දක්ෂිණ අධිවේග මාර්ගයේ ටිකට් නිකුත්කරන සේවකයින් තිදෙනෙකුට (3) කොවිඩ්

දක්ෂිණ අධිවේග මාර්ගයේ ටිකට් නිකුත්කරන සේවකයින් තිදෙනෙකුට (3) කොවිඩ්

*********************************************

දක්ෂිණ අධිවේග මාර්ගයේ ටිකට් නිකුත්කරන සේවකයින් තිදෙනෙකුට (3) කොවිඩ්

(28.04.2021 – 00:31 +0530 – sinhala.adaderana.lk)

දකුණු අධිවේග මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි.

එම තීරණය හෙට (28) උදෑසන සිට ක්‍රියාත්මකයි.

කොට්ටාව පිටවීමේ ස්ථානයේ සේවය කළ තිදෙනෙකුට (3) කොවිඩ් ආසාදනය වී ඇති බැවින් එම තීරණය ගෙන තිබේ.

දකුණු අධිවේග මාර්ගයෙන් පිටතට යන වාහන සඳහා අතුරුගිරිය සහ කහතුඩුව භාවිත කළ හැකිය.

එසේම කොට්ටාවෙන් අධිවේගයට ඇතුළු වන වාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකෙරේ ෴

+++++++++++++++++++++++

“අපට වැරදුනා… ලොක්ඩවුන් කලේ නෑ… අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින්.. තත්වය ඉතාම අවදානම් හා බරපතලයි..” – කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

(27.04.2021 – 22:02 +0530 – lankacnews.com)

‘අපට වැරදීම් වුණා. අපි යමින් ඉන්නේ ඉන්දියාවේ තත්වෙට’ යයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

සිදුවූ වැරදීම් ගැන දැන් කතා නොකළ යුතු බව ද ඇය සඳහන් කරයි.

මේ වන විට මෙරට තත්ත්වය ඉතාම අවදානම් සහ බරපතළ බවද ඇමතිනිය පෙන්වා දෙයි.

දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් ශ්‍රී ලංකාවට ද ප්‍රශ්නයක් වනු ඇතැයි ද ඇය කියා සිටී.

රට ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව සාර්ථක නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක් හැමදාමත් පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.

+++++++++++++++++++++

ඔබට කොරෝනාදැයි නිවසේදී ඔබටම හදුනාගත හැකි පරීක්‍ෂණය මෙන්න… හිතුවක්කාරයන්ට මරණය නියතයි..

(27.04.2021 – 22:26 +0530 – lankacnews.com)

කොරෝනා වෛරසය ආසාදිත දැයි මුල් අවස්ථාවේදීම තීරණයකට එළඹිය හැකි සරල පරීක්ෂණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා හෙළිකරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති නිසා රෝහල් පහසුකම් අඩුවෙමින් යන බවයි.

එනිසා මුල් අවස්ථාවේදීම හඳුනා ගතහොත් නිව්මෝනියා තත්ත්වයට පෙර ප්‍රතිකාර සඳහා යොමු වී ජීවිතය බේරාගත හැකි බවද ඒ මහතා කියා සිටියේය.

මෙවර නිසිලෙස ප්‍රවේශම් නොවුණහොත් මරණය අත් වීම නිසැක බව ද ඒ මහතා කියා සිටී.

නිවසේ සිට සරල ආකාරයට ස්වයංව මෙම පරීක්‍ෂණය සිදු කල හැකි යයිද ඔහු පැවසීය.

කලින් මහන්සියකින් තොරව නැග ගිය තරප්පු පෙරලක් දැන් එසේ කල නොහැකිව හතිය දැනේ නම්,
හුස්ම අල්ලාගෙන හඬ නගා 1-10 දක්වා වත් ගණන් කල නොහැකි නම්,
හුස්ම අල්ලාගෙන හඬනගා 1 සිට 20-40 තෙක් ගණන් කර ඉන් පසුව කෙටි දුරක් ඇවිද නැවත එලෙස යළි ගණන් කල හැක්කේ කිරීම 1-10 ට අඩුවෙන් නම්,
වචන කීපයක් කතා කරද්දී මහන්සි දැනෙයි නම්.

+++++++++++

25-04-2021

++++++++++++++++++++++

වසංගතයෙන් බේරෙන්න ඕනෑම කෙනෙක්ට ගෙදරදීම හදාගන්න පුළුවන් පානයක් – සැකයක් ආවොත් මේ පානය හදලා බොන්න (27-04-2021)

https://www.youtube.com/watch?v=0vUgbj0ZBCI

++++++++++++++++++++++

(28.04.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

නව මරණ 8 ක් ඊයේ (27) වාර්තා වීමත් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 655 ක් දක්වා ඉහළ ගියා.

මින් මරණ 6 ක්ම කොවිඩ් නිව්මෝනියා තත්ත්වය නිසා සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

හෙට්ටිපොළ, අඹගහපැලැස්ස, මතුගම, නුගේගොඩ, ශ්‍රී ජයවර්ධනපුර, පොල්ගොල්ල, වත්තල සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් 7 දෙනෙකු සහ කාන්තාවක් මෙලෙස මිය ගොස් තිබෙනවා.

මේ අතර මධ්‍යම පළාතේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව උපරිමයට ළඟාවෙමින් පවතින බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා මහනුවර ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයන්ගේ වැඩිදුර තොරතුරු පහතින් :

++++++++++++++++++++++

(28.04.2021 – 06:27 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංගණය කරමින් යාපනය – වන්නාර්පන්නෙයි ප්‍රදේශයේ ශ්‍රී කාමාච්චි අම්බාල් කොවිලේ තේරු උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් එහි පාලක සභාවේ සභාපතිවරයා සහ ලේකම්වරයා ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංගණය කරමින් විශාල පිරිසක් එක්කරගෙන පසුගිය ඉරිදා පැවති මෙම උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා ෴

+++++++++++++++++++++++

(28.04.2021 – 06:52 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 3 කට අයත් නගරසභා බල ප්‍රදේශයක් සහ ග්‍රාමසේවා නිලධාරී වසම් 5 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරෙන බව යුධ හමුදාපතිවරයා පවසනවා.

මේ අනුව වැල්ලවායේ, වැල්ලවාය නගරසීමා ප්‍රදේශය, වෙහෙරයාය, කොට්ටම්ගහබොක්ක යන ග්‍රාම නිලධාරී වසම්වලට මේ මොහොතේ සිට සංචරණ සිමා පනවනු ඇති.

බුත්තල රහතන්ගම ග්‍රාමනිලධාරී වසමටත් උහන කුමරිගම ග්‍රාමනිලධාරී වසමටත් සංචරණ සීමා පැනවෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ සංචරණ සිමා පනවා ඇත්තේ අලුගොල්ල ග්‍රාමනිලධාරී වසමටයි.

අම්පාර දිස්ත්‍රික්කයේ උහන, කුමාරිගම ග්‍රාම නිළධාරී වසමද මේ මොහොතේ සිට හුදෙකළා වනු ඇති.

+++++++++++++++++++

(28.04.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

චීනය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්ථානය යන රටවල විදේශ අමාත්‍යවරුන් සම්බන්ධ කරගනිමින් පැවති කොවිඩ්-19 ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (27) එක්වුණා.

එහිදී කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා සහයෝගීතාව තහවුරු කිරීම සහ පශ්චාත් වසංගත ආර්ථික ප්‍රකෘතිමත්වීම ප්‍රවර්ධනය කිරීම මෙන්ම මෑතදී කොරෝනා ආසාදිතයන් ඉහළ යාම මධ්‍යයේ දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා ෴

+++++++++++++++++++

(28.04.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව අද (28) සිට සෞඛ්‍ය සේවකයන්ට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

(28.04.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව මෙරට ව්‍යාප්ත වන කොරෝනා වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය සිදුකළ පරීක්ෂණ අවසන් කර තිබෙනවා.

ඒ අනුව එහි වාර්තා අද (28) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බවයි එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ.

කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍රදේශවලින් ලැබුණු සාම්පලවලින් මෙම පරීක්ෂණ සිදුකර ඇති අතර, මෙරට බැංකු ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ වෛරසය න්‍යායාත්මකව බොහෝදුරට එංගලන්තයේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන බවයි ඔහු මීට පෙර කියා සිටියේ.

මේ අතර, කොරෝනා තත්වය හමුවේ දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය හුදකලා කළත් කොළඹ ඇතුලු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට බලපෑමක් නොවන පරිදි කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ඊට අදාළව ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ සංගම් නියෝජිතයන් ඇතුලු පාර්ශව සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවකදියි.

ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීතිරීති අකුරටම ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී දැනුම්දී තිබෙනවා. සාකච්ඡාවට සියලු ආර්ථීක මධ්‍යස්ථානවල කළමනාකරුවන්ද එක්ව සිටියා ෴

+++++++++++++++++++++

(28.04.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති දැඩිව පිළිපදින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායනය නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කර වරදකරු වුවහොත් රුපියල් දස දහසක (10,000) දඩයක් සහ මාස 6 ක සිර දඬුවම් නියමි කිරීමේ හැකියාව පවතින බවයි ෴

+++++++++++++++++++++

(28.04.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (27) වාර්තාවුණා.

ඒ අනුව දහස (1000) ඉක්මවා කොරෝනා ආසාදිතයන් වාර්තා වූ දිනය ලෙසද ඊයේ (27) සටහන් වූ අතර, එය දැක්වුණේ 1,111 ක් ලෙසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,487 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (27) වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 1089 ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 7 දෙනෙකු සහ විදේශයන් හි සිට පැමිණි 15 දෙනෙකු ද මේ අතර වනවා.

ඒ අනුව ආසාදිතයින් 7976 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 94,856 ක් ෴

@@@@@@@@@@@@@@@

දියවැඩියාව පාලනයට සබරගමු සරසවියේ පරීක්ෂණ කණ්ඩායමක් නව ඖෂධීය පානයක් නිපදවයි.. (27-04-2021)

******************************************

(28.04.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ සංචාරක සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 519.56 ක් වෙන් කර ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

ඉන් රුපියල් මිලියන 45 ක් මානව සම්පත් සංවර්ධනය සඳහා වෙන් කර ඇති අතර, ඕලන්ද සහ ලන්දේසි කොටු පවුරු සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100 ක් ෴

******************************************

(28.04.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා කථාබහට ලක්වූ ලිට්රෝ සමාගම විසින් වෙළඳපලට හඳුන්වාදුන් ලීටර 18 ගෑස් සිලින්ඩරය වෙන්ව හඳුනාගත හැකි ආකාරයට නව නිෂ්පාදනයක් ලෙස නිකුත් කරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසනවා. (?)

එහි සභාපති අනිල් කොස්වත්තගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ලබාදුන් උපදෙස්වලට අනුව අදාළ සියලු කටයුතු ඉදිරි සතියක කාලය තුළ ඉටු කිරීමට සමාගම බලාපොරොත්තු වන බවයි.

වෙළඳපලෙහි පවතින කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩර වෙළඳපලේ පැවති මිලටම කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බවට සහතික වන බවයි එහි දැක්වෙන්නේ.

කිසියම් අයුරකින් එලෙස ගෑස් සිලින්ඩර ලබාගත නොහැකි නම් 1311 ඇමතීම මගින් හෝ ලිට්රෝ ගෑස් ජංගම දුරකථන යෙදවුම තුළින් ඇණවුම් කිරීමෙන් ලිට්රෝ ගෑස් පාරිභෝගිකයාට ලබාගැනීමේ හැකියාව පවතින බවයි එහි සභාපති අනිල් කොස්වත්ත වැඩිදුරටත් කියා සිටියේ.

******************************************

(28.04.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග්හි දෙදින (2) නිළ සංචාරයක් සදහා ඊයේ (27) දිවයිනට පැමිණියා.

ඔහුත් සමග එරට ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත කණ්ඩායමක් රාත්‍රී 10:50 ට චීන ගුවන් හමුදාවට අයත් බී 4026 දරණ විශේෂ යානයෙන් දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ.

චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා සිදුකිරීමට නියමිතයි.

වත්මන් රජය බලයට පත් වූ පසු, චීන රජයේ අමාත්‍යවරයෙකු මෙරටට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙය වනවා ෴

******************************************

(28.04.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

පොලිස් ස්ථාන සදහා නිකුත් කර ඇති නව චක්‍රලේඛයක් පිළිබදව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් සිදුකළා. ඔහු කියා සිටියේ මෙම චක්‍රලේඛය මගින් පොලිස් නිලධාරීන් තොරතුරු පොත් භාවිත කිරීම අවම කිරීමට පියවර ගෙන ඇති බවයි ෴

හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන් සිය රාජකාරී සඳහා වාර්තා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත හුදෙකලා භාවය අවසන් කිරීමෙන් පසු පමණක් සේවයට වාර්තා කරන ලෙසට අදාළ පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

(28.04.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් සියලු වෘත්තිය පුහුණු ආයතනවලට මේ වසර සඳහා නව අභ්‍යාසලාභීන් බඳවා ගැනීම අද (28) දිනයේ සිදුකිරීමට සැළසුම් කර තිබුණත් කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන එය කල් දමා තිබෙනවා ෴

******************************************

(28.04.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – පරසන්ගස්වැව ප්‍රදේශයේදී රක්ෂිතයක් අනවසරයෙන් එළිපෙහෙළි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදියි.

පරිසරය විනාශ කිරීමේ සිද්ධීන් පිළිබදව තොරතුරු වෙතොත් 1997 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි පොලිස් මූලස්ථානය ඉල්ලීමක් කළේ ෴

******************************************

(28.04.2021 – 09:54 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර, කෘමි නාශක හා වල්නාශක භාවිතය හා ඒවා ආනයනය කිරීම තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, එළඹෙන මාස් කන්නයේ සිට අදාළ තහනම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ.

රසායනික පොහොර වෙනුවට ඉදිරියේදී කාබනික පොහොර මෙරටට ආනයනය කිරීම සඳහා පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා ෴

******************************************

(28.04.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල මුලික රෝහල අසලදී 47 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඊයේ (27) දා රාත්‍රීයේ ඝාතනය කොට ඇතැයි මාවනැල්ල පොලීසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය තෙල්බදුආර අටවන (8) පටුමගේ පදිංචි සේනානායක මුදියන්සේලාගේ සරත් කුමාර නැමැත්තෙක්.

ඝාතනය සම්බන්ධයෙන් මාවනැල්ල රංදිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මාවනැල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වු පුද්ගලයා සිය දරුවාගේ උප්පැන්න සහතිකය ලබා ගැනීම සදහා මාවනැල්ලට පැමිණ තිබෙන අතර මාවනැල්ල මුලික රෝහල අසලදී සිදුවු බහින් බස් වීමක් දුරදිග ගොස් සැකකරු විසින් පිහියකින් ඇන ඇති බවයි අනාවරණය වන්නේ.

මෙම සිද්ධිය සම්බන්දයෙන් මාවනැල්ල පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා ෴

******************************************

(28.04.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

යාපනය අච්චුවේලි හා කොඩිකාමම් ප්‍රදේශයන්හි කණ්ඩායම් දෙකක් (2) අතර දින දෙකක් (2) තුළ සිදුවු පහරදීම් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) තුවාල ලබා ඇති බව යාපනය අච්චුවේලි හා කොඩිකාමම් පොලිසි පවසනවා.

අච්චුවේලි පොලිසිය පැවසූවේ (26) වැනිදා රාත්‍රියේ දෙපිරිසක් අතර සිදුවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර පුද්ගලයින් අට දෙනෙකු (8) අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අදාළ සිදුවීමට අමතරව යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී ඊයේ (27) සිදුවු තවත් පහරදීමකින් 25 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා යාපනය චාවකච්චේරි රෝහලට යොමුකොට ඇති බවද කොඩිකාමම් පොලිසිය සඳහන් කළා.

පොලිසිය පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය හා කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *