටක අමතර සහන කණ්ඩායම් යෙදවීමට නාවික හමුදාව සූදානමින් සිටී.

[ සේයාරූ ]

******************************************

(14.05.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණදිග අරාබි මුහුද ආශ්‍රිතව වර්ධනය වන පීඩන අවපාතය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (14) පස්වරු 3 ටයි මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ.

එමගින් පෙන්වා දෙන්නේ ගිනිකොණදිග අරාබි මුහුද ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර අද (14) පෙරවරු 08:30 වන විට උතුරු අක්ෂාංශ 10.5 ත් නැගෙනහිර දේශාංශ 72.3 ත් ආසන්නව ස්ථානගතව පැවති බවයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් ලබන 18 වන දින උදෑසන ගුජරාටි සහ පකිස්ථාන වෙරළ තීරයට ඇතුල්වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙමගින් දිවයිනේ කාලගුණය කෙරෙහි ඇති කරන බලපෑම හෙට (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කෙසේවෙතත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් පමණ දක්වා වැඩි විය හැකියි.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 ක් 60 ක් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා.

එමෙන්ම ගිනිකොණදිග අරාබි මුහුද ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 ක් 80 ක් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිායසිටියේ.

මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තෙක් ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශය තුල ධීවර කටයුතු සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි අවවාද කෙරෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් ලෙසට පැමිණෙන ලෙසට දැනුම්දෙනවා.

මීට අමතරව නැවත දැනුම්දෙන තෙක් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා.

මේ අතර අද (14) හෙට (15) සහ අනිද්දා (16) දිනවල දිවයිනේ උතුර උතුරු මැද වයඹ මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වල සුළගේ වේගය ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

******************************************

(14.05.2021 – 17:03 +0530 – hirunews.lk/sinhala)

ඇන්ටනා වයරයක් ආධාරයෙන් සකස් කර තිබූ ඔන්චිල්ලාවක ගෙළ සිරවීමෙන් දෙදරු (2) පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (13) මෙලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි මුන්දලම – වේලුසුමනපුර ප්‍රදේශයේ දෙදරු (2) පියෙකු බවයි පොලීසිය සදහන් කළේ.

නිවස අසල කුඩා ගසක බැඳ තිබූ ඔංචිල්ලාවක වාඩිවී සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව තිබෙනවා.

වයරයක් ආධාරයෙන් සකස් කර තිබු ඔංචිල්ලාවේ වාඩිවී බුලත් විටක් සපමින් සිටියදී ඔහුගේ ගෙලෙහි වයරය පැටලීමෙන් මියගොස් ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයාට අවුරුදු 3 ක කුඩා දැරියක් සහ දින 7 ක් වයසැති බිළිඳියක් ද සිටින බව සඳහන්.

මේවන විට පිළිකාවකට ගොදුරුව සිටින මව සහ මරණයට පත්වී ඇති සොහොයුරෙකුගේ ආබාධිත දරුවා ද රැකබලාගෙන ඇත්තේ මෙම මියගිය පුද්ගලයායි.

මරණය සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය තැනැත්තාගේ ජෛව පටල සාම්පල ලබාගෙන ඇති අතර ඊට අදාළ වාර්තා ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

@@@@@@@@@@@@@@@

(14.05.2021 – 16:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා ඕස්ට්‍රේලියාව වෙත යන ගුවන් මගීන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීම අත්‍යාවශ්‍ය බව එම ගුවන් සේවය පවසනවා.

කොළඹ – ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව හෙට (15) සිට මෙම කොරෝනා පරීක්ෂණ අවශ්‍ය බවටයි එමගින් දැනුම් දී ඇත්තේ.

ඒ අනුව නියමිත ගුවන් ගමන පිටත්වීමට පැය 72 ක් හෝ ඊට අඩු කාලයක් තුළ මෙම කොරෝනා පරීක්ෂණ වාර්තා ගුවන් සමාගමට ඉදිරිපත් කළ යුතු වනවා.

අදාළ ගුවන් ගමනට පැය 8 කට පෙර ලබාගත් ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වන අතර පැය 72 ක් ඇතුලත සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කළේ.

Important notice for passengers travelling to Australia :

[ https://www.srilankan.com/en_uk/coporate/emergency-news-detail/526 ]

+++++++++++++++++++++

(14.05.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා රජය ලෝක බැංකුව සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 80.5 ක අතිරේක මූල්‍යාධාර ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆාරිස් සර්වෝර්ස් මෙම ගිවිසුමට අත්සන් තැබූ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ෴

++++++++++++++++++++

(14.05.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩසටහනෙන් පසු මහනුවර කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්වල ජනතාව සඳහා එන්නත්කරණය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

+++++++++++++++++++

(14.05.2021 – 18:18 +0530 – hirunews.lk/sinhala)

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1306 ක් සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 110,108 ක් දක්වා ඉහළ ගියා.

මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 24,796 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 135,796 ක් වාර්තාවී ඇති අතර මරණ 892 ක් ද සිදුව තිබෙනවා.

මේ අතර එන්නත්කරණ වැඩසටහන්වලට අදාළව පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 1,154,795 දෙනෙකුට ලබාදී තිබෙනවා.

දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 243,987 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *