බාල ඉදි කිරීමක තොරතුරු හෙළිවෙයි – සොයා බැලීමේදී උණුසුම් තත්වයක්

බාල ඉදි කිරීමක තොරතුරු හෙළිවෙයි – සොයා බැලීමේදී උණුසුම් තත්වයක්

*********************************************

බාල ඉදි කිරීමක තොරතුරු හෙළිවෙයි – සොයා බැලීමේදී උණුසුම් තත්වයක්

(29.04.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

දියගම මාතෘ හා ළමා සායන පැවැත්වෙන දෙමහල් ගොඩනැගිල්ලට යාබද ඉඩමේ පස් කැපීම හේතුවෙන් එම සායන ගොඩනැගිල්ලේ අත්තිවාරමට හානි සිදුව තිබෙනවා.

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මෙම පරිශ්‍රය පරීක්ෂා කිරීම සඳහා කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී උණුසුම් තත්වයක් ඇතිවූවා.

එහිදී එම අවස්ථාව ආවරණය කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට තර්ජනය කළ ඉඩම අයත් පිරිස අශෝභන ලෙස හැසිරී ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් ඉඩමේ හිමිකරුවන් පවසන්නේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ කොන්ත්‍රාත්කරුවන් එය නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති බවයි.

ගොඩනැගිල්ලේ සීමාවට මායිම්ව පිහිටි තම ඉඩමේ තාප්පය කඩා දැමූ පසු කොන්ත්‍රාත්කරුවන් සිදුකළ බාල ඉදිකිරීම පිළිබඳව දැන් හෙළිවී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් පසුව සෞඛ්‍ය බලධාරීන් විසින් ගොඩනැගිල්ලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

එම අවස්ථාවේ දර්ශන පහතින් :

******************************************

(29.04.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් ලු‍නුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේ අනතුර සිදුවූ ස්ථානයේ නවතම ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වනවා.

එම අවාසනාවන්ත අනතුර සිදුවී දින කිහිපයකට පසුව මාර්ගයට වැටී තිබූ විශාල ගල පුපුරුවා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු යෙදුවා.

බස් රථ අනතුරෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන් ලු‍ණුගල සහ පස්සර අතර පිහිටි යපම්ම, හොප්ටන් සහ මීදුම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ළමයින් පස් දෙනෙකු (5) ද ඇතුළුව 33 දෙනෙකු අනතුරෙන් තුවාල ලැබූ අතර, පිරිමි පුද්ගලයන් 20 දෙනෙකු සහ කාන්තාවන් 13 දෙනෙකු ඒ අතර වුණා.

එම ස්ථානයේ වර්තමාන තත්වය දැක්වෙන එම ඡායාරූප පහතින් :

******************************************

(29.04.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

2021 ටෝකියෝ ඔලිම්පික් උලෙළේ කාන්තා අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කිරීම සදහා ශ්‍රී ලංකාවේ මැටිල්ඩා ක්ලාසන්ට යළි අවස්ථාව හිමිවී තිබෙනවා.

මීට පෙර ඇය ඔලිම්පික් වරම් හිමි කර ගත්තේ ආසියානු සහ ආසියානු සාගර කලාපයේ මුල් ස්ථාන දෙක (2) අතරට සුදුසුකම් ලබා ගනිමින්.

නමුත් මැටිල්ඩා සහභාගි වූ ඇතැම් තරග ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනය විසින් නිර්දේශ නොකළ තරගාවලි බවට පවසමින්, ඇයට ඔලිම්පික් වරම් අහිමි කරන්නට ජගත් අශ්වාරෝහක සම්මේලනය පසුව පියවර ගත්තා.

අදාළ තීරණයට එරෙහිව මැටිල්ඩා වෙනුවෙන් ශ්‍රී ලංකා අශ්වාරෝහක සම්මේලනය විසින් ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය වෙත අභියාචනාවක් ගොනු කළේ ඒ අතරතුරයි.

එහිදි ජාත්‍යන්තර අශ්වාරෝහක සම්මේලනයේ නිලධාරීන් විසින් පවසා ඇත්තේ මෙය අත්වැරැදීමකින් ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති බවයි.

අදාළ අභියාචනාව සලකා බැලූ ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය මැටිල්ඩා ක්ලාසන්ට මෙවර ඔලිම්පික් උලෙළ නියෝජනය කරන අවස්ථාව ලබාදීමට තීරණය කළා.

ඒ අනුව පසුගියදා ඇය යළි සුදුසුකම් ලබා ගැනීමේ තරගයට එක්වූ අතර එහිදී සුපුරුදු දක්ෂතා අතරට මැටිල්ඩා ක්ලාසන් පැමිණීමත් සමගින් ඔලිම්පික් වරම් හිමිවුණා.

මැටිල්ඩා වාර්තා පොත් අතරට එක්වන්නේ ඔලිම්පික් උලෙළේ අශ්වාරෝහක පැනීම් ඉසව්ව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසටයි.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා දැනට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා ඇති එකම ශ්‍රී ලාංකීකයා වන්නේ ද මැටිල්ඩා ක්ලාසන්.

******************************************

(29.04.2021 – 21:03 +0530 – hirunews.lk/sinhala)

ලීටර් පරිමාවෙන් පමණක් නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට කිසිදු අවසරයක් ලබා නොදෙන බව පාරිභෝගික ආරක්ෂන රාජ්‍ය අමාත්‍යවරයා අද (29) සහතික වුණා.

ඒ ලීටර් පරිමාවෙන් ගෑස් නිකුත් කිරීමේදී පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුවන බවට හිරු ප්‍රවෘත්ති කළ හෙළිදරව්වෙන් පසුවයි ෴

******************************************

(29.04.2021 – 21:50 +0530 – hirunews.lk/sinhala)

අද (29) උදෑසන මහරගම නගරයේ රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් අසල සිදුවූවා යැයි කියන මුදල් කොල්ලකෑමේ උත්සහයක් පිළිබඳව තොරතුරක් අන්තර්ජාලයේ සැරිසරන්නේ ඊට අදාළ ඡායාරූප කිහිපයක් ද සමඟින්.

එහි සඳහන් වන ආකාරයට වයස අවුරුදු 20 ක පමණ තරුණයෙකු, ස්වයංක්‍රීය මුදල් ලබාගත් කාන්තාවකගේ මුදල් පැහැරගෙනයාමට ගත් උත්සහයක් එතැන සිවිල් ඇඳුමින් සිටි පානදුර පොලිසියට අනුයුක්ත නිලධාරියෙකු විසින් ව්‍යර්ථ කරනවා.

පසුව මුදල් පැහැරගැනීමට උත්සහ කළ තරුණයා සමඟ එහි ත්‍රිරෝද රථයේ සිටි අනෙක් දෙදෙනාත් (2) මහරගම පොලිසියට භාරදුන් බවයි අන්තර්ජාලයේ රසමවමින් සංසරණය වන මේ කතා පුවතේ දැක්වෙන්නේ.

නමුත් ‘හිරු ප්‍රවෘත්ති’ මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී හෙළිවූයේ වෙනස්ම පුවතක්.

මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට අනුව සිදුව ඇති සිද්ධිය මෙසේයි :

අදාළ රාජ්‍ය බැංකුවෙන් මුදල් ලබාගැනීමට පැමිණි කාන්තාවක් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයෙන් රුපියල් විසිදහසක (20,000) මුදලක් ලබාගැනීමට උත්සහ දරා තිබෙනවා.

නමුත් ඒ මොහොතේ අදාළ යන්ත්‍රයේ මතුවූ යම් කාර්මික දෝෂයක් හේතුවෙන් එම මුදල යන්ත්‍රයෙන් නිකුත් වී නැහැ.

ඇය මේ සම්බන්ධයෙන් බැංකුවේ කළමනාකාරීත්වය දැනුවත් කිරීමට බැංකු පරිශ්‍රය තුළට ගිය අවස්ථාවේදී සැකයට භාජනය වූ තරුණයා ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය භාවිතයට පැමිණ තිබෙනවා.

එවිට පෙර කී කාන්තාව ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයෙන් ඉල්ලුම් කළ මුදල වන රුපියල් විසිදහස (20,000) නිකුත්ව තිබෙනවා.

එම මුදල ගත් තරුණයා ATM යන්ත්‍රය අසලින් එළියට පැමිණෙන විටම ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට පෝලිමේ සිටි පානදුර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියා ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර ඇති බවයි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

ඒ සමඟම එතැන යම් කළබලකාරී තත්වයක් මතුව ඇති බවත් එවිට ඒ අවට සේවයේ යෙදී සිටි මහරගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු (2) එම ස්ථානයට පැමිණ ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා (2) විසින් අදාළ තරුණයා සහ ඔහු සමඟ ත්‍රිරෝද රථයේ පැමිණි අනෙකුත් දෙදෙනාත් (2) මහරගම පොලිසියට රැගෙන ආ බවයි මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුව එම ස්ථානයට පැමිණි ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයෙන් මුදල් ඉල්ලුම් කළ කාන්තාව සිද්ධිය පැහැදිළි කරදීමෙන් පසුව සැකයට භාජනය වූ තරුණයා සහ ඔහු සමඟ පැමිණි අනෙක් දෙදෙනා (2) නිදහස් කර තිබෙනවා.

මෙය හදිසියේ මතුවූ අනවබෝධයක් මත ඇතිවූ සිද්ධියක් බවයි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා ‘හිරු පුවත්’ වෙත සඳහන් කර සිටියේ.

(තරුණයා ATM යන්ත්‍රයෙන් රුපියල් 20,000 ලබාගත්තේ සොර සිතින් ද නැත්නම් කාන්තාවට ලබාදීමට ද?)

******************************************

(29.04.2021 – 22:36 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර භාවිතය මුළුමණින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කළ බවට (පත් කරන බවට ?) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සඳහා ගත් පියවර කිසිසේත් ආපස්සට නොගන්නා බවයි ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේ.

******************************************

(29.04.2021 – 23:00 +0530 – hirunews.lk/sinhala)

චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග්හි මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ අද (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

******************************************

(29.04.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

චීන ආරක්ෂක අමාත්‍යවරයා රථ පෙරහැරකින් කොළඹට පැමිණීමේදී බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

සැකකරු වසර 10 ක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරටට පැමිණි අයෙකු බවද අනාවරණ වී තිබෙනවා.

එම අවස්ථාවේ ඇතිවූ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එම වීඩියෝව පහතින්.

@@@@@@@@@@@@@@@@

(29.04.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 414 ක් වාර්තාවීමත් සමඟ අද (29) දිනය තුළ මේ දක්වා වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1491 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙය වනු ඇති.

ඒ අනුව අද (29) දිනයේ වාර්තා වූ මෙම නව ආසාදිතයන් ප්‍රමාණයන් සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා ඇත්තේ ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුර’ ලෙසයි.

පවතින තත්ත්වය හමුවේ මෙතෙක් රට වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක 09 ක ග්‍රාමසේවා වසම් 116 ක් මේ වනවිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර, අලුත් අවුරුදු සමයේදී ජනතාවගේ අධික සංචරණය හේතුවෙන් කොරෝනා ආසාදිතයින් වැඩිවීමේ ප්‍රවණතාව ඉදිරි සතිය හෝ දෙක ඇතුළත දැකගත හැකි වනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා.

කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයින් 65 ත්, 75 ත් අතර සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ (28) දිනයේදී 23,730 ක වාර්තාගත කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇති අතර, ඒ අනුව අද (29) දිනයේදී මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1077 ක්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,06,030 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

සුවය ලැබූ ආසාදිතයින් තුන්සිය හැට දෙදෙනෙකු (362) අද (29) රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 95,445 ක් ලෙසයි.

ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9,924 ක්.

එසේම, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අතරමැදි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගන්නා බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

එසේම, කොරෝනා පරීක්ෂණවලින් තහවුරු වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 3% සිට 8% දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය කියා සිටියා.

මේ අතර නැවත දැනුම් දෙනතුරු සියලුම ආගමික ස්ථානවල සාමුහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඕනෑම වෙලාවක ආගමික පරිශ්‍රයක් තුළ සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව උපරිම ඉඩ ප්‍රමාණයෙන් 50% කට සීමා කළ යුතු අතර, බැතිමතුන් ගණනද 25 කට සීමා විය යුතු වනවා.

මීට පෙර නිකුත් කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආගමික ස්ථානයක සිටිය හැකි උපරිම බැතිමතුන් ගණන 50 කට සීමා කර තිබුණා.

ආසාදිතයින් වාර්තා වීමත් සමඟ ජාතික කෞතුකාගාරය සති දෙකකට (2) වසා දැමීමට පියවර ගත් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මගීන්ගේ අඩුවීම නිසා දුරගමන් සේවා දුම්රිය වාර 16 ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මහනුවර, බදුල්ල, යාපනය සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලට ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර 16 ක් මෙලෙස අනිද්දා සිට අවලංගු කර ඇති බවයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ තම දෙපාර්තමේන්තුවෙන් මහජනතාව වෙත ලබාදෙන සේවාවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා ෴

++++++++++++++++++++

(29.04.2021 – 21:40 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට පැමිණී තවත් කොරෝනා ආසාදිතයන් 40 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 106,484 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාවේ දිනකදී හමුවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ද වාර්තාවන්නේ අද (29) දිනයේදීයි.

එම සංඛ්‍යාව 1531 ක්.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 10,378 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 95,445 ක්.

මෙරටින් කොරෝනා මරණ 661 ක් ද වාර්තාවුණා.

++++++++++++++++++++

(29.04.2021 – 21:46 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 667 ක් දක්වා ඉහළ ගියා. ඒ අද (29) තවත් මරණ 6 ක් වාර්තාවීමත් සමගයි.

මියගොස් ඇත්තේ අවුරුදු 49, 85, 37, 72 සහ 61 වයස්වල පසුවන කාන්තාවන් 5 දෙනෙක් සහ 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඔවුන් බොරලැස්ගමුව, මහනුවර, වත්තල, වැලිමඩ, කලුතර උතුර සහ නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

එමෙන්ම මෙම මරණ 6 න් 5 ක්ම සිදුව ඇත්තේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්.

++++++++++++++++++++

(30.04.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතීය උල්ලංඝනය කළ පුද්ගලයන් 104 ක් ඊයේ (29) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(30.04.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමද හුදකලා කර ඇති බවයි.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව සහ ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාන්ඩුව පොලිස් බල ප්‍රදේශයේ එලමුල්ල ග්‍රාමසේවා නිලධාරී වසමද හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

කොවිඩ් ආසාදිතයන් 1531 දෙනෙකු ඊයේ (29) දිනයේ වාර්තාවීමත් සමඟ දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වාර්තාව යළිත් අලුත් වුණා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 106,484 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් 6 ක් ඊයේ (29) පෙරවරුවේ සිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර, කොවිඩ් ආසාදනයෙන් සිදුවූ තවත් මරණ 6 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගියා.

මේ වන විට ව්‍යාප්තවන කොවිඩ්-19 නව ප්‍රභේදයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කණ්ඩායමක් ලෙස ගැබිණි මව්වරුන් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගැබිණි මව්වරුන් වෛරසයෙන් ආරක්ෂාවීමට දැඩි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි.

මේ වන විටත් ගැබිණි මව්වරුන් තිදෙනෙකු (3) රෝහල් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව ගැබිණි මව්වරුන්ටද කොවිඩ් මර්දන එන්නත් ලබාදිය යුතුයැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.

මේ අතර ගාල්ලෙන් සහ කළුතරින් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ජෛව සාම්පලවලද පවතින්නේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය බවට මුලික විමර්ශනවලදී සාධක ලැබී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ශෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *