පිලියන්දල – කැස්බෑව අධි අවදානම්

පිළියන්දල – කැස්බෑව අධි අවදානම්

*********************************************

පිළියන්දල – කැස්බෑව අධි අවදානම්

(13.05.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට ද සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර, අද (13) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1075 දෙනෙකු හඳුනා ගත්තා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,34,602 ක් ලෙසයි.

එසේම, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 1,145 දෙනෙකු අද (13) පූර්ණ සුවය ලැබුවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,08,802 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 24,932 දෙනෙකු පමණයි.

පිළියන්දල සහ කැස්බෑව යන සෞඛ්‍ය බල ප්‍රදේශ දෙකෙන් පසුගිය 03 වැනිදා සිට ඊයේ (12) දිනය දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් දහසකට (1000) ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 992 ක්.

එසේම, තම බල ප්‍රදේශයෙන් දිනකට කොරෝනා ආසාදිත මරණ දෙකක් (2) පමණ මේ වනවිට වාර්තා වන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කළා. එය ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇතැයි ඇය කියා සිටියා.

මේ අතර, ඊයේ (12) දිනය තුළ පමණක් පුද්ගලයින් 92,927 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

අදත් (13), එන්නත්කරණය සිදුකරන ඇතැම් ස්ථාන ආශ්‍රිතව උණුසුම් තත්ත්වයන් ඇතිවුණා.

මේ අතර, ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශීකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය දින 60 කින් දීර්ඝ කර තිබෙනවා.

එසේම, කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සංචරණ සීමාවලට යටත්ව ලබන සඳුදා (17) සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා නිවේදනය කළේ ඊ-චැනලින් සේවාව මගින් වේලාව වෙන් කර ගත් සේවාලාභීන් සඳහා පමණක් සේවා සපයනු ලබන බවයි.

මේ අතර, දීර්ඝ කාලීන දඬුවම් ලබා සිටින සිරකරුවන් හට ඔවුන්ගේ යහපත් කල් ක්‍රියාව මත පදනම්ව ලබා දෙන වරප්‍රසාදයක් වශයෙන් තම නිවාස වෙත ගොස් නැවත පැමිණීමේ ක්‍රමවේදය පවතින තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 1174 ක් වාර්තා වෙනවා. ඒ අනුව මෙරටින් අද (13) මෙතෙක් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 2249 ක් ෴

විදෙස්ගතව පැමිණි තවත් 20 දෙනෙක්, කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (13) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 2269 ක් ෴

++++++++++++++++++++++

(13.05.2021 – 20:45 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පනවා තිබුන ද සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව ඇගළුම් කර්මාන්ත පවත්වාගෙන යෑමට අවසර ලබා දී තිබෙනවා.

+++++++++++++++++++++++

(13.05.2021 – 21:16 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා පැනවීමත් සමඟ තම අස්වැන්න අලෙවි කරගත නොහැකිව ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ගොවීන්ට ගැටලු මතුවුවහොත් කෘෂි නිෂ්පාදන කඩිනමින් මිලදී ගැනීම සඳහා දිසාපතිවරුන්ට තමන් උපදෙස් ලබා දී ඇති බවයි.

කොවිඩ් ව්‍යාප්තියත් සමග පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් තම අසවැන්න අලෙවි කරගත නොහැකිව නිවෙස් තුළ හා වගාබිම්වලම විනාශයට පත් වන බවට නගන ගොවීන්ගේ මැසිවිලි විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම, ඉඟිනිමිටිය, කොන්කඩවල, ඇහැටුවැව යන ගම්මානවල වට්ටක්කා ගොවීන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත, හිරිපිටිය, නිකදළුපොත ප්‍රදේශවල වට්ටක්කා ගොවීන්, කරුවලගස්වැව නෙළුම්ගම ගම්මානයේ ගස්ලබු වගාකරුවන් සහ සූරියවැව ප්‍රදේශයේ කෙසේල්ව ගාකරුවන්ද දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

+++++++++++++++++++++++

(14.05.2021 – 06:06 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් 42 ක් මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයට පත්කර තිබෙනවා.

එම ප්‍රදේශ පහතින් :

++++++++++++++++++++++

(14.05.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 24 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 892 ක් දක්වා ඉහාලගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙලෙස කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් පිළිබඳව තොරතුරු පහතින් :

++++++++++++++++++++

(14.05.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

ගෙවුනු පැය 24 තුල නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 282 ක් අත්අඩංගුවට

ඊයේ (13) දිනය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන නීති කඩකල 282 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 9029 ක්.

නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ (13) දිනයේ දී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ උතුර ප්‍රදේශයෙන්.

ඒ හැරුණ විට කුලියාපිටිය මාතලේ හා ත්‍රිකුණා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලිනුත් නිරෝධායන නීති උල්ලංඝනය කළ බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ඊයේ (13) දිනය තුළ හැඳුනුම්පතේ අංක ක්‍රමවේදය අනුගමනය නොකළ තවත් 1506 දෙනකු දැඩි අවවාද කිරීම් වලටත් ලක් වුණා ෴

++++++++++++++++++++++

(14.05.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බැවින්, අද (14) හුදෙකලා කළ ප්‍රදේශ සහ හුදෙකලා බව ඉවත් කළ ප්‍රදේශවල එම තත්ත්වයන් ක්‍රියාත්මක වන්නේ, සඳුදා (17) අළුයම 4 සිට බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව අද දිනයේ හුදෙකලා බවින් ඉවත්කළ ප්‍රදේශ පහතින් :


අද (14) දිනයේ හුදෙකලා කළ ප්‍රදේශ පහතින් :

@@@@@@@@@@@@@@@@

(13.05.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමක් අද (13) දක්නට ලැබුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද (13) සටහන් වූයේ රුපියල් 202.28 ක් ලෙසයි.

ඒ අනුව, වසරේ මේ දක්වා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට 6.5 කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා ෴

******************************************

(13.05.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala)

විවිධ හේතු දක්වමින් ආණ්ඩුව සිදු කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතු වුවද නීතියට පිටින් ගොස් හිතුමනාපයට ඝාතන සිදුකල නොහැකි බවටයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.

සිදුවෙමින් පවතින යම්යම් සිදුවීම් අනුව ආණ්ඩුව යමින් සිටින්නේ ඒකාධිපති, ආඥාදායක ගමනක් බව පැවසූ විපක්ෂ නායකවරයා ඊට එරෙහිව සමගි ජනබලවේගය පෙරට එන බවයි වැඩි දුරටත් අදහස් දකවමින් විපක්ෂ නායකවරයා සඳහන් කලේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (13) විපක්ෂ නායක කාර්‍යාලයේ පැවතී මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙන බවයි.

එවන් ඝාතන තුළින් සැකකරු සමග ගණුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහල පෙලේ ජාවාරම්කරුවන්ට නීතියේ ‍රැහැනින් පැන යන්න හැකි වනවා පමණක් නොව එයින් නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය ද අහෝසි වී යන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

******************************************

(13.05.2021 – 22:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා කෙට් දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් සියය (100) ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළන්නට අද (13) සමත්වුණා.

ඒ ඉතාලියේ සවෝනාහිදී පැවති ශූරතා මළල ක්‍රීඩා තරගයේදී මීටර් 100 ඉසව්ව තත්පර 10.15 ක කාලයකින් නිමා කරමින්.

******************************************

(14.05.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය අද (14) දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40-50 අතර අගයක් ගත හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60 ක් දක්වා වැඩිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (14) දිනයේත් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇති බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එහි සඳහන්.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණ තත්වය පහතින් :

******************************************

(14.05.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත අන්තවාදයට අදාළ පන්ති සංවිධාන කිරීමේ චෝදනාවට මූතූර් හි ඉක්බාල් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ 38 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (13) යළි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.

ඒ, අන්තවාදයට අදාළව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *