දිස්ත්‍රික්ක හතරක (4) පොලිස් බල ප්‍රදේශයක් සහ ග්‍රාමනිලධාරී වසම් 7 ක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක හතරක (4) පොලිස් බල ප්‍රදේශයක් සහ ග්‍රාමනිලධාරී වසම් 7 ක් හුදෙකලා කෙරේ

*********************************************

දිස්ත්‍රික්ක හතරක (4) පොලිස් බල ප්‍රදේශයක් සහ ග්‍රාමනිලධාරී වසම් 7 ක් හුදෙකලා කෙරේ

(02.05.2021 – 06:26 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක හතරක (4) පොලිස් බල ප්‍රදේශයක් සහ ග්‍රාම නිලධාරී වසම් හතක් (7) අද (02) උදෑසන හයේ (06:00) සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර – දකුණ පොලිස් බල ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය, මාලමුල්ල නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

එමෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ ඔර්ස්හිල් සහ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අන්පුවාලිපුරම් යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා කර තිබෙනවා.

යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ පොලිස් බල ප්‍රදේශයේ නිලදණ්ඩාහින්න ග්‍රාමනිලධාරී වසමද හුදෙකලා කර තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ හුදෙකලා කර ඇති ප්‍රදේශයකට ඇතුලුවීම හෝ එම ප්‍රදේශයෙන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් වන බවයි.

මෙලෙස හුදෙකලා කර ඇත්තේ අදාළ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වෙනත් ප්‍රදේශවලට සංචරණය වීම වැළැක්වීමට බව ද ඔහු පෙන්වා දුන්නා.

එම ප්‍රදේශවලට ඇතුලුවීමට හැකියාව පවතින්නේ සෞඛ්‍ය අංශ ඇතුලු අත්‍යවශ්‍ය කණ්ඩායම්වලට පමණයි.

හුදෙකලා කර ඇති නිවසක හෝ ප්‍රදේශයක කිසියම් අයෙකු හදිසියේ අසනීප වුවහොත් පමණක් ඔවුන් රෝහල් ගත කිරීමට හැකියාව පවතිනවා.

ඊට අවශ්‍ය නොවන අතර සාමාන්‍ය රෝග ලක්ෂණ සඳහා පොලිස් ස්ථානයට හෝ සෞඛ්‍ය අංශ අමතා සහය ලබාගත යුතු බවටයි පොලිසිය දැනුම්දෙන්නේ ෴

++++++++++++++++++++++

(02.05.2021 – 06:13 +0530 – hirunews.lk/sinhala)

අද (02) උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව පුද්ගලයන් 187 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඔවුන්ගෙන් වැඩිම පිරිස වන 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන්.

තවත් 21 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ගල්කිස්ස ප්‍රදේශයෙන් අත්අඩංගුවට පත් පිරිස අතර සම්බාහන මධ්‍යස්ථානයක නිරෝධායන නීති උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළ කාන්තාවන් 3 දෙනෙකු ඇතුලු 8 දෙනෙකු ද වනවා.

මේ අතර ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 4642 ක් වනවා.

ඔවුන්ගෙන් 4650 කට පමණ මේවන විට නඩු පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(02.05.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණක් බවට පොලිසිය නැවත දැනුම් දෙනවා.

එම සීමාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ හොත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් විශේෂයෙන් රියදුරන් කොන්දොස්තරවරුන් මෙන්ම බස් රථ හිමිකරුවන් අවදානය යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කළා.

මේ අතර ඊයේ (01) දිනයේ බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 12 ක් ආවරණය වන පරිදි යුද හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

මෙහිදී එම ස්ථානවලින් ඇතුලුවන සහ පිටවන වාහන 526 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒවායෙහි ගමන් කළ පුද්ගලයන් 1102 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ අදාළ වාහනවල ගමන්කළ 250 දෙනෙකු පමණ නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු නොකළ බවටයි.

විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් එකම වාහනයක ගමන් කරන්නේ නම් ඔවුන් මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

ඒ ඔවුන් එකම පවුලක එකම ජෛව බුබුලක සාමාජිකයන් නොවීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් අදාළ වාහනවල ගමන් කළ පුද්ගලයන් දැනුවත් කළ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ ෴

++++++++++++++++++++++

(02.05.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතදැයි තහවුරු කරගැනීම සඳහා නව පරීක්ෂණ කට්ටලයක් අත්හදා බලන බව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සංජය බතීගේ මහතා සඳහන් කළේ ‘ආර්.ටී. ලෑම්ප්’ තාක්ෂණය භාවිත කරමින් මෙම නව පරීක්ෂණ කට්ටලය හරහා අඩු කාලසීමාවක් තුළ ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම සාමාන්‍ය ජනතාවට දැරිය හැකි අඩු මුදලක් වැය කර කොරෝනා පරීක්ෂණ සිදුකරගැනීමේ හැකියාවද මෙම මේ හරහා පවතිනවා.

මෙම නව පරීක්ෂණ කට්ටලය නිෂ්පාදනය සඳහා මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද හිමිව තිබෙනවා.

එමෙන්ම අදාළ පරීක්ෂණ කට්ටල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේත්, කරාපිටිය ශික්ෂණ රෝහලේත්, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේත්, අයි.ඩී.එච්. රෝහලේදීත් සාර්ථකව රසායනාගාර අත්හදාබැලීමේ පරීක්ෂාවන්ට ලක් කර ඇති බව සඳහන්.

ලොව රටවල් රැසක ‘ආර්.ටී. ලෑම්ප්’ තාක්ෂණය භාවිත කරමින් කොරෝනා ආසාදිත දැයි තහවුරු කෙරෙන පරීක්ෂණ සිදු කෙරෙන අතර, ඇතැම් රටවලට වීසා ලබාගැනීමේදී මෙම පරීක්ෂණය අනිවාර්ය බවයි වාර්තාවන්නේ.

මෙම පරීක්ෂණ කට්ටලය මෙරට තුළ හදිසි භාවිතයට රජය අවසර ලබාදෙන්නේ නම් මාසයක් ඇතුළත අවශ්‍ය පරීක්ෂණ කට්ටල සැපයීමේ හැකියාව පවතින බවයි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සංජය බතීගේ මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++

(02.05.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරට තුළ හදිසි භාවිතයට අනුමැතිය ලබාගැනීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ චීනයෙන් ප්‍රදානයක් ලෙස ලැබුනු සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක (6,00,000) තොගයක් මේ වනවිට ශ්‍රී ලංකාව සතුව පවතින බවයි.

ඒ අනුව අදාළ එන්නත් පුද්ගලයන් ලක්ෂ 3 (3,00,000) කට ලබාදීමේ හැකියාව පවතින බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අදාළ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීම පිළිබඳ තීරණය අපේක්ෂාවෙන් පසුවන බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ.

ඉන්දියාවේ පූනේ හි සීරම් ආයතනයේ නිෂ්පාදනය කළ ඔක්ස්ෆඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දෙවන (2) මාත්‍රාව ලබාදීම පසුගිය සතියේ ආරම්භ කෙරුණු අතර, මේ දක්වා 60,757 දෙනෙකුට දෙවන (2) මාත්‍රාව ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් පළමු (1) මාත්‍රාව ගත් සියලුම දෙනා ආවරණය වන පරිදි දෙවන (2) මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය අංශ සතුව එන්නත් නොමැති අතර, ඉන්දියාව තුළ මේ වනවිට පවතින දරුණු වසංගත ව්‍යාප්තියත් සමඟ රටවල් රැසකට එන්නත් සපයා ගැනීම මේ වනවිට අභියෝගයක් වී ඇති බවයි වාර්තාවන්නේ ෴

++++++++++++++++++++++

(02.05.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් අඛන්ඩව දෛනික කොරෝනා ආසාදිතයන් දහස (1000) ඉක්මවා පස්වන දිනටත් ඊයේ (02) වාර්තාවුණා.

ආසාදිතයන් 1,716 දෙනෙකු ඊයේ (01) හඳුනාගැණුනු අතර එය කොරෝනා ඉතිහාසයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි.

ඊයේ (01) හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 375 ක්.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 247 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 158 ක් වාර්තාවී තිබෙනවා.

අනෙක් ආසාදිතයන් 919 වාර්තාවන්නේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින්.

ගාල්ලෙන් ආසාදිතයන් 138 ක්, කුරුණෑගලින් 108 ක්, මහනුවර සහ රත්නපුරයෙන් 84 දෙනා බැගින් වාර්තාවනවා.

ත්‍රිකුණාමලයෙන් ආසාදිතයන් 82 ක්, මාතරින් 70 ක් සහ මොණරාගලින් මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලින් 56 දෙනා බැගින් වාර්තාවන බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

පළමුවරට මෙරටින් දෛනික ආසාදිතයන් දහස (1000) ඉක්මවා වාර්තාවූයේ පසුගිය අප්‍රේල් 27 වනදා වන අතර එදින රෝගීන් 1,111 දෙනෙකු වාර්තාවූණා.

විසි අටවනදා (28) එම සංඛ්‍යාවද අභිබවා දෛනික ආසාදිතයන් දැක්වුණේ 1,466 ක් ලෙසයි.

එම ආසාදිතයන්ද ඉක්මවා යමින් 29 වනදා ආසාදිතයන් 1,531 දෙනෙකු වාර්තාවූ අතර, අප්‍රේල් 30 වනදා ආසාදිතයන් 1,662 ක් වාර්තාවුණේ ඒ දක්වා මෙරට වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව සටහන් කරමින්.

කෙසේ වෙතත් ඊයේ (01) දිනයේ එම වාර්තාව ද අලුත් කරනු ලැබුවා.

ඒ අනුව නව ආසාදිතයින් 1,716 ක් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 109,862 ක් ලෙසයි.

නව රෝගීන්ගෙන් 1699 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 17 දෙනෙකු ද ආසාදිතයින් ලෙස තහවුරු කෙරුණා.

ඒ අනුව අලුත් අවුරුදු සමයෙන් පසුව වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 13,406 ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

තවදුරටත් රෝගීන් 12,697 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 96,478 ක්.

දින හයක් (6) තුළ මෙරටින් කොරෝනා මරණ 34 ක් වාර්තාවී ඇති අතර, ඊයේ (01) දිනයේ ද කොරෝනා මරණ 09 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 687 ක් දක්වා ඉහළ ගියා.

මෙම මරණවලින් හයදෙනෙකුම (6) මියයෑමට කොවිඩ් නියුමෝනියා තත්වයද හේතුවී තිබෙනවා.

මියගිය අය අතර, අවුරුදු 33 ක් වයසැති යක්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වන අතර, සෙසු පුද්ගලයින් අවුරුදු 57 ත් 79 ත් අතර වයස්වල පසුවන වලපනේ, කරඳන, දේවාලගම, රත්නපුර, කුලියාපිටිය, අවිස්සාවේල්ල, රුවන්වැල්ල සහ මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර කොරෝනා නීති උල්ලංඝනය කරමින් විශාල පිරිසක් රැස් කරගෙන දේව මෙහෙයන් පවත්වන ලද මන්නාරම ප්‍රදේශයේ දේවස්ථාන දෙකක් (2) ඊයේ (01) සිට සති දෙකකට (2) වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගත්තා.

එමෙන්ම නිරෝධායන නීති උල්ලංඝනය කළ 187 දෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔවුන්ගෙන් 45 දෙනෙකු ත්‍රිකුණාමලයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගල්කිස්ස ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 21 ක්.

ඉන් අටදෙනෙකු (8) සම්භාහන මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+++++++++++++++++++++++

(02.05.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

වෙළඳසැල්, පොළ සහ බේකරි නිෂ්පාදන අලෙවි කරන ස්ථාන, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිරෝධායන නීති කඩකරමින් සිටින බවට තොරතුරු වාර්තාවනවා.

ඊයේ (01) නිකුත් කළ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව අදාළ ආයතන ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවයෙන් සියයට 25 කට යටත්වයි.

කෙසේවෙතත් දිවයිනේ ප්‍රධාන නගර රැසකම වෙළඳසැල්වල මෙම නීතිය ක්‍රියාත්මක නොවන බවටයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එබැවින් හැකිතාක් දුරට එකිනෙකා අතර පරතරය තබාගනිමින් ක්‍රියා කළ යුතු බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය විවෘත කරන ලෙසට ගොවීන් ඉල්ලීම් කළද එහි සේවකයන් කොරෝනා පරීක්ෂණ මගහරිමින් සිටින බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පවසනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 500 ක් පමණ සේවය කරන බවත්, ඉන් කොරෝනා පරීක්ෂන සිදුකර ඇත්තේ 30 දෙනෙකු පමණක් බවත් ආණ්ඩුකාරවරයා මහනුවරදි ඊයේ (01) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා ෴

++++++++++++++++++++

(02.05.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණෙන ගුවන් යානයකින් රැගෙන ආ හැකි මගීන් සංඛ්‍යාව 75 කට සීමා කර තිබෙනවා.

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනුයි සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් සමාගම්වලට දන්වා ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුලුව එක් ගුවන් යානයක පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව 75 ක් බවයි.

මෙය හෙට (03) සිට සති දෙකක (2) කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති ෴

@@@@@@@@@@@@@@@

(02.05.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

දික්වැල්ල – නිල්වැල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදීමේ සිද්ධියට කාන්තාවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිල්වැල්ල – බටුවත්ත ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුවයි දික්වැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (30) අදාළ ප්‍රදේශයට ගොස් ඇත්තේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 3 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගේ බිරිඳ ඇතුලු පිරිසක් ඊට විරෝධය පළ කරමින් කළහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එම අවස්ථාවේදියි ඔවුන් විසින් පොලිස් නිලධාරීන්ට ගල්මුල් වලින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමෙන් එක් පොලිස් නිලධාරියෙකුගේ අතකට තුවාල සිදුව ඇති අතර ඔහු මාතර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත් සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර, ඔවුන් ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බවටයි වාර්තාවන්නේ.

මේ අතර දිගන – කුඹුක්කඳුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් පරීක්ෂා කරන අවස්ථාවේදී තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන්ට පෙට්‍රල් බෝම්බයක් සහ ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි ෴

******************************************

(02.05.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත පිටතින් දැමූ පාර්සලයක තිබී ජංගම දුරකථන හයක් (6) ඇතුලු තවත් උපකරණ කිහිපයක් ඊයේ (01) සොයාගෙන තිබෙනවා.

වනාතමුල්ල ප්‍රදේශයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් අදාළ පාර්සලය විසි කර ඇති බවටයි වාර්තාවන්නේ.

පොලීසිය සඳහන් කළේ අදාළ පාර්සලයේ තිබී, ජංගම දුරකථන හයක් (6), බැටරි අටක් (8), චාජර් 5 ක්, සිම්පත් 4 ක් ඇතුලු තවත් ශ්‍රව්‍ය උපකරණයක් සොයාගත් බවයි ෴

******************************************

(02.05.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

කල්මුණේ – මරදමුණේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ රථවාහන පරික්ෂාවකදී ව්‍යාජ අංක තහඩු දෙකක් (2) සහ හෙරොයින් ග්‍රෑම් 3 ක් සමඟ හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම ව්‍යාජ අංක තහඩු භාවිතා කර ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

එමෙන්ම වෑන් රථයට පිටුපසින් පැමිණි මෝටර් රථයක් පරික්ෂාවට ලක් කිරීමේදී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 3 ක් සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් මාලිගාවත්ත, දෙහිවල හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(02.05.2021 – 09:06 +0530 – hirunews.lk/sinhala)

රක්වාන නගරයේ වෙළඳසැල් පෙළක හටගත් ගින්නකින් වෙළඳසැල් හතරකට (4) හානි සිදුව තිබෙනවා.

ඊයේ (01) රාත්‍රියේ අටට (08:00) පමණ හටගත් මෙම ගින්න රක්වාන පොලිසිය සහ රත්නපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව නිවාදැමීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර මොරගහහේන – කිරිවත්තුඩුව ප්‍රදේශයේ තුන්මහල් (3) ගොඩනැගිල්ලක ඊයේ (01) රාත්‍රි හටගත් ගින්නද මේ වනවිටට නිවා දමා තිබෙනවා ෴

+++++++++++++

******************************************

(02.05.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මල්පෙත්තාම ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (01) සිදුවූ අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවය කළ අයෙක් වන අතර ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අම්බලන්තොට සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය මාර්ගය හරහා ගිය සුනඛයෙකු හේතුවෙන් නතර කිරීමේදී පිටුපසින් පැමිණි ටිපර් රථයේ ගැටී තිබෙනවා.

එහිදී යතුරුපැදිය ධාවනය කළ තරුණයා මාර්ගයෙන් ඉවතට විසිවී ඇති අතර පිටුපස අසුනේ සිටි තරුණයා ටිපර් රථයට යටවී ඇතැයි සඳහන්.

අනතුරට අදාළව ටිපර් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

******************************************

(02.05.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු (3) බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ඊයේ (01) එක්වරම ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට හැරවීමේදී පසුපසින් පැමිණි වෑන් රථය ත්‍රිරෝද රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් මේ වනවිට දික්ඔය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *