කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පහත් බිම්වල ජනතාවට උපදෙස්

කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පහත් බිම්වල ජනතාවට උපදෙස්

*********************************************

කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – අවධානයෙන් සිටින්නැයි පහත් බිම්වල ජනතාවට උපදෙස්

(14.05.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

පැවති වර්ෂාවත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කොළඹ වත්තල, බියගම කොළොන්නාව, කඩුවෙල සීතාවක දොම්පේ රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවල ගඟ දෙපස පහත් බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව නිවේදනය කර තිබෙනවා.

මේ අතර කළු ගඟේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

ඒ අනුව ගංඟා අවට පහත්බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිල්ලෙන් සිටින ලෙසයි එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් (4) සහ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් (2) විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා ෴

******************************************

(14.05.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) දිනය පුරා ඇද හැලුනු අධික වැසිත් සමඟ කෑගල්ලේ තෝලන්ගමුව ගස්නාව ප්‍රදේශයේ නිවාස දෙකක් (2) මතට පස් කඳු කඩාවැටීම හේතුවෙන් දෙදෙනෙකු (2) තුවාල ලබා දෙදෙනෙකු (2) රෝහල් ගත කළ අතර, ඉන් එක් අයෙකු (1) ඊයේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙකු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම උඩුගම – අලුත්වත්ත ප්‍රදේශයේ දී ගිං ගඟට සම්බන්ධ ඇළ මාර්ගයක පාළමක් මතින් ගමන් කරමින් සිටියදී සැඩ පහරකට හසුව 25 හැවිරිදි තරුණයෙකු ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

පැවති වර්ෂාවත් සමඟ උඩුගම, ගමගොඩ, කැටගොඩ, උක්ඕවිට ප්‍රදේශ ජලයෙන් යටව ඇති බව පොලීසිය සඳහන් කළා.

මේ නිසා ප්‍රදේශවල පදිංචි ජනතාව තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවයි වාර්තාවන්නේ.

දිවයිනට බටහිරෙන් පිහිටි ගිණිකොණදිග අරාබි මුහුදේ හටගෙන ඇති අඩු පීඩන කලාපය මේවනවිට පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වෙමින් වයඹ දිශාවට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ එය ලබන 18 වනදා පස්වරුව වන විට ගුජරාටි සහ පාකිස්තාන වෙරළ තීරයට ඇතුලු වනු ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ අද (14) දිනයේත් පළාත් රැසකට වැසි ඇතිවිය හැකි බවයි.

ගතවූ පැය විසි හතරේ (24) වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලෙන් වාර්තාවන අතර, එය සටහන් වූයේ මිලිමීටර 257 ක් ලෙසයි.

මේ අතර, පවතින අධික වැසි සහිත තත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (13) පස්වරුවේ දිස්ත්‍රික්ක 6 කට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කළා.

ගාල්ල, කලුතර, මාතර, රත්නපුර, කෑගල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්ක වලටයි මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ෴

++++++

බියගම-කැලණිය මාර්ගය පට්ටිවිල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

******************************************

(14.05.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අප්‍රේල් 28 වනදා වන විට මෙරටට ආනයනය කර වරායේ ගුදම් වල ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය නිදහස් කිරීමට ආනයන අපනයන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගියදා රසායනික පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට රජය තහනම් කල අතර ඒ අනුව රජයේ ප්‍රතිපත්තිය වූයේ කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර යොදා නොගැනීමයි.

කෙසේවෙතත් රසායනික පොහොර ආනයනය අත්හිටුවීම හමුවේ විවිධ කර්මාන්ත කරුවන් මැසිවිලි නගමින්, තම කර්මාන්ත පවත්වාගෙන යා නොහැකි බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාල නිෂ්පාදන සඳහා කෘෂි රසායන නිදහස් කරන ලෙසටයි ඔවුන් රජයෙන් ඉල්ලා ඇත්තේ.

පසුගිය සඳුදා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ කර්මාන්ත සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිදහස් කරවීමටයි.

ඒ අනුව වංචනික මාර්ගයෙන් කෘෂිකර්මාන්තයට එම රසායන ද්‍රව්‍ය යොදාගැනීම වැලැක්වීම සදහා එම කර්මාන්ත වලට අදාල අමාත්‍යංශයෙන් අනුමැතිය ලබාගෙන අදාල ඇස්තමේන්තුවට අනුව ඊට අවශ්‍ය ප්‍රමාණයෙන් රසායන ද්‍රව්‍ය නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් රජයේ ස්ථාවරය වී ඇත්තේ කිසිසේත්ම කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයනය නොකිරීමයි ෴

******************************************

(14.05.2021 – 09:50 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවිස්ස්සාවේල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ ජලයට කොටුවී සිටි පවුල් 4 ක සාමාජිකයන් 14 දෙනෙකු යුද හමුදාවේ මැදිහත්වීමෙන් මුදාගැනුනා.

ඒ අතර කුඩා දරුවන් ද සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිදුකෙරුණු මෙම මෙහෙයුමට පැය 2 කට අධික කාලයක් ගතවී තිබුනා.

මේ අතර රුවන්වැල්ල ප්‍රදේශයේම නිවස මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එක් පුද්ගලයෙක් මියගියා.

වරකාපොළ ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) පස්වරුවේ සිදුවූ නායයාමක් නිසා පස්කන්දකට යටවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) මුදාගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බට පිරිස් කටයුතු කළා.

පස්කන්දට සිරවී සිටි එක් පුද්ගලයෙකු මුදාගන්නා අවස්ථාව වනවිටත් ජීවිතක්ෂයට පත්ව තිබුනා.

ඒ අසල පස් අතර සිරවී සිටි මියගිය මව ඉන් මුදාගෙන වරකාපොළ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරින් මියගිය පුද්ගලයාගේ සිරුරද වරකාපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා ෴

(14.05.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

අද (14) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 273.5 ක වර්ෂාපතනයක් දෙහිඕවිට ප්‍රදේශයට ලැබී තිබෙනවා.

මීට අමතරව මිලිමීටර 257.5 ක් වර්ෂාපතනයක් අවිස්සාවේල්ල ප්‍රදේශයට ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම මිලිමීටර 246 ක් වරකාපොල ප්‍රදේශයට ලැබී ඇති අතර, වතුපිටිවල ප්‍රදේශයට මිලිමීටර 226.5 ක්, අකුරැස්සට මිලිමීටර 225 ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

කොළඹ – රත්නපුර මාර්ගයේ අවිස්සාවේල්ල නගරය මගහැරයාමට ඇති මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු ඇණහිට තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ මේ හේතුවෙන් අවිස්සාවේල්ල නගරය හරහා ඇති මාර්ගය භාවිත කරන ලෙසටයි ෴

******************************************

(14.05.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ට්‍රේලියාවට යෑමේ අරමුණින් හලාවත – ඉරණවිල නිවසක සැඟව සිටි පුද්ගලයින් 29 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඉරණවිල ප්‍රදේශවාසීන්ගේ සහ හලාවත පොලීසියේ සහය ඇතිවයි.

ඊයේ (13) ඉන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉතිරි පිරිස අද (14) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මොවුන් අතර යාපනය, මඩකලපුව, මුලතිව්, වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිටිනවා.

එසේම අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ ගමන් මලු තුළ බිස්කට්, ඖෂධ මෙන්ම ඇඳුම් පැළඳුම්ද තිබී ඇති අතර, සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත පොලීසිය වෙත භාරදී තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@@

(14.05.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 161,824,477 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3,358,513 ක් ලෙසයි.

තවදුරටත් ලොව වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තාවන අතර, ගතවූ පැය විසි හතරේ (24) එරටින් මරණ 3,999 ක් වාර්තාවුණා.

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 262,350 ක් ලෙසයි.

දෛනික ආසාදිතයන් 3,43,288 ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 24,046,120 ක් ලෙස සටහන් වනවා ෴

++++++++++++++++++++

(14.05.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ලබන සදුදා (17) අළුයම 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනම ආවරණය කරමින් සංචරණ සීමා පැනවිම මේ වන විට ක්‍රියාත්මකයි.

සංචරණ සිමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ මාර්ග බාධක සමඟ පොලිස් නිළධාරින් 20,000 ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මෙම සංචරණ සීමා ඊයේ (13) රාත්‍රි 11 සිට ක්‍රියාත්මක අතර, ලබන සදුදා (17) අළුයම 4 න් , පසු එය ලබන 31 වනදා දක්වා දිනපතා ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 11 ත් පසුදා අළුයම 4 ත් ආදි වශයෙන්.

මේ අනුව සංචරණ සීමා පනවා ඇති මෙම ලබන සදුදා (17) අඵයම 4 දක්වා ඔසුසැල් හැරුණුවිට සියලු වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් හා කඩසාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

මෙම කාලසීමාව තුල වියළි ආහාර හෝ පිසූ ආහාර පාරිභෝගිකයන්ට නිවසට ගෙනවිත්දීමේ ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවනවා.

පොලීසියේ අවසරය මත ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මැණිං වෙළඳපොල, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල මෙන්ම, සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන නමුත්, ඒ සඳහා ඇතුළු වීමට අවසර ඇත්තේ තොග වෙළඳුන්ට පමණයි.

කෘෂිකාර්මික කටයුතු සඳහා අවසර හිමිවන අතර ගුවන්තොටුපල වෙත ගමන් කිරීමට ද අවකාශ සලසා තිබෙනවා.

එසේම කොරෝනා වසංගතය හමුවේ අඛන්ඩව විදුලි සැපයුමක් ලබාදෙමින් පැය 24 පුරා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සක්‍රිය සේවාවක් සපයන ලෙසට විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සංචරණ සීමා පනවා තිබුණ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව ඇගළුම් කර්මාන්තයේ ක්‍රියාකාරිත්වයට අවසර පවතින බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇගඵම් නිෂ්පාදනය.

බෙදා හැරිම, ආනයනය සහ අපනයනය වැනි කාර්යයන් ආරක්ෂක බුබුළු ක්‍රමයට අනුගතව මෙම දින තුන (3) ද ඇතුඵව සංචරණ සීමා පනවා තිබියදි සිදු කළ හැකි බවයි.

++++++++++++++++++++

(14.05.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (17) අලුයම හතරේ (4) සිට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව සංචරණ කටයුතු සිදුකළ යුතු අතර, එදිනට නිවෙස්වලින් පිටතට ගමන් කළ හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් පමණයි.

ජාතික හැඳුනුම්පතේ අංකයට අනුව ගමන් නොකළ පුද්ගලයන් 1,596 දෙනෙකුට ඊයේ (13) දින අවවාද කර මුදාහැරි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර ඊයේ (13) රාත්‍රි 11 සිට ලබන සඳුදා (17) අලුයම හතර (04:00) දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කිරීමත් සමඟ එය මේ වනවිට ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දිවයින පුරා සිටින වාර්තාකරුවන්ගෙන් තොරතුරු දැනගැනීම සඳහා අප කටයුතු කළා.

මේ අතර සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ගැනුම්කරුවන් නොමැති නිසා මැනිං වෙළඳපොලේ වෙළඳුන් ද දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.

මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා සඳහන් කළේ අද (14) අලුයම සිට ගොවීන් සහ වෙළඳුන් පැමිණ සිටියද එළවලු මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් පැමිණ නොමැති බවයි.

දිවයිනටම බලපැවැත්වෙන අයුරින් ලබන සඳුදා (17) දක්වා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළද මැනිං වෙළඳපොල, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ඇතුලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘත කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ලබන සඳුදා (17) අලුයම හතරේ (04:00) සිට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව සංචරණ කටයුතු සිදුකළ යුතු අතර, එදිනට නිවෙස්වලින් පිටතට ගමන් කළ හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් පමණයි.

මේ අතර තාවකාලිකව වසා දැමුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවල සේවා කටයුතු ලබන සඳුදා (17) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.

ඒ අනුව සේවාවන් ඉටුකරගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් 011 267 7877 දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු වනවා.

එසේම දිස්ත්‍රික් කාර්යාලවල කටයුතු අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්ගේ මග පෙන්වීම යටතේ සිදුකෙරෙනු ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

++++++++++++++++++

(14.05.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

සඳුදා (17) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංක වෙත අමතන්න :

011 267 7877 , 070 767 7877

++++++++++++++++++++

(14.05.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ගැනුම්කරුවන් නොමැති නිසා මැනිං වෙළඳපොලේ වෙළඳුන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.

මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා සඳහන් කළේ අද (14) අලුයම සිට ගොවීන් සහ වෙළඳුන් පැමිණ සිටියද එළවලු මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් පැමිණ නොමැති බවයි.

දිවයිනටම බලපැවැත්වෙන අයුරින් ලබන සඳුදා (17) දක්වා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළද මැනිං වෙළඳපොල, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ඇතුලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘත කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද අද (14) දින විවෘතව පැවතෙන අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවීන් මෙදින එළවළු කිලෝ ලක්ෂ හතරහමාරක් පහක් (4½ – 5) අතර ප්‍රමාණයක් ගෙනවිත් තිබූ බව ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළා.

එහෙත් දහවල් වන තුරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීමට කිසිවෙකුත් පැමිණ නැති බවයි ගොවීන් පවසන්නේ.

කඩිනමින් තම අස්වැන්න අලෙවි කරගැනීම සඳහා ක්‍රමවේදයක් සකසා දෙන්නැයි එළවළු ගොවියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *