තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

*********************************************

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

(09.05.2021 – 07:07 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 20 ක් සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලිඳුල පොලිස් වසමේ ශාන්ත කූම්බ්ස් වතු යාය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ දොලේකන්ද, රඹුක, කත්ලාන, තණබෙල, ඉළුඹකන්ද සහ පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා කෙරෙනවා.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ පනාපොළ, කුඩමේරිය, කුඩව, දෙල්ගොඩ නැගෙනහිර, දෙල්ගොඩ බටහිර, දව්ගලගම, ගඟලගමුව, කොස්වත්ත, තපස්සරකන්ද, වතුරාව, වෙම්බියගොඩ, වැද්දාගල නැගෙනහිර, වැද්දාගල බටහිර, දවුගලගම සහ කලවාන බටහිර ග්‍රාම සේවා වසමේ ප්‍රධාන නගරයේ සිට නැගෙනහිර දොලහේන මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස හුදෙකලා කෙරෙනු ඇති.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාමසේවා වසම අද (09) උදෑසන සිට හුදෙකලාභාවයෙන් ඉවත් කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

(09.05.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට රෝහල් පද්ධතිය තුල ශල්‍ය මුව ආවරණ ඇතුළු කොරෝනා ආරක්ෂක උපකරණ කට්ටලවල හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ අදාල ශල්‍ය මුව ආවරණ ඇතුළු ආරක්ෂක උපකරණ ලබාදීමට කටයුතු නොකල හොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි ෴

+++++++++++++++++++++

(09.05.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත 14 හැවිරිදි පාසල් සිසුවෙකු BMICH හි පැවති විභාගයක් සඳහා රැගෙන ගිය පුද්ගලයකුට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවරීමට කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ (08) පියවර ගෙන තිබෙනවා.

වස්කඩුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මත්තෙගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනය කර තිබූ නිවසකට හොර රහසේ පැමිණ, කොරෝනා ආසාදිතව රෝහල් ගතකිරීමට නියමිතව සිටි 14 හැවිරිදි පාසැල් සිසුවකු යතුරු පැදියක නංවාගෙන BMICH වෙත රැගෙන ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අදාළ පුද්ගලයා ආසාදිත දරුවාගේ මාමා බවට සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම 14 හැවිරිදි දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඇති බවට දැන සිටි එම පාසලේම තවත් සිසුවෙකු ඔහු විභාගයට පැමිණ සිටිනු දැක සිය පියාගේ මාර්ගයෙන් කහතුඩුව MOH නිළධාරියා දැනුවත් කර තිබෙනවා.

සිසුවා විභාගයට යන අවස්ථාවේදී ඔහුගේ මවට, පියාට සහ නැගණියට ද කොරෝනා ආසාදිතව සිට ඇති අතර තවත් කාන්තාවක් නිවසේ නිරෝධායනය වී සිට ඇතැයි ද වාර්තා වනවා.

ඒ අනුව නිරෝධායන පනත උල්ලංඝනය කිරීමේ වරදට ඔවුන්ට මෙලෙස නඩු පැවරූ බවයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ.

මෙම විභාගය ජාත්‍යන්තර පාසලක් මගින් පවත්වන විභාගයක් වන අතර ඊට හයදහසකට (6000) ආසන්න පිරිසක් අවස්ථා කීපයකදී කැඳවා ඇතැයි ද කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කියාසිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ආයතනය ද දැනුවත් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++

(09.05.2021 – 09:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයේ දෙවන (2) රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතරත් දුර්ලභ මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බව වාර්තා වනවා.

කණ, නාසය සහ උගුර ආශ්‍රිතව පැතිරෙන මෙම කළු පුස් ආසාදනය ඇස් සහ මොලය දක්වාම පැතිර යා හැකි බවයි අනාවරණ වී ඇත්තේ.

මෙහිදී ඇතැම් විට අන්ධභාවයද ඇතිවිය හැකියි. මෙලෙස කොරෝනා ආසාදිතව සිට කළු පුස් රෝගයට ගොදුරු වූ 25 හැවිරිදි කාන්තාවකගේ දිවි ගලවා ගැනීම සඳහා ඇයගේ ඇසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදුකළ බව මුම්බායි නුවර වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළා.

මෙලෙස කොරෝනා ආසාදිත රෝගීන් අතර පැතිරෙන ‘මියුකෝ මයිකොසිස්’ නැමැති දිලීරය පසේ, ශාඛවල මෙන්ම නරක්වන එළවළු සහ පළතුරුවලද දැකිය හැකි වූවත්, නීරෝගී පුද්ගලයින්ට ආසාදනය වන්නේ කලාතුරකින් ෴

+++++++++++++++++++++

(09.05.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (08) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,896 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් ඊයේ (08) හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1,116 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

එසේම, මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද ඊයේ (08) වාර්තා වූ අතර, එම සංඛ්‍යාව 22 ක්.

ඉන් 19 දෙනෙකුම මියගොස් තිබුණේ කොවිඩ් නිව්මෝනියාවෙන්.

ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 786 ක් ලෙසින්.

ඊයේ (08) හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වූ 411 ක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. නාරාහේන්පිටින් හඳුනාගත් ආසාදිතයින් 60 දෙනෙකු සහ පිලියන්දලින් හඳුනාගත් ආසාදිතයින් 43 දෙනෙකුද ඒ අතර වනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 358 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 88 දෙනෙකු හඳුනා ගත්තේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347 දෙනෙකු වාර්තා වී තිබුණා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 194,905 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති අතර ගෙවුණු දිනයේ පමණක් දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 7,130 ක්.

ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාවද මේ වනවිට පුද්ගලයින් 2,996 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, ඊයේ (08) දිනයේ සිට ශ්‍රී ලාංකිකයින්ට ලබාදීම ආරම්භ කළ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 3158 දෙනෙකුට ලබාදී ඇති අතර, ඊයේ (08) දිනයේ එන්නත ලබාගත් සංඛ්‍යාව 293 ක්.

පවතින තත්ත්වය මත පළාත් මට්ටමින් කොව්ඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීමට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 09 දෙනෙකු පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිත 14 හැවිරිදි පාසල් සිසුවෙකු බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පසුගියදා පැවති ජාත්‍යන්තර පාසලක විභාගයක් සඳහා යතුරුපැදියකින් කැඳවාගෙන ගිය පුද්ගලයෙකුට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවරීමට කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා.

අදාළ පුද්ගලයා ආසාදිත සිසුවාගේ මාමා කෙනෙකු වන අතර, සිසුවාගේ මවට, පියාට සහ නැඟණියටද කොරෝනා ආසාදිතව සිටින අවස්ථාවේදීයි මෙලෙස ඔහු විභාගය සඳහා රැගෙන ගොස් ඇත්තේ.

අදාළ විභාගය සඳහා 6000 කට ආසන්න පිරිසක් අවස්ථා කිහිපයකදී සහභාගී වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එම ජාත්‍යන්තර පාසලද දැනුවත් කිරීමට කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ තාවකාලික අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක නඩත්තු කටයුත්තක් නිසා එහි ප්‍රතිකාර ලබන පුද්ගලයින් 105 දෙනෙකු අම්පාර, දමන හා පදියතලාව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැණුනා.

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන බෙලිඅත්ත නගරයේ කඩ සාප්පු දින 3 කට වසා දැමීමට බෙලිඅත්ත වෙළෙඳ සංගමය තීරණය කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් දිනෙන් දින වාර්තා වන පසුබිමක තවදුරටත් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සැරිසරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර, සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම සඳහා කඩිනමින් සැලසුම් සහගත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඉදිරි සතියෙන් පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, ඉදිරි සති කිහිපයේදී කොරෝනා ආසාදිතයින් වැඩි වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

දැනට පවතින ක්‍රමවේද හරහා දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අවම කර ගැනීම ගැටළුකාරී තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ක්ෂේත්‍ර රාජකාරියේ නිරත නිලධාරීන්ද මේ වනවිට කලකිරීමෙන් පසුවන බවයි.

මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 20 ක් සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලිඳුල පොලිස් වසමේ ශාන්ත කූම්බ්ස් වතු යාය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (09) උදෑසන සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ දොලේකන්ද, රඹුක, කත්ලාන, තණබෙල, ඉළුඹකන්ද සහ පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා කෙරුණා.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ පනාපොළ, කුඩමේරිය, කුඩව, දෙල්ගොඩ නැගෙනහිර, දෙල්ගොඩ බටහිර, දව්ගලගම, ගඟලගමුව, කොස්වත්ත, තපස්සරකන්ද, වතුරාව, වෙම්බියගොඩ, වැද්දාගල නැගෙනහිර, වැද්දාගල බටහිර, දවුගලගම සහ කලවාන බටහිර ග්‍රාම සේවා වසමේ ප්‍රධාන නගරයේ සිට නැගෙනහිර දොලහේන මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය දෙපස හුදෙකලා කිරීමටයි කටයුතු කෙරුණේ.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාමසේවා වසම අද (09) උදෑසන සිට හුදෙකලාභාවයෙන් ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

(09.05.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් අවදානම හේතුවෙන් පසුගියදා හුදෙකලා කළ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදෙකලා බවින් නිදහස් කිරීමට තමන් කිසිදු බලපෑමක් සිදු නොකළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

++++++++++++++++++++

(09.05.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල පොදු වෙළඳ සංකීර්ණය නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ වෙළඳ සංකීර්ණය සහ ඒ ආශ්‍රිතව සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණවලදී පුද්ගලයින් 101 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුවයි.

පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ එලෙස අහඹු පරීක්ෂණ 300 ක් පමණ සිදුකළ අතර, ඒවායේ ප්‍රතිඵල අද (09) ලැබුණු බවයි.

+++++++++++++++++++

(09.05.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

හුදෙකලා කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ පිලියන්දල පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටි කැස්බෑව නගර සභාවේ මන්ත්‍රීවරුන් තිස්පස් (35) දෙනාගෙන් 33 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට අද (09) පියවර ගැනුණා.

ඒ, එහි මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.

අදාළ මන්ත්‍රීවරයා අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද වනවා.

පිලියන්දල ප්‍රදේශයෙන් වාර්තා බවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන්.

එම සාකච්ඡාවේදී අනාවරණ වී ඇත්තේ කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී සුමන වීරමන් රණවීරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

අදාළ මන්ත්‍රීවරයා පසුගිය 04 වැනිදා පැවති කැස්බෑව නගර සභාවේ මහා සභා රැස්වීමටද එක්ව තිබෙනවා.

ඒ අනුවයි ඊට සහභාගි වූ කැස්බෑව නගර සභාවේ සභාපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් 33 දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ.

සුමන වීරමන් රණවීර නැමැති මෙම මන්ත්‍රීවරයා පසුගිය 05 වැනිදා පැවති මාධ්‍ය හමුවකටද එක්ව සිටි අතර, පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමත් සමඟ ඇති වූ තත්ත්වයත් සමඟ අමාත්‍ය ගාමිණී ලොකුගේට සහය දැක්වීම සඳහා එය කැඳවා තිබුණා.

මේ අතර, පිලියන්දල පොදු වෙළඳපොලේ 49 හැවිරිදි පළතුරු වෙළඳසැල් හිමිකරුවෙකු කොරෝනා ආසාදනය වීමෙන් පසුගිය 05 වැනිදා ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ හේතුවෙන් එම පොදු වෙළඳපොලේ වෙළඳුන් 340 දෙනෙකු සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකර තිබුණා.

ඉන් පරීක්ෂණ 246 ක ප්‍රතිඵල අද ලැබී තිබූ අතර, ඒ මඟින් තහවුරු වී ඇත්තේ 101 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වූ අතර, එහිදී තීරණය කෙරුණේ පිලියන්දල පොදු වෙළඳ සංකීර්ණය නැවත දැනුම්දෙනතුරු වසා දැමීමටයි.

එම තීරණයත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පොදු වෙළඳපොලේ සිටි වෙළඳුන් සහ ජනතාව ඉවත් කිරීමට අද කටයුතු කළා.

මේ අතර, අමාත්‍ය ගාමිණී ලොකුගේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පසුගියදා හුදෙකලා කළ පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා බවින් නිදහස් කිරීමට තමන් කිසිදු බලපෑමක් සිදුනොකළ බවයි.

තීරණ ගත යුත්තේ සෞඛ්‍ය බලධාරින් බව ඔහු එහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අද (09) මාධ්‍යවේදීන් මහනුවරදී දේශපාලනඥයන් සෞඛ්‍ය නිර්දේශවලට බලපෑම් කරන තත්ත්වයන් සම්බන්ධයෙන් කරුණු විමසූ අතර අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම්විට එවැනි සමහර අය සිටින බවයි.

@@@@@@@@@@@@@@@@

(09.05.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

එතනෝල් ලීටර් 5000 ක් අඩංගු බැරල් 25 ක් ව්‍යාජ ලේඛණ සකස් කර ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ ඊයේ (08) සවස 02:30 ට පමණ අඟුණකොලපැලැස්ස පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුලුකළ සැක සහිත වාහනයක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත එය පසුපස හඹාගොස් පරීක්ෂා කර ඇති බවයි.

එහිදී එතනෝල් අඩංගු බැරල් 25 ක් හමුවී තිබෙනවා.

තවදුරත් කළ සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන ආකාරයේ ව්‍යාජ ලේඛණ යොදා ගනිමින් මෙම එතනෝල් දංකොටුව ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබු බවයි.

ලොරිය පැදවූ කැළණිය තොරණ හංදිය ප්‍රදේශයේ පදිංචි සැකකරු සහ ලොරිය වැඩිදුර විමර්ශණ සඳහා වීරකැටිය පොලිසියට භාරදී තිබෙනවා.

ඔහු අද (09) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(09.05.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ පක්ෂවල නායකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා (11) පැවැත්වීමට නියමිතයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එදින (11) පස්වරු 6 ට අරලියගහ මන්දිරයේදී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

මීට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමකට, පක්ෂ නායකයින්ට අමතරව, වැඩි පිරිසක් එක්ව සිටීම හේතුවෙන් මෙම පක්ෂ නායකයින් එම රැස්වීමට එක්වුණේ නැහැ.

ඒ අනුව ඔවුන් අග්‍රාමාත්‍යවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි අනිද්දා (11) මෙම රැස්වීම කැඳවා ඇත්තේ ෴

******************************************

(09.05.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩිකරන ලද වන්දි මුදල් ගෙවීම හෙට (10) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ එදින හෝ එදිනෙන් පසු දිවයිනේ ඕනෑම මහජන බැංකු ශාඛාවක් වෙත නියමිත ලේඛන ඉදිරිපත් කර තමන්ට හිමි වන්දි මුදල් ලබා ගන්නා ලෙස සුදුසුකම්ලත් තැන්පතුකරුවන්ට දැනුම් දෙන බවයි.

එසේම, මහජන බැංකු ශාඛා පරිශ්‍රයන්හි පිරිස් වශයෙන් රැස් නොවන ලෙසටත්, සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසටත් අදාළ තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද මහබැංකුව සඳහන් කළා.

ඊට අමතරව, 011 247 7261 හෝ 011 239 8788 යන දුරකථන අංක ඇමතීමෙන් ද මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් නිවේදනය කළේ ෴

******************************************

(09.05.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

චීන ‘ලෝංන් මාච්’ රොකට්ටුවේ දැවැන්ත කොටස අද (09) උදෑසන ඉන්දීය සාගරයට කඩා වැටී තිබෙනවා.

චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ එය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු තීරයට කඩා වැටී ඇති බවයි.

ටොන් 18 ක් බරැති මෙම රොකට් කොටස මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලෙකනවා.

සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උඩුගුවනට රැගෙන යාම සඳහා චීනය යොදා ගත් ‘ලෝංන් මාච් ෆයිව් බී’ රොකට්ටුවේ ප්‍රධාන කොටසයි මෙලෙස පෘථිවියට කඩා වැටී ඇත්තේ.

එය පෘථිවි වායුගෝලයට ඇතුළු වීමෙන් පසු කඩා වැටෙන පථය පිළිබඳව විද්‍යාඥයන් ඊයේ (08) අනාවැකි පළ කළා. එහෙත්, එහි ගමන් මාර්ගය අවිනිශ්චිත බවයි බොහෝදෙනාගේ මතය වූයේ.

සාමාන්‍යයෙන් ශටල යානා හැරුණුකොට අභ්‍යවකාශයට යවන රොකට් යානා කුඩා කොටස් රැසකට වෙන් වී විනාශයට පත්වීම දැකිය හැකියි.

එහෙත්, චීන ලෝංන් මාච් රොකට්ටුව සරල කොටස් කිහිපයකින් සමන්විත වීම නිසා මෙලෙස එහි විශාල කොටසක් ඉතිරි වී පෘථිවි කක්ෂය හරහා වායුගෝලයට ඇතුළු වුණා.

එහි සුන්බුන් වැටී ඇත්තේ මාලදිවයිනට බටහිරින් වූ ප්‍රදේශයකටයි. ඇමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානය ද ලෝංන් මාච් ෆයිව් බී රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල අරාබි අර්ධද්වීපයට ඉහළින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බව සනාථ කළා.

******************************************

(09.05.2021 – 11:18 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග නිල්වලා සහ කළු ගංගා වල ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නිල්වලා ගඟ, පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බවයි.

එමෙන්ම, කළු ගගේ අතු ගංගාවක් වන මගුරු ගගේ ජල මට්ටම මගුර ප්‍රදේශයේදී පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (09) සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එහිදී සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත්, ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි ෴

******************************************

(09.05.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 8 දෙනෙකු කළ පාපොච්චාරණයකට අනුවයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය මගින් පසුගිය මාස දෙකක කාලසීමාව තුල කන්තලේ සහ අනුරාධපුර ප්‍රදේශවලදී මුදල් නෝට්ටු ජාවාරමට සම්බන්ධ එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සඳහන් කර ඇත්තේ රුපියල් නෝට්ටු වලට අමතරව තමන් ව්‍යාජ ඩොලර් සියයේ නෝට්ටු ද මුද්‍රණය කළ බවයි.

ඒ අනුව, මෙලෙස මුද්‍රණය කළ ව්‍යාජ ඩොලර් නෝට්ටු මුදල් මාරු කිරීමේ මධ්‍යස්ථානවල මෙන්ම, මූල්‍ය ආයතනවල ද හුවමාරු විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එවැනි තොරතුරක් වෙතොත් වහා දැනුම්දෙන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය ඉල්ලා සිටින්නේ.

0112 326 670 හෝ 0112 320 145 යන දුරකථන අංකවලින් මෙවැනි තොරතුරු ඉදිරිපත් කළ හැකියි.

******************************************

ඉරාජ් සංස්කෘතිය කෑවා; දැන් වස්තිලයි, හුලිජ්ජ කොල්ලෝ ටිකකුයි කනවා – DAN ප්‍රියසාද් (09.05.2021)

******************************************

(09.05.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 60 කට ආසන්න කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 29 ක් සමග දකුණු අප්‍රිකානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙන්යාවේ – නයිරෝබි නුවර සිට අද පෙරවරුවේ මෙරටට පැමිණි මොහුගේ ගමන් මළු ගුවන්තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලක ඒකකයේ නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කළා.

එහිදී ඔහුගේ ගමන් මල්ලේ ෂැම්පු බෝතල් 2 ක පාර්සල් 3 ක් ලෙස මෙම කොකේන් තොගය සගවා තිබියදී සොයා ගැණුනා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි ෴

******************************************

(09.05.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමග තමන් පොහොර හිඟයහකට මුහුණ පා ඇති බවට එළවළු ගොවීන් චෝදනා කරනවා.

රජයේ මෙම හදිසි තිරණය හේතුවෙන් තමන්ද දැඩි අසීරුතාවකට පත්ව ඇති බව දේශීය මල්වගාකරුවන්ද පවසනවා.

රසායනික පොහොර නොමැති වීමෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් මුහුණ දී සිටින්නේ දැඩි ගැටලුවකටයි.

ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දම්පුරගම සහ දමනයාය ගම්මාන දෙකේ ගොවීන් යල කන්නයේ වී වැපිරීම මේ වන විට ආරම්භ කර තිබුණද වගාවට අවශ්‍ය පොහොර මෙතෙක් නොලැබුණු බවට චෝදනා කරනවා.

මේ හේතුවෙන් ප්‍රමාණවත් අස්වැන්නක් කරා යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි ගොවීන් පවසන්නේ.

මේ අතර, මෙරට එළවලු සහ පළතුරු අවශ්‍යතාවයෙන් සියයට 40 කට වැඩි ප්‍රමාණයක් සපයන කල්පිටිය අර්දද්වීපයේ ගොවීන් පවසන්නේද ප්‍රමාණවත්ව පොහොර නොලැබීම හේතුවෙන් ඉදිරියේදී තම අස්වනු සැපයීම මුලුමනින්ම අඩාලවිය හැකි බවයි.

රසායනික පොහොර සහ කෘමිනාශක නොමැතිකමින් ගොවිතැන් කටයුතු අත්හැරීමට සිදුව ඇති බවට මහවැලි එච් කලාපයේ මඩාටුගම ගොවීන්ද මැසිවිල නගනවා.

පොහොර සහ වල් නාශක ලබා ගැනීම සඳහා වෙළෙඳසැල් ආශ්‍රිතව මෙන්ම ගබඩා අසලද ගොවීන් රැඳී සිටින ආකාරය දිවයිනේ ප්‍රදේශ කිහිපයකම දක්නට ලැබුණා.

රසායනික පොහොර සහ කෘමිනාෂක ආනයනය නතර වීමත් සමඟ එළවළු වගාවන්වල අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබෙන බවට නුවරඑලිය ප්‍රදේශයේ ගොවීන් මැසිවිලි නගනවා.

රසායනික පොහොර ආනයන නතර කිරීමත් සමඟ වැලිමඩ ඌව පරණගම – කැප්පෙටිපොල, බොරලන්ද, දියතලාව, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල දේශීය මල්වගාකරුවන්ද වගාවන්ට අවශ්‍ය පොහොර නොමැතිව අසීරුතාවකට පත්ව සිටිනවා.

******************************************

(09.05.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීමේදී ගැටුමක් ඇතිවීමට හේතු වුණේ මන්ත්‍රීවරියන්ට සිදුවන අපහාස බව එම ගැටුමට මුල්වූ නාගරික මන්ත්‍රිනී සාවිත්‍රී ගුණසේකර මහත්මිය පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඇය මේ බව සඳහන් කළා.

මහරගම නගර සභාවේ පාලක පක්ෂය නියෝජනය කරන සාවිත්‍රී ගුණසේකර මන්ත්‍රීවරිය සහ නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා අතර පසුගිය 6 වැනිදා ගැටුමක් ඇතිවුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සාවිත්‍රී ගුණසේකර මන්ත්‍රීවරිය ගැටුමට පසුදින ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරිය නගන චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (08) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *