WHO අනුමැතිය ලැබුණු චීන සයිනොෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට

WHO අනුමැතිය ලැබුණු චීන සයිනොෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට

*********************************************

WHO අනුමැතිය ලැබුණු චීන සයිනොෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට

(08.05.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයේ සයිනොෆාම් ඖෂධ සමාගම නිෂ්පාදනය කළ සයිනොෆාම් කොරෝනා එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

බටහිර නොවන රටක් විසින් සංවර්ධනය කළ කොරෝනා එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

කෙසේ නමුත්, සයිනොෆාම් කොරෝනා එන්නතේ මාත්‍රා මිලියන 65 ක් පමණ මේ වනවිට චීනය ඇතුළු ලොව රටවල් රැසක ජනතාවට ලබාදී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සිය අනුමැතිය ලබාදී තිබුණේ ෆයිසර්, ඇස්ට්‍රා සෙනෙකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ මොඩර්නා කොරෝනා එන්නත්වලටයි.

එහෙත්, අප්‍රිකාවේ, ලතින් අමෙරිකාවේ සහ ආසියාවේ රටවල් රැසක දේශීය ඖෂධ නියාමනයන් මඟින් සයිනොෆාම් කොරෝනා එන්නතට අනුමැතිය ලබාදී තිබුණා.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රමාණවත් දත්ත නිරාවරණය නොකළ බව පවසමින් ඇතැම් බටහිර රටවල් සයිනොෆාම් එන්නත පිළිබඳව මුලදී සැකයක් මතු කළා.

කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (07) ප්‍රකාශ කළේ චීන සයිනොෆාම් කොරෝනා එන්නතේ සුරක්ෂිතභාවය, ශක්‍යතාව සහ ප්‍රමිතිය තමන් අනුමත කරන බවයි.

එමෙන්ම, කොරෝනා එන්නත් හිඟයකට මුහුණ දී සිටින ලෝකයට එය ආශීර්වාදයක් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

එමඟින් ඊයේ (07) අනුමැතිය ලබාදුන්නේ වයස 18 ඉක්ම වූ පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් (2) ලබාදිය යුතු බවටයි.

චීන සයිනොෆාම් එන්නත මගින් රෝග ලක්ෂණ පෙන්වන සහ රෝහල් ගතකිරීමට සිදුවන කොරෝනා ආසාදනය වැළැක්වීමේ ශක්‍යතාව 79% ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

සයිනොෆාම් එන්නත මේ වනවිටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පාකිස්තානය සහ හංගේරියාව මගින් පුළුල් ලෙස භාවිත කරනු ලබනවා.

ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීම අඩු සහ මැදි ආදායම් රටවලට කොරෝනා එන්නත් සැපයීමේ ජගත් සංවිධාන වැඩපිළිවෙලට ද රුකුලක් වනු ඇතැයි අපේක්ෂිතයි.

සයිනොෆාම් එන්නත, ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙන් සෙන්ටිග්‍රේඩ් අංශක දෙකත් (2), අටත් (8) අතර සම්මත ශීතකරණ උෂ්ණත්වයේ ගබඩා කළ හැකිවීම විශේෂත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ එමඟින් එය අඩු පහසුකම් සහිත රටවලට කොරෝනා එන්නත් ලබාදීම පහසු කරවනු ඇති බවයි.

චීනය මඟින් නිෂ්පාදිත තවත් කොරෝනා එන්නතක් වන සිනෝවැක් එන්නත පිළිබඳව ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරියේදී තීරණයක් ලබාදීමට නියමිතයි.

එමෙන්ම, රුසියානු ස්පුට්නික් එන්නතද මේ වනවිට එමඟින් ඇගයීමට ලක් කරමින් සිටිනවා.

මේ අතර, සයිනොෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට ලබාදීමට අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය ඉහළ ප්‍රදේශවල ජනතාවට අනුපිළිවෙලින් අදාළ එන්නත් ලබාදෙනු ඇති.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියෙසස් මහතා සමග ඊයේ (07) පැවති සංවාදයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබුණා.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සිනොෆාම් එන්නතට ලැබීමත් සමඟ මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට එම එන්නත ලබාදීමට හැකිවන බවයි.

මේ අතර, කොරෝනා එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට ඊයේ (07) උපදෙස් ලබාදී තිබුණා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ ඊයේ දිනය වනවිට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ විසිපන්දහස් දෙසිය හතලිස් දෙදෙනෙකුට (9,25,242) ලබාදී ඇති අතර, දෙවන මාත්‍රාව 187,775 දෙනෙකුට ලබාදී ඇති බවයි.

ඊට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 2865 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 2435 දෙනෙකුට ලබාදී තිබෙනවා.

කෙසේ නමුත් මෙම එන්නත ලබාදී ඇත්තේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ජාතිකයින්ට පමණයි.

ස්පුට්නික් එන්නතේ මාත්‍රා 1,669 ක් ද ඊයේ (07) වනවිට ශ්‍රී ලාංකිකයින්ට ලබාදී තිබෙනවා.

++++++++++++++++++++++

++++++++++++++++++++++

‘සයිනොෆාම් ජරාව ගැන කතා කරන්නවත් එපා.. ඔය ජරාව ගේන්න දෙන්නේ නෑ’ නොමිලේ දෙන චීන එන්නත වැලකූ ගහලයන් මෙන්න…

(08.05.2021 – 10:00 +0530 – lankacnews.com)

චීනයේ සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් මෙරට තුල ක‍්‍රියාත්මක වූ විරෝධතාවන් හා ඒ පසුපස සිටි පුද්ගලයන් ගැන සෞඛ්‍ය රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

= සයිනොෆාම් ගැහිල්ල =

චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත ගෙන ආවේ මාර්තු මස 31 දිනය. එසේ වුවත් එය ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට අනුමැතියක් හිමි නොවූ නිසා සති 5 ක කාලයක් මධ්‍යම එන්නත් ගබඩාවේ තැබීමට සිදු විය. චීනය ආරම්භයේ ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟ විය. පසුව එය ලක්ෂ 6 දක්වා ඉහල නැංවිණි. ජනවාරි අන්තිම සතියේ හෝ පෙබරවාරි පළමු සතියේ මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 6 ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවස්ථාව තිබුන ද ඒ සඳහා අනුමැතියක් හිමි නොවීය. ‘අනුමැතියක් හිමි නොවීය’ යනුවෙන් පවසනවාට වඩා ‘අනුමැතිය ලැබීම වැලක්වීය’ යනුවෙන් පැවසීම නිවැරදිය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මා සමග පැවසූ පරිදි අප එම ප්‍රදානය නිසි අවස්ථාවේ ලබා ගත්තේනම් අද වන විට ප්‍රදානය මෙන් කිහිප ගුණයක් සයිනොෆාම් එන්නත ලංකාවට ගෙන ඒමටත් ජනතාවට ලබා දීමටත් අවස්ථාව තිබිණි. එය වැලක්වූයේ කොළඹ කේන්ද්‍ර කරගත් ‘විජාතික වෛද්‍ය ජුන්ටාව’, ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනකු සහ ඔවුන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරන කිහිප දෙනෙකි. ආණ්ඩු බලය තිබිය දී මේ කණ්ඩායම පාලනය කිරීමට අපට නොහැකිදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඔවුන් නටන්නේ තමන්ගේ හයියකින් නොව චීන විරෝධී එතෙර බලවේග සහායෙන් බව පැවසිය යුතුය.

විජාතික වෛද්‍ය ජුන්ටාවේ ඇතැම් අය මට කෙලින්ම පැවසුවේ ‘සයිනොෆාම් එන්නත දෙන්න තියා කතා කරන්නවත් වටින්නේ නෑ, ඔය ජරාවනම් ලංකාවට ගේන්න දෙන්නේ නෑ’ ආදී වශයෙනි. ඔවුහු ඉංග්‍රීසි පුවත්පතක සේවය කරන්නියක් ලවා සයිනොෆාම් එන්නතේ නුගුණ ගැන දිගට හරහට ලිපි ලියවීය. සෞඛ්‍ය සේවකයන්ගේ විද්වත් සංගමයක නමින් පෙනී සිටින පුද්ගලයෙක් සයිනොෆාම් එන්නත පිටුපස මාෆියාවක් ඇති බව මාධ්‍ය හමු පවත්වමින් මර ලතෝනි දෙන්නට විය (එකී විද්වත් සංගමයේ අනෙකුත් විද්වතුන් කවුදැයි මම තවමත් සොයමි). ‘ජනතාවට මරු කැන්දන චීන සයිනොෆාර්ම් එන්නත ලංකාවට’ යනුවෙන් වෙබ් අඩවි සිසාරා ලිපි පළ විය.

කොටින්ම සයිනොෆාම් එන්නතට විරුද්ධව විජාතික වෛද්‍ය ජුන්ටාව අමුවෙන්ම සටනට පිවිසියේය. ආණ්ඩු විරෝධී කණ්ඩායම්, මේ ආණ්ඩුවෙන් විවිධ වරප්‍රසාද, තනතුරු තානාන්තර බලාපොරොත්තුවෙන් සිට ඒවා නොලැබීම නිසා වෛරයෙන් පසු වූ පුද්ගලයන්, තම පාණ්ඩිත්වය ප්‍රකට කිරීමට චීනුන්ගේ නොහැකියාව පළ කළ පඬින් ආදී එකී මෙකී නොකී කණ්ඩායම්, පුද්ගලයන් සයිනොෆාර්ම් විරෝධී සටන අතට ගත්හ; ඔවුහු අපේ රටේ ජනතාව ‘චීන බාල එන්නතෙන්’ මුදා ගැනීමේ මානව හිතවාදී අරගලය දියත් කිරීමට, හුදී ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීමේ පතල කරුණාවෙන් සටන් බිමට පිවිසියහ; එකිනෙකා පරයා පුවත්පත් නිවේදන නිකුත් කරමින්, මාධ්‍ය හමු පවත්වමින් ඔවුහු සිය පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන වේලාව පවා කැප කර මේ ‘මහඟු ජාතික කරත්ව්‍යයට’ උර දුන්හ. අන්තිමට සයිනොෆාම් එන්නත ලංකාවේ භාවිතා නොකරන ලෙස දක්වමින් මටත් ,සෞඛ්‍ය ඇමතිතුමියටත් තවත් පාර්ශව කිහිපයකටත් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද පැවරිණි.

විජාතික වෛද්‍ය ජුන්ටාවේ දිග පළල සහ කෙරුවාව අපට එතරම් ආගන්තුක නැති නිසා ඔවුන්ගේ සයිනොෆාම් විරෝධී ඊනියා අරගලය උස්සා පොලවේ ගැසීමට අපට එතරම් කල් ගත නොවීය. සයිනොෆාම් එන්නත ප්‍රමාදයකින් හෝ මාර්තු 31 ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකි වුයේ එහෙයිනි. චීන-ශ්‍රී ලංකා හොඳ හිත පළුදු කර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී චීනය අපට දුන් කොන්දේසි විරහිත සහයෝගය දුබල කිරීමත්, චීනය අපට ලබා දුන් ආර්ථික සහන අඩපන කිරීමත්, සයිනොෆාම් දේශපාලනයේ ඉලක්ක විය. සයිනොෆාම් විරෝධී ඊනියා සටන් පාඨවලට ආවැඩූ ඇතැම්හු ඒ පිටුපස කතන්දරය දැන නොසිටින්නට ඇත. මේ සටහන තැබුවේ ඔවුන් කඩේ ගිය බව පෙන්වා දීම ද අරමුණු කරගෙන ය.

දැන් සයිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID 19 රෝගයට එරෙහිව යොදා ගත හැකි එන්නතක් ලෙස හදිසි ලැයිස්තුගත කිරීම් කර ඇති හෙයින් ශ්‍රී ලංකාව තුළ ඒ යොදා ගැනීමේ බාධාවක් නැත. එසේ වුවත් විජාතික වෛද්‍ය ජුන්ටාව සහ අන්තේවාසිකයන් මගින් ක්‍රියාත්මක වූ ඊනියා සයිනොෆාම් විරෝධී සටනින් රටට සිදු වූ පාඩුවට, COVID 19 මර්ධන වැඩ පිළිවෙලේ වූ ප්‍රමාදයට වග කියන්නේ කවුද? ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කවුරුන් හෝ ඉදිරිපත් වේද ?

– රාජ්‍යය අමාත්‍යය මහාචාර්ය චන්න ජයසුමන

+++++++++++++++++++++

(08.05.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු ඊයේ (07) මෙරටින් වාර්තා වූ අතර, මෙරටින් කොරෝනා මරණ 19 ක් ද ඊයේ (07) වාර්තා වුණා.

ඊයේ (07) මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 1,914 දෙනා සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 1,21,338 ක් ලෙසටයි.

ඊයේ (07) වාර්තා වූ ආසාදිතයන්ගෙන් 25 දෙනෙකු විදේශ ගතව සිට පැමිණි පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,830 ක් වනවා.

රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 878 දෙනෙකු ඊයේ (07) සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 1,763 ලෙස යි.

එසේම, ඊයේ (07) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 19 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 764 ක් ලෙස දැක්වෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ රත්මලාන, සුනන්දපුර, ඉලවාලෛ, කෝන්ගහවෙල, දෙහිඅත්තකණ්ඩිය, බදුල්ල, වාද්දුව, කොළඹ 03, රද්දොලුගම, රාගම, පෝද්දල, අලපලාදෙණිය, පෝද්දල, අඟුලුගහ, හික්කඩුව, නුවරඑලිය, අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඉන් 15 දෙනෙකුම කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් වයස අවුරුදු 45 ත්, 86 ත් අතර වයස්වල පසුවනවා.

එමෙන්ම, ඊයේ (07) දිනය තුළ මුව ආවරණ නොපැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය සුව කිරීම සම්බන්ධව කිසිදු පර්යේෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිත කිරීම සඳහා මහජනතාව පොළඹවන හා නොමඟ යවන ප්‍රකාශ සිදුකරන තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි ආයුර්වේද වෛද්‍ය සභාවද ඊයේ (07) නිවේදනය කළේ.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහල, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නව ඇඳන් 100 කින් සමන්විතව සති 02 ක් තුළ මෙම නව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ රෝහල ආරම්භ කිරීමටයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

+++++++++++++++++++

(08.05.2021 – 09:45 +0530 – hirunews.lk/sinhala)

මැයි මස පළමු දින 07 ඇතුළත කොවිඩ් ආසාදිත මරණ 86 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගිය අයගෙන් 71 දෙනෙකුගේම මරණයට හේතුව ලෙස සඳහන්ව ඇත්තේ කොවිඩ් නිව්මෝනියා රෝග තත්ත්වයයි.

මෙය පළමු කොරෝනා රැල්ලේ සහ දෙවැනි (2) කොරෝනා රැල්ලේ මරණ හා සංසන්දනය කරන විට අතිශය බරපතළ තත්ත්වයක්.

කෝවිඩ් පළමු (1) රැල්ලේ සහ දෙවෙනි (2) රැල්ලේ දී සිදුවූ බොහෝමයක් මරණවලට හේතුව ලෙස දැක්වුණේ නිධන්ගත රෝග සමඟ ඔවුන්ට මතු වූ සංකූලතා උත්සන්න වීම හේතුවෙන් එම මරණ සිදු වී ඇති බවටයි.

මේ අතර ඊයේ (07) දිනයේ දී මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වුණා.

එලෙස වාර්තා වූ මරණ සංඛ්‍යාව 19 ක්.

එ අතුරෙන් මියගිය 14 දෙනෙකුගේ ම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ද කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

ඊට අමතරව ස්වසන අපහසුතා සින්ඩ්‍රෝමය හේතුවෙන් සිදු වූ මරණ කිහිපයක්ද මෙම මරණ 19 අතරට අයත් ෴

@@@@@@@@@@@@@@@@@@

(08.05.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

අම්පාර නරගයේ ඊයේ (07) සිදුවූ රිය අනතුරකින් අම්පාර පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා තිබෙනවා.

ස්ථානාධිපතිවරයා රථවාහන රාජකාරියේ නිරතව සිටියදී කැබ් රථයක්, ඔහු ගමන්ගත් පොලිස් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ රියදුරු බීමතින් සිට ඇති අතර අනතුරින් ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අනතුර සිදුකළ කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

මේ අතර ඊයේ (07) දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

******************************************

06.05.2021 දින දිවි නොතකා‌ කොල්ලකරුවන් සමග මහ සටනක පැටලුණු අනුරාධපුර සම්පත් බැංකු නිලධාරියා සහ ආරක්ෂක නිලධාරීන්…. නවතම CCTV දර්ශන (07.05.2021)

******************************************

(08.05.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, පම්පෙමඩුව ප්‍රදේශයේ දිය වළක ගිලීමෙන් ඊයේ (07) සවස පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති බව වවුනියාව, පූවරසන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පිරිසක් කළු ගල් කැඩූ දිය වළක දිය නෑමට ගිය අවස්ථාවේදී එක් පුද්ගලයෙකු මෙලස දියේ ගිලී ඇති බවයි.

වවුනියාව, කට්පහපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් වයසැති පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

දියේ ගිලුණු පුද්ගලයා සොයා ඊයේ (07) සවස ප්‍රදේශවාසීන් හා පොලිස් නිලධාරීන් සෝදීසි මෙහයුමක් ආරම්භ කළ අතර පැය ගණනාවක් පරීක්ෂා කිරීම් සිදුකළ ද අතුරුදහන් පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

******************************************

(08.05.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ආණමඩුව, තෝණිගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි එක්දරු මවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාල කාන්තාව ඊයේ (07) සුළු වැසි තත්ත්වයක් පැවති අවස්ථාවක, පොල් ගෙඩියක් මිලදී ගැනීමට පැමිණි කාන්තාවකට පොල් ගෙඩියක් ලබාදීම සඳහා යකඩ උලකින් පොල් ගෙඩියක් ලෙලි ගසමින් සිටියදී මෙලෙස අකුණු සැර වැදී තිබෙනවා.

අනතුරුව එම කාන්තාව රෝහල් ගතකර ඇති අතර ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

අකුණු සැර වැදීමෙන් ඒ අසල සිටි තවත් කාන්තවක් කම්පනයට පත්ව රෝහල් ගතව මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

******************************************

(08.05.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

තලංගම – මාලඹේ ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 04 ක්ද සොයාගෙන ඇති බව සඳහන්.

එම සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලට අනුව මෙම ජාවාරමට සම්බන්ධ තවත් දෙදෙනෙකු (2) පාදුක්ක – ගලගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 08 ක්.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙලිවූ තොරතුරු මත එම ප්‍රදේශයේම නිවසක් පරීක්ෂා කර ඇති අතර, එහිදී කේරල ගංජා කිලෝග්‍රෑම් 32 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, මට්ටක්කුලිය – සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ 23 හැවිරිදි තරුණයෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා ෴

******************************************

ආහාරයට ගනු ලබන පොල්තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්

(08.05.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

ආහාරයට ගනු ලබන පොල්තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත මඟින් පැවරී ඇති බලතලවලට අනුව එම අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුවයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එහි දැක්වෙන්නේ බෝතල් කළ හෝ ඇසුරුම් කළ හෝ බහාළුම් ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණනු ලබන පොල්තෙල්වලට කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බවයි.

පොල්තෙල් ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස් කරන්නන්, අසුරන්නන් සහ බෙදාහරින්නන් වෙතයි ගැසට් නිවේදනය මඟින් මැයි මස 07 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විධානය නිකුත් කර ඇත්තේ.

ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකාකාරකය අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 1850 ක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා හිරු ප්‍රවෘත්ති මඟින් අනාවරණ කළ අතර, ඒ පිළිබඳව සමාජය තුළ ඇතිවූයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්ෂණ ඒකකය මුලින්ම මෙම කරුණු අනාවරණය කළ අතර, පසුව කාර්මික තාක්ෂණය ආයතනය මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයද ඒ බව තහවුරු කළා.

ඒ අනුව, අධිකරණයට කරුණු වාර්තා කළ අතර, ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ප්‍රතිඅපනයනය කිරීමටයි තීරණය කෙරුණේ.

ඒ අනුව එක් සමාගමක් ගෙන්වූ සම්පූර්ණ ප්‍රමාණය වූ පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් පසුගිය අප්‍රේල් 12 වැනිදා මැලේසියාවට ප්‍රතිඅපනයනය කළා.

අනතුරුව, මැයි 04 වැනිදා තවත් ප්‍රමිතියෙන් තොර පොල්තෙල් මෙට්‍රික් ටොන් 230 ක් ප්‍රතිඅපනයනය කිරීමටයි පියවර ගැනුණේ.

එමෙන්ම, තවත් සමාගමක් මඟින් ගෙන්වා තිබූ බහාළුම් 04 ක අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 1,513 ක් මෙතෙක් ප්‍රතිඅපනයනය කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් ඉතිරිව ඇති පරීක්ෂණ කටයුතු කිහිපයක් අවසන් කර වහාම ප්‍රතිඅපනයනයට පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

******************************************

(08.05.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

යාපනය – නාගදීප රජමහා විහාරයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන, තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, සීමිත පිරිසක් සහභාගි කර ගනිමින් එය සංකේතාත්මකව කොළඹදී පැවැත්වීමට අවධානය යොමු වී ඇති බවයි බුද්ධශාසන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊට අදාළව ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත්, එම ආරංචි මාර්ග අනාවරණ කළා.

උතුරු සහ නැගෙනහිර පළාත් මුල්කරගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය නාගදීප රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන ලබන 23 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

+++++++++++++++++++++

(08.05.2021 – 11:27 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත මෙරට ජනතාවට ලබාදීම අද (08) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙදී ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චීනයේ සයිනොෆාම් ඖෂධ සමාගම නිෂ්පාදනය කළ සයිනොෆාම් කොරෝනා එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට ඊයේ (07) අනුමැතිය ලබා දුන්නා.

ඒ සමඟයි එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ලබාදීමට කටයුතු කර ඇත්තේ.

++++++++++++++++++++++

(08.05.2021 – 11:40 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ ව්‍යාප්ත වන (B.1.617) වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් වාර්තා වනවා.

කොළඹ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින් ආසාදිතයා හඳුනා ගත් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *