ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉන්දියාවට සම කළ හැකියි – ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයාගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉන්දියාවට සම කළ හැකියි – ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයාගෙන් ප්‍රකාශයක්

*********************************************

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉන්දියාවට සම කළ හැකියි – ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයාගෙන් ප්‍රකාශයක්

(01.05.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ඉන්දියාවට සමාන කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (30) දිනයේ වැඩිම ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොරෝනා ආසාදිතයන් 1,662 කු ඊයේ (30) මෙරටින් හඳුනාගත් අතර, ඉන් වැඩිම ආසාදිතයින් එනම් 329 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 317 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 193 දෙනෙකු වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,08,145 ක් ලෙස සටහන් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,492 ක්.

ගතවූ දින හතර (4) තුළ කොවිඩ් ආසාදිත මරණ 31 ක් මෙරටින් වාර්තාවී ඇති අතර, ඉන් 22 ක්ම සිදුව ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවෙන්.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ අලුත් අවුරුදු සමයෙන් පසු වාර්තාවූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 11,707 ක් වන බවයි.

කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන කොරෝනා රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 226 දෙනෙකු කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරීමට නොහැකි වී ඇති බවද වාර්තාවනවා.

එමෙන්ම කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන්ද කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු ඊයේ (30) වනවිට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ඇඟළුම් කම්හල් පහකට (5) අයත් සේවක සේවිකාවන් බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණයේ තවත් සේවකයින් 9 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවටද ඊයේ (30) තහවුරු වී තිබෙනවා.

මීට පෙර ද බලාගාර සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් පස්දෙනෙකු (5) වාර්තා වූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කළේ.

බේරුවල – පාදාගොඩ ප්‍රදේශයෙන් සහ ඒ අවට තවත් ගම්මාන කිහිපයකින් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟ ඊයේ (30) සිදුකළ කොරෝනා පරීක්ෂාවලදී තවත් 14 දෙනෙකු ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ ඒ සඳහා පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය පහසුකම් වැඩිකළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර බස්නාහිර පළාතේ ඊයේ (30) දිනයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම විශේෂ මෙහෙයුමේදී ආයතන 2320 ක් හා පුද්ගලයින් 6320 ක් පරීක්ෂාවට ලක් කළ බවයි.

ඒ අතරින් ආයතන 2023 ක් නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

++++++++++++++++++++++

(01.05.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

රට පුරා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ පොදු ප්‍රවාහනය වෙනුවෙන් පනවා ඇති කොවිඩ්-19 නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

මේ අනුව එම නීති රීති උල්ලංඝනය කරමින් පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ හිමිකරුවන්, කොන්දොස්තරවරුන් සහ රියැදුරන්ට එරෙහිව නිරෝධායනය නීති යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

නිරොධායන නීති යටතේ බස්රථයක රැගෙන යා හැකි මගීන් සංඛ්‍යාව සහ බස් රථය තුළ ක්‍රියාත්මක කළ යුතු කොවිඩ්-19 ආරක්ෂක විධිවිධාන පිළිබඳව පැහැදිලි සඳහන් කිරීමක් සිදුකර ඇති අතර එම නිර්ණායක උල්ලංඝනය කරමින් මගී ප්‍රවාහන සේවාවේ යෙදෙන බස්රථ පරික්ෂා කිරීම සඳහා අද (01) සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක ක්‍රියාත්මක වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

++++++++++++++++++++

(01.05.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

නවගමුව පුරාණ පත්තිනි මහා දේවාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

දේවාලයේ භාරකාර, පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර අනුනායක හිමියන්ගේ නියමයෙන් දේවාලය වසා දමා ඇත්තේ පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන්.

එමෙන්ම, දේවාලය ආසන්න නිවාස වලින් කොරෝනා ආසාදිතයින් 40 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති බව ද වාර්තා වනවා.

+++++++++++++++++++++

(01.05.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් එන්නත් වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 05 කට අධික වටිනාකමකින් යුත් ‘සීතල දාම ආධාරක උපකරණ’ හෙවත් ‘කෝල්ඩ් බොක්ස්’ 500 ක් ජපන් රජයේ ආධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී තිබෙනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිට ක්‍ෂේත්‍රයේදී එන්නත්කරණ අවස්ථාවන් දක්වා ආරක්ෂිතව, නියමිත උෂ්ණත්වය යටතේ මෙම කෝල්ඩ් බොක්ස් මගින් එන්නත් රැගෙන යෑම සිදුකළ හැකියි.

එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා අරමුදලේ සම්බන්ධීකරණයෙන් ලබාදී මෙම කෝල්ඩ් බොක්ස් තොගය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා විසින් සංකේතාත්මකව ලබාදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙහි දෙවන (2) අදියර යටතේ ඉදිරියේදී ‘කෝල්ඩ් බොක්ස්’ 750 ක් ලබාදීමට නියමිතයි ෴

++++++++++++++++++++++

(01.05.2021 – 14:52 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ දහම් පාසල්ද වසාදැමීමට තීරණය කර තිබෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු ඉරිදා දහම් පාසල් යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ෴

ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අප්‍රේල් 30 වනදා දක්වා පාසල් වසා තබන බවයි මීට පෙර ඔහු කියා සිටියේ.

ඒ අනුව යළි පාසල් ආරම්භය සම්බන්ධයෙන් ලබන 07 වනදා රැස්වී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළා.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

මේ අතර රජය ගත් තීරණයට අනුව සියලු කතෝලික සහ ඇන්ග්ලිකන් පාසල් ද වසා තැබීමට තීරණයකර තිබෙනවා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නැවත දැනුම් දෙන තුරු සියලුම සිනමා ශාලා සහ ළමා උද්‍යාන වසා දමා තිබෙනවා ෴

+++++++++++++++++++++

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නව මාර්ගෝපදේශ මාලාවක්

(01.05.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (01) නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව සිනමාශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, කැසිනෝ, ඔට්ටු මධ්‍යස්ථාන වසාදැමිය යුතුයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව මාර්ගෝපදේශන මාලාව නිකුත් කර ඇති අතර, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල්, පාසල්, උපකාරක පන්ති, විශ්වවිද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතනද වසා දැමිය යුතු වනවා.

සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණවල ඉඩ ප්‍රමාණයෙන් සියයට 25 ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගණුදෙනුකරුවන් ඇතුළත් කරගත යුතුයි.

එසේම ඇවිදීමට හැකි වර්ග මීටර 1.5 ක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යැයි සැළකිය යුතු වනවා.

එමෙන්ම, කොරෝනා ආසාදිත නොවන මරණයක් රෝහලකින් ඥාතීන්ට භාර දී හෝ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පැය 24 ක් තුළ අවසන් කටයුතු සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. ඒ සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 ක් පමණයි.

රැස්වීම්, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීමට ලබන 20 වන දා දක්වා අවසර හිමි වන්නේ නැහැ.

බැංකු, මූල්‍ය ආයතන සහ සාමාන්‍ය වෙළදසැල් සඳහා ද එහි රැදවිය හැකි ධාරිතාවයෙන් සියයට 25 ක් පමණක් ඇතුළු කර ගැනීමට අවසර හිමි වනවා.

ජංගම සහ පදික වෙළදුන්ට දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව තම වෙළදාම් කටයුතු සිදුකළ හැකි බවයි සංශෝධනයට ලක් කළ නව මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙන්නේ.

එමෙන්ම අපනයනය කලාප තුළ කටයුතු අදාළ කර්මාන්තශාලා පිහිටි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයාගේ අධීක්ෂණය යටතේ ජෛව ආරක්ෂක බුබුළකට යටත්ව සිදුකළ යුතු අතර, සේවකයන් ප්‍රවාහනය සහ ඔවුන්ට ඉදුම් හිටුම් ලබාදීම ඒ යටතේ සිදුකළ යුතුයි.

පෞද්ගලික අංශය අවම කාර්ය මණ්ඩලයකින් කටයුතු පවත්වාගෙන යාමටත් අනෙකුත් කාර්ය මණ්ඩලවලට නිවසේ සිට රාජකාරී කිරීමටත් උපදෙස් ලබාදී තිබෙනවා.

දුම්රිය හා බස් වැනි පොදු ප්‍රවාහන සේවාවල මගී ප්‍රවාහනය ආසන සංඛ්‍යාවට පමණක් සිදුකළ යුතු බවට පැනවූ කොන්දේසියේ වෙනසක් සිදුකර නැහැ.

පෞද්ගලික කුලී රථ සේවා වල උපරිම මගීන් සංඛ්‍යාව, මෝටර් රථ හා ත්‍රිරෝද රථ නම් මගීන් දෙදෙනෙකුටත් (2), වෙනත් වර්ගයේ මෝටර් රථයක් නම් ආසන සංඛ්‍යාවට පමණක් සීමා කළ යුතු වනවා.

@@@@@@@@@@@@@@@@

(01.05.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බිහිකිරීම සෑම මව්පියන්ගේම ප්‍රමුඛ බලාපොරොත්තුවක්.

එහෙත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මවගේ සෙනෙහසද අහිමිව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන දරුවෙකු පිළිබඳ බලන්ගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

******************************************

(01.05.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඉහළ මට්ටමේ දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළහොත් ජිනීවා මානව හිමිකම් අභියෝගය ජයගැනීමට හැකි බව, මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.

මානව හිමිකම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ අදහස් පළකළා.

මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන, මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාමහේවා මහතා, මානව හිමිකම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ ඊයේ (30) සාක්ෂි ලබාදුන්නා.

******************************************

(01.05.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් මැයි දින සැමරුම් උත්සවයක් සංවිධාන කළ පුද්ගලයින් හත්දෙනෙකු (7) දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන තේ කර්මාන්තශාලාවක් ඉදිරිපිට අද (01) මැයි දින සැමරුම් උත්සවයක් සංවිධාන කළ හත්දෙනෙකුයි (7) මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇත්තේ.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ මැයි දින සැමරුම් ඇතුලු කිසිදු උත්සවයක් නොපවත්වන ලෙසට සෞඛ්‍ය අංශ දැනුම්දී තිබුණා.

කෙසේ වෙතත් හිරු වාර්තාකරු සඳහන් කළේ වතුකරයේ ස්ථාන කිහිපයක කුඩා මැයි දින සැමරුම් උත්සව පැවැත්වූ බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *