කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක්

කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක්

*********************************************

කුඩා දරුවන් අතර බෝවන තවත් රෝගයක්

(30.04.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවන් අතර බෝවන වෛරස රෝගයක් මේ දින වල පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අත්, පා, මුඛ රෝගය ලෙස හඳුන්වන මෙම රෝගය වයස අවුරුදු 6 ට අඩු දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන බවයි.

මුඛය තුල සහ ශරීරයේ විවිධ ස්ථාන වල රතු පැහැ ලප ඇතිවීම මෙම වෛරස රෝගයේ ප්‍රධානතම ලක්ෂණය වන අතර ඇතැම් විට උණ ඇතිවීමේ හැකියාවද පවතිනවා.

ආහාර ගැනීමේ අපහසුතාවයද මෙම රෝගය නිසා ඇති වන තවත් තත්වයක්.

මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ දින වල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයට වැඩි වශයෙන් පැමිණෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට කඩිනමින් කටයුතු නොකළහොත් දරුවන්ගේ නියපොතු පවා ගැලවී යා හැකි බවයි ෴

******************************************

(30.04.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරන් හෂීම්ගේ සහෝදරයා වන ‘මොහොමඩ් රිල්වාන්’ නැමැත්තා 2018 වසරේදී යම් පුපුරණ ද්‍රව්‍යක් අතහදා බැලීමට යාමේදී තුවාල ලබා තිබුනා.

එම පුපුරුණ ද්‍රව්‍ය අත්හදා බැලීම සිදුකළ ස්ථානයට අමුද්‍රව්‍ය සැපයූ සහ ඒවා සැඟවීමට සහය දුන් පුද්ගලයා කල්මුණේ පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ‘රාසික් රාසා’ නැමැත්තා බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කළ විමර්ශනවලට අනුව මේ බව අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව අඟුනුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු යළි ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් මත ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය වෙත රැගෙනවිත් තිබෙනවා ෴

******************************************

(30.04.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණ ප්‍රතිඵල සඳහා පහතින් පිවිසෙන්න :

[ https://www.doenets.lk/examresults ]

******************************************

(30.04.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල බන්ධනාගාරයේ සීමා තාප්පයට ඉහළින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බන්ධනාගාර රාත්‍රී සේවා මුරයේ සිටි නිළධාරින්ට හමුවී තිබෙනවා.

අදාළ පාර්සලය පරික්ෂා කිරීමේදී එතුළ තිබී ජංගම දුරකථන 02 ක්, කුඩා ප්‍රමාණයේ මත් පෙති බවට සැක කළ හැකි පෙති 200 ක් සහිත පැකට් 02 ක්, හෙරොයින් යැයි සැක සහිත පැකට් 02 ක් සහ දුම්කොළ 10 ක් සොයා ගත්තා.

මෙම පාර්සලය බන්ධනාගාරය තුළට වීසි කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කිරීම සඳහා සොයා ගත් පාර්සලය සහ එහි අඩංගු බඩු භාණ්ඩ ගාල්ල මුලස්ථාන පොලිසිය වෙත භාර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පවසනවා ෴

@@@@@@@@@@@@@@

(30.04.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වීම ආරම්භ වූ දින සිට එක් දිනයක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව යළිත් අලුත් කරමින් ඊයේ (29) දිනයේදී මෙරටින් ආසාදිතයින් 1,531 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව අඛණ්ඩව මෙරටින් දහසේ සීමාව ඉක්මවා කොරෝනා ආසාදිතයන් වාර්තාවූ තුන්වන (3) දිනය මෙය වනවා.

ඊයේ (29) වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 1,491 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 40 දෙනෙකු ද ඒ අතර වනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියේ 1,06,484 ක් ලෙසටයි.

එමෙන්ම තවදුරටත් ආසාදිතයන් 10,372 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 95,445 ක්.

කොරෝනා මරණ 06 ක් ඊයේ (29) වාර්තා වීමත් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 667 ක් දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මින් මරණ පහක්ම (5) සිදුව ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයෙන් බවයි.

මියගිය අය අතර, අවුරුදු 37 ක් වයසැති කාන්තාවක්ද වන අතර, ඇය වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඊට අමතරව බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 49 සහ මහනුවර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 85 ක කාන්තාවන් දෙදෙනෙකු (2) ද කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.

61 හැවිරිදි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක්ද කොරෝනා හේතුවෙන් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය සහ ආඝාතය හේතුවෙන් මියගොස් තිබෙනවා.

කොරෝනා ආසාදිත රෝගියෙකු මරණයට පත්වීමත් සමඟ නිකවැරටිය – ගිරිබාව රෝහලට ඊයේ (29) සිට තාවකාලිකව රෝගීන් ඇතුළත් කරගැනීම නතර කර ඇති බව වාර්තාවනවා.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ 104 දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 4,191 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම මගීන් අඩුවීම සහ සේවකයින් රාජකාරියට වාර්තා නොකිරීම හේතුවෙන් ලබන සඳුඳා (03) සිට බස් රථ ධාවනය සීමා කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.

මගීන්ගේ අඩුවීම නිසා දුරගමන් සේවා දුම්රිය වාර කිහිපයක් අවලංගු කිරීමට පියවර ගත්තත්, සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴

++++++++++++++++++++

(30.04.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග තමන් තාවකාලිකව නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් හතරදෙනෙකු (4) ඉවත් කිරීමේ පුවතක් ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ හේතුවෙන් අසරණ වූ එම සිව්දෙනා (4) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම සිව්දෙනා (4) ගම්පහ නගරයේ අසරණව ත්‍රීරෝද රථයක රැඳී සිටින බවට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාට දුරකතන ඇමතුමක් ලැබී තිබුණා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ තමන් ඔවුන්ව රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි ගම්පහ නගරාධිපතිවරයා කියා සිටියේ ෴

+++++++++++++++++++++++

(30.04.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබන පුද්ගලයන්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

සුවය ලබා මාසයක් ගතවන ආසාදිතයන් තිස්දෙනෙකුගේ (30) සාම්පල ලබාගනිමින් සිංගප්පූරුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම අධ්‍යයනය සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව එම අධ්‍යයනයෙන් තහවුරු වී ඇත්තේ එම සියලුදෙනාගේ රුධිරවාහිනීවලට හානි සිදුවීමෙන් රුධිරය කැටි ගැසෙන බවයි ෴

+++++++++++++++++++++++

(30.04.2021 – 11:25 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකළ බස්නාහිර පළාතේ හෝටල්, අවන්හල්, විවේකාගාර, කැසිනෝ සහ සමාජශාලා ඇතුලු ස්ථාන 932 කට සහ පුද්ගලයන් 5,743 කට අවවාද කළ බව පොලීසිය ප්‍රකාශ කළා.

බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ කොරෝනා පාලනය කිරීමේ අරමුණින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අවවාදකිරීම් සිදුකළ බවයි.

ඊයේ (29) රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබුණා.

එමෙන්ම අදාළ මෙහෙයුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කළ සහ වෙනත් වැරදි සිදුකළ හත්දෙනෙකු (7) ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(30.04.2021 – 11:30 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය කොරෝනා ප්‍රභේදය (B.1.617) පළමු වරට ප්‍රංශයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට පැමිණි අයෙකුට මෙලෙස එම ප්‍රභේදය වැළදී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

මේ අතර, ඔක්සිජන් සිලින්ඩර 400 කට වැඩි ප්‍රමාණයක්, රෝහල් උපකරණ හා මිලියනයකට ආසන්න කොරෝනා පරීක්ෂණ කට්ටල රැගත් ඇමෙරිකානු හමුදා ගුවන් යානයක් අද (30) ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉන්දියාවට ලබා දුන් මෙම හදිසි වෛද්‍ය සහනාධාරයේ වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 100 කට අධික බවයි ෴

+++++++++++++++++++++++

(30.04.2021 – 11:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය දින දෙකකට (2) සීමා කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදි තීරණය වී තිබෙනවා.

ඒ අනුව ලබන 04 වනදා සහ 05 වනදා පමණක් පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්විමේදි වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ලබන 05 වනදා විවාදයට ගෙන එදිනම ජන්ද වීමසීම පැවත්වීමට තීරණය වී තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල සදහන් කළේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂය දින දෙකක (2) විවාදයක් ඉල්ලා සිටි නමුත් ඊට ආණ්ඩුවේ එකඟත්වය පල නොවු බවයි ෴

+++++++++++++++++++++

(30.04.2021 – 12:02 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග මෙතෙක් කල්, පුද්ගලයින් දෙදෙනෙකු (2) අතර පවත්වා ගත යුතු දුරස්ථබාවය පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ වෙනස් කළ යුතු බව වෛද්‍ය විශේෂඥයින් පවසනවා.

ඔවුන්ගේ නව නිර්දේශය වන්නේ, මතුව ඇති තත්ත්වය අනුව පුද්ගලයින් දෙදෙනෙකු (2) අතර අවම තරමින් මීටර දෙකක (2) පරතරයක්වත් තබාගත යුතු බවයි.

අද (30) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය, පද්මා ගුණරත්න මහත්මිය මේ බව ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++++

(30.04.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ එරට නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් එන්නත නිපදවීම තවදුරටත් පමා විය හැකි බව ද හින්දු පුවත්පත අද (30) වාර්තා කළා.

එම පුවත්පත සඳහන් කළේ ඉන්දීය රජයේ ‘වැක්සීන් මෛත්‍රී’ වැඩසටහන යටතේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත නිපදවීම ජුලි මාසය වන තෙක් පමා වනු ඇති බවයි.

මේ වන විට කොවිඩ් නයින්ටීන් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ (29) දිනයේදීත් කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 19,474 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව දැනට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 22,919 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම පසුගිය ජනවාරි මස 22 වන දා ආරම්භ වූ අතර එය අප්‍රේල් මස 15 වන දා දක්වා ක්‍රියාත්මක වුණා.

ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 9,25,242 නෙකුට ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, හයලක්ෂයකට (6,00,000) ආසන්න එන්නත් හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය හමුවේ නියමිත කාලවකවානුවට පෙර එන්නත් නොලැබුණහොත් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබදව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළා ෴

+++++++++++++++++++++

(30.04.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (29) හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් තුනෙන් එකක්ම (1/3) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

හඳුනාගත් නව ආසාදිතයින් 1531 දෙනාගෙන් 533 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගෙන් 146 දෙනෙකු මහනගර සභා සීමාවෙන් වාර්තා වන අතර පිළියන්දලින් ආසාදිතයින් 129 දෙනෙකු, මුල්ලේරියාවෙන් ආසාදිතයින් 31 දෙනෙකු ඊයේ (29) වාර්තා වුණා.

කෙසේ වෙතත්, කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියා සිටියේ කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

මේ අතර, ඊයේ (29) ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 145 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107 දෙනෙකු, මහනුවරින් 85 දෙනෙකු ගාල්ලෙන් 84 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48 දෙනෙකු, මාතරින් 46 දෙනෙකු සහ නුවරඑළියෙන් ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වනවා.

ගත වූ තෙදින තුළ පමණක් කොරෝනා ආසාදිත මරණ 20 ක් මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් 15 ක්ම සිදුව ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන්.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 667 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (29) දිනයේදීත් මරණ 6 ක් මෙරටින් වාර්තා වීමත් සමඟයි.

මේ අතර, ඇතිමලේ පොලිස් ස්ථානයේ කොරෝනා ආසාදිත මුළු නිලධාරීන් සංඛ්‍යාව 50 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මීට පෙර කොරෝනා ආසාදිත නිලධාරීන් 20 දෙනෙකු වාර්තා වූ අතර පසුව සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් අනතුරුවයි අනෙක් 30 දෙනා හඳුනාගෙන ඇත්තේ.

පසුගිය 25 වන දා ඔවුන්ගේ කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා ඔවුන් නිවෙස්වලට යොමු කර තිබුණා.

මෙම පිරිස ඇතිමලේ ප්‍රදේශයේම පදිංචි පොලිස් නිලධාරීන් වන අතර අද (30) උදෑසනයි එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබී ඇත්තේ.

කෙසේ වෙතත්, නිවෙස්වල සිටි ඔවුන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සදහන් කළේ.

එමෙන්ම, හැටන් – කොටගල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සහකාර කළමනාකාරවරයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා එහි කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ සියළුම කොරෝනා රෝහල් මේ වනවිට රෝගීන්ගෙන් පිරී පවතින බවයි බස්නාහිර පලාත් සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේ.

මේ වන විට දිවයිනෙන් මූලාශ්‍ර සොයා ගත නොහැකි කොරෝනා අනු පොකුරු වාර්තා වීමේ අවදානමක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, කොරෝනා වසංගතයට කැපවීමෙන් වැඩ කරන සෞඛ්‍ය නිලධාරීන්ට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින බව ද ඔහු කියා සිටියා.

මේ අතර, කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ අද (30) උදෑසන සිට දිස්ත්‍රික්ක 3 ක පොලිස් බල ප්‍රදේශ 5 ක් සහ ග්‍රාම නිලධාරී වසම් 3 ක් හුදෙකලා කිරීමටයි පියවර ගැනුණේ.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කෙරුණා.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බල ප්‍රදේශය සහ කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ උඩබදලව ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කළ බවයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්අමුණ සහ හෙළමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් ද මෙලෙස හුදෙකලා කෙරුණා.

ඒ අනුව පසුගිය 20 වන දා සිට දින 10 ක කාලයක් තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 9 කට අයත් පොලිස් බල ප්‍රදේශ 23 ක ග්‍රාම නිලධාරී වසම් 100 කට වැඩි ප්‍රමාණයක් හුදෙකලා කර තිබෙනවා.

මේ අතර, සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකළ බස්නාහිර පළාතේ හෝටල්, අවන්හල්, විවේකාගාර, කැසිනෝ සහ සමාජශාලා ඇතුලු ස්ථාන 932 කට සහ පුද්ගලයන් 5,743 කට අවවාද කළ බව පොලීසිය ප්‍රකාශ කළා.

දැනට පවතින කොරෝනා වෛරස් ප්‍රභේදයට අනුව දෙදෙනෙකු (2) අතර සමාජ දුරස්ථභාවය මීටර් 2 ක පරතරයක් පවත්වා ගෙන යාම වඩා වැදගත් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *