ඊයේත් (02) ආසාදිතයින් 1891 ක් – රෝහල්වල ධාරිතාව ඉක්මවයි

ඊයේත් (02) ආසාදිතයින් 1891 ක් – රෝහල්වල ධාරිතාව ඉක්මවයි

*********************************************

ඊයේත් (02) ආසාදිතයින් 1891 ක් – රෝහල්වල ධාරිතාව ඉක්මවයි

(03.05.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 1891 ක් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,11,753 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (02) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ කොරෝනා ආරම්භයේ සිට මෙතෙක් දිනයක සටහන් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.

ඊයේ (02) දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 1843 ක් අලුත් ‘අවුරුදු පොකුරේ’ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 48 දෙනෙකු ද රෝගීන් ලෙස හඳුනා ගැණුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 13,815 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 97,848 ක්.

මේ අතර, මරණ 09 ක් ඊයේ (02) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 696 ක් දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ අවුරුදු 51 ත්, 94 ත් අතර වයස්වල පසුවන කැබිතිගොල්ලෑව, පොළොන්නරුව, තැන්නේකුඹුර, මත්තේගොඩ, මාලඹේ, කන්තලේ, බණ්ඩාරගම, මහනුවර – ලෙවුල හා මාතලේ – වරකාමුර ප්‍රදේශවල පදිංචිකරුවන් මෙලෙස මිය ගොස් ඇති බවයි.

මෙම මරණ වලින් අටකටම (8) ‘කොවිඩ් නිව්මෝනියා’ තත්ත්වය හේතු වී තිබෙනවා.

ගාල්ල පොලීසියේ සැරයන්වරියකට සහ ඇයගේ සැමියා වන පොලිස් සැරයන්වරයෙකු ද කොරෝනා ආසාදනය වීමත් සමඟ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 43 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ඇති බව සඳහන්.

නිරෝධායන නීති උල්ලංගණය කළ 215 දෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ 4857 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම නිරෝධායන නීති කඩ කරමින් රාත්‍රී කාලයේ ජනතාව ඒකරාශී කර ගනිමින් මත්පැන් සාද පවත්වන බවට ලද තොරතුරු මත වැටලීම් සිදුකරන බව ද ඔහු කියා සිටියා.

ඒ අනුව මත්පැන් සාද සදහා පහසුකම් සපයන සහ මත්පැන් ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව අද (03) සිට නිරෝධායන නීතියට සහ අපරාධ නීතියට අනුව කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.

මීට අමතරව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට සහ වේරහැර යන කාර්යාල ද අද (03) සිට සතියක කාලයක් සදහා වසා තැබෙනවා.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ දින නියමයක් නොමැතිව අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය පිළිබදව පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ විවාදයක් හෙට (04) පැවැත්වීමට ද නියමිතයි.

කිසියම් කෝවිඩ් රෝගියෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමුකිරීම ප්‍රමාද වන්නේ නම් 1906 අමතන්නැයි මහජනතාවගෙන් යුද හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා ෴

කොවිඩ් වසංගත ආසාදනය වූ ගර්භණී මව්වරුන් 70 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසනවා.

පැතිර යන කොවිඩ් වසංගතයේ නව ප්‍රභේදය හේතුවෙන් දරුවන් සහ ගර්භණී මව්වරුන් ඊට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

දරුවන් සඳහා නිවසේදී සාදන ලද ආහාර පමණක් ලබාදෙන ලෙස විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඉල්ලීමක් කරන අතර ඇය පවසන්නේ අලුත් පළතුරු සහ එළවළු මෙන්ම විටමින්-සී බහුල ආහාර දරුවන්ට ලබා දී ඔවුන්ගේ ප්‍රතිශක්තිය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි ෴

++++++++++++++++++++++

(03.05.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමා තැබුවද දිනපතා ගොවීන් සිය එළවළු තොග රැගෙන එහි පැමිණීම හේතුවෙන් කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්විය නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළා.

දඹුල්ලේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ එළවළු ගොවියා සහ පාරිභෝගිකයා අතරමැදි කණ්ඩායමකගේ සුරා කෑමකට ද ලක්ව ඇති බවයි.

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය 26 වන දා සිට හුදෙකලා කිරීමටයි සෞඛ්‍ය අංශ තීරණය කළේ.

කෙසේ වෙතත් ගොවීන් පසුගිය දින කිහිපය තුළම සිය නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා දඹුල්ල ප්‍රදේශයට රැගෙන එනු ලැබුවා.

එහෙත් එළවළු විකුණා ගැනීමට නොහැකිව ඔවුන් අපහසුතා රැසකට පත්වූ අයුරු හිරු ප්‍රවෘත්ති ඔස්සේ දිගින් දිගටම වාර්තා කළා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ගොවීන් සිය එළවළු නිෂ්පාදන වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් අලෙවි කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවයි.

කෙසේවෙතත් ගොවීන් විසින් එලෙස ආර්ථික මධ්‍යස්ථාන වෙත නොගොස් අනුරාධපුර සහ මාතලේ යන ප්‍රදේශවල මාර්ග ආසන්නයේ සිය නිෂ්පාදන අලෙවි කිරීමට පියවර ගනු ලැබ තිබුණා.

මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය විවෘත කරන ලෙසට ගොවීන් ඉල්ලීම් කළද එහි සේවකයන් කොරෝනා පරීක්ෂණ මගහරිමින් සිටින බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය ප්‍රතික්ෂේප කරනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 500 ක් පමණ සේවය කරන අතර ඉන් කොරෝනා පරීක්ෂන සිදුකර ඇත්තේ 30 දෙනෙකු පමණක් බවයි ආණ්ඩුකාරවරයා මහනුවරදි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ.

කෙසේ වෙතත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ක්‍රිෂ්ටි විජේරත්න මහතා සදහන් කළේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන බොහෝ පිරිසක් මේ වන විටත් කොරෝනා පරීක්ෂණ සිදුකර අවසන් බවයි.

+++++++++++++++++

(03.05.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස්.

+++++++++++++++++++++

(03.05.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

විදේශීය ධීවර යාත්‍රා හෝ නෞකා සමඟ මුහුදේ දී සබඳතා පැවැත්වීමෙන් වළකින ලෙස නාවික හමුදා මූලස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

එලෙස සබදතා පවත්වන ජාවාරම්කරුවන් පිළිබදව දන්නේ නම් ඊට අදාළ තොරතුරු ලබා දෙන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ.

ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර යන කොරෝනා ව්‍යාප්තිය හමුවේ වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කර තිබෙනවා.

අන්තර් ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත්‍රා සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා යොදවා ඇති අතර ගොඩබිමට ආසන්න මුහුදේ වෙරළබඩ නිරීක්ෂණ මුර යාත්‍රා යොදවා ඇති බවයි නාවික හමුදාව කියා සිටියේ.

එසේම පසුගිය සති දෙක තුළ මෙරට මුහුදු තීරයට ඇතුළු වූ යාත්‍රා 4 ක් විවිධ භාණ්ඩ සහ ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනුණා.

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් නැවත ඔවුන් ඉන්දීය මුහුදු කලාපයට පිටත් කර යැවීමට කටයුතු කර තිබෙනවා ෴

++++++++++++++++++++++++

(03.05.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින සෞඛ්‍ය අර්බුදයට මුහුණදීම සඳහා විදේශ තානාපතිවරුන්ගෙන් සහය ඉල්ලා සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ අභ්‍යන්තර අර්බුද අත්හිටුවා කොවිඩ් පරාජය කිරීම සඳහා පියවර ගන්නා ලෙසයි.

++++++++++++++++++++++++

(03.05.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ පළාත්, දිස්ත්‍රික්ක කම්කරු කාර්යාල සඳහා පැමිණෙන සේවාලාභීන් ප්‍රමාණය සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන සේවාලාභීන් කලින් වේලාව වෙන් කර ගත යුතු බවයි කම්කරු දෙපාර්තමේන්තුව සදහන් කළේ.

වැඩිදුර තොරතුරු (pdf file)

[ http://www.labourdept.gov.lk/ ]

@@@@@@@@@@@@@@@@

(03.05.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට සියළුම ගංඟා සඳහා සංරක්ෂිත කලාප නම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

රට තුළ ගංඟා 103 ක් පවතින අතර ඒවාට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 10,700 කට වඩා පවතින බවට මධ්‍යම පරිසර අධිකාරිය නිරීක්ෂණය කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය සදහන් කළේ.

මෙතෙක් කිසිදු ගංඟාවකට ගංඟා සංරක්ෂිත කලාප නම් කර නොමැතිවීම හේතුවෙන් විවිධ පුද්ගලයින් නිවාස, ව්‍යාපාරික ස්ථාන හා වගාවන් සඳහා ගංඟා ආශ්‍රිත ඉඩම් අත්පත් කරගෙන සිටින බවට ද තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ගංඟා ඉවුරු ආශ්‍රිත ඉඩම් අත්පත් කරගෙන සිටින පිරිස් ඉන් ඉවත් කිරීමටත්, ගංඟාවක සිට මීටර් 150 ක් තරම් දුරින් කිසිදු ඉදිකිරීම් කටයුත්තක් හෝ වගාවන් සිදුකිරීම වළක්වාලමින් ගංඟා සංරක්ෂිත කලාප ඉදිරියේදී නම් කිරීමට නියමිත බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

******************************************

(03.05.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ජනාධිපතිවරයා ඉදිරියේ අද (03) දිවුරුම් දී තිබෙනවා.

******************************************

(03.05.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – වල්පොල්දෙනිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එහි තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, කේරළ ගංජා මිලිග්‍රෑම් 16,660 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මහනුවර කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (02) කළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම නිවස පරීක්ෂා කෙරුණේ ෴

******************************************

ඖෂධ විෂවීමෙන් දැරියක මියයයි – දෙමව්පියන්ගෙන් රෝහලට චෝදනා

(03.05.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

හුරුළුවැව ප්‍රාදේශීය රෝහලෙන් ලබාදුන් ඖෂධ විෂවීම හේතුවෙන් 8 හැවිරිදි දැරියක මියගිය බවට චෝදනා කරමින් ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එම රෝහල් කාර්යමණ්ඩලයට විරෝධය පළ කළා.

ඔවුන් පවසන්නේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් තොරව රෝහල් කාර්ය මණ්ඩලය දැරියට ඖෂධ ලබාදී ඇති බවයි.

පඩිකාරමඩුව – කොලණිය ප්‍රදේශයේ පදිංචි 8 හැවිරිදි ආර්. ඩබ්ලිව් දිහා සංසලා නම් මෙම දැරිය පසුගිය 20 වැනි දින රාත්‍රීයේ හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මව්පියන් පවසන්නේ සෙම රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඇය රෝහල්ගත කළ බවයි.

එහිදී හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෛද්‍ය අධීක්ෂණයෙන් තොරව දැරියට ඖෂධ ලබාදුන් බව ඥාතීන් පවසනවා.

එම ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අදාළ දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

දින 10 ක කාලයක් අනුරාධපුර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගිය පළමුවැනිදා (01) මියගියා.

මියගිය දැරියගේ අවසන් කටයුතු සිදුකළ ඊයේ (02) දිනයේදී ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් හුරුළුවැව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට විරෝධය පළ කළේ මෙලෙසින්.

******************************************

(03.05.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දේවි බාලිකා විද්‍යලයේ උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ වැඩිදියුණු කිරීමට යැයි පවසා නුගේගොඩ පිහිටි වෙනත් පාසලකට ගෙන යාමේ තීරණයට දේවි බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ආදි ශිෂ්‍යාවන් විරෝධය පළ කරනවා.

කෙසේ වෙතත් විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය පවසන්නේ එවැනි කිසිඳු සැලැස්මක් මෙතෙක් නොමැති බවයි.

දේවි බාලිකා විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියන් සහ ආදි ශිෂ්‍ය ප්‍රජාව මෙලෙස එක්ව සිටියා.

මේ අතර ‘නුගේගොඩ සිරි විජයාරාම විදුහල් මාතා ආදි සිසු දරු සංසදය’ ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ තම අදාළ තීරණ හේතුවෙන් පාසලට අසාධාරණයක් සිදුවන බව චෝදනා කරමින්.

******************************************

(03.05.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

කැරපොත්තෙකු සහ සළඹයෙකු අඩංගු ආහාර පාරිභෝගිකයින්ට අලෙවි කළ කොල්ලුපිටිය සහ බම්බලපිටිය ප්‍රදේශයේ ආපනශාලා හිමියන් දෙදෙනෙකුට (2) රුපියල් 25,000 බැගින් වන්දි ගෙවන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ මධ්‍යම ආහාර පාලන ඒකකයට පසුගිය දා ලද පැමිණිල්ලකට අනුව ඔවුන්ට එරෙහිව නඩු පැවරූ බවයි එහි මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී. ලාල් කුමාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙහි විශේෂත්වය වන්නේ ආහාර පනත යටතේ පළමු වරට වින්දිතයන්ට වන්දි මුදලක් පිරිනැමීමයි.

මීට පෙර සිදුවූ මෙවැනි සිද්ධීන් වලදී ආපනශාලා හිමියන්ට රුපියල් දස දහසක (10,000) දඩ මුදලක් පමණක් පනවා ඇති අතර, මෙම නඩුවේදී අදාළ වින්දිතයන්ට රුපියල් 25,000 බැගින් රුපියල් 50,000 ක මුදලක් ගෙවන ලෙසට මාළිගාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර නියෝග කර තිබෙනවා.

කොළඹ මහනගර සභා සීමාවට අයත් ආපනශාලාවල මෙවැනි ගැටළුවක් ඇතිවුවහොත් 011 268 6161 අමතා පැමිණිලි කරන ලෙසයි කොළඹ මහනගර සභාව ජනතාවට දැනුම් දෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *