ව්‍යාජ චෙක්පත් හරහා මිලියන 43 ක් වංචා කළ හතරදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ චෙක්පත් හරහා මිලියන 43 ක් වංචා කළ හතරදෙනෙකු අත්අඩංගුවට

*********************************************

ව්‍යාජ චෙක්පත් හරහා මිලියන 43 ක් වංචා කළ හතරදෙනෙකු අත්අඩංගුවට

(02.05.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන, ප්‍රසිද්ධ වානේ කම්හලකට අයත් ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් මිලියන 43 ක මුදලක් ලබාගත් සංවිධානාත්මක අපරාධ කල්ලියක හතරදෙනෙකු (4) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 12 වනදා සැකකරුවන් මෙම වංචාව සිදුකර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එම වානේ කම්හලට අයත් ගිණුමක ඇති රුපියල් කෝටි ගණනක මුදලකින් අදාළ සමාගමේ චෙක්පත්වල ආකාරයට චෙක්පත් සකස් කර එහි සේවකයන් ලෙසට හැඟවෙන ආකාරයේ ඇඳුම් පැළඳි පිරිසක් යොදවා මෙම වංචාව සිදුකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සමාගමට ලබාදී ඇති චෙක්පත්වල අංක යොදාගෙන හංවැල්ල ප්‍රදේශයේ ස්ථානයකදී එම චෙක්පත් මුද්‍රණය කර තිබෙනවා.

ඒ අනුව එම මුද්‍රණ ආයතනය පවත්වාගෙන ගිය සැකකරු සහ ඊට සහය දුන් රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රනාල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සැකකරු ඇමරිකාවේ පදිංචිව සිට දැනට මාසයකට පමණ පෙර මෙරටට පැමිණි අයෙක්.

මීට අමතරව අදාළ පුද්ගලික බැංකුවේ නිලධාරියෙකු වන 34 හැවිරිදි අයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම චෙක්පත් මාරු කිරීමට අදාළ වානේ ආයතනයේ සේවකයෙකු ලෙසට එම සමාගමේ ඇඳුම් පැළඳ ගිය 27 හැවිරිදි සැකකරු ද අත්අඩංගුවට ගත් අතර ඔහු පෞද්ගලික සමාගමක විධායක නිලධාරියෙක් බවටයි හෙළිවී ඇත්තේ.

මීට අමතරව චෙක්පත් මාරු කිරීමට ගිය තවත් 4 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියාත්මකයි.

මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ව්‍යාජ චෙක්පත් මුද්‍රණය කර විශාල මුදලක් වංචා කළ පළමු අවස්ථාව ලෙසට වාර්තාවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතිනවා ෴

******************************************

(02.05.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

යාපනය, මුලතිව්, කිලිනොච්චිය ප්‍රදේශවල නිවාස කොල්ලකෑමේ යෙදුණු කල්ලියක කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු (3) ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මුලතිව් – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවාස කොල්ලකෑම් සිදුකළ කල්ලියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් සොරාගත් රන් පවුම් 25 ක්, ජංගම දුරකථන හතක් (7) සහ මුදල් තොගයක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම රන් භාණ්ඩ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි රන් භාණ්ඩ අලෙවිකරුවන් වෙත විකුණා ඇති බවයි අනාවරණ වී ඇත්තේ ෴

******************************************

(02.05.2021 – 12:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ නුෂාඩ් පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. යළිත් පෞද්ගලික අංශයට සම්බන්ධවීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.

******************************************

(02.05.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

හිඟුරක්ගොඩ – සිරිකෙත ප්‍රදේශය හුදෙකලා කිරීමත් සමඟ වසා දැමුණු ඇළ මාර්ගයක් හේතුවෙන් කුමාරගම ගොවියන් දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා.

කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගැනීමෙන් අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ජනපදය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබුණේ පසුගිය 26 වනදායි.

ඒ අනුව හුදෙකලා කෙරුණු සිරිකෙත ගම්මානයේ ජනතාව ගොවිතැන් කටයුතු සඳහා ගම්මානයේ සැරිසැරීම නතර කිරීමේ අරමුණින් නිලධාරීන් විසින් මින්නේරිය ජනපදයට අයත් හිඟුරක්ගොඩ ඩී-22 ඇළ මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ හේතුවෙන් දැනට හුදෙකලා තත්ත්වයේ නොපවතින කුමාරගම ගම්මානයේ ජනතාවටද ජලය අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් විශාල මුදලක් වැය කර ආරම්භ කළ වගාවන් මෙන්ම නිවෙස්වල පවතින බිත්තර වී තොගද විනාශ වී යාමේ අවදානමකට ලක්ව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

******************************************

(02.05.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ගොවීන් පිරිසක් විසින් වගා කටයුතු සිදුකිරීම නිසා පුරාවිද්‍යා වටිනාකමක් සහිත පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට අයත් ස්වර්ණමාලි ප්‍රදේශයේ ඇති බූ වැවෙහි ඉපැරණි සොරොව්වක් විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

ගොවින් සිදුකර ඇති වගාවන් නිසා සොරොව්වට මෙන්ම ඒ ආශ්‍රිත පරිසරයද විනාශ වී ඇති අතර මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කළද තවමත් නිසි විසඳුමක් නොමැති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

******************************************

(02.05.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

විලච්චිය – ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි රජයේ භූමියක් තුල පුද්ගලික සමාගමක් විසින් දැවැන්ත වන විනාශයක් සිදු කරමින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ පුද්ගලික ඉඩමක වුවද කැපීමට අවසර නොදෙන වටිනා කුඹුක්, පලු වැනි ගස් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් කපා දමා ඇති බවයි.

******************************************

(02.05.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන පනත අනුව මෘතදේහ ප්‍රවාහනය සදහා මෙරට අවසර හිමිවන්නේ හර්ස් වර්ගයට අයත් මෝටර් රථවලටයි.

එහෙත් ගාල්ල කරාපිටිය ප්‍රදේශයෙන් අපට වාර්තාවුයේ KDH වර්ගයට අයත් සුඛෝපභෝගී වෑන් රථ මගින් මෘතදේහ ප්‍රවාහනය කරන බවයි.

PE 7380 අංක තහඩුව යටතේ ලියාංපදිචි කර ඇති වෑන් රථය අයත්වන්නේ අවමංගල්‍ය සේවාවක් පවත්වාගෙන යන ගාල්ල සමුපාකාර සමිතිටයි.

එම සමිතිය විසින් ගාල්ල කරාපිටිය රෝහලෙන් ලබාගන්නා මෘත දේහ ප්‍රවාහනයට යොදා ඇත්තේ මිනිසුන් හා භාණ්ඩ ප්‍රවාහන කිරීම සඳහාවන ද්විත්ව කාර්ය බලපත්‍ර යටතේ ලියාපදිංචි කළ එම රථයේයි.

අදාල රථය මෘත දේහ තැන්පත් කිරීම සදහා සකස් කර ඇති බව ද දක්නට ලැබුනා.

@@@@@@@@@@@@@@@

(02.05.2021 – 10:44 +0530 – hirunews.lk/sinhala)

තම ආරක්ෂක අංශ සාමාජිකයෙකුට සහ රියදුරන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට ලක්ව සිටිනවා.

ඔහු සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ තම ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයෙකුට සහ රියදුරන් දෙදෙනෙකුට (2) වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවයි.

සිය ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසු මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පවුලේ සාමාජිකයන් නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව තිබුණා.

අනතුරුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලිනුයි ඔහුගේ රියදුරන් දෙදෙනෙකු (2) ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් තමා සහ අනෙක් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට එම පරීක්ෂණවලින් පෙන්නුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශකර තිබෙනවා.

එහෙත් දෙවන පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරන තෙක් සියලුදෙනා නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වන අතර අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ද පසුගිය සිකුරාදා (30) සිට නිරෝධායනයට ලක්ව සිටින බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

අමාත්‍යවරයා දැනුම් දෙන්නේ තමාගේ ආරක්ෂක අංශ සාමාජිකයන් හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු පසුගිය 27 වනදා සිට හමුවූයේ නම් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසටයි ෴

++++++++++++++++++++

(02.05.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – උණවටුණ ප්‍රදේශයේ හෝටලයක සේවකයන් විසිදෙදෙනෙකුට (20) කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එම හෝටලයේ නේවාසික පහසුකම් ලබාගත් තුන්දෙනෙකු (3) කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තාවීමෙන් පසු එහි සේවකයන් 255 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් මේ බව අනාවරණ වී ඇති බවයි උණවටුන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

තවත් සේවකයින් 7 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇති අතර 15 දෙනෙකු එම හෝටලයේ හුදෙකලා ප්‍රදේශයක නිරෝධායනයට යොමුකර බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++

(02.05.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යන ඉන්දියාවේ සිට ඇතැම් පුද්ගලයින් මෙරටට පළා එමින් සිටින බැවින් මෙම තත්ත්වය අහිතකර අන්දමින් බලපෑ හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

+++++++++++

++++++++++++++++++++++

(02.05.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය, නාවින්න සහ පල්ලෙකැලේ ආයුර්වේද රෝහල්වල කොවිඩ්-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවසර ලබාදී ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා ෴

+++++++++++++++++++++

(02.05.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ පොදු ප්‍රවාහන භාවිතයේදී කවුළු විවෘත කොට ගමන් කරන ලෙසත් ගමනාන්තය තෙක් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය බවයි.

මේ අතර, ඊයේ (01) දිනයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 1,716 දෙනාගෙන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 375 ක්.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 247 ක් සහ කළුතරින් 158 දෙනෙකු වාර්තාවනවා.

එමෙන්ම ගාල්ලෙන් ආසාදිතයන් 138 ක්, කුරුණෑගලින් 108 ක්, මහනුවර සහ රත්නපුරයෙන් 84 දෙනා බැගින් වාර්තා වන බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 82 ක් ද, මාතරින් 70 ක් සහ මොණරාගලින් සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් 56 දෙනා බැගින් වාර්තාවනවා.

ඊයේ (01) දිනයේදීත් මෙරටින් කොරෝනා මරණ 9 ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 687 ක් දක්වා ඉහළ ගියා.

දින 6 ක් තුළදී මෙරටින් කොරෝනා මරණ 34 ක් වාර්තා වීම විශේෂත්වයක්.

මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ (01) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා කියා සිටියේ මේ වන විට තරුණ කොටස් රෝග ලක්ෂණ නොමැතිව මිය යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

මේ අතර, ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ නාරාංගොඩ සහ හමංගල්ල යන ප්‍රදේශවල නිවෙස් දෙකක (2) පැවැත්වීමට සැලසුම් කර තිබූ විවාහ මංගල උත්සව දෙකක් (2) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය මැදිහත් වී නතර කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ මේ වන විට දිස්ත්‍රික්ක 12 ක පොලිස් බල ප්‍රදේශ 7 ක් සහ ග්‍රාම සේවා වසම් 59 ක් හුදෙකලා කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල සංචරණ සීමා දැඩි කර ඇති බවයි.

++++++++++++++++++++++++

(02.05.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ජනතාව ඒකරාශිවීම වැළැක්වීමේ අරමුණින්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාලවල මහජන සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ අයදුම්පත් භාරගැනීම තවදුරටත් ක්‍රියාත්මකයි.

එසේම ඉදිරි දිනවලදී කළින් වේලාවන් වෙන් කරගත් සියලු අයදුම්කරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර තැපැල් මගින් යොමු කෙරෙනු ඇති.

එසේම විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ, විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වැනි හදිසි කටයුතු සඳහා ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රධාන කාර්යාලයේ 011 522 6126 හෝ 011 522 6100 අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ.

091 222 8348 අංකයෙන් දකුණු පළාතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලය සහ 037 222 4337 අංකයෙන් වයඹ පළාත් කාර්යාලය සම්බන්ධ කර තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව 065 222 9449 අංකයෙන් නැගෙනහිර පළාතේ ජනතාවට එම පළාත් කාර්යාලය හා සම්බන්ධ වීමේ හැකියාව ඇති අතර 024 222 7201 අංකයෙන් උතුරු පළාත් කාර්යාලය සමග සම්බන්ධ විය හැකියි.

+++++++++++++++++++++

(02.05.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ව්‍යාප්ත වී ඇති කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් හුදකලා කර තිබෙනවා. එලෙස හුදෙකලා කර ඇති සියලු ප්‍රදේශ පහතින් :

එමෙන්ම අද (02) දිනයේ දිස්ත්‍රික්ක හතරක (4) පොලිස් බල ප්‍රදේශයක් සහ ග්‍රාමනිලධාරී වසම් 07 ක් අලුතින් හුදෙකලා කරනු ලැබුවා. එම ප්‍රදේශයන් පහතින් :

+++++++++++++++++++++++++

(02.05.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බස් රථ ධාවනය හෙට (03) දිනයේ සිට සියයට 25 දක්වා අඩු කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගමනාගමනය මණ්ඩලය සඳහන් කළේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මගී ප්‍රවාහන කටයුතු සිදුකිරීම අරමුණු කර ගනිමින් අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ මගී ජනතාවගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බැවින් බස් ධාවනය මෙලෙස අඩු කර ඇති බවයි.

එමෙන්ම, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මගී දුරස්ථභාවය පවත්වාගෙන යාමේ අරමුණෙන් අතිරේක දුම්රිය 3 ක් යෙදවීමට අවදානය යොමු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ඒ අනුව අලුත්ගම, මීරිගම සහ පොල්ගහවෙල සිට එම අතිරේක දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *