ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගත සමයේ වඩාත් අවධානයෙන් කටයුතු කල යුත්තේ ඇයි?

ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගත සමයේ වඩාත් අවධානයෙන් කටයුතු කල යුත්තේ ඇයි?

*********************************************

ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගත සමයේ වඩාත් අවධානයෙන් කටයුතු කල යුත්තේ ඇයි?

(07.05.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගත සමයේ වඩාත් අවධානයෙන් කටයුතු කල යුත්තේ ඇයි?

ගැබිණි ඔබගේත් කුසතුල සිටින දරුවාගේත් නිරෝගිමත්භාවය ඉතාම වැදගත්. කොවිඩ් පැතිරෙන මේ කාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත්, නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් මේ සඳහා අත්‍යවශ්‍යයි.

ගැබිණි මවකට කොවිඩ් වැළඳුනහොත් සංකුලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති නිසා, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිම හේතුවකට නිවසෙන් පිටතට නොයන්න. සායනයට හෝ රෝහලට හෝ යාමට සිදු වුවහොත්, කොවිඩ්-19 රෝගයෙන් වැළකී සිටීමට පහත කරුණු තරයේ පිළිපදින්න.

  1. වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථාන වල රැඳී සිටීම අවම කරන්න
  2. සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පැළඳීම
  3. පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම
  4. අවමංගල්‍ය උත්සව වැනි වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම
  5. නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම

කොවිඩ් රෝගයට දක්වන බිය හේතුවෙන් ගැබිණි මවුවරුන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාර වලට යොමු වීම ප්‍රමාද වෙනවා දකින්න තිබෙනවා. ඒ ප්‍රමාදය නිසා ගැබිණි මවගේත්, කුස තුල සිටින දරුවාගේත් සෞඛ්‍යයට හානි සිදුවිය හැක.

මේ කොවිඩ් අවදානම වැඩි කාලයේදී, සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමට යම් අපහසුතාවයන් තිබෙනවා වෙන්න පුළුවන්. එමනිසා ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තුමිය හෝ අමතා එම සේවාවන් දැන් ලබාගත යුතු ආකාරය ගැන අදම දැනුවත් වෙන්න.

‘ගර්භණී සමයේ ඇතිවිය හැකි අවදානම් සංඥා’ ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. නැවත වරක් ඒවා මතක් කර දෙනවා නම්, උණ, රුධිර වහනය, තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පෙනීමේ අපහසුතාවය, වලිප්පුව (Fit), පපුවේ/උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩුවක්, සිරුරේ ඉදිමීම හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවක් ‘අවදානම් සංඥාවක්’ විදිහට හඳුන්වන්න පුළුවන්. මෙවැනි අවදානම් සංඥාවක් මතු වුවහොත් වහාම රෝහල වෙත යා යුතුයි. ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි තුමියවත් දැනුවත් කරන්න.

ගර්භණී ඔබගේ ආරක්ෂාව උදෙසා රෝහල් තුළ කොරෝනා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. ඒ නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කිසිසේත්ම පැකිලීමට අවශ්‍ය වන්නේ නෑ.

ඔබේ පවුලේ අයකු නිරෝධායනයට ලක්වෙනවා නම් හෝ කොවිඩ් රෝගියෙකු යැයි සැකකරන පුද්ගලයෙකු නිවසේ වාසය කරනවා නම් හෝ ඒ පිළිබඳව වහාම ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තුමිය දැනුවත් කරන්න. ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමට, හැකිතාක් ඔහුගෙන් / ඇයගෙන් ඈත්ව සිටින්න.

යම්හෙයකින්, ඔබට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැකයක් ඇත්නම් වහාම ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමිය දැනුවත් කරන්න. අවශ්‍ය ප්‍රතිකාර වලට වහාම යොමුවන්න. රෝහල් පද්ධතිය ඔබ වෙනුවෙන් සූදානම්.

මේ සියලු සිදුවීම් අතරතුර ඔබට යම් මානසික පීඩනයක් දැනෙනවා වෙන්න පුළුවන්. එය මගහරවා ගැනීමට සෑමවිටම සැහැල්ලුවෙන්, නිරවුල් මනසකින් ඉන්න උත්සාහ කරන්න.

ඕනෑම වේලාවක ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරී තුමිය හෝ 1999 සුවසැරිය දුරකතන සේවාව හරහා වෛද්‍ය වරයෙකු හෝ අමතා ඔබගේ ගැටළු පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නත් පුළුවන්.

මේ කරුණු ලක්වාසී සියලු මවුවරුන්ගේ සහ අනාගත දරුපරපුරේ යහපත වෙනුවෙන් බෙදා ගන්න අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 දත්ත අනුව නව ජන්ම ළදරුවන් සඳහා කෝවිඩ්-19 බෝවීමේ ප්‍රවණතාවය ඉතා පහළ මට්ටමක පවතින බව සහ එසේ බෝවීමක් සිදු වේ නම් සිදුවිය හැක්කේ දරු ප්‍රසූතියකින් පසුව බව කාසල් වීදිය රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා පවසනවා.

එමෙන්ම ඉන්දියාව තුළ පවතින තත්ත්වය අනුව සහ ලැබෙන දත්ත අනුව නව ජන්ම දරුවන් සඳහා කොවිඩ් 19 වැළඳීමේ ප්‍රවණතාවය වැඩිවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවැනි තත්වයක් ඇතිවුවොත් එම දරුවන් බලා ගැනීම සඳහා සියලු ළදරු රෝහල් තුළ ඇඳන් එකක හෝ දෙකක ළදරු දැඩි සත්කාර ඒකකයක් පවත්වා ගත යුතු බව ඔහු කියසිටියා.

මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ගර්භණී මාතාවන් දහසක් පමණ කොවිඩ් අසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේවෙතත් කාසල් වීදියේ රෝහල තුළ කිසිදු ආසාදිත වූ ගැබිණි මවක් මේ වන විට නොමැති අතර එසේ රෝගීන් හඳුනා ගතහොත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට හෝ මුල්ලේරියා රෝහලට එම රෝගීන් මාරුකර හරින බවයි කාසල් වීදියේ කාන්තා රෝහල් විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 130 දෙනෙකු පමණ රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කෙසේ වෙතත්, ගර්භනී මව්වරුන් කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ.

දරු සම්පත් අපේක්ෂාවෙන් සිටින ගර්භනී මව්වරුන් කොරෝනා වෛරසයේ බලපෑමෙන් මුදා ගැනීම සියලුදෙනාගේ වගකීමක්.

කෙසේ වෙතත්, ගැබිණි මව්වරුන්ට ද කොරෝනා එන්නත ලබාදීම පිලිබඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (07) ප්‍රකාශ කළා.

ඒ අනුව, ගැබිණි මව්වරුන් ද පවතින අවදානම පිලිබඳව අවබෝධයෙන් සුරක්ෂිත විය යුතු අතර, සමාජයේ අන් සියලුදෙනා ඔවුන්ගේ මෙන්ම, මෙලොව එලිය දැකීමට සිටින දරුවන්ගේ යහපත ද වෙනුවෙන් ඇය ආරක්ෂා කර ගත යුතුයි.

ජාතික උද්‍යාන, වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වන සංචාරක නිවාස, වන නිවහන් කඳවුරු බිම් නැවත දැනුම්දෙනතුරු සංචාරකයන් සඳහා වසා දමා තිබෙනවා ෴

තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ, සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 40 ක ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර ලැබී තිබෙනවා. එම පරීක්ෂණයට භාජනය වූ තේ පර්යේෂණ ආයතනයේ සේවක සේවිකාවන් 40 දෙනෙකු අතරින් 30 දෙනෙකුට කොවිඩ්-19 රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වනවා ෴

++++++++++++++++++++++++

(07.05.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – ආරක්ෂක කොට්ඨාශය විසින් වරාය භාවිත කරන්නන් සඳහා නිකුත් කරන තාවකාලික/වාර්ෂික බලපත්‍ර 2021 මැයි මස 01 වන දින සිට මාර්ග ගත ක්‍රමයට (online) නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සළසා තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව මෙම පහසුකම් සැළසීමටයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවධානය යොමු ඇත්තේ.

++++++++++++++++++++++

(07.05.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ විශේෂ වීඩියෝ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

එම සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් පවසා ඇත්තේ මෙරටට අවශ්‍ය ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන (2) මාත්‍රාවේ අවශ්‍යතාව සපුරා ගැනීමට සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහයෝගය දක්වනු ඇතැයි විශ්වාස කරන බවයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි (2) මාත්‍රාව ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක හිඟයක් පවතිනවා.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී චීන සිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අදහස් පළකරමින් කියා ඇත්තේ තවත් දින කිහිපයකින් එම එන්නතට හදිසි ප්‍රතිකාර සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලබාදෙන බවයි ෴

+++++++++++++++++++++

(07.05.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය පොලීසියේ 28 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා.

ඒ දින කිහිපයක් පුරා සිදුකළ කොරෝනා පරීක්ෂණ වල වාර්තා අද ලැබීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි කිලිනොච්චිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සරවනභවන් මහතා සඳහන් කළේ.

කිලිනොච්චිය පොලීසිය සම්පූර්ණයෙන් විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති අතර වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් යොදවා පොලීසියේ රාජකාරී කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා ෴

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 878 ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුව ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 101,763 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++

(07.05.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සුව කිරීම සම්බන්ධව කිසිදු පර්යේෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිත කිරීම සඳහා මහජනතාව පොළඹවන හා නොමඟ යවන ප්‍රකාශ සිදුකරන තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව ආයුර්වේද වෛද්‍ය සභාව පවසනවා.

එහි සභාපතිනී වැඩබලන ආර්යුවේද කොමසාරිස් තාරකා මේධාවී දිසානායක මහත්මිය නිවේදනය කළේ කොරෝනා සම්බන්ධයෙන් නිෂ්චිත වශයෙන් හඳුනා නොගත් ආයුර්වේද ඖෂධ වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ජනතාව නොමඟ යැවීම වැළැක්වීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව අවධානයෙන් පසුවන බවයි.

++++++++++++++++++++++

(07.05.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම (2) වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කෙටි කාලයක් තුල හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.

දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

රෝගය පැතිර යාමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වනවා.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්’ (Sputnik) එන්නත ලබාදීම ඊයේ (06) සිට ආරම්භ කර ඇති අතර චීනයෙන් ලැබුණු ‘සයිනොෆාම්’ එන්නත් ලක්ෂ 6 ක් සෞඛ්‍ය අංශ සතුව පවතිනවා.

චීනයෙන් ලැබුණු ‘සයිනොෆාම්’ එන්නත් ලක්ෂ 6 ක් සෞඛ්‍ය අංශ සතුව ඇති අතර රටවල් 51 ක මිලියන 55 කට අධික පිරිසකට ‘සයිනොෆාම්’ එන්නත සාර්ථකව ලබාදී තිබෙනවා.

එම රටවල සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර එම එන්නත කඩිනමින් ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

පළමු (1) එන්නත ලබාගත් පිරිසට ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නතෙහි දෙවන (2) මාත්‍රාව දීම සිදු කෙරෙමින් පවතිනවා.

‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් අතිරික්තයක් ඇති රටවලින් එන්නත් ලබාගැනීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් සිදු කර ඇති අතර ආසාදිතයන් හඳුනා ගත් ප්‍රදේශ වසා දමමින් සහ සීමා පනවමින් රෝගය පැතිර යාම වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බවයි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

සියලු රෝහල්වල පහසුකම් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

රෝගය පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය ද අත්‍යාවශ්‍ය බවයි මෙහිදී නිලධාරීන් සඳහන් කළේ ෴

++++++++++++++++++++

(07.05.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

අවශ්‍යතාවයක් ඇති වූවහොත් රට වසා දැමීමට පියවර ගන්න බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ, අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අවශ්‍යතාව අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් හුදෙකලා කිරීමේ බලතල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

+++++++++++++++++++++++++

(07.05.2021 – 18:04 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් මහතා (Tedros Adhanom) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව ඵල දරා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කොවිඩ් පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව පළ කළ ටෙඩ්‍රොස් මහතා ඊට පූර්ණ සහාය ලබාදෙන බවයි ජනාධිපතිවරයා සමඟ ප්‍රකාශ කර ඇත්තේ.

පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දෙමින් වසංගතය පාලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් නායකත්වය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් මහතාගේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව අත්කරගත් සාර්ථකත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති සමුළුවලදී සාකච්ඡාවට ලක් කෙරුණු බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ.

මෙවරද, කොවිඩ් වෛරසය පැතිර යාම ඉතා ඉක්මණින් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු පළකර තිබෙනවා.

දෙවන මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 20 ක අවශ්‍යතාවක් ගෝලීය වශයෙන් පවතින අතර මෙරටට ඇති එහි අවශ්‍යතාව එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක්.

එම අවශ්‍යතාව සපුරා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

සයිනොෆාම් එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉදිරි තෙදින තුළ ලබාදීමට හැකි වනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.

එම අනුමැතියත් සමඟ මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීමට හැකිවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය මට්ටමින් හා කොළඹ පිහිටි කාර්යාලයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව ද ඔහු ටෙඩ්‍රොස් මහතාට සිය ප්‍රශංසාව පළ කළා ෴

+++++++++++++++++++++++

(07.05.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1097 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 120,521 ක් ලෙසටයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 878 ක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුව ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 101,763 ක් දක්වා ඉහළ ගියා.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 18,013 ක් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 745 ක්.

මේ අතර කොරෝනා එන්තේ පළමු (1) මාත්‍රාව මේවන විට පුද්ගලයන් 928,776 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන (2) මාත්‍රාව 177,235 කට ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(07.05.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හමුවේ පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා කර පැය කිහිපයක් තුල ඉවත් කිරීමත් සමඟ මතුවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ තාක්ෂණික කමිටු වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදී තිබෙනවා.

එම වාර්තාවේ නිර්දේශයන්ට අනුව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 4 ක් අද (07) දිනයේදීත් හුදකලා කරනු ලැබුවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ කමිටු නිර්දේශයන්ට අනුව ඉදිරියේදී අවශ්‍ය වුවහොත් පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් තවදුරටත් හුදකලා කිරීම් සිදුවිය හැකි බවයි.

පිලියන්දල පොලිස් බල ප්‍රදේශය හුදකලා කිරීමෙන් පැය 24 ක් ගතවන්නටත් මත්තෙන් හුදකලාබවින් ඉවත් කර එය ග්‍රාම සේවා වසම් කිහිපයකට පමණක් සීමා කිරීම සම්බන්ධයෙන් මතුවූයේ දැඩි අර්බුදකාරි තත්ත්වයක්.

සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ නොතකමින් දේශපාලන අධිකාරියේ බලපෑම මත එසේ සිදුකළ බවටයි එහිදී චෝදනා එල්ල වුණේ.

පිලියන්දල සහ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් අප කළ විමසීම් වලදී අනාවරණ වූයේ එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයන්ට අයත් ඇතැම් ග්‍රාම නිලධාරි වසම්වල තවදුරටත් සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිර යන බවයි.

++++++++++++++++++++

(07.05.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

අද (07) මේ දක්වා කාලය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 1097 දෙනෙකු මෙරටින් හඳුනා ගෙන තිබෙනවා.

එසේම, රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින් 878 දෙනෙකු අද සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

අද (07) දිනයේදී මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් 1097 දෙනා සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,20,521 ක්.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,013 ක් වන අතර, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 101,763 ලෙස දැක්වෙනවා.

මේ අතර, පවතින කොරෝනා අවදානම හමුවේ මුඛ ආවරණ දෙකක් (2) පළඳින ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

පවතින කොරෝනා ව්‍යාප්ති අවදානම සැලකිල්ලට ගෙන අද (07) පෙරවරු හයේ (06:00) සිටත් බස්නාහිර පළාතේ තවත් ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදෙකලා කෙරුණා.

වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද අද (07) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමටයි පියවර ගත්තේ.

එසේම, පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් එළැඹෙන සති අන්තයේ මුහුදු වෙරළ, ඇලදොල, ගංඟා ආදී ස්ථානවල විනෝදාස්වාදය පිණිස ගත කිරීමට නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කළුතර කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා ඉල්ලීමක් කළා.

කිලිනොච්චිය පොලීසියේ 28 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ දින කිහිපයක් පුරා සිදුකළ කොරෝනා පරීක්ෂණවල වාර්තා අද ලැබීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි කිලිනොච්චිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. සරවනභවන් මහතා සඳහන් කළේ.

පොලීසිය සම්පූර්ණයෙන් විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති අතර වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් යොදවා කිලිනොච්චිය පොලීසියේ රාජකාරී කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

එසේම, දිවයින පුරා සියළුම පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ගාල්ල නගරයේ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් එළැඹෙන 11 වැනිදා සිට දින 14 ක් වසා දමා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

මේ අතර, ශ්‍රී ලංගම සේවකයින්ට නිරෝධායනය වීම සඳහා කළුතර සහ බදුල්ල ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් (2) ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බව එහි පාලනාධිකාරිය ප්‍රකාශ කළා.

මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලංගම සේවකයින් 630 දෙනෙකු පමණ නිරෝධායනය වන බව සඳහන්.

කළුතර ප්‍රදේශයේ සිදුකළ කොරෝනා පරීක්ෂණ 200 කින් 48 දෙනෙකු ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා.

ප්‍රදේශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.බී. සිංහබාහු මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ කළුතර, නාගොඩ, කටුකුරුන්ද යන ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී ඇති බවයි.

වාර්තා වූ ආසාදිතයන් අතර නාගොඩ විජිත මාවත ප්‍රදේශයේ පසුගියදා පැවති මංගල උත්සවයකට සහභාගී වූ 12 දෙනෙකුද වන බව ඔහු සඳහන් කළා.

මේ අතර, කොරෝනා වෛරසය සුව කිරීම සම්බන්ධව කිසිදු පර්යේෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිත කිරීම සඳහා මහජනතාව පොළඹවන හා නොමඟ යවන ප්‍රකාශ සිදුකරන තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව ආයුර්වේද වෛද්‍ය සභාව පවසනවා.

එහි සභාපතිනී වැඩබලන ආර්යුවේද කොමසාරිස් තාරකා මේධාවී දිසානායක මහත්මිය නිවේදනය කළේ නිෂ්චිත වශයෙන් හඳුනා නොගත් ආයුර්වේද ඖෂධ වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ජනතාව නොමඟ යැවීම වැළැක්වීම සඳහා දැඩි අවධානයෙන් පසුවන බවයි.

@@@@@@@@@@@@@@@

(07.05.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි දෙකකට (2) ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම පොලිසියට ලැබුනු තොරතුරකට අනුව මාළඹේ ප්‍රදේශයේ අද (07) උදෑසන කළ වැටලීමකදීයි සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනුනේ.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ 4 කට ආසන්න පාර්සල් දෙකක් (2) සොයා ගැනුණා.

එම සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදීයි තවත් එවැනිම පාර්සල් 4 ක් සමග සැකකරුවෙකු මීපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර එම සැකකරුවන්ගෙන් තවදුරටත් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේදී කේරළ ගංජා පාර්සල් 16 ක් සමග සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රූබන්’ නැමැත්තාගේ ගෝලයන් බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරුවන් සතුව තිබී සොයාගත් සියලුම කේරළ ගංජා පාර්සල්වල බර කිලෝග්‍රෑම් 46 ක් වන අතර ඒවායෙහි වෙළඳපොල වටිනාකම රුපියල් කෝටි 2 (20,000,000) කට ආසන්න බවට අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් සතුව තිබූ ජංගම දුරකථන 3 ක් සහ ජාවාරම සිදුකිරීමට යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් හතරදෙනා (4) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *