රුවන්පුර අධිවේගයේ වැඩ ඇරඹීමේ අවස්ථාව

රුවන්පුර අධිවේගයේ වැඩ ඇරඹීමේ අවස්ථාව

*********************************************

රුවන්පුර අධිවේගයේ වැඩ ඇරඹීමේ අවස්ථාව

(07.05.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට හත්වන (7) අධිවේගී මාර්ගය වන ‘රුවන්පුර අධිවේගී මාර්ගයේ’ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අද (07) ආරම්භ වනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ සිට නව තාක්ෂණය ඔස්සේ ඊට එක්වන අවස්ථාවේ සජීවී විකාශය පහතින්.

මෙම මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළින් ආරම්භ වී ඉංගිරිය – රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා දිවෙන අතර, එහි සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර 73.9 ක්.

අද (07) ඉදිකිරීම් ආරම්භ වන්නේ පළමු (1) අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24.3 ක දුර ප්‍රමාණයේයි.

ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 5470 ක්.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පානදුර – රත්නපුර සහ කොළඹ – වැල්ලවාය – මඩකලපුව මාර්ගවල පවතින තදබදය අවම වනු ඇති බවයි.

එසේම කොළඹ – කළුතර – රත්නපුර – බදුල්ල – නුවරඑළිය – මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට එමඟින් සමාජ ආර්ථික ප්‍රතිලාභ ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දැමීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට ඉදිවන 07 වන අධිවේගි මාර්ගය වන රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු (1) අදියරේ ඉදිකිරිම් කටයුතු වලට අද (07) පෙරවරුවේ එක්වෙමින්.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මන්දිරයේ සිට එම කටයුතු සිදුකෙරුණා.

අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නම්, මෙම තත්ත්වය පාලනය කිරීම අපහසු නොවන බවයි ෴

******************************************

(07.05.2021 – 12:12 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ නාවල පාරේ බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් තිදෙනෙකු (3) මිය ගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු හා එම රථයේ කුලී පදනම යටතේ ගමන් ගත් දෙදෙනෙකු (2) එසේ මිය ගොස් ඇති අතර රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා (2) වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

******************************************

(07.05.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර සභාවේ ඊයේ (06) පැවති මාසික රැස්වීම් අතරතුර ඇති වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් පොලීසිය දැනට ප්‍රකාශ 5 ක් සටහන් කරගෙන තිබෙනවා.

එම නගර සභාවේ මන්ත්‍රීවරියක වන සාවිත්‍රී ගුණසේකර සහ මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර අතර, ඊයේ (06) එම ගුටිබැට හුවමාරුව සිදුව තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරිය මහරගම පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඒ අනුව, සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා අද (07) පොලීසිය වෙත කැඳවා ඇති අතර, මොවුන් දෙදෙනාම (2) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නන් වනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පැවසුවේ අදාළ මන්ත්‍රීවරිය මේ වනවිට රෝහල් ගත කර ඇති බවට පොලීසියට පණිවුඩයක් ද ලැබී ඇති බවයි.

******************************************

(07.05.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

තනිව තරග කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුත්තේ තම ඡන්ද පදනම පිළිබඳව සිතා බැලීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බවට පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

******************************************

(07.05.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මහජනතාව මුලාවට පත්කරමින් නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

******************************************

(07.05.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

රජය රසායනික පොහොර ආනයනය නතර කිරීමත් සමග වගාවන් සඳහා අවශ්‍ය පොහොර හිඟයහකට තමන් මුහුණ පා ඇති බව එළවළු ගොවීන් චෝදනා කරනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ ඇතැම් වෙළෙදුන් පොහොර තොඟ සඟවා අධික මිළ ගණන් වලට අලෙවි කිරීමේ ජාවාරම් ද ක්‍රියාත්මක කරන බවයි.

@@@@@@@@@@@@@@@@@@

(07.05.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සියළුම පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා. පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම, ගැබිණි මව්වරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

ඊයේ (06) මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,895 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 1851 දෙනෙකු අයත් වන්නේ අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරටයි.

විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 44 දෙනෙකුද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.

ගෙවුණු දිනයේද ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වූ 326 දෙනෙකු වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඉන් වැඩිම ආසාදිතයින් පිළියන්දල සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 51 ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගත්තේ මොරගහහේන ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 60 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 273 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිස වූ 37 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයෙන්.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් ගෙවුණු දිනයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 910 ක්.

මේ අතර, කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් අද පෙරවරුවේ සිට බස්නාහිර පළාතේ තවත් ග්‍රාම සේවා වසම් 12 ක් හුදෙකලා කෙරුණා.

ඊට කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ – හල්පිට, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර, නිවුන්ගම සහ පොල්හේන යන ග්‍රාමසේවා වසම් අයත්.

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ – ඇල්දෙනිය නැගෙනහිර, සූරියපාලු‍ව දකුණ, සූරියපාලු‍ව උතුර, පහල කරගහමුන උතුර සහ ඉහළ කරගහමුන උතුර ග්‍රාම සේවා වසම්ද අද (07) පෙරවරුවේ සිට හුදෙකලා කර තිබෙනවා.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ – පිම්ඹුර සහ මතුගම පොලිස් බල ප්‍රදේශයේ – යටියන බටහිර ග්‍රාම සේවා වසමද හුදෙකලා කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

මීට අමතරව ග්‍රාම සේවා වසම් කිහිපයක් අද (07) හුදෙකලා භාවයෙන් ඉවත් කෙරුණා.

ඒ, කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් වසමේ මොරපිටිය සහ බොල්ලුන්න, මීගහතැන්න පොලිස් වසමේ – පැලවත්ත නැගෙනහිර, මිරිස්වත්ත සහ පහල හෙවෙස්සයි.

මේ අතර, දිවයින පුරා සියළුම පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

එසේම, රජයේ තීරණයට අනුව කතෝලික සහ ඇන්ග්ලිකානු පාසල්ද නැවත දැනුම්දෙනතුරු වසා තැබෙනවා.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙනතුරු වසා දැමෙන බව එහි කළමනාකරු එච්.එම්.ඩී.උපාලි මහතා කියා සිටියා.

එසේම, තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයේ 40 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී ඉන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් අබේගුණවර්ධන මහතා කියා සිටියේ මේ සමඟ තේ පර්යේෂණ ආයතනය සහ සෙන්කූම්බ් වතු යාය හුදෙකලා කරන ලෙසට නිර්දේශ කර ඇති බවයි.

මේ අතර, මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 2299 දෙනෙකු වාර්තා වන බව දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා ප්‍රකාශ කළා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද මෙරට පුද්ගලයින් 174,800 දෙනෙකුට මේ වන විට ලබාදී ඇති අතර ගෙවුණු දිනයේ පමණක් දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 17,249 ක්.

ඊට අමතරව ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාවද ගතවු දිනයේදී පුද්ගලයින් 669 දෙනෙකුට ලබාදී තිබෙනවා.

මේ අතර, විද්වතුන්ගේ මතය ලබාගෙන ගැබිණි මව්වරුන්ටද කොරෝනා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ අතර, නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දත්ත උපයෝගී කරගනිමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් වැලිසර ආරථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++++

(07.05.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

පිලියන්දල පොලිස් වසමට පැනවූ හුදෙකලා තත්ත්වය නිසි ඇඟයීමකින් තොරව ඉවත් කිරීමට අමාත්‍ය ගාමිණි ලොකුගේ බලපෑම් කළ බවට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ‘හිරු ටී.වී.’ ඔස්සේ ඊයේ (06) විකාශය වූ ‘බලය’ සංවාද වැඩසටහනේදී සාකච්ඡාවට ලක්වුණා.

+++++++++++++++++++++

(07.05.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් – බයෝඑන්ටෙක් කොරෝනා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිවි තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශන මණ්ඩලය අදාළ අනුමැතිය ලබා දි ඇති බවයි රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ.

ඒ අනුව ෆයිසර් කොරෝනා එන්නත් මාත්‍රා මිලයන 05 ක් මෙරටට ආනයනය කිරිමට පියවර ගන්නා බව ද ඇය කියා සිටියා.

ෆයිසර් – බයෝඑන්ටෙක් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමි වු තුන්වන (3) කොරෝනා එන්නතයි.

මීට පෙර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා සහ රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නත් සඳහා මෙරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවුණා.

චීන සයිනොෆාම් එන්නත මෙරටට ගෙන එනු ලැබුව ද එය ලබා දුන්නේ මෙරට සිටින චීන ජාතිකයන් සඳහා පමණයි.

එහෙත් එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ විට මෙරට හදිසි භාවිතය සඳහා යොදා ගැනෙන බව සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කළා.

චීන සයිනොෆාම් එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණය මේ මාසය තුල ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂිතයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *