සංචරණ සීමා අතර මංගල උත්සව පැවැත්විය හැකි ආකාරය ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

සංචරණ සීමා අතර මංගල උත්සව පැවැත්විය හැකි ආකාරය ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

*********************************************

සංචරණ සීමා අතර මංගල උත්සව පැවැත්විය හැකි ආකාරය ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

(13.05.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ක්‍රියාත්මක වන 14, 15 සහ 16 දිනවලදී සැලසුම් කර තිබූ මංගල උත්සව අදාළ නිවෙස්වලම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකළ හැකි බව පොලිසිය පවසනවා.

සංචරණ සීමා සම්බන්ධයෙන් කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේබව කියාසිටියේ.

සංචරණ සීමා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කෙරෙන පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව :

++++++++++++++++++++++

(13.05.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොරෝනා එන්නතේ පළමු සහ දෙවන (2) මාත්‍රා අතර පරතරය සති 12 සිට 16 දක්වා ඉහළ නැංවිය හැකි බව ඉන්දීය රජයේ ජාතික එන්නත්කරණ තාක්ෂණික උපදේශක කණ්ඩායම නිර්දේශ කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ එමගින් ප්‍රකාශ කළේ එම පරතරය දින 28 සිට සති 6 ක් හෝ 8 ක් දක්වා වැඩි කිරීමෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

ඉන්දීය රජයේ උපදෙශක කමිටුව තවදුරටත් සඳහන් කළේ ගර්භණී සහ කිරිදෙන මව්වරුන්ට ද තම වරණය අනුව කොරෝනා එන්නත් ලබා ගත හැකි බවයි.

කෙසේ නමුත්, ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සීන් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා අතර පරතරය සති හතරේ (4) සිට 6 දක්වා විය යුතු බවටයි ඉන්දීය ජාතික එන්නත්කරණ තාක්ෂණික උපදේශක කණ්ඩායම නිර්දේශ කර ඇත්තේ ෴

++++++++++++++++++++++

(13.05.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ ප්‍රථම දේශීය කොරෝනා එන්නත වන ‘භාරත් බයෝටෙක් කොවැක්සීන්’ එන්නත අවුරුදු දෙකේ (2) සිට 18 දක්වා ළමයින් සඳහා සායනික පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඒ සඳහා ඉන්දීය රජයේ ඖෂධ පාලකවරයාගේ අනුමැතිය හිමිවීමත් සමඟයි.

ඉන්දියාව විසින් කොරෝනා එන්නතක් ළමයින් සඳහා සායනික පරීක්ෂා සඳහා යොදා ගන්නා ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම දෙවන (2) සහ තුන්වන (3) අදියරේ සායනික පරීක්ෂණය සඳහා නිරෝගී ළමයින් 525 දෙනෙකුට දින 28 ක පරතරයක් සහිතව කොවැක්සීන් එන්නත් මාත්‍රා දෙක ලබාදීමට නියමිතයි ෴

+++++++++++++++++++++

(13.05.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ රැඳී සිටි එකම පවුලේ 04 දෙනෙකු ඔවුන් රැඳී සිටි නිවස තුළම නිරෝධායනයට ලක් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොරෝනා පරීක්ෂණ සඳහාද ඔවුන් යොමුකර ඇති බවයි.

මේ අතර මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,429 දෙනෙකු ඊයේ (12) වාර්තා වූ අතර, එහිදී දිස්ත්‍රික්ක 10 ක දෛනික ආසාදිතයින් සියය (100) ඉක්මවා වාර්තා වී තිබුණා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, මාතර, බදුල්ල, මහනුවර, පුත්තලම සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින් එලෙස ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වී තිබූ බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ (12) වාර්තා වූ ආසාදිතයින් 2,429 දෙනා සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,32,527 ක් දක්වා ඉහළ ගියා.

ගෙවුණු දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වූ 413 ක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ අතර පිලියන්දල ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් 146 දෙනෙකු වනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 370 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 332 ක් වාර්තා වුණා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් ඊයේ (12) වාර්තා වූ ආසාදිතයින් ගණන 1,106 ක්.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 136 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 128 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 140 දෙනෙකු, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 132 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 123 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 119 දෙනෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 107 දෙනෙකු ලෙස ආසාදිතයින් ඊයේ (12) වාර්තා වී තිබුණා.

ඉදිරියේදී තවදුරටත් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යා හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා.

මේ අතර, සීගිරිය – ඉනාමලුව ප්‍රදේශයේ පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලාවක් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 23 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් එම ඇගලුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරවල රැඳී සිටි සිසුන් 31 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

එසේම, වව්නියාව මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට (2) සහ හෙද නිලධාරීන් දෙදෙනෙකුට (2) මෙන්ම රෝහල් සේවකයෙකුටද (1) කොරෝනා වෛරසය වැළඳී ඇති බව සඳහන්.

එසේම, සූම් තාක්ෂණය ඔස්සේ දේවගැතිවරයෙකු පැවැත් වූ දේව මෙහෙයකට සහභාගි වීම සඳහා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවුල් කිහිපයක පිරිසක් එක් නිවසකට රැස්ව ඇති අතර, ඒ අතර සිටි කාන්තාවක ආසාදිතයෙකු බව පසුව තහවුරු වුණා.

ඒ අනුව අදාළ පවුල්වල සියලු දෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, ගතවූ දිනයේ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 18 ක් මෙරටින් වාර්තා වුණා.

ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 868 ක් දක්වා ඉහළ ගියා. ඊයේ (12) වාර්තා වූ මරණ 18 න් 16 කටම හේතුවී තිබුණේ ‘කොවිඩ් නිව්මෝනියාව’ යි.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 231,557 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර ගෙවුණු දිනයේ පමණක් දෙවන (2) මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10,189 ක්.

සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ද ඊයේ (12) දිනයේ පුද්ගලයින් 79,403 දෙනෙකුට ලබාදී ඇති අතර, ඒ අනුව එම එන්නත මෙතෙක් පුද්ගලයින් 150,606 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාවද පුද්ගලයින් 14,673 දෙනෙකුට ලබාදී අවසන්.

මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 448 දෙනෙකු ඊයේ (12) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+++++++++++++++++++++

(13.05.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සංචරණ සීමාවලට යටත්ව ලබන සඳුදා (17) සිට යළි ආරම්භ කෙරෙනවා.

එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා නිවේදනය කළේ ඊ-චැනලින් සේවාව මගින් වේලාව වෙන් කර ගත් සේවාලාභීන් සඳහා පමණක් සේවා සපයනු ලබන බවයි.

එසේම, පොළොන්නරුව, නුවරඑළිය, කළුතර, හම්බන්තොට හා මාතලේ ශාඛා මගින් සේවා සැපයීම තවදුරටත් සිදුනොකෙරෙන බව ද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර, දීර්ඝ කාලීන දඬුවම් ලබා සිටින සිරකරුවන් හට ඔවුන්ගේ යහපත් කල් ක්‍රියාව මත පදනම්ව ලබා දෙන වරප්‍රසාදයක් වශයෙන් තම නිවාස වෙත ගොස් නැවත පැමිණීමේ ක්‍රමවේදය පවතින තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴

@@@@@@@@@@@@@@@@@@@

(13.05.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා අවදානම හේතුවෙන් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් උත්සවය සමරන ලෙස මහානායක හිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

විහාරස්ථානවල හා ඉන් පිටත ජනතාව එක්රැස් වන දාන, ශීල, භාවනා, වෙසක් තොරණ හෝ වෙනත් පුණ්‍යඋත්සවය සංවිධාන නොකොට සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි මහානායක හිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර, යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය සහ වැඩසටහන බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් අවලංගු කෙරුණා.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශයන්ට අනුකූලව සංකේතාත්මක කෙටි වැඩසටහනක් ලබන 24 වනදා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකොට ගෙන පැවැත්වෙනු ඇති ෴

******************************************

(13.05.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වඩමුණේ ගම්මානයයි.

වඩමුණේ සිට වැලිකන්ද නගරයට පිවිසීමට ඇති එම මාර්ගය සංවර්ධනය නොකිරීම නිසා මේ ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

අවට ගම්මාන තුනක ජීවත් වන පවුල් 600 ක් පමණ ජනතාවට තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට කිලෝමීටර් 15 ක් පමණ දුර ගෙවමින් වැලිකන්දට පැමිණීමට සිදුව ඇත්තේ මෙම අබලන් මාර්ගය ඔස්සේයි.

කෙසේ වුවත් මෙම මාර්ගය හරහා දිනකට ගමන් කරන වැලි පැටවූ ට්‍රක්ටර් ගණන 50 කට අධිකයි.

එමගින් භූ විද්‍යා හා පතල් කැනීම් ආයතනය විශාල මුදලක් දිනකට උපයා ගත්ත ද මාර්ගය ප්‍රතිසංස්කරණය උදෙසා වැලි බිදක් හෝ ලබා නොදුන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

වැලිකන්ද නගරය හා මෙම ගම්මාන යා කරමින් දිනකට දෙවරක් (2) පමණක් ධාවනය කෙරුණේ එක් (1) බස් රථයක්ප පමණයි.

නිරන්තරයෙන් බලධාරීන් දැනුවත් කළ ද මාර්ග ප්‍රතිසංස්කරණයට මෙතෙක් කිසිවෙකු හෝ අවධානය යොමු නොකළ බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නඟනවා.

නිරන්තරයෙන් එල්ල වන වනඅලි තර්ජනයෙන් පීඩා විඳිමින් කුඹුරු ගොවිතැතින් ජීවත් මෙම ජනතාවගේ ගමනා ගමනය පහසු කරමින් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කරන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(13.05.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7 කට නායයාමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඒ අනුව, බුලත්සිංහල, පාලින්ද නුවර, අගලවත්ත, වළල්ලාවිට, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල හඳුනා ගත් ස්ථාන සඳහා හෙට (14) පෙරවරු 11 දක්වා මෙම අවදානම බලපැවැත්වෙන බවයි ෴

******************************************

(13.05.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් කඩිනම් තීරණයත් සමග තමන් පොහොර හිඟයහකට මුහුණ පා ඇතැයි ප්‍රදේශ රැසක ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ උද්ගතව ඇති තත්ත්වය තුළ ඉදිරියේදී ආහාර නිෂ්පාදනය අඩු විය හැකි බවයි.

ධීවර කර්මාන්තයට හැරුණු කොට කල්පිටිය අර්ධද්වීපයේ ජීවත් වන බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කෘෂිකර්මාන්තයයි.

ඒ අනුව කල්පිටිය අර්ධද්වීපයේ අක්කර දහස් ගණනක ලූණු, ගෝවා, රතු අල, රාබු, මෑ, මිරිස්, වට්ටක්කා ආදී වශයෙන් එළවළු වගාව සාර්ථකව සිදු කෙරෙනවා.

නමුත් රජය කෘෂි රසායන සහ පළිබෝධ නාශක සඳහා පැනවු තහනම හේතුවෙන් අක්කර ගණනක වගා බිම් මුළුමනින්ම විනාශවෙමින් පවතින බවටයි ගොවීන් මැසිවිලි නගන්නේ.

මෙවර කන්නයේ ඉබ්බාගමුව කෝන්ගහගෙදර ප්‍රදේශයේ කුඹුරු අක්කර 100 ක් පමණ වගා කෙරුණ ද පොහොර නොයෙදීම හේතුවෙන් එම ගොයම් ගස් කහ පැහැ ගැන්වෙමින් පවතින බව ගොවීන් පෙන්වා දුන්නා.

මේ අතර, පොළොන්නරුව – බෙදුම්ඇල ගොවි සංවිධානය යාය 20, 28 අත්තනකඩවල ප්‍රදේශයේ වගා කටයුතු සඳහා පොහොර නොමැති බවට පසුගියදා හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසු එම ගොවීන්ට පොහොර ලැබී තිබෙනවා.

මේ අතර, සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ කෘෂිකාර්මික ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැලක වැඩි මිලට අලෙවි කිරිම සඳහා පොහොර තොගයක් සඟවා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම වෙළෙඳසැල පරීක්ෂා කර තිබෙනවා.

එම ස්ථානයේ පොහොර විශාල ප්‍රමාණයක් සඟවා ඇති බව අනාවරණ කරගත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම පොහොර තොග දැනට වෙළෙඳපොලේ පවතින මිලට ප්‍රදේශයේ ගොවි ජනතාව සඳහා බෙදා දෙන ලෙසට නියෝග කළා.

ඒ අනුව ඊයේ (12) රාත්‍රි සිට මෙම පොහොර ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත බෙදාදීම ආරම්භ වූ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා විශාල පිරිසක් එහි පැමිණ සිටිනු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු කියා සිටියේ.

******************************************

(13.05.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ අපරාධ කල්ලි නායකයෙකු වන ‘තාරක පෙරේරා විජේසේකර’ හෙවත් ‘කොස්ගොඩ තාරක’ට අයත් ගිනි අවි කොස්ගොඩ ප්‍රදේශයේ සුසාන භූමියක තිබී හමුවී තිබෙනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය කොස්ගොඩ තාරක මීරිගම – රේන්දපොල ප්‍රදේශයට රැගෙන යාමට පෙර මෙලෙස ඔහුගේම තොරතුරකට අනුව මෙලෙස කොස්ගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණා.

තවත් ස්නයිපර් ගිනි අවියක් මීරිගම රේන්දපොල ප්‍රදේශයේ සඟවා ඇති බවට ලද තොරතුරකට අනුවයි මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා එම ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ.

එහිදී මොහු අසල සිටි පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවිය උදුරාගෙන වෙඩි තබා ඇති අතර, එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ තවත් පොලිස් නිලධාරියෙකු තාරකට වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ කොස්ගොඩ තාරක ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදි ඔහු මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.

33 හැවිරිදි වියේ පසු වූ ‘තාරක පෙරේරා විජේසේකර’ හෙවත් ‘කොස්ගොඩ තාරක’ කොස්ගොඩ – නෙල්ලිගස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොස්ගම, කොට්ටාව, මහරගම, අවිස්සාවේල්ල ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන 7 ක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.

මෙම අපරාධකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කාර්යාංශය වෙත භාර දුන්නා.

ඉන් අනතුරුවයි ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන එන්නේ.

2018 වසරේ මාතර නගරයේ රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑමේදී එය වැළැක්වීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ද මොහු ප්‍රධාන සැකකරු වනවා.

තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘පොඩි ලැසී’ නමැත්තා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් කිහිපදෙනෙකු සමග එක්ව ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරින් පිරිසකට මරණ තර්ජනය කිරීමේ සිද්ධියේ ද මොහු ප්‍රධාන සැකකරු බවයි පොලීසිය සඳහන් කළේ.

******************************************

(13.05.2021 – 14:33 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – මාගම්පුර ජාත්‍යන්තර වරායේ වාහන ප්‍රතිඅපනයන කටයුතු පසුගිය අප්‍රේල් මාසයේ ඉහළම අගයක් සලකුණු කරනවා.

අප්‍රේල් මාසයේදී වාහන 62,736 ක් හම්බන්තොට වරාය මගින් ප්‍රතිඅපනයනය කර ඇති අතර, පළමු මාස 4 තුල මෙහෙයවූ වාහන සංඛ්‍යාව 1,93,690 ක්.

හම්බන්තොට වරාය මගින් ප්‍රතිඅපනයනය කෙරුණු වාහන වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ චෙන්නායි, මුන්ද්‍රා සහ එන්නෝර් වරාය වලින් මෙන්ම, දකුණු කොරියාවේ ගන්සන් සහ පියොන්ටීක් වරාය වලින් පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ඩර්මන්, මෙක්සිකෝවේ වරකෲස්, ඇමෙරිකාවේ සැන් ඇන්තෝනියෝ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ ප්‍රංශයේ ලීහාවි එම වාහන ප්‍රධාන වශයෙන් ප්‍රතිඅපනයනය කෙරුණු වරායන් ලෙස දැක්වෙනවා ෴

******************************************

(13.05.2021 – 15:29 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිඅපනයනය සඳහා බව පවසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආනයනය කළ බහාලුම් 21 ක, රුපියල් බිලියන 9 කට අධික වටිනා විදෙස් දුම්වැටි මිලියන 200 ක් ඇතැයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ අදාළ ජාවාරම්කරුවන් විසින් දැනටමත් මේ ආකාරයට සාවද්‍ය ලෙස බහාලුම් 12 ක් බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය යන රටවල් වෙත අපනයනය කළේයැයි ප්‍රකාශ කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව අදාළ රටවල ආනයනකරුවන් ගෙන් විමසීමේදී එම ආනයන ඔවුන් විසින් සිදුකර නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, මෙය ජාත්‍යන්තර ජාවාරමක එක් පුරුකක් ද යන්න සොයා බැලීමට එම රටවල රේගු ආයතන සහ ජාත්‍යන්තර රේගු සංවිධානය සමඟ එක්ව විමර්ශන කිරීමට අපේක්ෂා කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *