අලුත් අවුරුදු පොකුර 25,000 සීමාව ආසන්නයට – ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයින්ටත් ස්පුට්නික් කොරෝනා එන්නත

අලුත් අවුරුදු පොකුර 25,000 සීමාව ආසන්නයට – ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයින්ටත් ස්පුට්නික් කොරෝනා එන්නත

*********************************************

අලුත් අවුරුදු පොකුර 25,000 සීමාව ආසන්නයට – ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයින්ටත් ස්පුට්නික් කොරෝනා එන්නත

(08.05.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (07) අලුතින් හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 1917 දෙනා අතරින් 1393 ක්ම හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන්.

ඉන් වැඩිම පිරිස වන 591 ක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම පිරිස අතරින් 95 දෙනෙකු සීදුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ වෛරසය අසාදනය වී ඇති බවට හඳුනා ගත් පුද්ගලයින් 600 වැඩි පිරිසක් නිවෙස් වල රැදී සිටින බව සඳහන්.

කොරෝනා පරික්ෂණ 3000 ආසන්න ප්‍රමාණයක වාර්තා ලැබීමට නියමිත ඇති බවයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434 ක් ඊයේ (07) වාර්තා වූ අතර, ඉන් කොළඹ මහනගර සීමාව තුලින් ආසාදිතයින් 185 ක් හඳුනාගත් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මහරගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 30 දෙනෙකු සහ අවිස්සාවේල්ලෙන් ආසාදිතයින් 22 ක් හඳුනා ගනු ලැබුවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (07) හඳුනාගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 368 ක්. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බණ්ඩාරගම ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 85 ක්.

ඒ අනුව, ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින් 25,000 සීමාවට ආසන්නවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,21,338 දක්වා ගොස් තිබෙනවා.

රෝහල් රැසක ආසාදිතයින් 18,830 ක් ප්‍රතිකාර ලබන අතර, සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 1,01,763 ක්.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 1,87,775 දෙනෙකුට මේ වන විට ලබාදී ඇති අතර ගෙවුණු දිනයේ පමණක් දෙවන (2) මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 12,975ක්.

එසේම, චීනයේ සයිනොෆාම් එන්නත අද (08) පස්වරුවේ සිටම පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේදි ලබා දිමට කටයුතු සූදානම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයේ සයිනොෆාම් ඖෂධ සමාගම නිෂ්පාදනය කළ සයිනොෆාම් කොරෝනා එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට ඊයේ (07) අනුමැතිය ලබා දුන්නා.

ඒ සමඟයි එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ලබාදීමට කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව, ස්පුට්නික් එන්නතේ ද පළමු (1) මාත්‍රාවද ගතවු දිනයේදී පුද්ගලයින් 1000 ට ලබාදී තිබෙනවා.

මේ අතර, නිරෝධායන රීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර, ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 617 ක්.

එය දිනකදී නිරෝධායන රීති කඩ කර අත්අඩංගුවට පත්වූ වැඩිම සංඛ්‍යාව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මීට අමතරව, බස්නාහිර පළාත තුළ විවිධ ස්ථානවලදී ජංගම වෙළෙඳුන් 188 දෙනෙකු පරීක්ෂාවේදී ඔවුන් නිරෝධායන රීති කඩකරන ආකාරය නිරීක්ෂණය වූ බව පොලිසිය සඳහන් කළා.

එසේම, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවයේ නියුතු පරිපාලන නිලධාරියෙකු ඇතුළු 07 දෙනෙකුට කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසාදමා තිබෙනවා.

ඒ අනුව, එහි සේවයේ නියුතු 80 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකෙරුණු බවයි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ.

මේ අතර, ත්‍රිකුණාමලය – ගෝමරන්කඩවල පොලිස් ස්ථානයද නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීමත් සමග එහි සෙසු නිලධාරීන් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම වැඩි වීම හේතුවෙන් මුල්ලේරියාව මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කරමින් සිටිනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ද සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ නව ප්‍රතිකාර මධ්‍යස්ථාන 9 ක් ස්ථාපිත කරන බවයි.

මේ අතර, බංග්ලාදේශයේ සංචාරයකට සූදානම්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන්ට රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නත ලබාදීම අද සිදුකෙරුණු බව වාර්තා වනවා.

(08.05.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය පාලනයේදී එන්නතක් ලබා ගැනීම ඉතා වැදගත් වන හෙයින් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් වර්ග 07 ක් පමණ අනුමත කර තිබෙන අතර එම ඕනෑම එන්නතක් ලබාගෙන ආරක්ෂාව සලසා ගන්නා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කළා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ දැනට අනුමත සෑම එන්නත්කින්ම 65% ට වැඩි ආරක්ෂාවක් සලසන අතර එන්නත ලබාගත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වුවද 90% කට වැඩි ආරක්ෂාවක් සලසන අතර වැනි අයට දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍යතවක් මතු නොවන බවයි.

එම නිසා මේ මොහොතේ වැදගත් වන්නේ එන්නත ලබා ගැනීම වන හෙයින් ඔබට ලැබෙන පළමු අවස්ථාවේම මෙම කුමන හෝ එන්නතක් හෝ ලබාගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා.

කිසිදු ආකාරයක බියක් තබාගත යුතු නැති අතර අපගේ රට තුළ භාවිත වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත එන්නත් වන නිසා රෝගයෙන් ආරක්ෂාවීමට ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එන්නත ලබාගැනීමට පසුබට නොවන ලෙසයි ඇය පවසා සිටියේ.

එමෙන්ම රජයක් ලෙස ලබා දී තිබෙන පහසුකම් සමඟ ජනතාවද බුද්ධිමත් ලෙස කටයුතු කළ යුතු බව ද ඇය පෙන්වා දුන්නා.

“පොදු ප්‍රවාහනය භාවිතයේදී තවදුරටත් රෝගය ව්‍යාප්තවීමට බලපෑමක් ඇති හෙයින් නිසි පරිදි මුව ආවරණ පැළඳ, සැනිටයිසර් භාවිත කරමින් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් පිටව යන්න එපා.

රජයෙන් ලබා දී තිබෙන පහසුකම් එක්ක නිවසේ සිට වැඩ කළ හැකි අය එලෙසම කටයුතු කරන්න.

දරුවන් පවා රෝගයට ගොදුරු වන හෙයින් මෙය පාලනය සඳහා පාසල් වසා තැබීම හොඳ දෙයක්.

ගැබිණි මාතාවන් මෙහිදී ඉතාම ප්‍රවේශම් විය යුතුයි. මුල් මාස තුන (3) තුළ දරුවාගේ අවයව වැඩීම සිදුවන හෙයින් කිසිම වෛරසයකට නිරාවරණය වීම අපි පිළිගන්නේ නැහැ.

අවසන් මාස තුනේ (3) පසුවන ගැබිණි මව්වරුත් වඩා සැලකිල්ලෙන් පසුවන්න.

ආසාදිත වීම තුළ සංකූලතා වැඩි වෙන්න පුළුවන්. අඩු වයසින් දරුවන් බිහිවෙන්න පුළුවන්.

ආසාදිත තත්ත්වයක් හෝ රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මෙම කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම තුළ දිගුකාලීනව ප්‍රතිශක්තියට හානියක් වෙනවද නැද්ද කියලා තවම වෛද්‍ය විද්‍යාත්මක සාධක මඟින් හඳුනා ගෙන නැහැ.

රෝගය ව්‍යාප්ත වීම වැඩිවීමෙන් රෝගීන් වැඩියෙන් වාර්තා වෙනවා. මරණ වැඩිවෙන්න එය හේතුවක්.

ඇතැම් අය රෝග ලක්ෂණ තියෙද්දී ඒ ගැන පරීක්ෂණයක් කේර තහවුරු කරගන්න මැලිකමක් දක්වනවා.

ඒ නිරෝධායනයට යාමට තියෙන අකමැත්ත මෙන්ම නිවසින් වෙන් වීමට තිබෙන අකමැත්ත නිසා.

මෙවැනි තත්ත්ව වලදී අසාධ්‍ය වූ විට තමයි රෝහලට පැමිණෙන්නේ.

එවැනි තත්ත්වයන් පවා මරණ වැඩිවීමට හේතුවක්.

රෝග ලක්ෂණ ඇත්නම් අනිවාර්යයෙන් පරික්ෂා කරගන්න.

මේ වෙද්දී වයස අවුරුදු 60 ට අඩු අයට රෝගය වැළඳෙන ප්‍රමාණය වැඩියි. නිධන්ගත රෝග තියෙන අයට සංකූලතා වැඩියි.

ඒ නිසා ලබාදී තිබෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.

එලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන්ම මේ රෝගය පාලනය කරගත් රටවල් තිබෙනවා” ෴

+++++++++++++++++++++++++

(08.05.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 23 ක් අවලංගු වීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත නියෝග කර තිබෙනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ගාමිණී සෙනෙවිරත්න මහතා කියා සිටියේ ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් මූලික වාර්තාවක් තමන් ලබන සඳුඳා (10) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ලබාදෙන බවයි.

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස ද දැනුම්දී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එසේම, පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කාර්යාල දුම්රිය ධාවනය කරවීමේදී මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන්ද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ගාමිණී සෙනෙවිරත්න මහතා අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ කාර්යාල දුම්රියවල පවතින ආසන 26,000 ට සාපේක්ෂව එහි ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි බවයි ෴

+++++++++++++++++++++++

(08.05.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලීසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරින් 4 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.

මීට පෙර නුවරඑළිය පොලීසියේ 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර, ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කර තිබුණා.

පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණවලදීයි මෙලෙස තවත් නිලධාරින් 4 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ෴

++++++++++++++++++++

බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා 15% කින් ප්‍රබල නව විකෘති කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනේ

(08.05.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

මීට දින දෙකකට (2) පමණ පෙර කොවිඩ්-19 වෛරසයට අදාළව තවත් විකෘති ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙන අතර එය මේ වනවිට ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, බ්‍රිතාන්‍ය සහ තවත් යුරෝපා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින අතර එම ප්‍රභේදය දැනට ලංකාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන බ්‍රිතාන්‍ය ප්‍රභේදයටත් වඩා තවත් 15% කින් පමණ ප්‍රබල බව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ආචාර්ය සංජය පෙරේරා මහතා අනාවරණය කළා.

ඒ, මේ සම්බන්ධයෙන් අද (08) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මේ වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ ඉහළ යාමට මෙම නව වෛරස ප්‍රභේදය බලපා ඇති බවට විශේෂඥයින් මත පළකර තිබෙන අතර ඒ සම්බන්ධ දත්ත රැස්කිරීම මේ වනවිට සිදුවන බවයි ආචාර්ය සංජය පෙරේරා මහතා පැවසුවේ.

මෙය ඉතා සැලකිය යුතු කාරණයක් වන අතර ඉන්දුනීසියාව වැනි කොවිඩ් දැඩිව පාලනය කළ රටකටත් එම වෛරසය ඇතුළු වූයේ නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන බලධාරීන් වඩා සැලකිලිමත් විය යුතු බව ඔහු කියා සිටියා.

දැනට පවතින තත්ත්වය හමුවේ එම වෛරසය ශ්‍රී ලංකාවටත් ඇතුළු වුවහොත් එය සෞඛ්‍ය පද්ධතියට කිසි ලෙසකින්වත් දරාගැනීමට නොහැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

“මෙවැනි කාරණා වලදී රජයට පමණක් සම්පූර්ණ වගකීම ගන්න බැහැ.ජනතාවත් වගකීමෙන් 50% ක් ගන්න ඕනේ. මම කියන්නේ නැහැ රටම ලොක් ඩවුන් කරන්න කියල. රටේ ආර්ථිකයත් එක්ක ඒක එහෙම කරන්න බැහැ. ගුවන් තොටුපොළවල් සම්බන්ධයෙන් වුණත් වහන්න කියනවා නෙවෙයි. වැඩපිළිවෙලක් හදන්න වෙයි නැවත. මොකද නව විකෘති ප්‍රභේදය ඉන්දියාවේ පමණක් නෙවෙයි එංගලන්තයේ පවා තිබෙනවා. ඒ වගේම තමයි දැනට ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන චීනයේ සයිනෝෆාම් එන්නතද ඇතුළුව හොඳ ආරක්ෂාවක් ලබා දෙන බව තහවුරු වෙලා තිබෙන්නේ. දැන් මේ නව වෛරස ප්‍රභේදයට දැනට තිබෙන එන්නත්වල බලපෑම ගැනත් දත්ත රැස්කරමින් තිබෙනවා.”

+++++++++++++++++++++

(08.05.2021 – 14:21 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, එම එන්නත මෙරට ජනතාවට ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදීයි. එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාපයේ අවදානම් ප්‍රදේශවල සිය දෙනෙකු (100) වෙත අදාළ එන්නත ලබාදීම මේ වනවිට සිදුකරමින් පවතින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූයේ ඊයේ (07) දිනයේදීයි ෴

+++++++++++++++++++

(08.05.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සහ සෙන්ට් කුම්බ්ස් වතුයායේ නිලධාරින් සහ සේවකයින් 140 දෙනෙකු අද (08) දින කොරෝනා පරීක්ෂණ වලට ලක් කර තිබෙනවා.

ඒ තේ පර්යේෂණ ආයතනයේ සහ කර්මාන්තශාලාවක 30 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනීමෙන් අනතුරුවයි.

ඒ අනුව, අද දිනයේ ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයින්ට මෙලෙස කොරෝනා පරීක්ෂණ සිදුකල බව සෞඛ්‍ය අංශ සඳහන් කළා ෴

++++++++++++++++++++

(08.05.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 105 ක් ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම මධ්‍යස්ථානවල ආසාදිතයින් සඳහා වෙන් කර ඇති ගිලන් ඇඳන් සංඛ්‍යාව 19,000 කට ආසන්න බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඊට අමතරව, යුද හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ඇඳන් 1500 ක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මෙන්ම, බූස්ස ප්‍රදේශයේ එවැනිම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මේ වනවිටත් සූදානම් කරමින් සිටින බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

එසේම, දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොරෝනා ප්‍රතිකාර සේවාවන් සඳහා වෙන් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට තීරණය කර ඇති බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් හුදකලා කර ඇති ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ නායකත්ව පුහුණු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ තවත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක පහසුකම් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (08) නිරත වී තිබෙනවා.

එහිදී ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර සහ හදිසි ප්‍රතිකාර ඇඳන් ධාරිතාව ඉහළ දැමීමට කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.

@@@@@@@@@@@@@@@@

(08.05.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

රට තුල පොහොර හිඟයක් පවතින බව ප්‍රදේශ රැසක ගොවීන් පසුගිය දින කිහිපය පුරා ප්‍රකාශ කළා.

එසේම, ඇතැම් ප්‍රදේශවල අධික මිල ගණන් යටතේ පොහොර අලෙවි කරන බවයි ඔවුන් පැවසුවේ.

එවන් ව්‍යාපාරිකයන්ට නීතිමය පියවර ගන්නා බව පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (07) ප්‍රකාශ කළා.

මෙම තත්ත්වය මතුවුණේ රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය තීරණය කළ බවට ප්‍රකාශයට පත්වීමත් සමගයි.

රසායනික පොහොර භාවිතයට හුරු වූ පරිසර පද්ධතියක් සහ ඊට අනුගත වූ කෙටි කාලීන බීජ මගින් අස්වැන්න ලබා ගැනීමට හුරු වූ ක්‍රමවේදයක් යළි පරිසර ආරක්ෂණ ක්‍රමවේදයකට පරිවර්තනය කිරීම අභියෝගයක් බව රහසක් නොවේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.එල්.ජී. සමරසිංහ මහතා ද ප්‍රකාශ කලේ කාබනික පොහොර නිෂ්පාදනයට සහ ඊට ගැලපෙන බීජ වර්ග නිෂ්පාදනයට යම් කාලයක් ගත වන බවයි.

කාබනික පොහොර නිෂ්පාදකයන් 14 දෙනෙකු මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත්, දැනට සිදු කර ඇති පරීක්ෂණ වලට අනුව ප්‍රමාණවත් පරිදි කාබනික පොහොර නිෂ්පාදනයට හැකි තත්වයක් රට තුල නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ද පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කසල භාවිත කල හැකි වුවද එම කසල තුල බහුලව පවතින්නේ කාබන් මූලද්‍රව්‍ය පමණක් බවයි.

******************************************

(08.05.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

අනේක විධ ගැටලු තම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කර නොගෙන මෙවර උසස් පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වූ සිසුන් දෙදෙනෙකු (2) පිළිබඳව අපට ප්‍රදේශ දෙකකින් (2) වාර්තා වුණා.

මේ H.M. චමුදිත දමයන්ත.

ඔහු මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී කලා අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබා ගත්තේ බ්‍රේල් මාධ්‍යයෙන් පෙනි සිටිමින්.

ස්නායු ආබාධයක් හේතුවෙන් උපතින්ම දෑස් පෙනීම අහිමි වූ චමුදිත බ්‍රේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය ආරම්භ කළේ කිරිඳිවැල මහා විද්‍යාලයෙන්.

එහිදී ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 161 ක් ලබා කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව තිබුණා.

පසුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ද ගණිතය විෂයට බී සාමාර්ථයක් සහ අනෙක් සියලුම විෂයන්ට A සාමාර්ථ ලබා ගැනීමට සමත් වූ චමුදිත කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා.

චමුදිතගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට විශ්‍රාමික ගුරුවරයෙකු වූ පියාගෙන් සහ වතුපිටිවල රෝහලේ හෙදියක් වන මවගෙන් මෙන්ම ඔහුගේ ගුරුවරුන්ගෙන් ලැබුණු සහය ඔහු මෙලෙස විස්තර කළා.

******************************************

රුපියල් කෝටි 7 ක කේරළ ගංජා සමග ඉන්දීය ජාතිකයන් 7 ක් කල්පිටිය මුහුදේදී අල්ලයි

(08.05.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 235 කට අධික ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයන් 7 දෙනෙකු කල්පිටියට උතුරු මුහුදේදී නාවික හමුදාව අද (08) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටියට උතුරු මුහුදේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එම කේරළ ගංජාවල වටිනාකම රුපියල් මිලියන 70 ක් පමණ වන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

පසුව එම ඉන්දීය ජාතිකයින් 7 දෙනා ඉන්දීය මුහුදු කලාපයට පිටත් කර යැවීමට කටයුතු කර ඇති අතර, කේරළ ගංජා තොගය කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගෙන ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

එසේම, මීගමුව තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකළ තවත් මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ලූණු බීජ කිලෝ 522 ක තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මේ අතර, තලංගම – මාලඹේ ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා තොගයක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 04 ක්ද සොයාගෙන ඇති බව සඳහන්.

එම සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලට අනුව මෙම ජාවාරමට සම්බන්ධ තවත් දෙදෙනෙකු (2) පාදුක්ක – ගලගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී හමුවූ කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 08 ක්.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙලිවූ තොරතුරු මත එම ප්‍රදේශයේම නිවසක් පරීක්ෂා කර ඇති අතර, එහිදී කේරල ගංජා කිලෝග්‍රෑම් 32 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර, මට්ටක්කුලිය – සමිට්පුර ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ 23 හැවිරිදි තරුණයෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

******************************************

(08.05.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙව්වන්දි රාජපක්ෂ මහත්මියට දියණියක ඉපදී ඇති බව වාර්තා වනවා.

මෙම දරු උපත අද (08) අලුයම අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුව ඇති බව සඳහන්.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් සඳහන් කළේ, සිය පුතණුවන්ගේ මෙම විශේෂී අවස්ථාවට එක්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර සිටි නමුත්, රට තුළ මේ වනවිට උද්ගතව ඇති කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් එය පසෙක දමන්නට සිදුවූ බවයි.

මේ වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ, මෙම වංසගතය මර්ධනය කිරීම සදහා වන එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම බවත්, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය මේ වනවිට අමෙරිකාවට ගොස් සිටින බවත්, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *